මාධ්‍යකරුවන්ට වචන දෙක තුනක් සොලවා කළ හැකි හරඹ

කවුරුත් කතා නො කරන තහනම් විෂයන් තිබේ. 


කොටි සැකකරුවන් යනු එවැනි එක් විෂයකි. කොටි සංවිධානය මර්දනය කර දැන් වසර දෙකහමාර ඉක්මවා තිබේ. එහෙත්, විවිධ ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ යයි සැක පිට අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවෝ විශාල පිරිසක් තවමත් බන්ධනාගාරවල සිටිති. 


වසර බොහෝ ගණනක් තිස්සේ සිර ගෙවල්වල සිටින අය ද ඒ අතර වෙති. ඔවුන්ගෙන් ඇතැමෙකුට එරෙහිව නඩු පැවරීම සඳහා කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නැත. 


ඔවුන් කර ඇති වැරදි සම්බන්ධයෙන් ඔවුන්ට එරෙහිව නඩු පැවරිය යුතු ය. සාධාරණ නඩු විභාගයකට මුහුණ දීමට අවස්ථාව ලබා දිය යුතු ය. නැතිනම් ඔවුන් නිදහස් කළ යුතු ය. 


කොටි සංවිධානයේ ප්‍රභාකරන්ගෙන් පසු නායකයා වූ කේ.පී.ට හා කලක් නැගෙනහිර පළාතේ කොටි අණ දෙන නිලධාරියා වූ කරුණා අම්මාන්ට එරෙහිව ද නඩු පැවරිය යුතු ය. ඔවුන්ට එරෙහිව ක්‍රියාමාර්ග නො ගන්නේ නම් කොටි සංවිධානයේ පසුපෙළ සාමාජිකයන්ට කරන දඬුවම් යුක්ති සහගත වන්නේ නැත. 


දීර්ඝ කාලීනව රඳවා තබා ගන්නවා වෙනුවට ඔවුන් පුනරුත්ථාපනය කර සමාජගත කිරීමට පියවර ගත යුතු ය. 


අපට මෙම සටහන තබන්නට සිත් වුණේ පහත සඳහන් වන දිනමිණේ පළ වූ පුවත නිසා ය. 


ත්‍රී ජී දුරකථනයක් යනු අද දවසේ සාමාන්‍ය දෙයකි. එය යුද උපකරනයකැයි මෙම වාර්තාවේ සඳහන් වේ. චොකලට් පෙත්තක් වුණත් යුද උපකරණයක් ලෙස සලකන්නට පුළුවන්කමක් ඇති නිසා තර්කානුකූලව දිනමිණ පුවතේ අඩංගු කරුණ වැරදි නැත. 


අනෙක් පැත්තෙන්, ඕනෑම ජංගම දුරකථනයකින් පිටරට ඇමතුම් ලබා ගැනීමට පුළුවන. එහෙත්, මෙම පුවතේ සඳහන් වන්නේ කොටි සැකකරුවන් සමග තිබූ දුරකථනවලින් ජාත්‍යන්තරයට දුරකථන ඇමතුම් ගෙන ඇති බවයි. 


මෙම ප්‍රවෘත්තිය අප මෙහි උපුටා දක්වන්නේ වචන දෙක තුනක වෙනසකින් පුවතක් යම් අරමුණක් ඉටු කර ගැනීම වෙනුවෙන් භාවිතා කිරීම සඳහා නිදසුනක් ලෙස ය. මෙතැන නම් අරමුණ බිය ඇති කිරීම ය. 


එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ3G තාක්ෂණ යුද ජංගම දුරකථන 2ක් සොයාගැනේ
බුද්ධිකා ඉඹුලාන
පසුගිය 24දා මැගසින් බන්ධනාගාරයේ රැඳවියන්ගේ ප්‍රකෝපකාරී හැසිරීම් නිසා උද්ගත වූ ගැටුම් අවස්ථාවේදී බන්ධනාගාරයෙන් වෙනත් බන්ධනාගාරවලට ගෙන ගිය එල්.ටී.ටී.ඊ. සැකකරුවන් සතුව තිබූ 3G  තාක්ෂණයෙන් යුත් යුද ජංගම දුරකතන 02 ක් සොයාගැනීමට බන්ධනාගාර නිලධාරීන් සමත්වී තිබේ.
මේ එල්.ටී.ටී.ඊ. රැඳවියන් රඳවා සිටි කාමරයක සඟවා තිබී එම ජංගම දුරකථන හමුවී ඇති අතර ඇතිවූ කලබලය මධ්‍යයේ ඔවුනට ඒවා අදාල ස්ථානයෙන් රැගෙන යාමට නොහැකි වී ඇත. ජාත්‍යන්තරයට පවා ඇමැතුම් ලබාගත හැකි සබඳතා පහසුකම් ඇති මේ ජංගම දුරකථන පිළිබඳව පරීක්ෂණ පැවැත්වීමට ඒවායෙහි සිම් කාඩ්පත් රහස් පොලිස් පරීක්ෂණ සඳහා යොමු කර ඇත. ගැටුම සිදුවන අවස්ථාවේදී මැගසින් බන්ධනාගාරය තුළ එල්.ටී.ටී.ඊ. රැඳවියන් 180ක් වූ බව බන්ධනාගාර කොමසාරිස් ජනරාල් පී. ඩබ්ලිව්. කොඩිප්පිලි මහතා ‘දිනමිණ’ ට කීය..


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. W3Lanka ගේ එක රාජකාරියක් දිනමිණ මාකටින් කිරීමයි!

    ReplyDelete
  2. 3G දුරකථන හා IDD calls ගතහැකි දුරකථන නම් සාමාන්‍ය දෙවල් තමයි.ඒත් සිරකරුවන් දුරකථන භාවිත කිරීම සාමාන්‍ය දෙයක් ද? (LTTE සැකකරුවෝ ද වෙනත් සැකකරුවෝ ද යන්න නොවැදගත්ය)

    ReplyDelete
  3. මුන්ව තියන්න වටින්නෙ නෑ නොවැ

    ReplyDelete
  4. මට තියෙන ප්‍රශ්නේ ඕක නෙමෙයි. ඩයස්ලගේ පෝරාවවත් දෙමළුන්ගේ සංගමයවත්, කරුණා හා පිල්ලෙයාන් මැතිතුමාලවත් කේ. පී. මහතාවත් පිස්සු විතාරණ හා වාසූ සහෝවත්. සමබිම ප්‍රභූන්වත් මේ අහිංසකයන් ගැන හඬක් නොනගන එකයි..

    ReplyDelete
  5. ලක්බිමේ නම් කියන්නේ මේවට "අධිතාක්ෂණික ජංගම දුරකථන " කියලා...
    මම හිතුවේ සැටලයිට් ෆෝන් කියලා...

    ReplyDelete
  6. මොනවද බොලේ මේ යුද ජංගම දුරකථන???

    ReplyDelete
  7. ලංකාවේ ජනයාව බියෙන් සහ කාංසාවෙන් තබා ගැනීමේ කලාව ඊනියා රාජ්‍ය මාධ්‍ය විසින් හොඳට ප්‍රගුණ කරලා තියෙන්නේ...එක පැත්තකින් මාතෘ භුමිය රැක ගැනීමට මුලිකත්වය දීම ගැන උදේ හවහ බණ කියන්නාසේ කියන අතර...ත්‍රස්තවාදය යලි පැමිණීමේ අනතුරු ඇඟවීම මගින් බිය ගැන්වීම...රාජ්‍ය මාධ්‍යයේ මාධ්‍ය කලාව බවට පත් වී තිබෙනවා...මොකද අනාරක්ෂතාවය දැනෙන තරමට මිනිස්සු ආරක්ෂාව පතා ගෙන මව්බිම බෙර ගත්ත...මව් බිමට ආදරය කරන...ආඩම්බරකාර තාත්ත පස්සේ වැටෙනවා...කොහොමද ටිකිරි මොලේ?

    ReplyDelete
  8. ජාත්‍යයන්තරයට කියලා නැවතිලා නෑ
    "පවා" කියලා කෑල්ලකුත් දාලා

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා