මිනියක් දෙන්න ආණ්ඩුවක් පෙරළන්න

ගතානුගතික නිදහස් අධ්‍යාපනවාදී සංරක්ෂණවාදීන්ට වැරදී තිබෙන්නේ අධ්‍යාපනයේ නිදහසට පක්ෂ සියලු දෙනා සයිටම්වාදීන් යයි සිතන නිසා ය. එසේම, අප අධ්‍යාපනය වෙළඳපොළකරණය කළ යුතු ය කියනවා කියා ද, රජයේ විශ්වවිද්‍යාල පෞද්ගලීකරණය කළ යුතු යයි කියනවා ය කියා ද ඔවුන්ගේ භින්නෝන්මාදී මනසට ඒත්තු ගොස් තිබේ. එය නම් ප්‍රතිකාර අවශ්‍ය තත්වයකි. මන්ද, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින කිසිවෙකු එවැන්නක් කියා නැත. එවැනි අවලාද නිර්මානය කරන්නේ අනෙකක් වෙනුවෙන් නොව, මේ වන විට ඔවුන්ගේ උන්නතිකාමී බල අපේක්ෂාවල බිලි බෝයි බලාපොරොත්තුව බවට පත් වී තිබෙන අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පෙළපාලි යන පළමු වසරේ නො මේරූ විශ්වවිද්‍යාල සිසුන් නො මග යැවීම පහසු කර ගැනීමට ය. 

අන්තවාදී පක්ෂ, කල්ලි සයිටම් විරෝධය ඔස්සේ බලාපොරොත්තු වන්නේ ආණ්ඩු පෙරළීම බව දැන් දැන් ඔවුන්ගේ සයිබර් විප්ලවවාදීහු ප්‍රසිද්ධියේ කියති. දෛනිකව මහමග කුපිත කිරීම් කරන්නේ පොලිසිය ලවා මිනියක් මරවා ගන්නට ය. තමන් විසින් ගොඩනගන ලද අරගලයේ නායකත්වය ජවිපෙ අතට ගැනීම සමග ඇති වූ ඉච්ඡා භංගත්වය ද මෙයට හේතු වී තිබේ. මේ ආණ්ඩුව හොඳ නැති බවට අපට අමුතුවෙන් කියන්නට උවමනාවක් නැත. එහෙත්, මේ සා දරුණු ආර්ථික අර්බුදයක් මැද ආණ්ඩු පෙරළන්නට ඉදිරිපත් වන්නන් රට වෙනුවෙන් තමන්ගේ වැඩපිළිවෙල පැහැදිලිව කිව යුතු ය. කඩා බිඳ දමන්නට මිස හදන්නට වැඩපිළිවෙලක් කිසිවෙකුට නැත. අඩු තරමේ ලංකාවේ පවතින ක්‍රමය පිළිබඳ නිවැරදි විග්‍රහයක් හෝ ඔය විප්ලවවාදීන් කිසිවෙකුට නැත. අප ලංකාවේ මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර සමාජ ක්‍රමය පිළිබඳ ඉදිරිපත් කළ කරුණුවලට අභියෝග කරන්නට හෝ ඔවුන් ඉදිරිපත් වී නැත. 

සයිටම් යනු ලංකාවේ තිබෙන ප්‍රශ්න සමුදායෙන් එක් ප්‍රශ්නයක් වන අධ්‍යාපන ප්‍රශ්නයේ ද සුළු කොටසක් පමණි. එය ප්‍රමුඛ වී තිබෙන්නේ එ් ඔස්සේ සිසුන් වීදි බස්සා ගැනීමටත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හරහා වෛද්‍යවරුන්ගේ බදු නො ගෙවා වංචා කරන කළු සල්ලි දේශපාලනය සඳහා ලබා ගැනීමටත්, අරමුණක් නැතුව නිකමට වාගේ ආණ්ඩු පෙරළන වාමාංශිකයන්ට විකුණාගෙන කන්නට මළ මිනියක් සොයා ගත හැකි යයි සිතන නිසාත් ය. ආණ්ඩු පෙරළීම විනෝදාංශය හා ජීවිකාව කර ගත් අයගෙන් මේ රටට මෙතෙක් සෙතක් වී නැතුවා සේ ම ඉදිරියටත් වන්නේ නැත.  

ඇත්ත වශයෙන් ම අධ්‍යාපනය පමණක් නො ව, පාන් - බනිස් වුණත් හුදු ලාභය වෙනුවෙන් විකුණනවා නම් එම විකිණීම ද සමාජමය වශයෙන් හානිකර ය.

එහෙත්, වෙළඳපොළ යනු මිනිසා ශිෂ්ටත්වයට පත් වූ මුල් යුගයේ සිට ක්‍රමිකව වර්ධනය වූ දෙයක් මිස ධනවාදය විසින් නිර්මානය කරන ලද්දක් නො වේ. මිනිස් ජීවිතය සමග වෙළඳපොළෙහි ඇති සම්බන්ධය ඔය තරම් සරළ ලෙස විග්‍රහ කළ නො හැකි ය. නොමිළේ යයි සිතන රජයේ අධ්‍යාපනය ද වෙළඳපොළ සමග ඇතුළාන්තයෙන් ම බැඳී ඇත.

ඉතිහාසයේ අධ්‍යාපනය පැවති ආකාරය අධ්‍යයනය කර බලන්න. විශේෂයෙන් ම, උසස් අධ්‍යාපනය ලබා දීම සිදු වී තිබෙන්නේ ලාභ අපේක්ෂා නො කරන ස්වාධීන ආයතන විසිනි. ලාභ අපේක්ෂා නො කළ ද, ගුරුවරුන්ගේ වැටුප් ඇතුළු උසස් අධ්‍යාපනයට යන වියදම අධ්‍යාපනය ලබන්නා විසින් දරා තිබේ. සුවිශේෂ දක්ෂයන්ට ශිෂ්‍යත්ව දී තිබේ. රජය විසින් අධ්‍යාපනය දිය යුතු ය යන්න ඉතා මෑත කාලීන, කේනීසියානු ධනේශ්වර සංකල්පයකි. ලංකාවේදී එය රජය විසින් පමණක් අධ්‍යාපනය දිය යුතු ය යන ස්ටාලින්වාදී සංකල්පය බවට පත් විය. බුද්ධි හීනයන් බිහි කරන වර්තමාන අධ්‍යාපනය එහි ප්‍රතිඵලයයි. 

අතීතයේ පැවති නාලන්දා විශ්වවිද්‍යාලය වැනි විද්‍යායතන ස්වාධීන ආයතන මිස රජ්ජුරුවන්ගේ දේපල නො වේ. රජු ඒවාට උදව් කරන්නට ඇති. එසේම, බලපෑම් කරන්නත් ඇති. එහෙත්, ඒවා මූලික වශයෙන් ස්වාධීන ආයතන විය. ලාභ ලැබීමේ අරමුණක් නො තිබුණත්, අධ්‍යාපනය වෙනුවෙන් යන වියදම ගෙවන්නට සිසුන්ට සිදු විය. ලංකාවේ ද විද්‍යෝදය, විද්‍යාලංකාර වැනි ගොඩනැගෙමින් තිබුණු ස්වාධීන බෞද්ධ උසස් අධ්‍යාපන ආයතනවල තත්වය එසේ ය. ඒවාට ස්වාධීනව ගොඩනැගෙන්නට නො දී රජයට පවරා ගැනීම නිසා වර්තමානය වන විට විශ්වවිද්‍යාල බිහි කළ හැකි ස්වාධීන ආයතන නැත. 

ඇක්වයිනාස් විශ්වවිද්‍යාලය, සණස විශ්වවිද්‍යාලය, කොතලාවල විශ්වවිද්‍යාලය වැනි ආයතන ද මූලික වශයෙන් සයිටම් පන්නයේ ඒවා ය. ඒවායේ ද ඕනෑම ව්‍යවසායක ආරම්භයේදී තිබිය හැකි අඩුපාඩු දකින්නට හැකි ය. මෙම විශ්වවිද්‍යාල ගැන වාමාංශිකයන් කතා නො කරන හේතු මෙසේ ය. ඇක්වයිනාස්ට එරෙහිව කතා නො කරන්නේ පල්ලියට බය නිසා ය. සණස තහනම් වචනය වී තිබෙන්නේ වාමාංශික න්‍යායාචාර්යවරයකු වන මහාචාර්ය සුමනසිරි ලියනගේ එයට සම්බන්ධ නිසා ය. කොතලාවල ගැන කතා නො කරන්නේ ගෝටාට බය නිසා ය.   

විශේෂයෙන් ම උසස් අධ්‍යාපනය යනු ප්‍රාථමික හා ද්විතීයක අධ්‍යාපනය වැනි අනිවාර්ය අධ්‍යාපනයක් නො වේ. යමෙකු උසස් අධ්‍යාපනයක් ලබන්නේ ඉතා පැහැදිලි ආයෝජනයක් ලෙස සලකා ය. උදාහරණයක් ලෙස, ලංකාවේ වර්තමානයේ පවතින වෛද්‍ය අධ්‍යාපන උන්මාදය වනාහි තනිකර ම අධික ලෙස මුදල් ඉපැයීම, මහජන මුදලින් වැටුප් හා වරප්‍රසාද ලැබීම, වේගයෙන් පංති හිනිමගේ ඉහළ යාම, අසීමිත පරිභෝජන ලොල්කම වැනි කරුණු සමග සම්බන්ධ ය.

වෛද්‍ය අධ්‍යාපනය මෙන් ම පෞද්ගලික වෛද්‍ය විද්‍යාලවලට පමණක් එරෙහි විරෝධය ද ඇත්තේ එක ම වෙළඳපොළේ ය.

අනාගතය වෙනුවෙන් කරනු ලබන පෞද්ගලික ආයෝජනයක ස්වරූපය ගන්නා විශ්වවිද්‍යාල අධ්‍යාපනය වෙනුවෙන් තෝරා ගත් වරප්‍රසාදිත පිරිසක් වෙනුවෙන් සමස්ත සමාජය බදු ගෙවිය යුතු ය යන්න සමාජවාදී තබා ප්‍රජාතන්ත්‍රවාදී අදහසක්වත් නො වේ. එසේම, බදු ගෙවන, අවස්ථා අහිමි ජනතාවට තමන්ගේ අතින් වියදම් කර අධ්‍යාපනය ලබන්නට අවස්ථාව අහිමි කළ යුතු ය යන්න ද එවැනි ම ප්‍රතිගාමී අදහසකි.

එහෙත්, ලංකාවේ රාජ්‍ය උසස් අධ්‍යාපනයට දීර්ඝ ඉතිහාසයක් තිබේ. ඒ නිසා රාජ්‍ය අධ්‍යාපනය දිගට ම පැවතිය යුුතු ය. විශේෂයෙන් ම දිළිඳු පවුල්වල දක්ෂ සිසුන්ට අවස්ථාව ලබා දීම සඳහා රජයේ විශ්වවිද්‍යාල අත්‍යවශ්‍ය ය. එහෙත්, එහි සීමා ද අප අවබෝධ කර ගත යුතු ය. අවුරුදු පතා විශ්වවිද්‍යාල ප්‍රවේශයට සුදුසුකම් ලබන සිසුන්ගෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට බඳවා ගන්නේ 20%ක් පමණි. එය තව පස් ගුණයකින් ඉහළ නංවන්නට රජයට හැකි යයි ඔබ විශ්වාස කරනවා ද? රජයට කළ නො හැකි දේ කරන්නට ද කවුරුන් හෝ සිටිය යුතු ය.

හැබැයි ලංකාවේ බුද්ධිමය සමාජය ස්වාධීන විශ්වවිද්‍යාල බිහි කරන්නට පුළුවන් මට්ටමකට එන තෙක් බලා සිටීමත් ජාතික ප්‍රශ්නය විසඳන්නට සමාජවාදය එන තෙක් බලා ඉන්නවා වැනි ය.

ලංකාවේ සිදු වන්නේ සිදු විය හැකි දේ මිස හොඳම දේ නො වේ. එහෙත්, කොතනින් හෝ පටන් ගත යුතු ය.

ලංකාවේ විප්ලවීය ම ආර්ථික උපායමාර්ග කීපයක් දෙස ආපසු හැරී බලන්න. හොඳම උදාහරණය ඇඟලුම් කම්හල් දිරි ගැන්වීමට ජනාධිපති ප්‍රේමදාස ගත් තීරණයයි. ඒ සමග ද මුලින් සම්බන්ධ වූයේ හොඳම ව්‍යවසායකයන් නො වේ. එම ව්‍යාපෘතියේ අනන්ත ගැටලු තිබිණි. එහෙත්, එම ආර්ථික උපායමාර්ගය නිසා ලංකාවේ සමාජයේ දැවැන්ත විපර්යාසයක් සිදු විය. එම වෙනස නිර්මානය කළ හැකි වූයේ කොතනින් හෝ පටන් ගත් නිසා ය.

සයිටම් හොඳ අයෝජනයක් නො වන බව ඇත්තකි. එහෙත්, ලංකාවේ හොඳ මොනවා ද? ලංකාවේ විශ්වවිද්‍යාලව සටහන් දෙන ගිරවුන් කීදෙනෙකු විශ්වවිද්‍යාල ආචාර්ය යන තනතුරු නාමයට සුදුසු ද? ලංකාවේ නායකත්වයට අප තෝරාගෙන තිබෙන දේශපාලන නායකයන් ඒ තනතුරුවලට සුදුසු ද? එහෙම තත්වයක් තිබියදී ව්‍යවසායකයන්ගේ විතරක් අටපහ සුද්ද කර ගත හැකි ද? සරළව කිව්වොත් විමානය යකාගේ හැටියට ය.

ලංකාවේ ස්වාධීන උසස් අධ්‍යාපන ආයතන නැත්තේ ඇයි ද යන ඉතිහාසයත්, ඒවා බිහි කිරීමට ලංකාවේ බුද්ධිමතුන්ට හැකියාවක් නැත්තේ ඇයි ද යන්නත් ඉතා පහසුවෙන් තේරුම් ගත හැකි ය. ලංකාවේ සිටින දේශපාලනය කරන ඊනියා විශ්වවිද්‍යාල පඬිවරුන්ගේ තිබෙන ප්‍රමිතිය කුමක් ද? ජාත්‍යන්තර වශයෙන් පිළිගත්, උසස් ප්‍රමිතියක් ඇති අය මෙම දේශපාලන පඬිවරුන් අතර සිටී නම් ඔවුන්ගේ නම් කියන්න. රාජ්‍ය නො වන සංවිධාන නො තිබිණි නම් මොවුන්ට ඇපත් නැත.

මෙම සටහන තබන්නේ අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප සයිටම් සමග ඈඳා අපට මඩ ගසන අයට නැවත වරක් අපගේ ස්ථාවරය සැකෙවින් පැහැදිලි කර දීම සඳහා ය. එය ලොකු තේරුමක් ඇති දෙයක් නො වේ. අප ලියන්නේ මුදලට ය යන සුපුරුදු අවලාදය නඟා සතුටු වීමට ඔබට අයිතියක් ඇත. එහෙත්, මුග්ධත්වය ආරම්භ වන්නේ ම එවැනි පදනම් විරහිත අවලාදවලිනි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)