සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව ඔන්න ආණ්ඩුව පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ ශ්‍රමිකයන්ට මැරෙනකල් විශ්‍රාම වැටුප් ගෙවන්න රු. 200ක් ම දෙනවලු

(2011 අප්‍රේල් 28, W3Lanka) පෞද්ගලික අංශයේ සේවකයන්ට හා විදේශ සේවා නියුක්තිකයන්ට විශ්‍රාම වැටුප් ගෙවන්නට ය කියා අරමුදල් පිහිටුවීම පිණිස රජය ඊයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන්නට සිටි පනත් දෙක සේවක විරෝධය නිසා ඉවත් කර ගැනිණි.


මහජන මුදලින් ව්‍යාපාර කරන හා ඒවායේ ලාභ විවිධාකාරයෙන් ගරා ගන්නා, පාඩු මහජනතාව පිට ම පටවන ලංකාවේ පාලක පැළැන්තියට ඇත්තෙන් ම උවමනා වී තිබෙන්නේ පෞද්ගලික අංශයේ සේවකයන් විසින් ඉතිරි කර ඇති විශ්‍රාම පාරිතෝෂික මුදල් හා මාසිකව තපා ගන්නා තවත් මුදල් යොදවා තමන්ට පාලනය කළ හැකි තවත් දැවැන්ත ප්‍රාග්ධන අරමුදල් දෙකක් ගොඩනඟා ගැනීමයි.


පෞද්ගලික අංශයේ හා විදේශ ශ්‍රමික සේවකයන්ට ජීවත් වීමට සරිලන විශ්‍රාම වැටුපක් තහවුරු කර දීමේ හැකියාවක් මෙම විශ්‍රාම වැටුප් යෝජනාවල නැත. රජය ඔය කියන තරම් ම වැඩිහිටියන්ට ආදරය කරන්නේ නම් මුලින් ම කළ හැකි හොඳ ම දෙයක් වන්නේ රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප් පිළිබඳ යළි ඇගයීමක් කර ජීවත් වීමට නො සරිලන විශ්‍රාම වැටුප් ලබන වයස්ගත දිළින්දන් වෙනුවෙන් යමක් කිරීමයි.


නිදසුනක් ලෙස, වයස 70 පසු කළ විශ්‍රාමිකයන්ට ඔවුන් විශ්‍රාම යන විට ලැබූ වැටුපෙන් 100%ක් ම විශ්‍රාම වැටුප ලෙස ලබා දීම වැනි පියවරක් ගන්නට රජයට පුළුවන. එවිට, ඇත්තෙන්ම අපේ ආණ්ඩුවට වැඩිහිට් ජනතාව ගැන මාර කැක්කුමක් ඇති බව ඔප්පු වේ.


හකුළුවා ගත් විශ්‍රාම වැටුප් යෝජනාව රජය තවමත් අතහැර ඇති බවක් නො පෙනේ. ආණ්ඩුවේ සැලැස්ම වී ඇත්තේ සංශෝධන සහිතව එය නැවත ගෙන ඒමයි.


පෞද්ගලික අංශයේ සේවකයන් සඳහා විශ්‍රාම වැටුප් අරමුදල ඇති කිරීමේදී ඊට රජය රුපියල් බිලියනයක මුදලක්‌ ලබාදීමට තීරණය කර තිබෙන බව කම්කරු ඇමැති ගාමිණී ලොකුගේ මහතා පවසයි. මේ බිලියනය මහා ලොකු මුදලක් ලෙස පෙනුණ ද, මෙම විශ්‍රාම වැටුප් ක්‍රමයට දායක වීමට සිටින ශ්‍රමිකයන් පිරිස ලක්ෂ පනහක් යයි ගණන් බැලුවොත් එක් ශ්‍රමිකයකු වෙනුවෙන් වෙන් වන්නේ රු. 200ක් පමණි. මේ රුපියල් දෙසීයේ ඉතිරියෙන් කළ හැකි දේ කුමක් ද?


හම්බන්තොට වරායේ කළු ගල කඩන්නට ද රජය රු. බිලියන 5 සිට 16 දක්වා මුදලක් වැය කරන්නට යන බව මාධ්‍ය වාර්තා පවසයි. කියවන්න: හම්බන්තොට වරායේ ගලේ පැහැරූ බළල්ලු කවුරු ද? ඒ එක්කෙනෙකුගේ දෙන්නෙකුගේ මෝඩකම් වසා ගන්නට ය. ලක්ෂ පනහක් පමණ වන පෞද්ගලික අංශයේ හා විදේශ සේවයේ ශ්‍රමිකයන්ට දෙන බව කියන විශ්‍රාම වැටුප වෙනුවෙන් යන්තම් බිලියනයකි.


ජනාධිපති මහින්ද රාජපක්‌ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 24 වැනිදා පැවැති සාකච්ඡාවෙන් අනතුරුව මතුවූ කරුණු සලකා බැලීම සඳහා තමාගේ හා මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති සාකච්ඡාවේදී, පාර්ලිමේන්තුවට ඉදිරිපත් කොට තිබෙන විශ්‍රාම වැටුප් පනත් කෙටුම්පත සුළු සංශෝධන කිහිපයක්‌ සහිතව පිළිගැනීමට රජය, සේව්‍ය පාර්ශ්වය හා වෘත්තීය සමිති 26 වැනිදා එකඟ වූ බව ඇමති කියයි.


මෙම සාකච්ඡා‍වකදී මුදල් ආමාත්‍යංශයේ ලේකම් පී.බී. ජයසුන්දර හාම්පුතුන්ගේ සම්මේලනයේ රවි පීරිස්ට දුන් පිළිතුරකින් හෙළි වූ තවත් තරුණක් වන්නේ දැන් මෙම විශ්‍රාම වැටුප් යෝජනාවට විරෝධය පළ කරන හාම්පුතුන්ගේ සම්මේලනය සමග ආණ්ඩුව කලින් මේ පිළිබඳව සැකච්ඡා කර, ඔවුන්‍ට අමතරව ගෙවන්නට සිදු වන 2% හිලව්වට විශාල වශයෙන් බදු සහන ලබා දී ඇති බවයි. කලින් ඇති කර ගත් එකගකා අනුව කටයුතු කරන්නේ නැත්තේ ඇයිදැයි පී.බී. ජයසුන්දර රවි පීරිස්ගෙන් ඇසූ විට පීරිස් නිරුත්තර වූ බව වාර්තා වේ. 


අප සිතන අන්දමින් නම්, හාම්පුතුන් මෙම යෝජනාවට විරුද්ධ වන්නේ මෙම 2% නිසා නො වේ. රජය ව්‍යාපාර කිරීම ඔවුන් අපේක්ෂා කරන ව්‍යාපාරික ප්‍රජාතන්ත්‍රවාදයට පටහැණි නිසා ය. එසේ වන්නේ බදු නො ගෙවන, පාඩු මහජනතාව පිට පටවන රජයේ සමාගම් සමග තරග කරන්නට පෞද්ගලික අංශයට ඇති අපහසුව නිසා ය. උදාහරණයකින් කිවහොත් රජයේ බදු සහන හා වෙනත් උපකාර මත පවත්වාගෙන යන සතොස හා කෝප් සිටි කාගිල්ස් ෆුඩ් සිටියට තරගයක් දෙන්නට සමත් වී ඇති නිසා ය. 


ගෝලීය ධනේශ්වර බලවතුන් එක්සත් ජාතීන් හරහා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවට මෙතරම් බලපෑමක් කරන්නේ ද ඔවුන්ගේ රාජ්‍ය ව්‍යවසාය කතිපයාධිකාරය පෞද්ගලික අංශයට අහිතකර නිසා බව අපේ අදහසයි. ඒ පිළිබඳ වැඩි විස්තර සඳහා මෙම ලිපිය කියවන්න. මහින්දගේ පසුපස එක්සත් ජාතීන්ගේ දඩ බල්ලන් හඹා ඒමට හේතු


අර්ථසාධකලාභීන්ගෙන් හා සේව්‍ය පාර්ශ්වයෙන් මාසික වැටුපෙන් සියයට දෙක (2%) බැගිනුත්, සේවකයන් උපයා ගත් විශ්‍රාම පාරිතෝෂිකයෙන් 10% ක්‌ද, සේවක අර්ථසාධක අරමුදලේ ප්‍රතිලාභ නොගත් වයස අවුරුදු 70 ඉක්‌මවූ අක්‍රීය තත්ත්වයේ පසුවන ගිණුම්වල මුදල් ද මේ ඊනියා විශ්‍රාම වැටුප් අරමුදල සඳහා යොදා ගැනීමට දැන් රජය සැලසුම් කර තිබේ. සම්පූර්ණ විශ්‍රාම පාරිතෝෂිකය කොල්ල කා හෝ තහවුරු කළ නො හැකි ජීවත් විය හැකි තරමේ විශ්‍රාම වැටුපක් ලබා දීම මේ ක්‍රමයෙන් තහවුරු කරන්නේ කෙසේ ද යන්න රජය පැහැදිලි කළ යුතු ය.


විශ්‍රාමිකයන්ට රජය මෙම අරමුදලට රු. බිලියන 200ක්වත් ආයෝජනය කළ යුතු ය. නැතිනම් සේවකයන් ඉතිරි කළ විශ්‍රාම පාරිතෝෂිකයට අත නො තැබිය යුතු ය. 


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා