ඔන්ලයින් ශාස්තෘවරු, චන්ඩි, හීරලුවෝ, කාන්දංකාරයෝ, පුෂ්පකුමාරලා, ඉස්ටිකර් යාළුවෝ, ෆේකියෝ හා තවත් අය

දැන් දැන් මට මුහුණ දෙන්නට සිදු වන ඇතැම් ගැටලු එක්ක මට හිතෙනවා දැන් මාත් පොරක් වෙලා වත් ද කියලා.

මේ ප්‍රශ්නෙ එන්නෙ විශේෂයෙන් ම සමාජ මාධ්‍යවලදීයි. කාගේ හරි පෝස්ට් එකකට ලයික් කිරීම නිසා හෝ කමෙන්ට් කිරීම නිසා හෝ බ්ලොග් එකේ වෙනත් කෙනෙකු විසින් පළ කරනු ලබන අදහසක තුන්වන පාර්ශ්වයක් පිළිබඳ සඳහන් වීම නිසා හෝ පුද්ගලයන් තරහා වීම දැන් දැන් සුලබ අත්දැකීමක් වෙලා.

මේ නිසා මා අද කතා කරන්නට යන්නේ ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතාවන් පිළිබඳවයි. සමාජ මාධ්‍ය භාවිතා කරන අයට ආචාර ධර්ම පද්ධතියක් නැහැ. හැබැයි, සමාජ මාධ්‍ය භාවිතා කිරීමේදී භාවිතාවේ තිබෙන ආචාර ධර්ම හා ගැටලු මොනවාද කියා විමසා බැලීමට තමයි මේ උත්සාහය.

ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන වැඩි දෙනෙකු උත්සාහ කරන්නේ සමාජයට තමන්ගේ බෙහෙත් ඩෝස් එක දෙන්නට මිසක් සමාජයෙන් කිසිවක් ඉගෙන ගන්නට නෙමෙයි. මෙය විශේෂයෙන් ම අදාළ වන්නේ වාමාංශික සම්භවයක් ඇති පිරිස්වලට හා ලාංකීය බුද්ධිමතුන් ය කියන උගත් පිරිසටයි.

ඔවුන් එන්නේ ම අනේ මේ සෝෂල් මීඩියාවල ඉන්න නො දන්නා කට්ටියට කියා දෙන්නට ඕනෑ ය කියන අනුකම්පාවෙන්. එහෙම ඇවිත් ඔන්න ඉතින් මෙන්න මේ වගේ ඒවා කියනවා. “ඔයා වැරදියි. නිදහස් අධ්‍යාපනය රැක ගන්නට ඕනැ. සයිටම් වහන්න ඕනැ."

ඉතින් මේ කට්ටියට පසුගිය කාලයේ සිදු වී තිබෙන දීර්ඝ සංවාද පෙන්වා දුන්නා ම ඒගොල්ලන් ඒ ගෙදර වැඩ කරන්නට කැමති නැහැ. “නිදහස් අධ්‍යාපනය නැතිනම් ඔයාත් නැහැ," වගේ ගොන් කතා කියනවා.

මේ වගේ හාදයෙකු අලුතෙන් සෝෂල් මීඩියාවලට එකතු වුණාම ඒ කැම්පේන් එකේ ඉන්න පරණ පොරවල් පවා ඒ තැනැත්තාව උම්මා දීලා වැළඳ ගන්නවා. එයාගෙ පෝස්ට්වලට හිටගෙන ලයික් දානවා. ඉතින් ඒගොල්ලන් මෙහෙම කියනවා. “බලන්නකෝ අර අජිත්ලාට වෙලා තියෙන දේ. ඉස්සර නම් ඔහොම නැහැ."

ඊට පස්සෙත් දිගට ම එන්නෙ උගන්නන්න. ඒ තමයි ඔන්ලයින් ශාස්තෘවරු. ඒගොල්ලන් ඔක්කොම දන්නවා. අන්තර්ජාලයට පහළ වෙලා ඉන්නෙ අනෙක් අයට කියා දෙන්න.

ඉතින් ටික දවසක් යනකොට මේගොල්ලන්ට සමාජ ජාල භාෂාවෙන් උත්තර හම්බ වෙනවා. එතකොට ඇතැමෙක් දමා ගහලා ගිහින් සෝෂල් මීඩියාවලට බනිනවා. පොළවේ වැඩ කරන්න වරෙන් අරවා මේවා කියලා චැලෙන්ජ් කරනවා. මේ පාර නම් පොළවෙ වැඩ කරනවා කියලා හිතාගෙන කොළඹ තියෙන පොත් දොරට වැඩුම්වලට, දේශපාලන ආගමික කල්ලිවල අධ්‍යාපනික වැඩසටහන්වලට දමාගෙන දුවනවා. ටික කාලයක් ගිහින් බැලුවාම ආපහු හිතෙනවා කේක් කාලා පොළවට කක්කා දැම්මාට වඩා පොළවේ වැඩක් කරලා නැති බව. ඉතින් ආපහු අන්තර්ජාලයට එනවා.

සමාජ ජාල කියන්නෙ පොරවල් නැති, කාටවත් විශේෂ ගෞරවයක් නැති තැනක්. හැබැයි, එක් පිරිසක් ඉන්නවා එයාලාට ඕනැ ගෞරවය. තමන්ට ම තුමා කියලා අමතා ගන්නවා. ගෝලයන් සර් කියලා කමෙන්ට් දැම්මා ම බොහොම හොඳයි පුතේ වගේ පිළිතුරු ලියනවා. කවුරුහරි තමන් විවේචනය වන දෙයක් ලිව්වොත් පාරෙ ඉස්සරහට මුණගැසුන විට අහක බලා ගන්නවා.

මේ කට්ටිය ඔන්ලයින් හීරලුවෝ. සිවුරු ඇරිය ඇතැමෙකුට මතක නැහැ තමන් සිවුරු ඇරලා ය කියලා. උන් හාමුදුරු කාලෙ බලාපොරොත්තු වෙච්ච සැලකිලි ම ගිහි කාලෙත් බලාපොරොත්තු වෙනවා. ඔන්ලයින් හීරලුවන්ට අවබෝධයක් නැහැ තමන් සමාජ මාධ්‍යවලට එන්නෙම තථ්‍ය සමාජයේ රෙදි ගලවලා තියලා බව. අතථ්‍ය සමාජ මාධ්‍ය ලෝකයේ සමාජ ධුරාවලි නැහැ. ඒක ඉගලිටරියන් සමාජවාදී සමාජයක්.

මේකට වැඩිදෙනෙක් කැමතියි. හැබැයි, අනුන්ට ගහන්නට තමන්ට අවස්ථාව ලැබෙනකල් විතරයි. තමන්ට කවුරුහරි ගැහුවොත් අන්ෆ්‍රෙන්ඩ් කරනවා, බ්ලොක් කරනවා.

එහෙම කරන්නට උවමනා ඔන්ලයින් කාලකණ්ණි පිරිසකුත් ඉන්නවා. උන් ඉන්නෙ දත් විළිස්සා ගත්ත බල්ලන් වගේ තමන් හතුරන් ය කියා සලකුණු කරගෙන ඉන්න මිනිසුන්ගෙ ඇඟට කඩා පනින්න.

සමාජ මාධ්‍යවල ඉන්න තව පිරිසක් තමයි කාන්දංකාරයෝ. මේ කට්ටිය තමන් කරන ඕනෑ ම මරි මෝඩ වැඩකට තමන්ගේ මුළු මිතුරු ලැයිස්තුව ම ටැග් කරනවා. ලංකාවේ සමාජ මාධ්‍ය භාවිතා කරන්නන්ට ටැගිං සම්බන්ධයෙන් කිසිම ආචාරධර්මයක් නැහැ.

තව කට්ටියක් තමයි ඔන්ලයින් පුෂ්පකුමාරලා පුෂ්පකුමාරිලා. මේ කට්ටිය කරන්නෙ උදේට මල් පොකුරක් දාලා ගුඩ් මෝනිං යාළුවනේ, අද මගෙ උපන් දිනේ - මට විෂ් කරන්න, මේ ඉන්නෙ මගේ මල්ලි - එයාට හෙබ්රිස්සාව - එයාට සුව වෙන්න ය කියලා ලයික් දාහක් දාන්න වගේ ඒවා ලියන එක විතරයි.

ඉස්ටිකර් යාළුවන් කියන්නේ පොස්ට් එකට යටින් තඩි ස්ටිකර් දාන කට්ටියට.

මේ අතරෙ ඉන්නවා ඔන්ලයින් මළකඳන්. ඒගොල්ලන් ඉන්නවා වුණාට මළා වගේ. කිසිම දවසක කිසිම දෙයකට ලයික් එකකින් ප්‍රතිචාරයක් දක්වන්නෙ නැහැ. උන්ට පණ තියෙනවා ද කියලා බලන්නට ඉඳල හිටල දෙකක් ඇනලා බලන එක හොඳයි. පාරෙදි දැක්කාම අහක බලා ගන්නවා නම් ෂුවර් එකට ම උන් මළා වගේ හිටියට මැරිලා නැහැ.

ඔන්ලයින් මැරිච්ච එවුනුත් අපේ ලැයිස්තුවල ඉන්නවා. උන් අර පෝස්ට් පේඩ් සිම් කාඩ් අරගෙන පොලු තියලා නම්බර් මාරු කරන එවුන් ම තමයි. ඒ කියන්නෙ නිතර ම අලුත් ඊමේල් ඇඩ්‍රස් හදලා ෆේස්බුක් ගිනුම් ද හදා ගන්නවා. නම ජී.බී. හරමානිස් ය කියලා හිතන්නකෝ. මෙන්න හරමානිස් ටික දවසකින් අලුතෙන් රික්වෙස්ට් එවනවා, ජී.බී. හරමානිස් මැක්ස්, හරමානිස් රූල්ස් වගේ නම්වලින්. මතක ඇතුව කලින් එක මැකුවෙ නැතිනම් මුන් අපේ මිතුරු ලැයිස්තුවේ ගල් ගෙඩි තියලා යනවා.

ෆේකියන් හෙවත් බොරු අනන්‍යතාවලින් පෙනී සිටින කට්ටිය ප්‍රවර්ග කීපයකට අයිති වෙනවා. ඒ අතර, ගැහැනුන් ලෙස පෙනී සිටින පිරිමි, පිරිමින්ගෙන් කම් සැප සොයන පිරිමි, චූටි සිප්පි හොයන නාකි මනමාලයෝ, ඔන්ලයින් චන්ඩි ආදිය සුලබයි. කෙසේ වෙතත්, මේ පිරිස් ඇත්තෙන් ම මානසික අසහනකාරයන් බව පැහැදිලියි.

මේ අතර තවත් පිරිසක් ඉන්නවා තමන්ට නැති ටයිටල් දාගෙන ලොකු පොරවල් වගේ රඟන. ඒගොල්ලනුත් අයත් වන්නේ අර ඉහත කී වර්ගයට ම තමයි. ලංකාව දූපතක් නිසා බොහෝ දෙනෙකු කැමතියි කරදිය වළල්ල තරණය කරන්නට. පිටරට ගිහින් පිංතූර අරගෙන ෆේස්බුක් දාන්න. දාලා නිතර නිතර තමන් දිහා ම බලන්න. 

මේ අතර ලංකාව දාලා ගිහින් සුද්දන්ට පච කෙළලා එසයිලම් ගත්ත, ජාතියට පණ වගේ ආදරය කරන, ජාතියට විරුද්ධව කටයුතු කරන ඕනැ කෙනෙකුට අන්තර්ජාලයෙන් කඩුවක, කිණිස්සක, පිස්තෝලෙක පිංතූරයක් පවා එවන්නට බය නැති වීරයන් පිරිසකුත් ඉන්නවා.

ඔන්ලයින් රුසියන් වැඩිපුරම එන්නේ ඇනොනිමස් කමෙන්ට් දැමිය හැකි බ්ලොග්වලටයි. උන් රුසියන් වන්නේ උන්ගේ ඉරිසියාව රුසියාවටත් වඩා ලොකු නිසායි. ඇනොනිමස් නිසා කිසිම සදාචාරයක් අවශ්‍ය නැහැ. ඕනැ දෙයක් ලියනවා. බ්ලොග් එක කරන කෙනා ඔන්ලයින් ඝාතනය කරනවා.

ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශවල දක්නට ලැබෙන මේ වගේ කාරණා ගැන ඔබේ අදහසුත් ලියන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. සමාජ ජාලවල ඉන්නේත් රටේ ලෝකේ ඉන්න මිනිස්සුමයි නේ. ඔන්න පිටසක්චල ජීවියෝ ෆේස්බුක් හෝ බ්ලොග්වලට හෝ ආවොත් වෙනසක් බලා ගන්න හැකි වේවි!

    ReplyDelete
    Replies
    1. මා නම් හිතන්නෙ සමාජ ජාලවලදී අර සාමාන්‍ය මිනිසුන් ම වෙනස් විදියක බලාත්මක වීමක් වෙනවා. සාමාන්‍ය සමාජයේදී කෙළින් මූණ බලලා කතා කරන්නට බය මිනිසුන් සමාජ මාධ්‍යවලදී දැවැන්ත බලවතුන් ලෙස හැසිරෙනවා. ආපහු සාමාන්‍ය සමාජයට ආවාම බස් කොන්දොස්තරට පවා බය වෙනවා.

      Delete
    2. පිටසක්වල ජීවියෝ බ්ලොග්, ෆේස් බුක් වලට ආවොත් උණුත් අන්තිමට මේ අච්චුවටම වැටෙයි. හරියට ඔය ඉංග්‍රීසි උගන්නන්න ලංකාවට එන සුද්දෝ අපිටත් වඩා හොඳට සිංහල ඉගෙනගෙන යනවා වගේ

      Delete
    3. /**
      හැබැයි, එක් පිරිසක් ඉන්නවා එයාලාට ඕනැ ගෞරවය. තමන්ට ම තුමා කියලා අමතා ගන්නවා.
      */

      හැමදාම උදේට පිට කසලා යන්න එන, මං තුමා ට මේ වගේ ටොකු අනින එක නම්, අන්තිම කැතයි. ඒ වගේ කැත වැඩ කරන අය ව හඳුන්වන්නත්, කැටගරියක් හදමු ද?

      Delete
  2. 'ලංකාවේ සමාජ මාධ්‍ය අවකාශවල දක්නට ලැබෙන මේ වගේ කාරණා ගැන ඔබේ අදහසුත් ලියන්න.'


    කොමෙන්ට් මොඩරේට් දාලා, පැය ගානකට සැරයක් එව්වා බලලා පැරාට හිතෙන එව්වා විතරක් පබ්ලිෂ් කරන නිසා අදහස් දලා වැඩක් නෑ. එච්චර බලු වේවි මේක බලන්න, අදහස් දාන්න අපිට මොලේ අමාරුව ඇයි.

    ReplyDelete
    Replies
    1. ඒක ඉතින් මෙහෙමයි. කිසියම් බ්ලොගයක් ජනප්‍රිය වුණාම කොටසක් බලාගෙන ඉන්නවා තමන්ගෙ තියෙන සියලු ඉරිසියාවල්, දුෂ්ටකම් ආදිය එතන වමාරලා වෙනත් අය අපහසුවට පත් කරන්න.

      එතකොට තවත් කොටසක් ඒ බ්ලොගය කරන පුද්ගලයා එක්ක තරහ වෙනවා.

      බ්ලොග් එකක් ටිකක් දුර කරගෙන යනකොට තේරෙයි.

      Delete
    2. No issue. The blogger has the authority to delete. Please use your "executive power" as a blogger.

      Delete
  3. I read most SL blogs and comment as an ANO. I do not belong to any of the above, however I write what I thinks. If ANO is blocked, no problems I keep my comments. I do not see any problems with using ANO as long as I do not attack people personally and I do not write 'Kunuharupa'. I think it is my right to agree or disagree with the content of the post.

    ReplyDelete
    Replies
    1. You are perfectly right. The problems are created by those who misuse the Ano facility. Anonymity also has ethics.

      Delete
    2. On the web, anything that can be abused will be abused. That's the norm rather than the exception.

      Delete
    3. මා නිරීක්‍ෂණය කර ඇති ආකාරයට සමහර බ්ලොගර්ස්ලා කරන වරදක් තමයි, සිංහල ලිපිය කියවා, සිංහළෙන් ටයිප් කිරීමේ ප්‍රශ්න නිසා ඉංග්ලිෂ් භාෂාවෙන් ප්‍රතිචාර දක්වන අයට ඉංග්ලිෂ්වලින්ම පිළිතුරු දීම.

      මා නම් වගේ දෙයක් හැර දිග පිළිතුරු ඉංග්ලිෂ්වලින් ලියන්න මහන්සි වෙන්නේ නෑ. එහි වරදක් නෑ.

      Delete
    4. ඒකත් ඇත්ත. මින් පස්සෙ ඒක කරන්නෙ නැහැ.

