2013-02-27

අපට එරෙහිව අපි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිෂමේ සැසිවාරය එක්ක නැවතත් සිංහල ජාතියට එරෙහි ජාත්‍යන්තර කුමන්ත්‍රණ ගැන කතාකෙරෙන්න පටන් අරන්.

අපට ඕනෑනම් මුළු ලෝකයම ඉන්නේ අපට කෙළවන්නය කියා සිතාගෙන ඉන්න පුළුවන්. ඒත්, ලෝකයට එතරම් අමාරුවක් තිබෙන්නේ ඇයිද කියා ගැඹුරින් සිතුවොත් එම සිතුවිල්ලේ හිස්කම පෙනේවි. ලෝකයේ වැඩිදෙනෙක් ඇත්තම කීවොත් ලංකාව කියා රටක් තිබෙනවාද කියාවත් දන්නේ නැහැ. දැන් නිකම් හිතන්නකෝ බටහිර ඉන්දීය කොදෙව් දූපත් ගැන. සමහරු හිතනවා මේ එක් රටක්ය කියා. අපි වැඩිදෙනෙක් දන්නේ නැහැ බටහිර ඉන්දීය කොදෙව් දූපත් සමූහයේ තිබෙන රාජ්‍ය මොනවාද කියා. ලංකාව ගැන ලෝකයේ දැනුමත් ඔය වගේ තමයි.

අපේ රටේ මිනිස්සු වැඩිදෙනෙක් මේ කරදිය වළල්ල තරණය කරලා නැහැනේ. ඒ නිසා හරි ලේසියි හිතන්න මේ රටේ මාර දේවල් තිබෙනවා, ලෝකෙම මේක කන්න බලා ඉන්නේ ඒ නිසා කියලා. ලංකාව හොඳ රටක් බව ඇත්ත. ඒත් ඉතින් හොඳම රට වෙන්නනම් තව බොහෝ දේ අවශ්‍යයිනේ. ඒ වුණාට අපි ඉතින් අපේ රටට ආදරය කිරීමේත් වරදක් නැහැ.

අපි පුංචි රටක්. සිංහලයෝ ප්‍රමාණාත්මකව පුංචි ජන කොට්ඨාසයක්. නූතන ලෝකය කියන්නේ සෑහෙන්න එකට බැඳුණු තැනක්. එහි හුදකලා වෙන්න අමාරුයි. අපි නම් වසර දහස් ගණනක සිටම ලෝකය එක්ක බැඳී ජීවත් වන ජන කොටසක්.ඒ බවට ඓතිහාසික සාධක අනුරාධපුර යුගයෙනුත් හමුවෙනවා.

අපි ලෝකයෙන් ණය, ආධාර අරගෙන තිබෙනවා. දැනුම, තාක්ෂණය අරගෙන තිබෙනවා. කලාවන්, සංස්කෘතීන් අරගෙන තිබෙනවා. ලෝකයට දේවල් දීලාත් තිබෙනවා.

සුනාමි ව්‍යසනය වෙලාවේ ලෝකය අපි වෙනුවෙන් වැළපුණා. අපට යළි ගොඩඑන්න ආධාර කළා.

ලෝකය කියන්නේ රාජ්‍ය විතරක් නොවෙයි. ලෝකය සමන්විත වන්නේ මිනිසුන්ගෙන්. අපි හැමෝම ලෝකවාසීන්. ඒ නිසා එකිනෙකා ගැන අපට වගකීමක් තිබෙනවා.

ඇමරිකාවට ලෝකෙට චන්ඩියා වෙන්න අවශ්‍ය යුද බලය තිබෙනවා. ඒත්, ලෝකයේ ප්‍රගතිශීලී ජනතාව එයට විරුද්ධයි. ඇමරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නොවන පිළිවෙත්වලට එරෙහිව ඇමරිකානුවෝ විශාල අරගලයක් කරනවා. වියට්නාම් යුද්ධයට එරෙහි වී මොහොමඩ් අලි කළ අරගලය ලෝක ප්‍රසිද්ධයි. ඇමරිකන් හමුදාවට බැ‍ඳෙන්න  ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහුට බොක්සිං ක්‍රීඩාවත් අහිමි කළා. 

ඇමරිකාවට ලෝකයේ සෙසු රටවලට චන්ඩිකම් කරන්න පුළුවන්නම් ඇයි අපට බැරි කියලා අහන අය ඇත්තටම කරන්නේ ඇමරිකාවට චන්ඩිකම් කිරීම නොවෙයි. තමන්ට වඩා දුබල අය තෝරාගෙන චන්ඩිකම් කිරීමයි. 

ලංකාවේ දිග්ගැහුණු යුද්ධය සිදුවුණේ සිංහල මහජාතියේ ස්වෝත්තමවාදයේත්, දෙමළ ජාතියේ සුළුතර ජාතිවාදයේත් ප්‍රතිඵලයක් ලෙසයි. ජාතිවාදී පදනමින් අනෙක් ජාතිය යටපත් කරගැනීමට මාන බැලුවා මිස මේ දෙජාතියේම අධිපති ව්‍යාපාර දෙජාතියටම පොදු පුළුල් දේශපාලන අනන්‍යතාවක් හා ඒ හා සමපාත වන ආණ්ඩුක්‍රමයක් වෙනුවෙන් සටන් කරන්න සූදනමක සිටියේ නැහැ.

