2017-03-06

පොත් හා විජේවීර

"තමුන් හිතනවාද ලංකාවේ හිටපු දේශපාලනඥයන් නො කියවපු පොත් මොනවා හරි තමුන් කියවා තිබෙනවා ය කියලා," යි 1971දී රෝහණ විජේවීරගෙන් ප්‍රශ්න කරපු රහස් පොලිස් අධ්‍යක්ෂ ඉයන් වික්‍රමනායක අහනවා. විජේවීර කුමක් කියන්නට ඇති ද?

විජේවීර කියන්නේ මෙහෙමයි: “මම එහෙම හිතන්නේ නැහැ. මොකද, සම සමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට ලෙනින්ගේ මාක්ස්ගේ පොත් කියවන්නට ලැබෙන්නට ඇති. ඒවා මේ රටෙත් තිබෙනවා."

ලෙනින්ගේ එකතු කළ කෘති ගැන ඇහුවා ම ඔහු කියන්නේ එහි පොත් 32ක් ඇති බව හා ඒ සියල්ල කියවන්නට අවුරුදු ගණනක් යා හැකි බවයි. ඔහු සමහර කොටස් කියවා අවසන් කර ඇති බව ඔහු කියනවා. ඔහු ලෙනින් කියවන්නේ රුසියන් බසින්.

මා හිතන්නෙ විජේවීර මේ දෙන පිළිතුර අව්‍යාජ පිළිතුරක්. ඒ වගේ ම එය එදත්, අදත් ජවිපෙ දේශපාලනයේ මූලික ලක්ෂණයක්. ජවිපෙ මොන තරම් කුහක වුණත්, පොත් සම්බන්ධ කාරණේදි ජවිපෙ කුහකත්වයෙන් අඩුයි. 

මේක විග්‍රහ කරගන්නට වෙන්නෙ නිතර විවිධ දාර්ශනිකයන්ගෙන් උපුටා දැක්වීම් කරන මෝස්තරකාර නව වාමාංශිකයන්ට සන්සන්දනාත්මකවයි. මේ ප්‍රශ්නය ලංකාවෙ වර්තමාන වාමාංශික පඬිවරුන් කීපදෙනෙකුගෙන් ඇහුවොත් ඔවුන් කුමන උත්තරයක් දෙයි ද? 

මේ පොත් කියවන බව කියවන අයෙක් අවුරුදු පනහක් වයසයි කියමුකෝ. සීරියස් පොත් කියවන්නට පටන් ගත්තෙ අවුරුදු 15දී යයි හිතමු. ඉතින් අපි හිතමුකෝ මේගොල්ලන් වෙන මොකවත් ම කරන්නේ නැතුව පොත් ම කියෙව්වා ය කියලා. ඒත්, ඔය බරසාර පොත් සතියකට එකකට වඩා කියවන්නට පුළුවන් ය කියලා මම හිතන්නෙ නැහැ. එතකොට ඒ අය කොච්චර පොත් කියවලා ඇති ද? 52X35=1820යි. සැලකිය යුතු ගණනක්. හැබැයි ඔය පොරවල් යන එනකොට, වාඩි වෙනකොට, රූපවාහිනී තිරයට මුහුණ ඔබන කොට ඔලුව උඩ තියෙන බව පෙන්නන තරම් පොත් කන්දරාවක් නම් නෙමෙයි. 

මේ වගේ පඬියන් නිතර කියන කතාවක් නෙ ඒගොල්ලන් පාසලේ පුස්තකාලයේ තිබුණු පොත් ඔක්කොම කියෙව්වා, ඊට පස්සෙ නගර සභාවෙ පුස්තකාලෙ පොත් ඔක්කොම කියෙව්වා, ඊට පස්සෙ විශ්වවිද්‍යාෙල පුස්තකාලෙ ඔක්කොම පොත් කියෙව්වා ආදිය. තාර බැර ඇරලා ගන්න. 

හැබැයි ඉතින් අප වගේ සාමාන්‍ය නවකතා, කෙටිකතා, කවි, පත්තර ඔක්කොම වගේ ම සම්භාව්‍ය චිත්‍රපට ඔක්කොමත් මේ අය බලලා තිබෙන බව තමයි පෙන්නන්නේ. 

ඇත්තට ම මේ අය ලෝකෙ තිබෙන සම්භාව්‍ය ඔක්කොම කියවලා, බලලා, අධ්‍යයනය කරලා, හදාරලා, අවබෝධ කරගෙන තිබෙනවා ද?

ඒක ඉතින් ඔප්පු වෙන්නෙ ක්‍රියාකලාපයෙන් නේ. මා අහන්නෙ මේ මහා දැනුම් සම්භාරය භාවිතා කරලා මේ පඬියන් ලංකාවේ ජනතාවට තේරෙන විදියට විග්‍රහ කර දීලා තිබෙන්නේ මොන ප්‍රශ්නය ද? ඒ වෙනුවට ඔවුන් කර තිබෙන්නේ දැනුම සමාජයට එපා කිරීම නොවෙයි ද? හැබැයි එතනම තමයි මොවුන්ගේ පැවැත්ම තිබෙන්නේ. එය ඔවුන්ගේ භාෂාවෙන් ම කියනවා නම් binary opposition එකක් හෙවත් ද්විමය ප්‍රතිවිරුද්ධතාවක්. ඔවුන්ගේ පණ්ඩිතමානිත්වය අවධාරණය වන්නේ ම සමාජය නූගත් ය යන කරුණ අවධාරණය කිරීම තුළයි. සමාජය දැනුවත් වීමක් ඔවුන් කිසි විටෙක බලාපොරොත්තු වන්නේ නැහැ. හේතුව පැහැදිලියි. ඒ නිසායි සරළ දේ පවා සංකීරණ කර, නො තේරෙන විදියට ලියන්නේ. 

මීට ටික දිනකට ඉහතදී මා රෝසා ලක්ෂම්බර්ග්ගේ ප්‍රකාශයක පණ්ඩිතමානී ඉංග්‍රීසි පරිවර්තනයක් ඇසුරෙන් ඔය කරුණ ඔප්පු කර පෙන්වූවා. ඔය කියන පඬියන්ට තාම බැරි වුණා ඒ මහාචාර්ය පරිවර්තනයේ තේරුම පැහැදිලි කරලා දෙන්න. අභියෝගය තාමත් විවෘතයි. මෙන්න මෙතැනින් ලිපිය කියවන්න. මේ කියමන කොයි තරම් ඇත්ත ද? මිනිසා යනු භාෂාව විසින් අල්ලාගෙන වධහිංසනයට ලක් කරනු ලබන ආත්මයයි - ලකාන් 

මා මේ ඇතැම් පඬියන් ඇසුරු කර ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් කිව හැකි කරුණු කීපයක් තිබෙනවා. ඇත්තෙන් ම මොවුන් දක්ෂයන්. හොඳ බුද්ධිවාදීන්. කරුණු මතක තබා ගැනීමේ අති දක්ෂයන්. ඒ වගේ ම රටේ වෙදුන්. මොවුන් තමන් කියවූවා යයි පෙන්වන ඇතැම් පොත්, බැලුවා යි කියන චිත්‍රපට ඇත්තෙන් ම කියවා, බලා නැති වුණත් දක්ෂ ලෙස ඒවා පරිශීලනය කළ අය ලෙස පෙනී සිටීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ඔවුන් කරන එක් කපටිකමක් වන්නේ මේ බරසාර පොත් ගැන සංක්ෂිප්ත වශයෙන් සටහන් වී තිබෙන වෙනත් ලේඛන කියැවීමයි. මොවුන් ඒ ලේඛන සාමාන්‍යයෙන් වෙනත් අයත් එක්ක බෙදා ගන්නවා අඩුයි.

කලක් මා ඇසුරු කළ එක් මෙවැනි පඬියෙකු රටේ ප්‍රකට සිනමාවේදියකුගේ චිත්‍රපටයක් පිළිබඳ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඒ චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කළේ චිත්‍රපටය නො බලා, ඒ ගැන අසා තිබුණු කරුණුවලින්. ඔහු එය කෙතරම් දක්ෂ ලෙස කළා ද යත්, සිනමාකරුවාත් එම විචාරය ගැන සතුටු වුණා. ඔවුන් කොහොමත් විචාර කරන්නේ පොරවල් සතුටු කිරීමටයි. එය ඔවුන්ගේ පැවැත්මේ එක් මූලධර්මයකි.

එහෙත්, මේ පඬියන්ගේ මා දකින සුවිශේෂ ම ලක්ෂණය වන්නේ ඔවුන් බුද්ධිමය නිර්මානශීලිත්වය අතින් අතිශය දුප්පත් වීමයි. තමන් කියවූ හෝ කියවූ බව කියන පොත්වලින් උපුටා ගත් කොටස් ගිරවුන් සේ වැමෑරීම මිස, ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමට හෝ නිර්මානශීලීව නව දැනුම නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී නැහැ. 

එහි ප්‍රතිඵලයක් ලෙස මොවුන් ප්‍රායෝගික දේශපාලනයට ආ කල ඉතා පටු අවස්ථාවාදීන් බවට පත් වෙනවා. මෙයට හොඳ උදාහරණයක් තමයි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයේදී ඔවුන් ගෙන තිබෙන බාල ජනප්‍රිය ස්ථාවරය. ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියට, සමලිංගිකත්වයට, ගණිකා වෘත්තියට, ගබ්සාවට, ගංජාවලට ආදියට පවා පක්ෂ ඔවුන් සයිටම්වලට පමණක් විරුද්ධ වෙන තර්කනය නිර්මානය වන ආකාරය ඉතා හාස්‍යජනකයි. 

ජාතීන්ගේ ප්‍රශ්නයේදී බලය බෙදා ගැනීමට පක්ෂව ඔවුන් ඉදිරිපත් කරන තර්කවලට ප්‍රතිපක්ෂව ජවිපෙ වැනි අන්තවාදීන් ඉදිරිපත් කරන කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ පූර්ණ සමානාත්මතාව ඇති කළ හැකි සමාජවාදය තුළින් පමණක් බවයි. එතැනදී මේ පඬියන් ඉතා දක්ෂ ලෙස බලය බෙදා ගැනීම වෙනුවෙන් තර්ක කරනවා.

හැබැයි, පෞද්ගලික අධ්‍යාපනය හා අධ්‍යාපන නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී ඔවුන්ගේ අපූරු තර්කනය වන්නේ ඔවුන් සමස්ත වෙළඳපොළට ම විරුද්ධ බවයි. අධ්‍යාපනය හා සම්බන්ධ මේ වෙළඳපොළ නැති සමාජයත්, ජාතික ප්‍රශ්නය විසඳිය හැකි සමාජවාදී සමාජයත් දෙක ම එක වගේ ෆැන්ටසි දෙකක් විතරයි. 

හැබැයි මේ පඬියන්ගේ හැසිරීම තේරුම් ගන්නට පුළුවන් වන්නේ වෙනත් දෙයක් ඔස්සේ නෙමෙයි, වෙළඳපොළින් ම තමයි. ජාතික ප්‍රශ්නයේදී ඔවුන්ට බලය බෙදීමට පක්ෂ වෙන්නට පුළුවන් හා ඒ වෙනුවෙන් දිවි හිමියෙන් තර්ක කරන්නට හේතුව තමයි, සාමය වෙනුවෙන් ලංකාවේ සංසරණය වුණ රාජ්‍ය නොවන සංවිධාන මුල්‍ය වෙළඳපොළ. මේවා ගැන කතා කළොත් බල්ලන් බත් කන එකක් නැහැ.

අධ්‍යාපනයේදී සයිටම් විරෝධී වෙන්නට හේතු වන්නේත් වෙළඳපොළ හා බලය පිළිබඳ කාරණායි. වෙළඳපොළ එයට සම්බන්ධ වෙන්නේ වෛද්‍යවරුන්ගේ බදු නො ගෙවා වංචා කරන මුදල්වලින් ඔවුන්ට ලැබෙන සොච්චම නිසා වෙන්නට පුළුවන්. බලය සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාල සිසුන් බිලි පූජාවට යවා බලයට ෂෝට් කට් හදාගෙන විප්ලව කළ හැකි යයි සිතන පරණ පුරුදු අසූනමය ශ්‍රී මෝඩ තර්කනයෙන්මයි.  

විජේවීර පොත් කියවා, පොත් නො කියවන, කියන දේ පමණක් අහන පක්ෂයක් හැදුවා. ඒ පක්ෂයට එරෙහිව පොත් කියවන්නට පටන් ගත් කැරැලිකාරයෝ පොත් කියවන බව කියන, පොත් පෙරළීමෙන් පෞද්ගලික අනන්‍යතා ගැටලු විසඳා ගන්නා ආගමික කල්ලි නිර්මානය කළා.

අවසානයේදී දෙකම එකයි. අපි තාමත් එතැනමයි.   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.