වීරයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කරනු

බ්ලොග් සම්මාන උළෙලේදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් එම සම්මාන උළෙලට විවිධාකාරයෙන් සම්බන්ධ වූ අයටත් බැනුම් අසන්නට සිදු වී තිබේ.

මෙම සම්මාන උළෙලේදී මට සම්මානයක් ලැබුණා නම් ඒ ගැනත් හොඳ කතා අසන්නට ලැබෙන්නට ඉඩ තිබිණි.

බ්ලොග් සම්මාන උළෙලක වැදගත්කම මා නම් දකින්නේ අන් කිසිදු හේතුවක් නිසා නො ව, විකල්ප මාධ්‍ය භාවිතාවන් හා පුරවැසි මාධ්‍යකරණය ප්‍රවර්ධනයට හා දිරි ගැන්වීමට එය මහෝපකාරී වන බැවිනි.

මට නම් පෞද්ගලිකව ගත් කල, බ්ලොග්කරණය දේශපාලන හා සමාජ භාවිතාවක් වන හෙයින් මට වැදගත් වන්නේ සම්මාන නො ව, බ්ලොග් කියවීමට පැමිණෙන පාඨක පිරිසයි.

ඒ කෙසේ වෙතත්, මෙම සම්මාන උළෙලෙහිදී රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සම්බන්ධයෙන් බොහෝ දෙනෙකුට එම වැඩසටහන නිම වී ගෙදර යාමෙන් පසුව හෝ දැඩි කලකිරීමක් ඇති වීම සාධාරණය යයි මම සිතමි. එහෙත්, වැඩසටහන අතරතුර බැරි නම්, වැඩසටහන නිම වූ සැණින් හෝ සංවිධායකයන්ගෙන් ඒ පිළිබඳ ප්‍රශ්න කළා නම් හොඳ ය. 

ඇතැම් විට, එහෙම වෙන එකත් මේ පිටපතේ ම කොටසක් විය හැකි ය. 😖😖😖

කෙසේ වෙතත්, මෙතන තිබෙන ප්‍රශ්නය අප වැඩි දෙනෙකු වීරයකු ලෙස පිළි ගන්නා පුද්ගලයකුගේ නමක් මෙම සන්සන්දනය සඳහා යොදා ගැනීමයි. 

පිළිගත් වීරයකු වීමට අවශ්‍ය සාධක කීපයක් තිබේ. 

1. වීරයකු වන්නට අපේක්ෂා කළ අයෙකු නො වීම
2. වීරයකු වීමට තරම් වැදගත් සමාජමය මැදිහත් වීමක් කර තිබීම
3. එම සමාජමය මැදිහත්වීම සම්බන්ධයෙන් සමාජය දැනුවත් වීම
4. වීරයකු වීමෙන් පසු ඉක්මණින් මිය යාම

වීරයකු වනවාට වඩා වීරත්වය රැක ගැනීම අමාරු ය. හතරවන කාරණය මා මෙහි දැක්වූයේ ඒ නිසා ය. වීරයන් වෙලාත්, ඇතැමෙකු වීරත්වය අහිමි කරගෙන මිය යන්නේ ඒ නිසා ය.

එහෙත්, තුන්වන කාරණය ඉෂ්ඨ නො වීම නිසා වීරයන් වුණත්, වීරයන් ලෙස පිළිගැනීමක් නො ලැබෙන පුද්ගලයෝ රැසක් සමාජයේ සිටිති.

ඒ කොයි හැටි වෙතත්, වීරත්වය යනු ඇත්තෙන් ම වීරයා සතු ගුණයකට වඩා වීරයාට අදාළව සෙස්සන් තුළ ඇති මානසික ගොඩනැගීමකැයි මම සිතමි.

රාජිත සේනාරත්න නූතන සේනක බිබිලේ ලෙස හැඳින්වීම සේනක බිබිලේට කරන අවමානයක් නො වේ. මක් නිසාද යත්, එය සේනක බිබිලේට අදාළ නැත. රාජිත සේනාරත්නට අදාළ ය. රාජිත සේනාරත්න මෙම කියමන කියලා කියවා ගත්තා ද යන්න අපි නො දනිමු. 

එසේම, එය අදාළ වන තවත් පිරිසක් වෙති. ඒ වනාහි, එයින් සේනක බිබිලේට අවමානයක් වුණා ය කීමෙන් තමන්ට සම්මාන දී ගන්නට හදන අයයි. සේනක බිබිලෙලා අපි වගේ අය ලෙස පෙනී සිටින්නට කැමති අයට ය. නැතිනම්, නයින්ගෙ අපේ වැඩ කොහොමදැයි අසන ...... එක්කො ඕනැ නැහැ. මේ වනාහි රාජිත සේනාරත්නගේ අනෙක් පැත්තයි.

මෙවැනි ප්‍රශ්නවලට විසඳුම වන්නේ වීරයන් සම්බන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇති කිරීම යයි හෙට සිට කිසියම් පිරිසක් කියන්නට පටන් ගත්තොත් පුදුම විය යුතු නැත.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය ජනතා වීරයො ප්‍රගතිශිලියෝ පොදුජන කලාකරුවෝ කියාගෙන ඇඳගෙන සහ අන්දවමින් හිටපු ගොඩ දෙනෙක්ව බලු කුක්කො ගිරවු බවට පත් කරල පජාතම කරල දැම්මෙ මහින්ද ලොක්ක. වීරකමත් සාපේක්ෂයි. දැන් ඔය දොරමඩලාවේ එහෙම බණ කියාගෙන දායක දායිකාවන් පිරිසක් හදා ගෙන පිළිමයක් වගේ වන්දනා කරපු විට්ටර් මහත්තය කිරි ටොයි ගැටිස්සියක් බැඳගෙන දැසි දස්සන්ගේ ආතල් කුඩු කරපු සැනින් කොටු පැන්නට කමෙක් නෑ ගුටි නොකා වගේ දර්ශනේ මාරු වූ සැනින් පිළිමෙ බිඳෙනව ද්‍රෝහියෙක් උපදිනව.

    ReplyDelete
  2. පැරාට එතැනදී සම්මානයක් හම්බවුනානම් රාජිතට වැදලා පිලිගන්නවා මිස ඔහොම කියන්නෙ නෑනෙ...

    ReplyDelete
    Replies
    1. අනියමාර්ථ අසම්භාව්‍ය ක්‍රියාව යථාර්ථයට අදාළ නැහැ.

      පැරාට සම්මානයක් ලැබුණෙ නැහැ. ඒ නිසා රාජිතට වැඳලා පිළිගත්තෙත් නැහැ.

      ඇත්ත අන්න ඒක. අනෙක් ඒවා ඔබේ හිතේ තියෙන ඒවා.

      Delete
  3. මම ලීවෙ එහෙම කියපු එක සේනක බිබිලෙ නමට අපහාසයක් කියල.
    වීරයෙක් වෙන්න හොඳ ප්‍රොපගැන්ඩ කැම්පේන් එකක් තිබුණොත් ඇති

    ReplyDelete
    Replies
    1. සේනක බිබිලේ වීරයෙකු වන්නේ කොහොමද යන කරුණ ඔස්සේ මෙම ලිපිය පාදක කරගෙන ෆේස්බුක්හි සංවාදයක් යනවා.

      සේනක බිබිලේ ගැන මට ගැඹුරු හැදෑරීමක් නැහැ. 1970-77 සමගි පෙරමුණු ආණ්ඩුවේ ආර්ථික ප්‍රතිපත්ති මට නම් සමාජවාදී වීර ක්‍රියා නොවෙයි. ජන ජීවිත මතින් කරන ලද අසාර්ථක පරීක්ෂණ. සේනක බිබිලේගේ වීරත්වය මට නම් අදාළ වන්නේ වීරයන් ගොඩනැගීමේ ක්‍රියාවලිය තුළින් ඔහු ලද සාමාර්ථ්‍යය නිසායි. මූලිකව ම ඔහුගේ වීරත්වයට මෙතෙක් කිසිවෙකු අභියෝග කර තිබුණේ නැහැ.

      සේනක බිබිලේ වීරයෙකු වන්නේ කොහොම ද කියන අභියෝගය මේ පිළිම පෙරහරේ වඩම්මන අයට ඉදිරිපත් කරන එක හොඳයි. ඒ අය ඒවාට පිළිතුරු දෙන එකත් හොඳයි. වීරත්වය පිළිබඳ ඒ වගේ ෆලෝ අප් එකක් වුණත් නරක නැහැ නේ ද? අඩු තරමේ තමන්ගේ වීරයා කළ දේ ගැන දැනුම හෝ අප්ඩේට් වෙන එක හොඳයි.

      සේනක බිබිලේ වීරයකු වන එක හෝ රාජිත සේනාරත්න ද්‍රෝහියකු වන එක හෝ මට නම් එතරම් වැදගත් නැහැ. සමාජයට බලපෑම් සහගත මැදිහත්වීම් කර තිබෙන හැම කෙනෙකු ම වීරයන් ලෙස පිළිගැනීමට ලක් වෙලා නැහැ.

      Delete
  4. වීරයකු හදන්න නම් ඉස්සෙල්ලම දූෂ්ඨයකු හදල ඉන්න ඕන

    ReplyDelete
  5. මොනතරම් බාධක මැද්දේ වුවද බ්ලොග් සම්මාන උළෙලක් වසරක් පාසා පැවැත්වීමට හැකිවේවා

    ReplyDelete
  6. මට අනුව නම් වීරත්වය පවත්වා ගැනීමේ පහසුම ආකාරය තමා වීරයෙක් වූ පසුව ඉක්මනින් මියයාම,

    බ්ලොග් සම්මාන උළෙලට මේ තරම් බිය වෙන්නේ මොකටද කියන එක තමා මට තවම හිතාගන්න බැරි. තමන් ලියන කියන දේ සම්මානයක් මත රඳා පවතින්නේ මොන විදිහටද කියන එක මට නම් තේරෙන්නේ නෑ.
    බ්ලොග් කියන්නේ පුරවැසි මාධ්‍යයක් නම් , තමන් බ්ලොග් ලියන්න කියවන්න පටන් ගත්තේ තමන්ගේ වුවමනාවට (Personal Interests) නම් , කොහෙවත් තියෙන සම්මාන උළෙලක් ගැනයි , ඒ සම්මාන උළෙලට දේශපාලකයෝ එන එක ගැනයි , එකෙන් අනික් අයට තියෙන වේ අජෙන්ඩා ගැනයි වදවෙන්න හේතුවක් නෑ .
    මොකද හිතන්නේ ලියන්නේ නිදහස්ව නිවහල්ව නම් ඒ කිසි දෙයක් නිර්මාණකරණයට අදාළ වෙන්නේ නැති නිසා.
    විරුද්ධ වෙන අයට තියෙන බය බ්ලොග් නැතිවෙයි කියල නම් ඒ කියන්නේ ඔවුන් යමෙක් ගේ අතකොලු වෙන්න අවස්තාවක් ලැබෙන තුරු බලන් ඉන්න අය කියලා හිතන්න වෙනවා .

    අනික එන දේශපාලකයාගේ සුජාත භාවය හොයන එක ගණිකාවකගේ කන්‍යාභාවය හොයනවට වඩා වෙනස් දෙයක් නෙවෙයි . මටනං ඔතන රාජිත හිටියත් එකයි , මර්වින් සිල්වා හිටියත් එකයි ඥාණසාර හිටියත් එකයි

    ReplyDelete
    Replies
    1. //සේනක බිබිලේ ගැන මට ගැඹුරු හැදෑරීමක් නැහැ.//
      ඇත්තටම ප්‍රවීන බ්ලොග් කරුවෝ ලෙස හදුන්වන ඔබල මේ රටේ මිනිසුන්ට සැබෑම සේවයක් කල මිනිසුන් කවුද කියන දේ නොදනිම හෝ දැනුවත්ව නොදන්නවා සේ ඇගවීම පිළිකුල් සහගතයි පැරා සේනක බිබිලේ නොහිටින්න රජයේ ඔවුෂද නීතිගත සංස්ථාව නොතිබෙන්න හොදටම ඉඩතියනවා, අද රජයේ නිපදවන ඔය බෙහෙත් ටිකවත් ඉතිරිවෙලා තියෙන්නේ 1970 සහ 1977 යුගයේ සේනක බිබිලේ කරපු දායකත්වය නිසයි. අද සයිප්‍රසයේ පාවිච්චි වන්නේත් සේනක බිබිලේ ඔවුෂද ප්‍රතිපත්තියයි, සරලව කියනවනම් ලෝකේ සෑම බෙහෙතකටම ඔවුද්ෂද නාමයක් තියනවා ඒ වගේම විවිද වියාපාරික සමාගම් තම සමාගමේ වාණිජ නාමයෙන් මේ කියන එකම අමුද්ද්ර්ව්‍ය විශාල මිලකට අලවිකරනවා සේනක බිබිලේ මහතා කලේ ඔවුෂද නාමයෙන් බෙහෙත් ලියන්න නියම කිරීමයි මෙතැනදී මේ වාණිජ සමාගම් ගෙනාපු තර්කය තමයි හොද ගුණත්වයෙන් යුත් බෙහෙත් මේ ක්‍රමය නිසා රෝගියාට නොලැබෙන බවයි නමුත් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක උනානම් රටේ විශේෂ රජයේ පරික්ෂනාගාර වල තත්ව සහතික කරන ලද ක්‍රමයක් ඇති කලානම් රෝගීන්ට අඩුමිලට ඉහලම ගුනත්වයන් යුත් බෙහෙත් ලබාගන්න තිනුන.

      නමුත් පසුකලකදී රජය කල කපටි දේ තමයි මේ පරීක්ෂණ පහසුකම් බෙහෙත් කීපයකට සිමා කිරීම සහ රජයේ පරීක්ෂණ අංශ දියුණු නොකිරීම. නමුත් සයිප්‍රසය වැනි රටවල් මේ ක්‍රමය සම්පුර්ණයෙන් පාවිච්චි කළා.

      සේනක බිබිලේ ගේ විශේසත්වය ඔහු මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට සිමා නොකර ලෝක සවුක්ය සංගමයේ ඉහල තනතුරක් සදහා තරග කිරීම ඔහුට මරණය කැදවනු ලැබුවා.

      මේ තොරතුරු අදත් මහජනයාගෙන් වසන් කිරීමට මේ සමාගම් ගන්න ප්‍රයත්නය ගැන දැනගන්න

      https://en.wikipedia.org/wiki/Seneka_Bibile

      {Dr Bibile died in 1977 at Guyana, under mysterious circumstances. The section regarding his death is being consistently removed from Wikipedia by an unknown entity, each time someone updates it.}

      මිට අනුව විකිපීඩියාවේ සදහන් වෙන්නේ ඔහු ඉතා සක සහිත තත්වයක් තුල මරණයට ලක්වුනත් මේගැන තොරතුරු විකිපීඩියාවට දමන සෑම විටම හදුනාගත නොහැකි පිරිසක් මෙය මකාදමනු බවයි.

      එතකොට මෙවැනි ජිවිත අවදානමක් ගත්ත පුද්ගලයෙක් මිනිස්සු රවට්ටපු රාජිත වගේ (කිසිම වැදගන්මකට නැති බෙහෙත් කකීපයක මිල අඩුකර අතවශ්‍ය බෙහෙත් වල මිල කිසිම වෙනසක් නොකර) වැඩකරන මිනිහෙකු මෙවැනි සම්මාන දීම් වලට එකතු කිරීමෙන් ම තියන අපුල නොතේරීම කනගාටුවට කරුණයි

      ඉවාන් පවුලූශාMarch 28, 2017 at 8:19 AM.
      //බ්ලොග් සම්මාන උළෙලට මේ තරම් බිය වෙන්නේ මොකටද කියන එක තමා මට තවම හිතාගන්න බැරි.//

      මේ කතාවේ ගැන ටිකක් හිතල බලන්න මෙරට රජයට පාලනය කල නොහැකි පුරවැසි මාද්‍ය උනේ සයිඅබර් අවකාශයේ බ්ලොග් පමණයි මෙවගේ සම්මාන දීමෙන් සිදුවුනේ රටේ දෙසපාලුවන්ට පුළුවන් උනා මේ අවකාශයේ පිටිපසින් ඉන්න පිරිස හදුනාගන්න, මෙමගින් ඉදිරියේ මේ පුද්ගලයන්ට මානසික බියගැන්වීමක් කරනවා රජයට විරුද්දව යාම ගැන, ඔබට මේ සරල යතාර්ථය තේරුම් ගන්න බෑ කියන දේ පොඩ්ඩක් හිතල බලන්න.

      Delete
    2. "ඇත්තටම ප්‍රවීන බ්ලොග් කරුවෝ ලෙස හදුන්වන ඔබල මේ රටේ මිනිසුන්ට සැබෑම සේවයක් කල මිනිසුන් කවුද කියන දේ නොදනිම හෝ දැනුවත්ව නොදන්නවා සේ ඇගවීම පිළිකුල් සහගතයි.". සැබෑ කියමනක්. මේක සමහරු තමන් විතරක් පොර වෙන්න බලෙන් හදාගන්න ලෙඩක්.

      Delete
    3. ලාංකික සිතුවිලි, ඔබගේ විස්තරය කියෙව්වාම මට නම් හිතෙන්නේ ඔබ වැඩිපුර දන්නේ සේනක බිබිලේ විසින් කරන ලද වැඩ කොටස නොව, සේනක බිබිලේ ඝාතන කුමන්ත්‍රණය වැනි දෙයක් බවයි.

      එය අප දකින්නේ මෙම වීරයන් පිළිබඳ කතිකාවේ මූලික ගැටලුවක් ලෙසයි. එහෙම නැතුව එය සේනක බිබිලේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි.

      යම් පුද්ගලයකු විසින් කරන ලද කාර්යභාරය කුමක් ද යන්න පිළිබඳ හරි හැදෑරීමක් නැතුව හැමෝම කියන නිසා වීරයකු යයි වන්දනා කරන අය මුලින් ම තම වීරයා විසින් කරන ලද කාර්යභාරය ගැන හරි හැදෑරීමක් කළ යුතු ය.

      ඔය සාක්කි නැති ඝාතන කුමන්ත්‍රණ කතා නම් දැන් සෑහෙන තරම් දුරට විහිළු ය. කොටින් ම විමල් වීරවංශත් කියන්නේ තමන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණයක් ඇති බව ය. පදනමක් නොමැති ඔය වැනි ප්‍රකාශ විකිපීඩියා විසින් ඉවත් කර තිබෙන්නේ සේනක බිබිලේ සම්බන්ධයෙන් පමණක් නො වේ.

      Delete
    4. //ඔය සාක්කි නැති ඝාතන කුමන්ත්‍රණ කතා නම් දැන් සෑහෙන තරම් දුරට විහිළු ය.//
      හැබෑට පැරා එතකොට මහින්ද රාජපක්ෂට විරුද්දව කිසිම සාක්කියක් ඉදිරිපත් වෙලා නැතුව තියෙද්දී (දැනට යහපාලනයට වසර 2 ගතවෙලත් ) ඔබල තවම ඔහුට චෝදනාකරනවනේද ? ඔබේ මේ තර්කයට අනුව මහින්දට කිසිම චෝදනාවක් සදාචාරාත්මකව ඔබට කරන්න බෑ නේ ඔබේ තර්කයට අනුව.

      //ලාංකික සිතුවිලි, ඔබගේ විස්තරය කියෙව්වාම මට නම් හිතෙන්නේ ඔබ වැඩිපුර දන්නේ සේනක බිබිලේ විසින් කරන ලද වැඩ කොටස නොව, සේනක බිබිලේ ඝාතන කුමන්ත්‍රණය වැනි දෙයක් බවයි. //

      මෙතන ඔබ කියවල තියෙන්නේ ඔබට උවමනා කොටස පමණයි මම ඉතා දීර්ග විස්තරයක් කළා සේනක බිබිලේ කරනලද දේ පිලිබදව නැවත පෙන්වුවොත්

      {සේනක බිබිලේ නොහිටින්න රජයේ ඔවුෂද නීතිගත සංස්ථාව නොතිබෙන්න හොදටම ඉඩතියනවා, අද රජයේ නිපදවන ඔය බෙහෙත් ටිකවත් ඉතිරිවෙලා තියෙන්නේ 1970 සහ 1977 යුගයේ සේනක බිබිලේ කරපු දායකත්වය නිසයි. අද සයිප්‍රසයේ පාවිච්චි වන්නේත් සේනක බිබිලේ ඔවුෂද ප්‍රතිපත්තියයි, සරලව කියනවනම් ලෝකේ සෑම බෙහෙතකටම ඔවුද්ෂද නාමයක් තියනවා ඒ වගේම විවිද වියාපාරික සමාගම් තම සමාගමේ වාණිජ නාමයෙන් මේ කියන එකම අමුද්ද්ර්ව්‍ය විශාල මිලකට අලවිකරනවා සේනක බිබිලේ මහතා කලේ ඔවුෂද නාමයෙන් බෙහෙත් ලියන්න නියම කිරීමයි මෙතැනදී මේ වාණිජ සමාගම් ගෙනාපු තර්කය තමයි හොද ගුණත්වයෙන් යුත් බෙහෙත් මේ ක්‍රමය නිසා රෝගියාට නොලැබෙන බවයි නමුත් සේනක බිබිලේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක උනානම් රටේ විශේෂ රජයේ පරික්ෂනාගාර වල තත්ව සහතික කරන ලද ක්‍රමයක් ඇති කලානම් රෝගීන්ට අඩුමිලට ඉහලම ගුනත්වයන් යුත් බෙහෙත් ලබාගන්න තිනුන.

      නමුත් පසුකලකදී රජය කල කපටි දේ තමයි මේ පරීක්ෂණ පහසුකම් බෙහෙත් කීපයකට සිමා කිරීම සහ රජයේ පරීක්ෂණ අංශ දියුණු නොකිරීම. නමුත් සයිප්‍රසය වැනි රටවල් මේ ක්‍රමය සම්පුර්ණයෙන් පාවිච්චි කළා.

      සේනක බිබිලේ ගේ විශේසත්වය ඔහු මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට සිමා නොකර ලෝක සවුක්ය සංගමයේ ඉහල තනතුරක් සදහා තරග කිරීම ඔහුට මරණය කැදවනු ලැබුවා.}

      කියන දීර්ග විස්තරය මගඇරලා ඔබට ඕනේ අදහස ඉදිරිපත් කරලා තියනවා.

      Delete
    5. සේනක බිබිලේ ගැන ඔබ කී දේ සම්බන්ධයෙන් මා කියන්නේ මෙයයි. වීරයන් ලෙස සම්මත වී සිටින පමණින් සෑහීමට පත් නො වී, සේනක බිබිලේ ගැන ගැඹුරින් හැදෑරීම වැදගත්.

      ජේ.ආර්. එජාපයේ නායකත්වයට පැමිණීම ගැන කලක් තිබුණු කුමන්ත්‍රණ කතාවක් කියන්නම්. ඒ අනුව, ඩඩ්ලි, පිලිප්, සී.පී. ද සිල්වා වැනි එවකට සිටි එජාප ජ්‍යේෂ්ඨයන් කෙටි කාල පරතරයක් තුළ මිය යාම ජේ.ආර්. ඉදිරියට ගැනීමට කළ කුමන්ත්‍රණයක්.

      විප්ලවවාදී කොමියුනිස්ට් සංගමය කිව්වේ කීර්ති බාලසූරියේ මරණය පවා එවැනි කුමන්ත්‍රණයක් බවයි.

      මෙවැනි කාරණාවලදි ඔබ කළ යුතුව තිබෙන්නේ සේනක බිබිලේ මැරුවේ අහවලුන් බව ද්‍රව්‍යමය සාක්ෂි සහිතව පැවසීමයි.

      මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව ම කියනවා. ඔහු මැරුවා නෙමෙයි මැරෙව්වා. හමුදාවේ, පොලීසියේ පීඩිත පංතිකයන් ම ලවා තවත් එවැනි පීඩිතයන් මැරෙව්වා. ඔහුට එරෙහිව චෝදනා ඔප්පු නො වන්නේ ඒ අණ දීමේ යාන්ත්‍රණය සොයා ගන්නට විමර්ශකයන්ට උවමනාවක් නැතිකම නිසායි. නැතුව එය සොයා ගත නො හැකි එකක් නෙමෙයි.

      Delete
    6. පැරා,
      //මහින්ද රාජපක්ෂ සම්බන්ධයෙන් අපි ඉතා පැහැදිලිව ම කියනවා. ඔහු මැරුවා නෙමෙයි මැරෙව්වා. හමුදාවේ, පොලීසියේ පීඩිත පංතිකයන් ම ලවා තවත් එවැනි පීඩිතයන් මැරෙව්වා. ඔහුට එරෙහිව චෝදනා ඔප්පු නො වන්නේ ඒ අණ දීමේ යාන්ත්‍රණය සොයා ගන්නට විමර්ශකයන්ට උවමනාවක් නැතිකම නිසායි//

      සේනක බිබිලේ ගැන කියන්න තියෙන්නෙත් ඔච්චර තමයි.
      හැබැයි පැරා මම මෙතන මතුකරන මුලික දේ ඔහුව මැරුවේ කවුද කියනෙකට වඩා ඔහු වැනි රටට ඉතා විශාල සේවයක් කල මිනිසෙක් ට රාජිත වැනි මිනිසුන් රවටන දෙසපාලුවෙක්ව සමාන කිරීමයි.

      මේකේ පිළිකුල යම්හෝ හර්ධ සාක්ෂියක් ඇති පුද්ගලයන් කතාවෙනව, බ්ලොග් අවකාශයේ ඇති එක හොදක් තියනවා එනම් හැගීම් දැනීම් වලින් තොරව හරිදේ හරි ලෙසත් වැරදි දේ වැරදි ලෙසත් විවේචනය කිරීම. ඔය සම්මාන දීමෙන් වෙන්නේ දේසපාලුවන් විසින් මේ මිනිසුන්ගේ මානසිකව යම් බැදීමකට ලක්කිරීමයි.

      කිසිම කිසිම සාදාරන හේතුවක් නෑ දෙසපාලුවෙක්ට වේදිකාවක් ලබාදීම සන්විදදානයේ අවංක අරමුණ නිදහස් බ්ලොග් අවකාශයක් පවත්වාගෙන යාමනම්. මෙතන මේ දෙසපාලුවොන්ට වේදිකාව දෙනවට අමතරව උන්ව වර්ණනාත් කරනවා මේවගේ පඩ ෂෝ මහින්දගේ කාලෙත් විවේචනය කළා මේ යහපාලන (යහපාචන ) කාලෙත් විවේචනය කරනවා.

      Delete
    7. කොහොමත් නුතන (70න් පසු) සමාජවාදියෝ බිබිලේ වැනි අයගෙන් සමාජයට ලැබූ දේ ගැන කතා නොකරයි. ට්‍රාන්ස්ෆෝමර් පිපිරවීම, CTB බස් ගිනිතැබීම, තේ සහ අනෙකුත් කර්මාන්තශාලා අකර්මන්‍ය කිරීම, විශාල තරුණ පිරිසක් අහිමි කිරීමට මුල්වීම හැර ඔවුන් ජාතිය ලබාදුන්නේ කුමක්ද?

      Delete
    8. //සේනක බිබිලේ ගේ විශේසත්වය ඔහු මේ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකාවට සිමා නොකර ලෝක සවුක්ය සංගමයේ ඉහල තනතුරක් සදහා තරග කිරීම ඔහුට මරණය කැදවනු ලැබුවා.

      මේ තොරතුරු අදත් මහජනයාගෙන් වසන් කිරීමට මේ සමාගම් ගන්න ප්‍රයත්නය ගැන දැනගන්න //

      ඕව මෝඩ කුමන්ත්‍රන න්‍යාය... නීතිය අකුරට ක්‍රියාත්මක වෙන බටහිර රටවල තියෙන ඔෂධ සමාගම් වලට එහෙම හිතුමතේ මිනිස්සු මරන්න බෑ... අනෙක ඔය ලාන්කික කියන ඩයල් එක කොහොමත් ඇමරිකාවෙ එන්නත් සමාගම් තමන්ගෙ රටෑඉ ලමයින්ට ලෙඩ හැදෙව්ව වගේ අමු මොඩ මත ලුවෙ තියාගෙන ඉන්න තමන්ගෙ ගොන් බටහිර විරොදය එලියත දාන්න එව පාවිච්චි කරන ගොබ්බ හාදයෙක්නෙ

      Delete
    9. //ඕව මෝඩ කුමන්ත්‍රන න්‍යාය... නීතිය අකුරට ක්‍රියාත්මක වෙන බටහිර රටවල තියෙන ඔෂධ සමාගම් වලට එහෙම හිතුමතේ මිනිස්සු මරන්න බෑ.//

      WHAT IS THIS https://www.justice.gov/opa/pr/justice-department-announces-largest-health-care-fraud-settlement-its-history

      Justice Department Announces Largest Health Care Fraud Settlement in Its History

      Pfizer to Pay $2.3 Billion for Fraudulent Marketing

      https://www.justice.gov/opa/pr/us-pharmaceutical-company-merck-sharp-dohme-pay-nearly-one-billion-dollars-over-promotion

      U.S. Pharmaceutical Company Merck Sharp & Dohme to Pay Nearly One Billion Dollars Over Promotion of Vioxx®

      Merck to Pay $950 Million for Illegal Marketing

      GlaxoSmithKline to Plead Guilty and Pay $3 Billion to Resolve Fraud Allegations and Failure to Report Safety Data

      Largest Health Care Fraud Settlement in U.S. History
      https://www.justice.gov/opa/pr/glaxosmithkline-plead-guilty-and-pay-3-billion-resolve-fraud-allegations-and-failure-report

      Sanofi US Agrees to Pay $109 Million to Resolve False Claims Act Allegations of Free Product Kickbacks to Physicians

      https://www.justice.gov/opa/pr/sanofi-us-agrees-pay-109-million-resolve-false-claims-act-allegations-free-product-kickbacks

      Do you want more?



      Delete
  7. මටනං ඔතන රාජිත හිටියත් එකයි , මර්වින් සිල්වා හිටියත් එකයි ඥාණසාර හිටියත් එකයි

    ඔය කවුරුත් නැතිව කල්‍යාණ පමණ ක් හිටියනම් කාටත් අවුලක් නැහැනේ සම්මමා නේද වටින්නේ නැතිනම් එක දෙන එකා එකක් ගන්න පින්තුරේද වටින්නේ ....

    ReplyDelete
    Replies
    1. වටින්නේ සම්මානය ලබන නිර්මාණයයි. එයට අමතරව සම්මාන ලබන්නා ලබන සතුට හා දිරි ගැන්වීමයි.

      අනිත් දේවල් ගැන විවිධ මත තියනවා.

      Delete
  8. වීරවශ සම්භන්ධයෙන් ජාතික ප්‍රතිපත්තියක් ඇතිකරණු !

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා