මහින්දගේ පසුපස එක්සත් ජාතීන්ගේ දඩ බල්ලන් හඹා ඒමට හේතු

(2011 අප්‍රේල් 19, W3Lanka) ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මහ ලේකම්ට උපදෙස් දීම පිණිස පත් කර ඇති විද්වත් කමිටුවේ වාර්තාවෙන් ලංකාවේ පසුගිය යුද සමයේ සිදු වූ මානව හිමිකම් උල්ලංඝනය කිරීම් හා යුද අපරාධ පිළිබද බරපතල කරුණු මතු කර තිබේ.


මෙම චෝදනා එල්ල කර තිබෙන්නේ රජයට පමණක් නො වේ. කොටි සංවිධානයට ද චෝදනා එල්ල වී ඇත. කොටි සංවිධානයට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වග කියන්නට ඉතිරි වී සිටින ප්‍රබල ම පුද්ගලයා වන කුමරන් පත්මනාදන් හෙවත් කේ.පී. ද දැන් ඉන්නේ ආණ්ඩුවේ ය. ඒ නිසා දැන් යුද අපරාධ චෝදනාවලින් කොටි සංවිධානය බේරා ගන්නත් ආණ්ඩුවට සිදු වී ඇති බව පෙනේ.


අනෙක් පැත්තෙන්, ආණ්ඩුව මෙම වාර්තාවට ප්‍රතිචාර දක්වන ආකාරයෙන් පෙනෙන්නේ ඔවුන් මෙවැනි තත්වයක් බලාපොරොත්තු වී නැති බවයි.


ඇත්තෙන් ම, ආණ්ඩුව පසුගිය කාලයේ ගෝලීය ධනවාදය සමග පැමිණි සම්මුතියේ ස්වභාවය අනුව, තමන්ට කිසියම් සමාවක් ලැබේ යයි බලාපොරොත්තු වීම සාධාරණ ය. ආණ්ඩුව දැන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදල හා ලෝක බැංකුව සමග එක්ව පසුගිය සමයේ එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව විසින් යෝජනා කරන ලද 'යළි පුබුදමු ශ්‍රී ලංකා' නම් නව ලිබරල් වැඩසටහන අපූරුවට ක්‍රියාත්මක කරමින් සිටියි. 


පෞද්ගලික අංශයේ සේවකයන් ජීවිත කාලයක් වැඩ කර උපයා ගන්නා විශ්‍රාම පාරිතෝෂිකය මංකොල්ල කා හිඟන විශ්‍රාම වැටුපක් ගෙවන ඊනියා විශ්‍රාම වැටුප් පනත් ලබන සතියේ පාර්ලිමේන්තුවට ගෙන එන්නට සැලසුම් කර තිබෙන්නේ ද ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උවමනාව පිට බව වෘත්තීය සමිති චෝදනා කරයි.


ශ්‍රී ලංකාවට ලබාදෙන අරමුදල් ප්‍රමාණය ලබන වසරේ සිට ක්‍රියාත්මක වන පරිදි දෙගුණයක් කිරීමට ලෝක බැංකුව පියවර ගෙන ඇති බව අද දිනමිණ වාර්තා කරයි. මේ වනාහි රට ම වෙළඳපොළකරණය කිරීම වෙනුවෙන් ලැබෙන තෑගි ය.


එසේ නම් බටහිර ධනේශ්වර අධිපතීන්ගේ උවමනාව පිට එක්සත් ජාතීන් තවමත් මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පසුපස පන්නන්නේ ඇයි?


මෙතැන ඇත්තේ ඉතා පැහැදිලි පංති ප්‍රශ්නයකි.


ලංකාවේ ක්‍රියාත්මක වන ධනවාදය වනාහි නව ලිබරල් ධනවාදයේ මෙන් ධනපති පංතිය වර්ධනයේ එන්ජිම බවට පත් කළ එකක් නො වේ. ලංකාවේ ධනවාදය එක්තරා අන්දමකින් ධනපති පංතියට එරෙහි එකකි. පාලන බලය අත්පත් කරගෙන සිටින පිරිස වනාහි අප මීට කලින් ලිපිවල ද සඳහන් කළ අන්දමින් රාජ්‍ය ව්‍යවසායයන්ගෙන් වැටුප්, දීමනා, කොන්ත්‍රාත්, නියෝජිතායතන ආදිය හරහා ලාභ ලබන නිලධාරි හා ව්‍යපාර ස්ථරයකි.


මෙම ඉහළ සුළු ධනේශ්වර ස්ථරය සිය කොල්ලකාරී අරමුණු අතික් ජාතිකවාදී නිෂ්පාදක ධනේශ්වර පංති‍යට වඩා 1977න් පසු බිහි වූ බල්ලො මරා හෝ සල්ලි හෙවීමට කැමති බටහිර ගැති 'බයිං ඇන්ඩ් සෙලිං' නියෝජිතායතන ධනපති ‍ස්ථරයට සමීප ය. එහෙත්, මේ පංතිය නැගී ආවේ පසුගිය සමයේ ලංකාවේ බලගතු ම පංතිය වූ 'බයිං ඇන්ඩ් සෙලිං' ධනපති ස්ථරය ද පසුබස්වමිනි.


පාලන බලය හිමි මෙම නව සුළු ධනේශ්වර ස්ථරයට රජය යනු තමන්ගේ පෞද්ගලික සමාගමයි. මහජන මුදල් හා පරම්පරා ගණනක් උගස් කර ගත් ණය ප්‍රාග්ධනය කර ගන්නා රජය නම් සමාගම සැමදා පාඩු ලබන මුත්, මෙම පංතියේ ලාභ දිනෙන් දින ඉහළ යයි. රජයේ පාඩු මහජනතාව පිට ය.


මෙම පාලක පංතිය ලංතාවේ ශක්තිමත් රාජ්‍ය අංශයක් හෙවත් රජය නමින් හැදින්වෙන ඔවුන්ගේ සමාගමක් ගොඩනඟමින් සිටියි. මෙම කතිපයාධිකාරී (Oligarchic) රාජ්‍යය ධනේශ්වර පංතියට තර්ජනයකි. මන්ද, බදු සහන ලබන, මහජනයා මත පාඩු පටවන රජය නම් කතිපයාධිකාරී සමාගම ධනපති පංතියට අවශ්‍ය ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා සමානාත්මතාව නො සපයන බැවිනි. වෙනත් වචනවලින් කියනවා නම්, මහජනයා සූරා කෑම සඳහා ධනේශ්වර සමාගම්වලට ඇති නිදහස් සීමා කර, සූරා කෑමේ තනි අයිතිය ලබා ගැනීමට රජය උත්සාහ කරන බැවිනි.


මෙම තත්වය ලංකාව තුළට බටහිර ප්‍රාග්ධනය සංචලනය වීමට බාධා කරයි. එපමණක් නො ව, තරගකාරී චීන රජයේ ප්‍රාග්ධනයට දොරටු විවර කර දෙයි. 


ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදය' පිළිබඳ බටහිර නව ලිබරල් ධනපති බලවේගවලට ඇති ගැටලුව එයයි. මහින්දගේ ඒකාධිපතිවාදය හා පවුල්වාදය පිළිබඳ ධනවාදයට ගැටලුවක් මතු වී ඇත්තේ ඔහුගේ රාජ්‍ය මූලික ධනවාදය නිසා ය. සංවර්ධනයේ යන්ත්‍රය ලෙස පෞද්ගලික අංශය පිළි ගන්නා රනිල් වික්‍රමසිංහ වැනි නායකයකු පත් කර ගැනීමේ දැවෙන අවශ්‍යතාවක් බටහිරට ඇත්තේ මෙම සංදර්භය තුළයි.


මහින්දගේ පසුපස එක්සත් ජාතීන්ගේ දඩ බල්ලන් හඹා ඒම පසුපස ඇති පංති දේශපාලනය මෙයයි.


මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මහින්දගේ සහ ආණ්ඩුවේ ගමන ඉක්මන් වැඩි එකක් මෙන්ම තාර්කික, ප්‍රායෝගික සහ වෘත්තීමය ස්වභාවයක් ද නොපෙන්වයි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු වලදී ඔවුන් හැසිරෙන්නේ ද ගමේ චන්ඩින් ප්‍රශ්න විසදන ආකාරයටය. එනම් ශ්‍රි ලංකාව සීග්‍රයන් ගඩාෆි කරණය වෙමින් පවතී.

    දේශපාලනයේ 60 පන්නා ඇති නමුත් මහින්ද සතු දේශපාලන අපරිනත බාවය මෙවන් කටයුතු වලදී මනා ලෙස පිළිබිබු වේ. මහින්ද හැරෙන හැරෙන පැත්තට හුරේ දමන්නට බලා සිටින නූතන දේශප්‍රේමීන්ට හැර අන් කිසිවෙකුට මෙම ක්‍රමය තුල සුභ අනාගතයක් දැකිය නොහැක.

    ReplyDelete
  2. මේ වෙලාවේ UNP එකේ ප්‍රධාන පාඨය වෙන්න ඕනේ සරත් ෆොන්සේකාව සියලු වරප්‍රසාද සහිතව නිදහස් කරනවා නම් පමණක් තමන් රජයට සහය දෙනවා කියන එකයි. නැතුව කවදාවත් සරත් කොලුවාට නම් එලියට එන්න ලැබෙන්නේ නෑ. මේ අන්තිම තුරුම්පුවයි....

    ReplyDelete
  3. Anonymous oba hariya.Mahindage deshapalana parinathabawayak penennata netiya. Game chandiyekuge charitaya ranga pana ohu mulu ratama agadayata adegenayamin siti.Obakiyana ohu wata inna nutana deshapremi relata meya noterenawa nowa ounge wasiyata hure damai.Aperate virudha pakshayada gale peheru balalun lesa hesirei.Attenma merata beragatayute mema horungen menma mema rate saraya urabona ihala pelentiye rajaye niladharee pelentiyenui.

    ReplyDelete
  4. "මෙතැන ඇත්තේ ඉතා පැහැදිලි පංති ප්‍රශ්නයකි."

    මං මේකෙ ආසම කෑල්ල මේක. ඔයාගෙ ජෝක්ස් නම් න්යමයි w3ලංකා.

    ReplyDelete
  5. අලුත් අදහසක්..නමුත්,

    //ලංකාවේ 'ප්‍රජාතන්ත්‍රවාදය' පිළිබඳ බටහිර නව ලිබරල් ධනපති බලවේගවලට ඇති ගැටලුව එයයි. මහින්දගේ ඒකාධිපතිවාදය හා පවුල්වාදය පිළිබඳ ධනවාදයට ගැටලුවක් මතු වී ඇත්තේ ඔහුගේ රාජ්‍ය මූලික ධනවාදය නිසා ය.//

    මහජනයා සූරා කන්නේ ධනේශ්වර සමාගම්වලින්ද නැතහොත් රාජ්‍ය මූලික කතිපයාධිකාරී සමාගමක් මගින්ද යන්න ගැන බටහිර ධනේශ්වර අධිපතීන් කරදර වනු ඇතිද? ඊජිප්තුවේ / ටියුනීසියාවේ හෝ එම කලාපයේ මෑත උදාහරන පෙන්වන්නේ එසේ නොවන බවයි. මෙම රටවල් වල අවුරුදු 30 ගනනක් පැවතියේ ඒකාධිපතිවාදී, පවුල්වාදී, රාජ්‍ය මූලික ධනවාදයයි.

    ඔබ ද්විතීකව දක්වන චීන සාධකය ඊට වඩා මෙහිදී මූලික නොවේද? අනික ඔබ පන්ති ප්‍රශ්නයක් යැයි පෙන්වන්නේ එකම පන්තියේ ඉතා සුලු වෙනස්කම් සහිත කල්ලි දෙකක ප්‍රශ්නයකි.

    - Dimithri

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා