රතුපස්වල දෙවන වටය හෙවත් තමන්ගේ ස්ථාවරය ස්ථාවර ස්ථාවරයක් විය යුතු බව

පිරිසිදු පානීය ජලයේ හිමිකම වෙනුවෙන් සටන් කළ රතුපස්වල මිනිසුන් ඝාතනය කළ ආණ්ඩුවට හා හමුදාවට එරෙහිව දැවැන්ත ප්‍රතිචාරයක් මේ දිනවල ජනමාධ්‍ය ඔස්සේ දැකිය හැකි ය. විශේෂයෙන් ම, ෆේස්බුක්, ට්විටර්, බ්ලොග් වැනි සමාජ මාධ්‍ය ප්‍රතිචාරාත්මක අදහස් දැක්වීම්වලින් පිරී ඉතිරී‍ ගොස් ඇත. 

හමුදාව සිවිල් වැසියන්ට සිදු වන හානි ගැන නො තකමින් උතුරේ කොටි සංවිධානය සමූලඝාතනය සඳහා කටයුතු කළ ප්‍රචණ්ඩ ආකාරය නැවත රඟ දැක්වීමක් මෙම සිදුවීම තුළින් දැකිය හැකි බව බොහො‍් වාර්තා හා ප්‍රකාශවල දක්නට ලැබිණි. 

එසේ ම, මෙම ප්‍රහාරයට ලක් වන්නේ උතුරේ යුද්ධයට ආවැඩූ දකුණේ සිංහල ජනතාව බව ද මතු කර දක්වන අන්දමේ වාර්තාකරණයන් හා ඍජු අදහස් දැක්වීම් ද සුලබ විය. 

සාමාන්‍යයෙන් ගත් කල වාර්තාකරණයේ හා අදහස් ප්‍රකාශනයේ පසුබිමේ තිබුණේ මෙවැනි දැක්මකි: ආණ්ඩුව හා හමුදාව කෲර ය. ඔවුහු ජාතිභේදයකින් තොරව ආණ්ඩුව වෙනුවෙන් ජනතාව මර්දනය කරති. තමන් සමග තරගකාරී වූ ජනතාවක් මර්දනය කරන විට අත්පොළසන් දෙන ජනතාවට ද කිසියම් දිනෙක ආණඩුවෙන් හා හමුදාවෙන් එවැනි ම මර්දනයන්ට මුහුණ දෙන්නට සිදු වනවා ඇත.

මෙහිදී ඇත්තෙන් ම සිදු වූයේ උතුරේ යුද්ධය සම්බන්ධයෙන් බොහෝ අය තුළ තිබුණු විරෝධය එළිපිට ප්‍රකාශ කරන්නට අවස්ථාවක් ලැබීමයි. යුද සමයේ හා පශ්චාත් යුද සමයේ සිංහල සමාජය තුළ හමුදාව සම්බන්ධයෙන් ඇති වූ වන්දනීය මානසිකත්වයට හා සමාජ මිලිටරිකරණයට සිය විරෝධය පළ කිරීමට නො හැකි ව සිටි මිනිසුන්ට මෙම සිද්ධිය සිය අදහස් පිට කිරීමට අවස්ථාවක් විය.

පොදුවේ ගත් කල සවිඥානක සමාජය තුළ ප්‍රජාතන්ත්‍රවාදයට ඇති කැමැත්ත හා මිලිටරිකරණයට ඇති විරෝධය මෙමගින් ප්‍රකාශ විය.

එහෙත්, එම ප්‍රකාශනය හුදු මතුපිට විරෝධයක් පමණක් වූ බව කිව යුතු ය. මෙයින් සිදු වී තිබෙන එක් දෙයක් වන්නේ ඇතැම් ප්‍රකාශකයන්ගේ සත්‍ය අදහස් හෙළිදරව් වීම පමණි. මේ විරෝධතා රැල්ල අවසන් වූ පසු නැවතත් අවදි වන ජාතිවාදීන් හා ආණ්ඩු ගැති අවස්ථාවාදීන් හමුවේ දැන් ඔවුන් නිරුවත් වී තිබේ. ප්‍රතිචාරාත්මක විරෝධතාකරුවන් වැඩි දෙනෙකුට ඔවුන්ට මුහුණ දීමට තරම් ආත්ම ශක්තියක් නැති නිසා, ඔවුන් සිය 'වරද' වසා ගන්නට ඉදිරියේදී අන්තවාදය හා ආණ්ඩුව වෙනුවෙන් වැඩිපුර ක‍ඩේ යන්නට ඉඩ තිබෙන බවයි. උපවාස කළ හාමුදුරුවෝ නම් දැනටමත් එය ආරම්භ කර තිබේ. 

අනෙක් පැත්තෙන්, ආණ්ඩුව, හමුදාව හා ජාතිවාදියෝ මෙම විරුද්ධ මත ප්‍රකාශකයන්ට එරෙහිව පාවිච්චි කරන්නේ අන් කවරකුවත් නොව සිද්ධියේ සැබෑ පාර්ශ්වකරුවන් වන රතුපස්වල පැත්තේ ජනතාවයි. මිය ගිය පුද්ගලයන්ගේ පවුල්වලට හා පහර කෑමට ලක් වූවන්ට වන්දි මුවාවෙන් අල්ලස් දී, ඔවුන් ඉහළ තැන්වලට කැඳවා කැමරා අභිමුව තමන්ට අවශ්‍ය දේ ප්‍රකාශ කරවන ආකාරය ඉදිරියේදී දැක ගන්නට හැකි වනු ඇත. 

කොටින් ම කීවොත්, මෙම සිද්ධිය පසුපස ජවිපෙ, පෙරටුගාමියෝ, කොටි, දෙමළ ඩයස්පෝරාව, ඇමරිකාව, සී.අයි.ඒ., රෝ ආදී සියල්ලක් ම සිටි බව මේ සතිය ඇතුළත ම කියනු ඇත. 

අද පවතින රැල්ල වෙනුවට හෙට ඒ රැල්ල මතු වන විට එයට මුහුණ දෙන්නට ඔබට ශක්තිය තිබේදැයි අපි විරෝධතාවාදීන්ගෙන් අසමු.

දෙබිඩි සෙවලකම වෙනුවට ඍජු කශේරුකාවක් අවශ්‍ය වන්නේ එතැනදී ය. සද්ද නැතිව මාරු වීම වෙනුවට පිළිතුරු දීම අවශ්‍ය එතැනදී ය. තමන් ලියූ දේ වෙනුවෙන් දිගට ම පෙනී සිටීම අවශ්‍ය වන්නේ එතැනදී ය. 

තමන්ගේ ස්ථාවරය ස්ථාවර ස්ථාවරයක් විය යුතු බව අපි පවසමු.

සමාජ ප්‍රශ්නවලදී ප්‍රතිචාර දැක්වීම පිණිස ක්ෂණිකව මොබ් හෙවත් අසංවිධිත ජනරාශි නිර්මානය වේ. මොබ් ආකර්ශනීය ය. මොබ් එකක් මැදට වැටුණු විට එතැන ඇති තර්ක බුද්ධියෙන් තොර පුහු වීරත්වය කෙනෙකු වසඟ කරනසුලු ය. එහෙත්, මොබ් සමග දේශපාලනය කිරීම අතිශය අනතුරුදායක ය. දේශපාලනය කළ යුතුව තිබෙන්නේ සවිඥානක සමාජය සමගයි. මොබ් යහපත් අරමුණු වෙනුවෙන් මෙහෙයවා ගත හැක්කේ සවිඥානක දේශපාලන සමාජයකට පමණි. 

ලංකාවේ ඇති තරම් මොබ් ඇත. එහෙත්, සවිඥානක දේශපාලන සමාජයන් නැත. මාධ්‍ය විරෝධතාකරුවෝ ද ප්‍රතිචාරාත්මක මොබ් ම වෙති.

මොබ් අවශ්‍ය ය. එහෙත්, අප උත්සාහ කළ යුත්තේ මොබ්වලින් එහාට ගිය සවිඥානක මිනිසුන් නිර්මානය කරන්නට ය. මොබ් යහපත් අරමුණු වෙනුවෙන් මෙහෙයවා ගත හැක්කේ ඔවුන්ට ය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com

Comments

  1. සභාව නිහඩයි! හරියටම හර්දය සාක්ශියටම ටම වැදිලා!?!

    - Dimithri

    ReplyDelete
    Replies
    1. අැත්ත

      ඉන්දික

      Delete
  2. ගොබෙල්ස් න්‍යාය මේ ආණ්ඩුව තරම් දන්න පිරිසක් මුලු ලොකේම නැතුව ඇති

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා