පොත් හා විජේවීර

"තමුන් හිතනවාද ලංකාවේ හිටපු දේශපාලනඥයන් නො කියවපු පොත් මොනවා හරි තමුන් කියවා තිබෙනවා ය කියලා," යි 1971දී රෝහණ විජේවීරගෙන් ප්‍රශ්න කරපු රහස් පොලිස් අධ්‍යක්ෂ ඉයන් වික්‍රමනායක අහනවා. විජේවීර කුමක් කියන්නට ඇති ද?

විජේවීර කියන්නේ මෙහෙමයි: “මම එහෙම හිතන්නේ නැහැ. මොකද, සම සමාජ පක්ෂයේ, කොමියුනිස්ට් පක්ෂයේ නායකයන්ට ලෙනින්ගේ මාක්ස්ගේ පොත් කියවන්නට ලැබෙන්නට ඇති. ඒවා මේ රටෙත් තිබෙනවා."

ලෙනින්ගේ එකතු කළ කෘති ගැන ඇහුවා ම ඔහු කියන්නේ එහි පොත් 32ක් ඇති බව හා ඒ සියල්ල කියවන්නට අවුරුදු ගණනක් යා හැකි බවයි. ඔහු සමහර කොටස් කියවා අවසන් කර ඇති බව ඔහු කියනවා. ඔහු ලෙනින් කියවන්නේ රුසියන් බසින්.

මා හිතන්නෙ විජේවීර මේ දෙන පිළිතුර අව්‍යාජ පිළිතුරක්. ඒ වගේ ම එය එදත්, අදත් ජවිපෙ දේශපාලනයේ මූලික ලක්ෂණයක්. ජවිපෙ මොන තරම් කුහක වුණත්, පොත් සම්බන්ධ කාරණේදි ජවිපෙ කුහකත්වයෙන් අඩුයි. 

මේක විග්‍රහ කරගන්නට වෙන්නෙ නිතර විවිධ දාර්ශනිකයන්ගෙන් උපුටා දැක්වීම් කරන මෝස්තරකාර නව වාමාංශිකයන්ට සන්සන්දනාත්මකවයි. මේ ප්‍රශ්නය ලංකාවෙ වර්තමාන වාමාංශික පඬිවරුන් කීපදෙනෙකුගෙන් ඇහුවොත් ඔවුන් කුමන උත්තරයක් දෙයි ද? 

මේ පොත් කියවන බව කියවන අයෙක් අවුරුදු පනහක් වයසයි කියමුකෝ. සීරියස් පොත් කියවන්නට පටන් ගත්තෙ අවුරුදු 15දී යයි හිතමු. ඉතින් අපි හිතමුකෝ මේගොල්ලන් වෙන මොකවත් ම කරන්නේ නැතුව පොත් ම කියෙව්වා ය කියලා. ඒත්, ඔය බරසාර පොත් සතියකට එකකට වඩා කියවන්නට පුළුවන් ය කියලා මම හිතන්නෙ නැහැ. එතකොට ඒ අය කොච්චර පොත් කියවලා ඇති ද? 52X35=1820යි. සැලකිය යුතු ගණනක්. හැබැයි ඔය පොරවල් යන එනකොට, වාඩි වෙනකොට, රූපවාහිනී තිරයට මුහුණ ඔබන කොට ඔලුව උඩ තියෙන බව පෙන්නන තරම් පොත් කන්දරාවක් නම් නෙමෙයි. 

මේ වගේ පඬියන් නිතර කියන කතාවක් නෙ ඒගොල්ලන් පාසලේ පුස්තකාලයේ තිබුණු පොත් ඔක්කොම කියෙව්වා, ඊට පස්සෙ නගර සභාවෙ පුස්තකාලෙ පොත් ඔක්කොම කියෙව්වා, ඊට පස්සෙ විශ්වවිද්‍යාෙල පුස්තකාලෙ ඔක්කොම පොත් කියෙව්වා ආදිය. තාර බැර ඇරලා ගන්න. 

හැබැයි ඉතින් අප වගේ සාමාන්‍ය නවකතා, කෙටිකතා, කවි, පත්තර ඔක්කොම වගේ ම සම්භාව්‍ය චිත්‍රපට ඔක්කොමත් මේ අය බලලා තිබෙන බව තමයි පෙන්නන්නේ. 