අවසානයේදී රාජ්‍ය බලය හිමි සිංහල ජාතිවාදීහු දෙමළ ජාතික අරගලය පොඩිපට්ටම් කර දැමීමට සමත් වුණා. එය සිදු වුණේ අතිශය කෲර යුද්ධයක් තුළයි. මෙහිදී දෙපාර්ශ්වයම සීමාන්තික ලෙස යුද අපරාධවල යෙදුණා. 

යුද අපරාධවලට වගකිවයුතු එක් පාර්ශ්වයක් විනාශ වුණා. අනෙක් පාර්ශ්වය තමන් අතින් යුද අපරාධ සිදු නොවූ බව පෙන්වන්නට අසාර්ථක උත්සාහයක යෙදෙනවා.

පුළුල් දෘෂ්ටිකෝණයකින් බැලුවොත් ඉතිහාසය ඉදිරියට ගොස් තිබෙන්නේ මෙවැනි ජන සංහාර ඔස්සේ බව පැහැදිලියි. ඉතිහාසය කියන්නේ හැමවිටම යුක්තිය මත පදනම් වූ ක්‍රියාවලියක් නොවෙයි. අද අප ඉතිහාසයේ කැපී පෙනෙන පුද්ගලයන් හෝ වීරයන් ලෙස සලකන බොහෝදෙනෙක් ඇත්තෙන්ම යුද අපරාධකාරයෝ තමයි. බරක් ඔබාමා වුණත් ‍එහෙමයි. ඒ නිසා යුද අපරාධ කළ අයට දඬුවම් දෙන්නට යන එකේ ගැටලුවක් තිබෙනවා. ඒ දඬුවම් කිරීම සඳහා අපරාධකරුවන් තෝරාගන්නා පදනම කුමක්ද යන්නයි.

දැන් රාජපක්ෂ පවුලේ අය හා ඔවුන්ට යුද සමයේ හිතවත්ව සිටි අය යුද අපරාධවලට වගකිවයුතු නිසා ඔවුන්ව දංගෙඩියට ගෙනයන්න දෙමළ ජාතිවාදීන් ලොකු උත්සාහයක් ගන්නවා. ඔවුන්ගේ බලපෑම් කිරීමේ ශක්තිය සුළු එකක් නොවෙයි. එත්, එය ඒ තරම් මහා බලයකුත් නොවෙයි. මන්ද, පැහැදිලි සාක්කි තිබියදීත් ඔවුන්ට පුළුවන් වෙලා නැහැ, ලෝකය තීරණාත්මක ක්‍රියාමාර්ගයකට තල්ලු කරන්න. ඇත්තෙන්ම කිව්වොත් ඔවුන් අසාර්ථකයි.

ඒත්, දිනෙන් දින රාජපක්ෂ පවුල වටා එළා ඇති දැල ශක්තිමත් වෙන බවක් පෙනෙනවා. ලංකාව ඇතුළේ සිංහල ජාතිවාදය තවදුරටත් ශක්තිමත් කළාම ඔවුන්ට ආරක්ෂා වෙන්න පුළුවන්ය කියා ඔවුහු සිතනවා. ඒත්, ඔවුන් කරන දෙයින් ජාතිවාදය කරපින්නාගත් වෙනත් පිරිසක් බලවත් වෙන එක ඔවුන්ට වළක්වන්න අසීරුයි. ඒ බලවත් වෙන පිරිස ඇත්තෙන්ම ඔවුන්ගෙන් බලය ඩැහැගන්න මාන බලන උන්නතිකාමීහු පිරිසක්. 

රාජපක්ෂ පවුලේ ඇත්ත ගැලවීම තිබෙන්නේ ලෝකය සමග සංහිඳියාවකට යාම තුළයි. ඒ සඳහා රට තුළ ජාතික සංහිඳියාව ඇති කිරීම හා ප්‍රජාතන්ත්‍රවදය ගොඩනැඟීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම අත්‍යවශ්‍ය කොන්දේසි. ඒත්, ඔවුන්‍ට තිබෙන මූලික ගැටලුව වන්නේ එවැනි වෙනසකට අවශ්‍ය දැක්මක් කිසිසේත්ම ගොඩනඟාගැනීමට බැරි ආකාරයේ පවුල්වාදයක් තුළ ඔවුන් සිරවීමයි.

යහපාලනයකින් තොර ඒකාධිපතිවාදයක් තුළ නිර්මානය වුණ, සැබැවින්ම අරාජිකත්වයක් වන මේ තත්වයේ අවසාන ප්‍රතිඵලය වන්නේ ලංකාව ආර්ථික, දේශපාලන හ සමාජයීය වශයෙන් තවතවත් අගාධය දෙසට යොමුවීමයි.

මේ තත්වය හමුවේ අවශ්‍ය වන්නේ එක් එක්කෙනා දංගෙඩියට යවන්න හෝ බේරාගන්නට හෝ මැදිහත්වන ව්‍යාපාර නොවෙයි. රටේ ප්‍රජාතන්ත්‍රවාදය ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතීන් අතර සංහිඳියාව ගොඩනඟන්න මැදිහත් වන ව්‍යාපාර. ජාතික සමානාත්මතාව හා ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් වෙනුවෙන් සටන් කරන ව්‍යාපාර.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න