      Delete
  4. පැරා , මට ඌණ පුර්ණයක් එකතුකරන්න ඉඩ දෙන්න. විශේෂයෙන්ම බ්ලොග්කරුවන් අතර පහත සඳහන් පරිදි අයද සිටී.
    1. තමන් සියල්ල දත් ලෙසින් සිතා සිටින සමාජ, ආර්ථික, දේශපාලනික සහ සංස්කෘතික දැනුමෙන් තමන්ට වඩා කිසිවෙක් නැතැයි සිතන උද්ධච්ච මරි -මෝඩයන්. ඔවුන් සැබවින්ම දන්නේ පරිඝණකය යන්තම් මෙහෙයවීම පමණි.
    2. තම වෘත්තීය මාර්කට් කරමින් සියල්ල දත් බක පණ්ඩිතයන් ලෙස හැසිරෙන බ්ලොග්කරුවන්.
    3. තම උද්ධ්ච්චකම නිසා තමන්ට රිසි නොවන අනෙකුත් බ්ලොග්කරුවන්ට ආන්තික ලෙස පරිභව කරන මානසික විකෘතිතාවයකින් යුක්ත බ්ලොග්කරුවන්.
    4. වාචික pron site ලෙසින් නම් කළ හැකි අමු තිත්ත කුණුහුරුප ලියා , "මේ මගේ අඩවිය මට අවැසි ලෙසින් ය " කියමින් මානසික බෙලහීනතාවයෙන් පෙලෙන බ්ලොග්කරුවන්.
    පලි.: රුපවාහිනී තරංග ජනතාවට අයිති වන සේම බ්ලොග් අඩවිද ලෝකවාසී ජනතාවගේ අයිතියක් බව මොවුන් නොදනී.

    ReplyDelete
    Replies
    1. ++++++++++++++++++++++++++++++++++++++++++++++++

      Delete
    2. AnonymousAugust 9, 2017 at 8:50 AM

      විසින් මේ ඉදිරි පත් කල කරුණු බැරිද පැරාට වෙනම ලිපියක් ලියලා අපව දැනුවත් කරන්න බ්ලොග් නාමයකින් තොරව . නැතිනම් එයත් මඩ ගසන පොස්ටුවක් කියා මරා ගන්න එයි ඒවායේ අයිති කරුවන්

      Delete
  5. මම නම් ෆේස්බුක් නැහැ. එපා වෙලා එකවුන්ට් එක වහලා ගොඩක් කල්. හේතුව ඔය අජිත් කියන කාරණා තමයි. තවම බ්ලොග් කියවනවා සහ කොමෙන්ට් කරනවා. බ්ලොග් වල තවමත් හරවත් රසවත් දේවල් නිතර ලියවෙනවා. linkedin සහ twitter භාවිතා කරනවා වෘත්තීය අවශ්‍යතා මත. එතනත් බොහෝ වැදගත් සංවාද සහ අදහස් මතු වෙනවා. මගේ පුද්ගලික අදහස නම් සමාජ මාධ්‍ය වලට, විශේෂයෙන් ෆේස්බුක් වලට යම් ආචාර ධර්ම පද්ධතියක් සහ ලෝක මට්ටමේ නියාමනයක් අවශ්‍යයි කියන එක.

    මම අත්දැකීමෙන් දැකපු දෙයක් තමයි සමාජ මාධ්‍ය ඇතුලේ ඉන්නා මහා ලොකු පොරවල් වලට මහා පොළොවේ ජීවිතයක් නෑ. මිතුරන් නැහැ. පවුලේ සාමාජිකයින් සමග සබඳතා නැති තරම්. පෞද්ගලිකව මුණ ගැසී කථාකරන විට තමයි වැටහෙන්නේ මොවුන් කොතරම් හිස් මිනිසුන්ද කියලා. මේක මම හිතන්නේ මානසික රෝගයක්!

    ReplyDelete
  6. ඕනෙවට වඩා හිතුවම කරදරයි.. ඒක නිසා ඔන්නොහේ වැඩිය හිතන්නේ නැතුව මහින්ද මහත්තයා ගේ උපදෙස් පරිදි ඉන්නවා..'ෆේස්බුක් තියෙන්නේ ෆන් ගන්න'.. හෙක්.

    ReplyDelete
  7. මම දන්න වගාව පිලිබද ගෘප් එකක ඉතාලියෙ ඉන්න සමහරු
    මොකක් හරි වගාවක් ගැන දාන්නෙ මෙහෙමයි ,,මගේ කැකිරි වගාව(යුරෝපයේ)මගේ වැලේ ඉස්සෙල්ලාම හැදුන ලබ්බ (යුරෝපයේ)....එයාල ඉතලියේ කියල නොලියන්නෙ මොකද....

    ReplyDelete
  8. ඔය ඔක්කොම විනෝදාංශ

    ReplyDelete
    Replies
    1. අපි මෙහෙම හිතමු .........

      " මම ගියා අවුකන බුදුන්ටත් දෑස් දුන් මිනිසා සොයා ......"
      https://www.youtube.com/watch?v=eNBQyUcXfOo

      Delete
  9. ඇතැම් ගැටලු එක්ක මට හිතෙනවා දැන් මාත් පොරක් වෙලා වත් ද කියලා. ....මොනවද මේ කථා පොරක්ම තමයි ඇයි අවුල්ද පැරා

    ReplyDelete
  10. ලෙසටම ලියා ඇත..

    ReplyDelete
  11. දැන් මෙහෙමයි ! තව ඉස්සරහට ?

    ReplyDelete
  12. අනේ මන්දා පරා මට හිතෙන්න මේ සියල්ල යටි පතුල පොලවේ ගෑ වෙන්නැති මිනිස්සුන්ගේ මානසික ව්‍යාධී කියලා . මම වැරදි ඇති . එත් මෙහෙම හිතෙනවා .

    ReplyDelete
  13. කන බොන ඒවා දාන එක දැන් ටිකක් අඩුයි වගේ. තව දෙයක් තමයි මම දකින කල්ලි වාදය. යම් කෙනෙක් එක්ක තර්කයකට පැටලුණහම සමහර වෙන අය තමයි ප්‍රතිතර්ක දෙන්නේ. ඊට පස්සෙ සිද්ධ වෙන්නේ අර පස්සෙ ආ කෙනත් එක්ක දිගට හැප්පෙන්න තමයි. මම මෙහෙම දෙයකුත් නෝට් කරලා තියනවා, ඒ එන සමහරු අර ඔරිජිනල් එක්කෙනාගෙම ෆේක් එකවුන්ට්ස්. මොකද අර වෙන කෙනෙක් ඉදිරිපත් කරපු මුල් තර්කයට හේතු, ඉතිහාසකතා, සියලුදේම මේ දෙවෙනියා දන්නවා. මට හිතෙන්නේ එහෙම කරන්නේ අර මුල් කෙනාට ප්‍රසිද්ධියේ වැටෙන්න බැරි ලෙවල් එකකට වැටිලා අර ප්‍රතිතර්ක ඉදිරිපත් කරන කෙනාට ගහන්න.

    ReplyDelete
  14. ෆේක් වලින් ඉන්නෙ මානසික අසහන කාරයෝද? එතකොට අර ප්‍රියන්ත සමන් කුමාර කියන බුදු දහමට මහින්ද මහත්තයට අපහාස කරන මානසික අසහන ප්‍රොෆයිල් එක කාගෙද? නිකන් සුදු ලූනු පොඩි කරන්න එපා බන්.

    ReplyDelete
  15. brilliant post para. Fully agree. (Almost)
    //ඊට පස්සෙත් දිගට ම එන්නෙ උගන්නන්න. ඒ තමයි ඔන්ලයින් ශාස්තෘවරු. ඒගොල්ලන් ඔක්කොම දන්නවා. අන්තර්ජාලයට පහළ වෙලා ඉන්නෙ අනෙක් අයට කියා දෙන්න. // I stopped arguing with them.
    // පොළවේ වැඩ කරන්න වරෙන් අරවා මේවා කියලා චැලෙන්ජ් කරනවා. මේ පාර නම් පොළවෙ වැඩ කරනවා කියලා හිතාගෙන කොළඹ තියෙන පොත් දොරට වැඩුම්වලට, දේශපාලන ආගමික කල්ලිවල අධ්‍යාපනික වැඩසටහන්වලට දමාගෙන දුවනවා. ටික කාලයක් ගිහින් බැලුවාම ආපහු හිතෙනවා කේක් කාලා පොළවට කක්කා දැම්මාට වඩා පොළවේ වැඩක් කරලා නැති බව. ඉතින් ආපහු අන්තර්ජාලයට එනවා. // Super :)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා