හයියෙන් ගියොත් පයින් ගහනවා - පොලිසිය කියයි


අද උදේ බස් එකට නගිනකොට රියදුරන්, කොන්දොස්තරලා බර සාකච්ඡාවක්. ආයෙමත් ස්ට්‍ර‍යික් එකක් කරන්නට වෙයි කියලාත් කියවුණා. ඒගොල්ලන් හිටියෙ බොහොම උද්වේගයෙන්.

හේතුව තමයි වාහන වැරදිවලට දඩ මුදල් වැඩි කිරීම.

අවම දඩ මුදල රු. 30,000ක් වන වරදක් තිබෙනවා. ඒ තමයි, බාල වයස්කරුවන් රිය පැදවීම.

දැඩි දඩ පණවන්නෙ යම් දේවල් සම්පූර්ණයෙන් ම තහනම් කරන්න. පහත දැක්වෙන්නෙ රු. 25,000 බැගින් අවම දඩ පණවනු ලබන වැරදි.

1. වලංගු රියදුරු බලපත්‍ර‍යක් නොමැතිව රිය පැදවීම
2. රියදුරු බලපත්‍ර‍යක් නොමැති පුද්ගලයන් සේවයේ යෙදවීම
3. මත්පැන්, මත්ද්‍ර‍ව්‍ය භාවිතා කර රිය පැදවීම
4. දුම්රිය මාර්ග හරහා අපරීක්ෂාකාරීව රිය පැදවීම
5. වලංගු රක්ෂණාවරණයක් නොමැතිව රිය පැදවීම

මා නම් හිතන්නෙ මේ වැරදිවලට දැඩි දඬුවම් පැමිණවීමේ කිසිදු වරදක් නැහැ.

මේ වගේ ම නියමිත වේගය ඉක්මවා ධාවනය කිරීම සම්බන්ධයෙන් වේගය ඉක්මවන ප්‍ර‍මාණය අනුව රු. 15,000 දක්වා දඩ පැණවිය හැකියි.

අපරීක්ෂාකාරීව රිය පැදවීමේ වරදට අවම දඩය රු. 10,000ක් වෙනවා.

වමෙන් ඉස්සර කිරීම, ජංගම දුරකථන භාවිතා කරමින් රිය පැදවීම වැනි වැරදිවලට දඩය රු. 2000යි.

මේ දඩ එකක්වත් අසාධාරණ නැහැ.

හැබැයි, වෘත්තීය රියදුරන්ට මුහුණ දෙන්නට සිදු වන ගැටලු පිළිබඳවත් අවධානය යොමු කළ යුතුයි. එහිදී විශේෂයෙන් ම බස් රියදුරන් ගැන අවධානය යොමු කළ යුතුයි.

දිනපතා කිලෝමීටර් 15ක විතර දුරක් බස් රියවල කෝච්චිවල යන එන මට මේ ගැටලු පිළිබඳ හොඳ අධ්‍යයනයක් තිබෙනවා.

ලංගමේ විරෝධය නිසා ඒකාබද්ධ කාලසටහන් ක්‍රියාත්මක නො කිරීමෙහි ප්‍ර‍තිඵලයක් ලෙස පාරේ දුවන බස් අතර අධික තරගයක් තිබෙනවා. බස් ව්‍යාපාරයේ සිටින අය අවුරුදු පහක් විතර යනකොට ඒ බසය වෙනුවට අලුත් බසයක් ධාවනයට යෙදවීම සඳහා මුදල් ඉපැයීම ව්‍යාපාරික වශයෙන් වරදක් නෙමෙයි. බොහෝ බස් රථ මසකට කිලෝමීටර් 10,000කට වඩා දුර ධාවනය වෙනවා. මේ බස්වල ටයර්, එන්ජින් කොටස් ආදී බොහෝ දේ අලුත් කිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය වෙනවා. රක්ෂණාවරණ, ණය, බලපත්‍ර‍ ගාස්තු, බදු, කප්පම්, පුණ්‍යාධාර වැනි තවත් වියදම් රැසක් ද බස් හිමියාට තියෙනවා. ඒ සියල්ල එක්ක බැලුවාම බස් හිමියන් ලබන ලාභය අසාධාරණ යයි කියන්නට අමාරුයි.

හැබැයි, බස් සේවකයන් කියන්නේ ඉතා දුෂ්කර රැකියාවක් කරන පිරිසක්. විශේෂයෙන් ම පෞද්ගලික බස් නැවතුම්පළවල ඔවුන්ට කිසිදු පහසුකමක් නැහැ. බස් සේවකයන්ට ගෙවන්නේ දෛනික වැටුප්. ඔවුන්ට අසනීපයකදීවත් වැටුප් සහිත නිවාඩුවක් නැහැ. ඊපීඑෆ්, ඊටීඑෆ් මොකවත් නැහැ. මේ මිනිස්සු පවතින්නෙ රු. 1200ක් විතර වන හෝ නැතිනම් ආදායමෙන් 15%ක් විතර වෙන විදියට හදා ගන්නා දෛනික වැටුපකින්. එහි සත්‍ය වටිනාකම දවසකට රු. 1500-2000 අතරයි තියෙන්නේ.

ඉතින් මේ ගාන හොයා ගන්න මේ මිනිස්සු මගීන්ට කෑලි ගානට සලකනවා. මග කොටනවා. රේස් යනවා. මග දිගට කෝල් දදා බස් එලවනවා. මාර්ග නීති මහා පරිමාණෙන් කඩනවා.

දවස පුරා පාරෙ ඉන්න මේ මිනිසුන්ට නීති නො කඩා රිය පදවන්නට පුළුවන් වාතාවරණයක් ලංකාවේ පාරවල්වල නැහැ. ත්‍රිරෝද රියදුරන්, යතුරු පැදි පදවන්නන්, පයින් යන්නන් එහෙම මාර්ග නීති තඹයකට තකන්නේ නැහැ.

අනෙක් පැත්තෙන් බස් රියදුරන් අකුරට වැඩ කළොත් එහෙම මිනිසුන්ට වෙලාවට වැඩට යන්නට ලැබෙන්නේත් නැහැ.

මේ නීති හොඳයි. හැබැයි, මිනිසුන් නීති කැඩීම වළක්වන පරිසරයක් නිර්මානය කිරීමත් මේ එක්කම සිදු විය යුතුයි. ඒ සඳහා මගී බස් ධාවනය විධිමත් කිරීමට පියවර ගැනීමත් අනිවාර්යයි.

සමස්තයක් ලෙස ම සමාජය විනයගත කිරීමට අවශ්‍ය පියවර ගන්නට ඕනැ. නීති පිළිබඳ සමස්ත සමාජය ම දැනුවත් කරන්නට ඕනැ. එක් පිරිසක් විතරක් පීඩාවට පත් වන පරිදි කටයුතු කළොත් නීතිවලින් වැඩක් නැහැ. මේ නීති ආපස්සට නො ගත යුතුයි. හැබැයි, ක්‍රියාත්මක කිරීම පරිස්සමෙන් කළ යුතුයි. 

මේක පොලිසියේ විතරක් වැඩක් නෙමෙයි. අප හැමෝගෙම වැඩක්.

(මාතෘකාව උපුටා ගත්තේ පැරණි ලංකා පුවත්පතකිනි. සටන් විරාමයෙන් පසු කොටි පාලන ප්‍රදේශවල චාරිකාවක් ගිය ලංකා පුවත්පතේ මාධ්‍යකරුවන් පිරිසක් ඔවුන් ගිය වාහනය අධි වේගයෙන් ධාවනය වීම නිසා නවත්වා අවවාද කළ කොටි පොලිස් නිලධාරියකු ගැන වෛරී අදහසක් ඇති කිරීමේ අරමුණින් එම නිලධාරියාගේ කැඩිච්ච සිංහල කතාව ලිපියේ මාතෘකාව ලෙස යොදා ගත්තේ එසේ ය. මෙම කොටි පොලිස් නිලධාරියා අදහස් කරන්නට ඇත්තේ ෆයින් ගහනවා යන්නයි. මෙය කියන්නේ තරහකට නො වේ. පුවත්පත් සිරස්තල කලාවේ සලකුණු විය යුතු සිරස්තලයක් බැවිනි.) 

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔන්න පැරා සමඟ 100%ක් එකඟ විය හැකි ලිපියක්

    by the way ලංකා පුවත්පත ඔය කාලයේදි පට්ට ජාතිකවාදියි නේද ? මට මතකයි කිලී ‍මහරාජා ගැන පළමු වැදගත් හෙළිදරව්ව කළේ මේ පත්තරෙන් ( අපි වගේ ලිබ්බන්ට ඒ කාලේ සිරස කිව්වම ඊට වඩා දෙයක් නෑ)

    ReplyDelete
  2. / හයියෙන් ගියොත් පයින් ගහනවා - පොලිසිය කියයි */

    Please use the F word.

    ReplyDelete
    Replies
    1. දැන් සිංහල තේරෙනවත් ටිකක් අඩුයි වගේ නේ ද?
      ඔය වරහන් ඇතුලේ අන්තිමට තියෙනදේ ටිකක් නිස්කාන්සුවේ කියවල බලන්ටකෝ .

      Delete
  3. පවුද්ගලික බස් රථ සමාගම් පිහිටුවීම බොහෝ ගැටළු විසඳා ගැනීමට දායක වනු ඇත .

    ReplyDelete
  4. වාහන පදවන්නන්ගේ මෙන්ම පදිකයින්ගේද විනයක් ද තිබිය යුතුයි.
    මේ ගැන මා විසින් ලියන ලද ලිපියක්.
    https://kolompure.blogspot.com/2017/01/blog-post_21.html

    ReplyDelete
  5. හුටා නො කොමන්ට්පොස්ට් ඒ මොකෝ

    ReplyDelete
  6. හුටා නො කොමන්ට්පොස්ට් ඒ මොකෝ කට්ටිය සිකුරාදා හින්දා පල්ලි ගිහිල්ලද

    ReplyDelete
  7. ඒ වුනාට මරගන මෙරෙන සයිස් එකෙන් සහ ඉතාම අපරික්ෂාකාරී රියදුරන් නිසා වෙන මරණ ප්‍රමාණය ගැන පිලිබඳ ගැටලුවක් තියනවා. අපේ ලංකාවේ මිනිස්සුන්ට විනය කියන එක නෑ. දඩේ බයටවත් වැරදි නොකරයි කියලා හිතනවා. හැබැයි පොලිස් දඩකොලත් වෙලාවකට ප්‍රශ්නයක්
    විචාරක දියණිය

    ReplyDelete
  8. ඒකාබද්ධ කාල සටහන් ක්‍රමයෙන් මගියට වෙන සෙතක් නෑ. එහෙම සෙතක් වෙන්න නම් එකම රූට් එකේ දුවන බස් වල සේවය එක සමාන වෙන්න ඕන. ඒත් එහෙම නෑනේ. සමහර දුර ගමන් සේවා රූට් වල Luxury,Semi-luxury, normal බස් මිශ්‍රව දුවනවා. ලංගම බස් ගොඩක් normal.එතකොට මේ කියන ඒකාබද්ධ ක්‍රමය ගෙනාවොත් මඟියට බස් එකක් ‍තෝරාගැනීමේ නිදහස නැති වෙනවා. අනික මෙතන බස් සේවකයට ගෙවන මුදලට අමතරව උදේ ඉඳන් දවල්ට කාලා හවසටත් කනව නම් කාලා දවසේ වැඩ ඉවර වෙලා යන ගමන් බොන සිගරට් එක දක්වාම බස් එකෙන් ගෙවනවා.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා