2017-03-12

රාජ්‍ය සම්මාන ලැබූ කවියකු ඇසුරෙන් කම්කරු පංතිය හා මධ්‍යම පංතික දෘෂ්ටිවාදය

ලංකාවේ පවතින්නේ ධනපති පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වර ක්‍රමයක් නො වේ. එය වනාහි මධ්‍යම පංතියේ ආධිපත්‍යයෙන් යුත් ධනේශ්වරයකි. 

මධ්‍යම පංතියේ ප්‍රධානතම කොටස සැදුම් ලබන්නේ රජයෙන් යැපෙන දේශපාලකයන්, රජයේ කොන්ත්‍රාත්කරුවන්, ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන්ගෙනි. වර්තමාන ලංකාවේ ආණ්ඩු බලය බොහෝ දුරට ඇත්තේ ලංකාවේ ජනගහණයෙන් පහෙන් එකක් පමණ වන ඔවුන් හා ඔවුන්ගේ පවුල් අත ය.

විශේෂයෙන් ම මහින්ද රාජපක්ෂ පාලනය තුළ මෙම පංතියේ බලය කූටප්‍රාප්තියට පත් වී, දැවැන්ත රජයක් නිර්මානය වී, එය පවත්වාගෙන යා නො හැකි තැනට පැමිණියේ ය. 

මෙම පංතිය රාජ්‍ය සේවය ඇත්තෙන් ම පවත්වාගෙන යන්නේ තමන් වෙනුවෙනි. එහෙත්, රජයේ පැවැත්ම සාධාරණීකරණය කරන්නේ දිළිඳු ජනයාට සුබසාධනය සලසන මුවාවෙනි. එහෙත්, රජයේ සුබසාධනයෙන් දිළින්දන්ට පලක් නැත. ඵලදායී වැඩ කරන ජනයා වන නිෂ්පාදනයට දායක වන කම්කරුවන් හා ව්‍යවසායකයන් රජයට ගෙවන බදු මුදල්වලට සාධාරණ සුබසාධන සේවාවන් ඔවුන්ට ලැබෙන්නේ නැත. 

අතරමැදි පංතිකයන් මෙම රාජ්‍ය ක්‍රමය පවත්වාගෙන යන්නේ ඔවුන්ගේ සුබසාධනය පිණිස ය. එය සාධාරණීකරණය කර ගැනීම හා බදු ගෙවන ජනතාව රැවටීම පිණිස කියන්නේ මෙය සුබසාධන රාජ්‍යයක් කියා ය. එහෙත්, මහජන සුබසාධනය රාජ්‍යය සාධාරණීකරණය කරන්නට පුළුවන් මට්ටමකින්වත් පවත්වාගෙන යන්නේ නැත.  

රජය ශක්තිමත් කරන තරමට මහජන සූරාකෑම තව තවත් වැඩි වේ. එහෙයින් රජය දුර්වල කළ යුතු ය. මේ මොහොතේ එය කළ හැක්කේ ආර්ථික ලිබරල්කරණය තුළිනි. එමගින් ධනපති පංතිය ශක්තිමත් වන බව ඇත්ත ය. එහි වරදක් නැත. හේතුව ධනපති පංතිය ලෙස හඳුන්වනු ලබන ව්‍යවසායකයන් විසින් කරනු ලබන නිෂ්පාදන අංශයේ ඵලදායී රැකියා උත්පාදනය මේ අවස්ථාවේ අත්‍යවශ්‍ය ය. 

එසේම, ආණ්ඩු බලය හිමි මධ්‍යම පංතිය පරාජය කළ යුතු ය. එසේ නො කර පීඩිත පංතිය ශක්තිමත් කරන්නට ද බැරි ය. ලංකාවේ පීඩිත පංතියට අනන්‍ය දෘෂ්ටිවාදයක් හෝ නැත. පවතින්නේ මධ්‍යම පංතික දෘෂ්ටිවාදයයි.

මේ බව පෙන්වන්නට කදිම උදාහරණයක් පසුගිය දිනවල සිදු විය. රාජ්‍ය සම්මානලාභී කවියකු කිරි නිෂ්පාදන කම්කරුවකු ලෙස වැඩ කරන බව අසා කම්පා වූ මධ්‍යම පංතික මානව හිතවාදියෝ පිරිසක් ඔහුට වැඩ නො කර පඩි ගත හැකි රජයේ රැකියාවක් දිය යුතු බවට යෝජනා කළ හ. මේ සඳහා යෝජනා වූයේ ද පාසල් කම්කරු තනතුරකි. පාසල් කම්කරු යනු දේශපාලකයන් විසින් තමන්ට වැඩ කළ කුසලතා රහිත පිරිස්වලට දෙන රැකියාවකි. පාසල් කම්කරුවන් වැඩි දෙනෙක් වැඩ කරන්නේ නැත. පාසල්වල සියලු කම්කරු වැඩ කරවා ගන්නේ ළමා ශ්‍රමිකයන් බවට පත් කර ගන්නා සිසුන්ගෙන්, මව්පියන්ගෙන් හෝ මව්පියන් විසින් වෙන ම වැටුප් ගෙවා යොදවනු ලබන වෙනත් කම්කරුවන්ගෙනි.

මෙම යෝජනාවෙන් නිරූපණය වන්නේ කම්කරු පංතිය කෙරෙහි මධ්‍යම පංතියේ දෘෂ්ටිවාදය බලපාන තරමයි. ඔවුන් කියන්නේ කම්කරු පංතියට විමුක්තිය ඇත්තේ රජයෙන් යැපෙන මධ්‍යම පංතිය තුළට උසස් වීම තුළින් බව නො වේ ද? 

මෙය සම්පූර්ණයෙන් ම වැරදි දෘෂ්ටිවාදයකි. කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ කම්කරුවකු ලෙස ම මිස පංතියක් ඉහළ නැගීමෙන් නො වේ. අනෙක් පැත්තෙන් කලාකරුවකු නම් අනිවාර්යයෙන් ම මධ්‍යම පංතියේ සිටිය යුතු ය කියා එකක් නැත. 

කම්කරුවා විමුක්තිය සලස්වා ගත යුත්තේ මධ්‍යම පංතියට යාමෙන් යයි කීම සමාන වන්නේ කාන්තාව විමුක්තිය සලස්වා ගත යුත්තේ පිරිමියකු බවට පත් වීමෙන් යයි කීමට ය.

කම්කරුවා යයි කියූ පළියට අපි පණ දෙන්නට යා යුතු නැත. අප සැලකිලිමත් විය යුත්තේ ඵලදායී සේවාවල යෙදෙන කම්කරුවන් පිළිබඳ පමණි. පාසල් කම්කරුවන්, රෝහල් කම්කරුවන් වැනි රජයේ සේවකයන් වැඩි දෙනෙක් ඵලදායී වැඩවල යෙදෙන ශ්‍රමිකයෝ නොවෙති.

ඵලදායී වැඩ කරන කම්කරු පංතිය සූරා කන ප්‍රධාන බලවේගය රජය හා රජයේ ලාභය ගරා ගන්නා දේශපාලකයන්ගෙන්, කොන්ත්‍රාත්කරුවන්ගෙන්, නිලධාරීන්ගෙන් හා රජයේ සේවකයන්ගෙන් සැදුම් ලත් මධ්‍යම පංතියයි. 

ලංකාවේ මේ මොහොතේ දේශපාලනය ඉතා පැහැදිලිව ම ඵලදායී වැඩ කරන කම්කරු පංතිය හා ව්‍යවසායකයන් වෙත අවධානය යොමු කරන දේශපාලනයක් විය යුතු ය. 

ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාර්ශ්වය ඉතා පැහැදිලිව ම මෙම ව්‍යවසායක තීරය වෙත අවධානය යොමු කරමින් ඉතා ආක්‍රමණශීලී ප්‍රතිපත්තියකින් කටයුතු කරන බව පෙනෙන්නට තිබේ. 

රජයේ දේශපාලන ආධිපත්‍යය හොබවන මධ්‍යම පංතියට ද මෙය යහපත් තත්වයකි. මධ්‍යම පංතික ආධිපත්‍යයෙන් යුත් වර්තමාන සමාජ ක්‍රමය පවත්වා ගත හැකි වන්නේ ව්‍යවාසයක තීරය ශක්තිමත් කරන තරමට ය. 

එහෙත්, මෙහි තිබෙන නිශේධාත්මක පැත්ත වන්නේ ව්‍යවසායක පංතියේ ආවේණික ලක්ෂණ හේතුවෙන් ඇති වන තත්වයන් ය. උදාහරණයක් ලෙස, චීන රජය හා සමාගම් ශ්‍රී ලංකාවේ කරන සමාජවාදී සූරාකෑම ගත හැකි ය. මහින්ද රාජපක්ෂ රජයේ දූෂණය ඔස්සේ ලංකාව ණය අර්බුදයක හිර කිරීමෙන් පසු චීනය හම්බන්තොට වරාය, මත්තල ගුවන් තොටුපළ, වරාය නගරය වැනි ව්‍යාපෘති අත්පත් කර ගන්නේ දරුණු ලෙස ලංකාව සූරාකමිනි. 

එසේම, රජය දැවැන්ත ආයෝජකයන්ට දක්වන අනුග්‍රහය නො ලබන සුළු හා මධ්‍යම පරිමාණ කර්මාන්තකරුවන්ට ද දැවැන්ත ප්‍රශ්න සමුදායකට මුහුණ දීමට සිදු වී තිබේ. 

ඊළඟ ගැටලුව කම්කරු අයිතිවාසිකම් සම්බන්ධයෙනි. මේ වන විට ඵලදායී වැඩ කරන කම්කරු පංතිය ගතානුගතික වෘත්තීය සමිති ව්‍යාපාරයෙන් මුළුමනින් ම ගැලවී ගොසිනි. ඇත්තෙන් ම ඔවුන්ට කිසිදු නායකත්වයක් හෝ දෘෂ්ටිවාදයක් හෝ නැත. ලංකාවේ වාමාංශික ව්‍යාපාරයේ ගතානුගතික, යල්පැනගිය, අවිද්‍යාත්මක න්‍යායයන්ගෙන් කම්කරු පංතියට කිසිදු පලක් නැත.  ඵලදායී වැඩ කරන කම්කරුවන්ගේ දේශපාලනය අලුතෙන් ම පටන් ගත යුතුව තිබේ. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.