ඇත්තට ම මේ අය ලෝකෙ තිබෙන සම්භාව්‍ය ඔක්කොම කියවලා, බලලා, අධ්‍යයනය කරලා, හදාරලා, අවබෝධ කරගෙන තිබෙනවා ද?

ඒක ඉතින් ඔප්පු වෙන්නෙ ක්‍රියාකලාපයෙන් නේ. මා අහන්නෙ මේ මහා දැනුම් සම්භාරය භාවිතා කරලා මේ පඬියන් ලංකාවේ ජනතාවට තේරෙන විදියට විග්‍රහ කර දීලා තිබෙන්නේ මොන ප්‍රශ්නය ද? ඒ වෙනුවට ඔවුන් කර තිබෙන්නේ දැනුම සමාජයට එපා කිරීම නොවෙයි ද? හැබැයි එතනම තමයි මොවුන්ගේ පැවැත්ම තිබෙන්නේ. එය ඔවුන්ගේ භාෂාවෙන් ම කියනවා නම් binary opposition එකක් හෙවත් ද්විමය ප්‍රතිවිරුද්ධතාවක්. ඔවුන්ගේ පණ්ඩිතමානිත්වය අවධාරණය වන්නේ ම සමාජය නූගත් ය යන කරුණ අවධාරණය කිරීම තුළයි. සමාජය දැනුවත් වීමක් ඔවුන් කිසි විටෙක බලාපොරොත්තු වන්නේ නැහැ. හේතුව පැහැදිලියි. ඒ නිසායි සරළ දේ පවා සංකීරණ කර, නො තේරෙන විදියට ලියන්නේ. 

මීට ටික දිනකට ඉහතදී මා රෝසා ලක්ෂම්බර්ග්ගේ ප්‍රකාශයක පණ්ඩිතමානී ඉංග්‍රීසි පරිවර්තනයක් ඇසුරෙන් ඔය කරුණ ඔප්පු කර පෙන්වූවා. ඔය කියන පඬියන්ට තාම බැරි වුණා ඒ මහාචාර්ය පරිවර්තනයේ තේරුම පැහැදිලි කරලා දෙන්න. අභියෝගය තාමත් විවෘතයි. මෙන්න මෙතැනින් ලිපිය කියවන්න. මේ කියමන කොයි තරම් ඇත්ත ද? මිනිසා යනු භාෂාව විසින් අල්ලාගෙන වධහිංසනයට ලක් කරනු ලබන ආත්මයයි - ලකාන් 

මා මේ ඇතැම් පඬියන් ඇසුරු කර ලබා ඇති අත්දැකීම් ඇසුරෙන් කිව හැකි කරුණු කීපයක් තිබෙනවා. ඇත්තෙන් ම මොවුන් දක්ෂයන්. හොඳ බුද්ධිවාදීන්. කරුණු මතක තබා ගැනීමේ අති දක්ෂයන්. ඒ වගේ ම රටේ වෙදුන්. මොවුන් තමන් කියවූවා යයි පෙන්වන ඇතැම් පොත්, බැලුවා යි කියන චිත්‍රපට ඇත්තෙන් ම කියවා, බලා නැති වුණත් දක්ෂ ලෙස ඒවා පරිශීලනය කළ අය ලෙස පෙනී සිටීමට ඔවුන්ට හැකියාව තිබෙනවා. ඔවුන් කරන එක් කපටිකමක් වන්නේ මේ බරසාර පොත් ගැන සංක්ෂිප්ත වශයෙන් සටහන් වී තිබෙන වෙනත් ලේඛන කියැවීමයි. මොවුන් ඒ ලේඛන සාමාන්‍යයෙන් වෙනත් අයත් එක්ක බෙදා ගන්නවා අඩුයි.

කලක් මා ඇසුරු කළ එක් මෙවැනි පඬියෙකු රටේ ප්‍රකට සිනමාවේදියකුගේ චිත්‍රපටයක් පිළිබඳ පැවැත්වුණු සම්මන්ත්‍රණයකදී ඒ චිත්‍රපටය ගැන විචාරයක් ඉදිරිපත් කළේ චිත්‍රපටය නො බලා, ඒ ගැන අසා තිබුණු කරුණුවලින්. ඔහු එය කෙතරම් දක්ෂ ලෙස කළා ද යත්, සිනමාකරුවාත් එම විචාරය ගැන සතුටු වුණා. ඔවුන් කොහොමත් විචාර කරන්නේ පොරවල් සතුටු කිරීමටයි. එය ඔවුන්ගේ පැවැත්මේ එක් මූලධර්මයකි.

එහෙත්, මේ පඬියන්ගේ මා දකින සුවිශේෂ ම ලක්ෂණය වන්නේ ඔවුන් බුද්ධිමය නිර්මානශීලිත්වය අතින් අතිශය දුප්පත් වීමයි. තමන් කියවූ හෝ කියවූ බව කියන පොත්වලින් උපුටා ගත් කොටස් ගිරවුන් සේ වැමෑරීම මිස, ඒ දැනුම ප්‍රායෝගිකව භාවිතා කිරීමට හෝ නිර්මානශීලීව නව දැනුම නිෂ්පාදනය කිරීමට ඔවුන් සමත් වී නැහැ. 

එහි ප්‍රතිඵලයක් ලෙස මොවුන් ප්‍රායෝගික දේශපාලනයට ආ කල ඉතා පටු අවස්ථාවාදීන් බවට පත් වෙනවා. මෙයට හොඳ උදාහරණයක් තමයි පෞද්ගලික අධ්‍යාපනය සම්බන්ධ ප්‍රශ්නයේදී ඔවුන් ගෙන තිබෙන බාල ජනප්‍රිය ස්ථාවරය. ජාතීන්ගේ ස්වයං නිර්ණ අයිතියට, සමලිංගිකත්වයට, ගණිකා වෘත්තියට, ගබ්සාවට, ගංජාවලට ආදියට පවා පක්ෂ ඔවුන් සයිටම්වලට පමණක් විරුද්ධ වෙන තර්කනය නිර්මානය වන ආකාරය ඉතා හාස්‍යජනකයි. 

ජාතීන්ගේ ප්‍රශ්නයේදී බලය බෙදා ගැනීමට පක්ෂව ඔවුන් ඉදිරිපත් කරන තර්කවලට ප්‍රතිපක්ෂව ජවිපෙ වැනි අන්තවාදීන් ඉදිරිපත් කරන කාරණයක් වන්නේ ජාතික ප්‍රශ්නය විසඳිය හැක්කේ පූර්ණ සමානාත්මතාව ඇති කළ හැකි සමාජවාදය තුළින් පමණක් බවයි. එතැනදී මේ පඬියන් ඉතා දක්ෂ ලෙස බලය බෙදා ගැනීම වෙනුවෙන් තර්ක කරනවා.

හැබැයි, පෞද්ගලික අධ්‍යාපනය හා අධ්‍යාපන නිදහස පිළිබඳ ප්‍රශ්නයේදී ඔවුන්ගේ අපූරු තර්කනය වන්නේ ඔවුන් සමස්ත වෙළඳපොළට ම විරුද්ධ බවයි. අධ්‍යාපනය හා සම්බන්ධ මේ වෙළඳපොළ නැති සමාජයත්, ජාතික ප්‍රශ්නය විසඳිය හැකි සමාජවාදී සමාජයත් දෙක ම එක වගේ ෆැන්ටසි දෙකක් විතරයි. 

හැබැයි මේ පඬියන්ගේ හැසිරීම තේරුම් ගන්නට පුළුවන් වන්නේ වෙනත් දෙයක් ඔස්සේ නෙමෙයි, වෙළඳපොළින් ම තමයි. ජාතික ප්‍රශ්නයේදී ඔවුන්ට බලය බෙදීමට පක්ෂ වෙන්නට පුළුවන් හා ඒ වෙනුවෙන් දිවි හිමියෙන් තර්ක කරන්නට හේතුව තමයි, සාමය වෙනුවෙන් ලංකාවේ සංසරණය වුණ රාජ්‍ය නොවන සංවිධාන මුල්‍ය වෙළඳපොළ. මේවා ගැන කතා කළොත් බල්ලන් බත් කන එකක් නැහැ.

අධ්‍යාපනයේදී සයිටම් විරෝධී වෙන්නට හේතු වන්නේත් වෙළඳපොළ හා බලය පිළිබඳ කාරණායි. වෙළඳපොළ එයට සම්බන්ධ වෙන්නේ වෛද්‍යවරුන්ගේ බදු නො ගෙවා වංචා කරන මුදල්වලින් ඔවුන්ට ලැබෙන සොච්චම නිසා වෙන්නට පුළුවන්. බලය සම්බන්ධ වන්නේ විශ්වවිද්‍යාල සිසුන් බිලි පූජාවට යවා බලයට ෂෝට් කට් හදාගෙන විප්ලව කළ හැකි යයි සිතන පරණ පුරුදු අසූනමය ශ්‍රී මෝඩ තර්කනයෙන්මයි.  

විජේවීර පොත් කියවා, පොත් නො කියවන, කියන දේ පමණක් අහන පක්ෂයක් හැදුවා. ඒ පක්ෂයට එරෙහිව පොත් කියවන්නට පටන් ගත් කැරැලිකාරයෝ පොත් කියවන බව කියන, පොත් පෙරළීමෙන් පෞද්ගලික අනන්‍යතා ගැටලු විසඳා ගන්නා ආගමික කල්ලි නිර්මානය කළා.

අවසානයේදී දෙකම එකයි. අපි තාමත් එතැනමයි.   

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පොත් ගැන පොත් මක්කටැයි?

    ReplyDelete
  2. පැරාට විෂ්වවිද්‍යාලයකට ඇතුලුවීමට බැරිවුනු ඇරියස් එක පඩියන් මතින් යැවීම...

    ReplyDelete
    Replies
    1. ඒක මතක් කරපු එක හොඳයි. දැන් ඔය විශ්වවිද්‍යාලවල සිසුන්ට හා විශේෂයෙන් ම ආචාර්යවරුන්ට පොත් කියවන්නටත් මේ රටේ මහජනතාව බදු ගෙවලා තිබෙන බව මතක් කළ යුතුයි. පොත් කියවන එක ඒ අයගේ සමාජ වගකීමක්. එ් වෙනුවට ටියුෂන්, පොසිටිව් තින්කිං අරවා මේවා නො කර පොත් ම කියෙව්වා ය කියන එක සමාජයේ විශේෂ ගෞරවයක් ලබන්නට දෙයක් නෙමෙයි. මොකද, ඒකට සමාජය ගෙවලා තිබෙනවා. ඒක නො කරන එවුන් සම්බන්ධයෙන් සමාජයට තියෙන්නෙ ඔඩිට් ප්‍රශ්නයක්.

      Delete
  3. හොඳින් පොත් කියවා ඇති අයෙකු හඳුනා ගත හැකි ලක්‍ෂණයක් තමයි ඔහු හෝ ඇය ලිපි ලේඛන පොත් පත් ලියා තිබීම. නැතිනම් පොත් කියවීමයි, ටෙලිවිෂන් බැලීමයි අතර ලොකු වෙනසක් නෑ!

    ReplyDelete
  4. පැරා, පුස්තකාලයක තියෙන සේරම පොත් කියවල ඉවර වෙන්න නම් වර්ෂ අවසාන සංගණනයේ දී සේරම පොත් ගෙදර ගෙනිහින් කියවන්න වෙයි!


    කොහොමත් පැරා, පොත් 1820ක් (බරසාර) කියවල විතරක් මදි, මතක තියාගන්නත් එපැයි.


    මං ගොගල්ගෙ මළ මිනිස්සු කියෙව්ව මාසයක් විතර... තවම අවුල් වගේ...



    කේ.ජයලත් මහත්තයගේ ලස්සන ඇස් නම් දවස් 3යි....




    දැන් නම් ජවිපෙ ඉන්නව පොත් කියවන සෙට් එකක්.. මං දන්නෑ ඉස්සර ගැන. හැබැයි ඒ අතරට ගිරවෙක් දෙන්නෙකුත් ඉන්න එක තමයි අවුල!

    ReplyDelete
  5. පැරකුම් මහත්තයගෙ ගෙවල් යටදොළ කිට්ටුව ද? නැත්නම් මතුගමින් මොන පැත්තට වෙන්න ද?

    ReplyDelete
  6. හැමෝම පොදු මහජනයාට පොත පෙරලලා තමයි තියෙන්නේ.

    ReplyDelete
  7. Lankawe baka pandithayange niruwatha blog awakashaye mese ella thabeema gana parata mage upaharaya!!!

    ReplyDelete
  8. //රෝසා ලක්ෂම්බර්ග්//

    https://www.amazon.co.uk/Time-Again-Ben-Elton/dp/0552779997

    ReplyDelete
  9. මේක එච්චර අමාරැ ලිවීමක් නෙමෙයි. නමුත් තේරුම වටහාගත හැකි රටා පිළිබඳව සමීප නොවීම අදහස තේරුම් ගැනීමට බාධාවක් වෙන්න පුළුවන්.

    මුලින්ම මේ වාක්‍යය කලින් වාක්‍යයේ (Freedom is always and exclusively freedom for the one who thinks differently. ) අදහසට සම්බන්ධ වෙනවා. ඒ වාක්‍යයේ එන අදහසට හේතුව තමයි මේ වාක්‍යයේ එන්නේ. වරහනකින් තේරුම වටහාගත හැකි ආකාරය පැහැදිලි කළ හැකි යි.

    ... Not because of any fanatical concept of “justice” but because (all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic), and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

    ReplyDelete
    Replies
    1. මේ වරහන නො දාන්නෙ ඇයි? ඒක මිනිසුන්ට තේරෙන නිසා. අන්න එතනයි දේශපාලනය තියෙන්නෙ.

      Delete
  10. පැරා, ඔබ ඔය කලින් කියපු වාක්‍යය ගැන යළිත් කතා කිරීම වැදගත්. සන්දර්භය ගැන අනවබෝධය හැම තිස්සෙම බාධකයක් බවයි මට නම් හිතෙන්නේ. රෝසා මේ ලියන්නේ පක්ෂ සාමාජිකයින්ගේ නිදහස සීමා කිරීම ගැන.

    Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.

    මේ වාක්‍යය මේ ජේදය ඇතුළේ කියවමු.

    “Freedom only for the supporters of the government, only for the members of one party – however numerous they may be – is no freedom at all. Freedom is always and exclusively freedom for the one who thinks differently. Not because of any fanatical concept of “justice” but because all that is instructive, wholesome and purifying in political freedom depends on this essential characteristic, and its effectiveness vanishes when “freedom” becomes a special privilege.”

    එතකොට මෙහෙම පරිවර්තනය කරන්න පුළුවන්.

    (නිදහස සැමටම සමානව ලැබිය යුතු දෙයක් වන්නේ...), 'යුක්තිය' පිළිබඳ උමතුවකට ලංවෙන තරම් උද්යෝගී සංකල්ප නිසා නොව, දේශපාලන නිදහස පිළිබඳ සිතුවිලි පුබුදු කරවන, යහපත්, සහ ශුද්ධවන්ත සෑම අදහසක්ම රැඳී ඇත්තේ ඒ ගුණය මත (නිදහස සැමටම ලැබීම සාමාන්‍යය තත්වයක් වීම මත) නිසාය. 'නිදහස' විශේෂ වරප්‍රසාදයක් වූ විට එහි කාර්යක්ෂමතාව (සැබෑ අරුත) අතුරුදහන් වී යයි.

    මේක තේරුම් ගන්න බැරිවෙන්න, සමහරවිට තේරුම් ගන්න ඇති අකමැත්තත් හේතු වෙන්න පුළුවන්. මේ ලියන්නේ ආදරෙන්.

    ReplyDelete
  11. ලංකාවේ හුඟක් අය ලියන සිංහල අපැහැදිලි ඒ අයට සිංහල බැරි නිසාසහ ලියන්න ඕනැ අදහස පැහැදිලි නැති නිසා මිසක් දේශපාලනික උපක්‍රමයක් නිසා නෙවෙයි. ඒ අය එච්චර දියුණු නැහැ. නමුත් මේ කලැසික් මාක්ස්වාදී ලේඛණ, ගම්ලත්ගේ ලේඛණ ආදිය ඒ ගොඩටම දැමීම එච්චරම හොඳ දැක්මක් නෙමෙයි. ඒක හුඟක් වෙලාවට මේ ලේඛණ ලියපු යුගය ගැන, සංකල්ප ගැන, ඉංග්‍රීසී සහ වෙනත් භාෂාවල යෙදුම් ගැන රටා ගැන අනවබෝධය සහ මේ සංකල්පවලට තියෙන ප්‍රතිවිරෝධය.

    ReplyDelete
  12. කැප්පෙටිපොලලා, වීර පුරන්අප්පුලා වීරයින් ලෙස නම් කළා සේ,
    1971, 88 - 89 දී පැවැති රජයන් සමඟකැරලි ගැසීමෙන් දේශද්‍රෝහී ලේබල් ඇලවුණු විඡේවීර ඇතුළු සියලු දෙනා ජවිපෙ ආණ්‌ඩුවක්‌ යටතේ විරුවන් ලෙස නම් කරනවා.
    -ලාල් කාන්ත අනුරාධපුරයේදී කියයි.(දිවයින 03.07.2017)


    එතකොට පැරත් විරුවෙක්,කමක් නැද්ද පැරා?
    පිස්සූ..නේ ...

    ReplyDelete
    Replies
    1. හසලක විමල්March 7, 2017 at 10:34 PM

      එතකොට පැවැති රජයන් සමඟ කැරලි ගැසූ LTTE සමාජිකයනුත් ජවිපෙ ආණ්‌ඩුවක්‌ යටතේ විරුවන් වෙනවද ලාල්කාන්ත.

      Delete
  13. තෑන්ක්ස් පැරා. අපේ සහෝදරවරු අපට දැන්වුවා කව්රු හරි අපේ පරණ ලියවිලි රිට්රීව් කරනවා කියලා ආකයිව්ස් එකට රිංගං. දවස් දෙක තුනකට ඉස්සර වෙලා. පරණ ආර්ටිකල්ස්වලට ට්‍රැෆික් එක ක්ෂණිකව වැඩි වෙලා නිසයි ඒ අය බලල තිබ්බේ මොකද කේස් එක කියලා. අප දැනගත්තා උඹ තමයි ලොග් ඉන් වෙලා ඉන්නේ කියලා. කමක් නැහැ පැරා. අප මැරිලා කියලා හිතාගෙන ඉන්න උඹට බැහැ බං. උඹ මෙතන හැදුවේ අප උඹ නොදැක්කා වගේ හිටපු කාලේ කවුන්ටර්ක්‍රියේට් කරලා පොඩි එරියර්ස් කවර් කිරීමක් කරන්න. උඹට අමාරුයි එහෙම කරන්න මචං.

    උඹ කාලෙකට ඉස්ස‍ර අපට කිව්වා අප අපේ පරණ ආර්ටිකල් රීසයිකල් කරනවා කියලා. ඇත්තෙන්ම උඹනේ බං දැන් එහෙම කරන්නේ. උඹේ මේ ආර්ටිකල් එක හොඳයි. උඹ අප ගැන සෑහෙන්න මහන්සි වෙලා. තෑන්ක්ස් මචං. ඒත් උඹේ ආර්ටිකල් එකේ මළ ඇඬඇඬියාව කියා පාන්නේ උඹට හරි අධ්‍යාපනයක් ලබා ගන්න බැරි වුණ එකේ කන්ට්‍රිශන් එක කියලයි අපේ සහෝදරවරු කියන්නේ.

    අප කවදාවත් උඹගේ උපත, කුලය, පීඩිත පන්ති පවුල් පසුබිම, උඹේ අධ්‍යාපනය වගේ දේවල් උඩ දේශපාලන විවේචන ගෙනල්ලා නැහැ. අප විස්වාස කරන දෙයන් තමයි උඹට චොයිස් එකක් නොතිබුණ දේවල් ගැන අපි හාර්ෂ් ක්‍රිටිසිසම් එකක් කරලා වැඩක් නැහැ කියන එක. ඉපදෙන්න කලින් උඹට චොයිස් එකක් තිබුණා නම් උඹ බෙරවාය-සලාගම පවුලකල වාසගම වෙනස් කරගත්ත පරම්පරාවක ඉපදෙන්නේ නැහැනේ පැරා. එහෙම චාන්ස් එකක් තිබ්බා නම් උඹ එංගලන්තේ රජ පවුලේ ඉපදෙයි. උඹට රෝයල්, සෙන් තෝමසස්, ට්‍රිනිටි, කිංග්ස්වුඩ් වගේ කොලේජ් එකකට හරි ආනන්ද, ධර්මරාජ වගේ කොලේජ් එකකට හරි යන්න චොයිස් එකක් තිබුණා නම් උඹ නොගිහිල්ලා ඉන්නේ නැහැනේ පැරා. ඉතිං අප ඒ එසෙන්ශල්ස් උඩ උඹට ගහන්නේ නැහැ.

    ඒත් උඹ එහෙම නෙමෙයි. උඹ සල්ලිකාර ෆැමිලි එකක ඉපදුන එකාට වෛර කරනවා. උඩරට රදලයාට වෛර කරනවා. ක්වලිටි අල්මා මේටා එකක් තියෙන එකාට වෛර කරනවා. උඹට තේරෙන්නේ නැති ඉංග්ලිශ් ඇක්සන්ට් එකක්, වොකැබ්‍යුලරි එකක් තියෙන එකාට වෛර කරනවා. ඉංග්ලිශ් පුළුවං භාර්යාවක් ඉනින එකාට වෛර කරනවා, ඉන්ටර්නැශනලි රෙකග්නයිස්ඩ් ලෙෆ්ටිස්ලාට වෛර කරනවා. උඹ නේද මචං ඇත්තටම කුණු වෙලා තියෙන්නේ? උඹ නේද මචං ඇත්තටම දුෂ්ට වෙලා තියෙන්නේ? උඹ නේද මචං ඇත්තටම කුහක වෙලා තියෙන්නේ?

    උඹට මචං උසස් අධ්‍යාපන ඉක්ස්පෝශර් එකක් නැති නිසා රීඩින් කියන ප්‍රැක්ටිස් එක ගැන කොග්නිශන් එකක් නැහැ. උඹට තේරෙන්නේ නැහැ උඹ දන්නවට වඩා එෆිශන්ට් රීඩින් ටෙක්නික්ස් තියෙන බව. උඹට හොඳ ටීම් එකක් නැහැ. උඹට වඩා මාලක සිල්වා හොඳයි. ඌ වේ ගැන හොඳ පොතක් අතට හරි අරන් තියෙනවා. උඹ තාමත් මාලීනි ළඟ නතරවෙලා. උඹත් එක්ක ඇකඩමික් ප්‍රොෆෙශනල් පර්සනැලිටීස් පාර්ට්නර්ශිප් එකක් හදාගන්නේ නැහැ. උඹට කලා අනුමණ්ඩලයක් නැහැ. ලර්නඩ් අය උඹෙන් ඈත් වෙනවා උඹ උගත්කමට ගරහන නිසා. ඉතිං උඹ ඇස්ටොනිශ් වෙනවා අනික් එවුන්ගේ කන්ට්‍රිබ්‍යුශන් දැකලා. දැන් උඹ ලේට්. යුවර් හේ ඩේ හැස් ඕල්රෙඩි ගෝන්. දැන් උඹ පික්සු කෙළින්නේ නැතිව හිටපං පැරා.

    පැරා මචං, ජීවිතය දෙස, අනාගතය දෙස ආදරෙන් බලපං. උඹ සන්නගෙන් ඉගෙන ගන්න ඕන වැදගත්ම දේ ඒකයි. උඹ අහක යන කුණු ගොඩවලට අප ඈඳා ගන්න එපා මචං. අප උඹේ තරහාකාරයන් නොවෙයි. අපට උඹ ගැන අවංකවම දුකයි පැරා. උඹ ඔතන ඉන්න ඕන එකෙක් නොවෙයි. නිරපරාදේ නාස්තිවෙලා ගිය ටැලන්ට් එකක් උඹ.

    පැරා අප අවංකව පතනවා උඹට හැකි ඉක්මනින් සරස කෙළවර කර අමා මහා නිවන් සැප ලැබෙන්න කියලා.

    (ආයෙත් වරෙන් අපේ පරණ ආර්ටිකල් බලන්න. හොරෙන් එන්න ඕනේ නැහැ බං. උඹ වගේ අපේ සහෝදරවරු එන එවුන් එලවන්නේ නැහැ. කොච්චර උත්සාහ කළත් උඹට අප අමතක කරන්න බැහැ. අපටත් උඹ අමතක කරන්න බැහැ. මොකද උඹලා අපි හොදින් හිටිය කාලේ අප හැමෝගෙම මොස්ට් ප්‍රඩක්ටිව් ඊරා එක.)

    පැරාට ආදරයෙනි. චියර්ස් පැරා.

    ReplyDelete
    Replies
    1. මොකක්ද මචං මේ ආකයිව් එක බලන හුටපටේ. මචං උඹලගෙ ඇලෙක්සා රෑන්ක් එක බැලුවාම පේනවා උඹලට විසිටර් කෙනෙක් කොච්චර වැදගත් ද කියලා. ඉරිසියා නො කර උඹ අපේ සයිට් ඉන්ෆොමේෂන් බලපන්. අපට වැඩිපුර ම රීඩර්ස්ලා එන්නේ ගූගල් හරහායි. ඒ කියන්නේ අපේ ආකයිව්ස්වලට හැම තිස්සෙම ට්‍රැෆික්. අර බීබීසී එකේ බාලචන්ද්‍රන් ෆොටෝ එක නිසා තමයි උඹලට ට්‍රැෆික් එන්නෙ.

      මචං පඬි ටෝ්ක් නතර කරලා අපෙන් ඉගෙන ගනිල්ලා. මේවා නිකම් පහළ වුණ දේවල් නෙමෙයි. උපායික වැඩ කරලා, මහන්සි වෙලා අත්පත් කර ගත් ජයග්‍රහණ.

      එක්ස්පෝෂර් එක ගැන මට කියන්නට තිබෙන්නේ මචං, උඹලා ගැන පව් කියලා විතරයි. මට ඒවාට උත්තර දෙන්නට උවමනාවක් නැහැ. උඹලා ඔය කියන ඒවා එකක්වත් මට අද වන විට වැඩක් නැති බව උඹලාට මොළයක් ඇත්නම් තේරෙන්නට ඕනැ.

      මචං, ඔය සරණාගත තත්වය තුළ උඹලාට අති දැවැන්ත දේවල් විදියට පෙනෙන තැනුත් අපි දැන් අධ්‍යයනයන කරමින් ඉන්නවා.

      මගේ විවේචනය මම ගෙනෙන්නේ ලොකු ස්ටඩි එකකින්. මේ ලෝකෙ ම බොරුවෙන් පිරිලා. උඹලා වගේ වාමාංශිකයන් කරන හිඟන බොරුවලට වඩා දැවැන්ත බොරු මේ සමාජයේ තිබෙනවා.

      මම වාමාංශිකයන්ගේ බොරුව මේ තරම් හෙළිදරව් කරන්නේ අපේ පාඨකයන්ව සම්පූර්ණයෙන් ම උඹලාගෙන් ගලවන්නටයි. එහෙම නැතුව වාමාංශිකයන්ට කිසිම ඵලදායී දෙයක් කරන්නට පුළුවන් නිසා නෙමෙයි. උඹලා ළඟ තියෙන්නේ නාස්තිකවාදයක් විතරයි. ලංකාවේ ආන්තික වාමාංශික කණ්ඩායම් හැසිරෙන හැටි බලන්න. අපි නෙමෙයි මචං වල කපන්නේ. උඹලාගේ එවුන් ම තමයි වල කපා ගන්නේ.

      අලුතෙන් හිතන පරපුරක් දැන් හැදෙමින් ඉන්නවා. ඔය භාෂාව අතෑරලා අලුත් භාෂාවකින් කතා කරන්න පටන් ගන්නට දැන් කාලෙ හරි. මාත් ඒ ගැන හිතමින් ඉන්නවා. එතකොට උඹලාට උඹලාගේ පුංචි ලෝකයේ සමාදානයෙන් සැතපෙන්නට පුළුවන්.

      මචං මං උඹලාත් එක්ක තරහක් නැහැ. හැබැයි, මෙහේ ඉතුරු වෙලා ඉන්න වාමාංශික ය කියන පිස්සන් කරන දේවල් දැක්කාම අතීත විහිළුත් ඒවා එක්ක ගලපන්නට වෙනවා. උඹලාව පැටලෙන්නෙ එහෙමයි. මං ඒකත් ළඟදි ම නවත්තනවා.

      Delete
  14. "ඇට මැස්සා" තියරියද ලොක්කෝ?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා