හෙට දකින රනිල් නොදකින හෙට

කළල ගිලුණු මත වරනිඳු ගොඩ ගනිත
තුමුල බලැති ගිජිඳෙකු මිස අන් කෙවත
අපට රනිල් යනු මහ මොළයක් හෝ මිස්ටර් ක්ලීන් කෙනෙකු නො වේ. එහෙත්, ලංකාවේ මේ මොහොතේ සිටින වාමාංශික, දක්ෂිණාංශික, ජාතිවාදී, ප්‍රභූ, නිර්ප්‍රභූ ආදී දේශපාලන චරිත අතරින් ඉදිරියෙන් හා බලවත්ව සිටින ප්‍රධාන චරිතය රනිල් වික්‍රමසිංහයි. ඔහුට ආසන්නයෙන් යන සෙසු බලවත් පිරිස් ලෙස සැලකිය හැක්කේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, මංගල සමරවීර, රාජිත සේනාරත්න, මහින්ද රාජපක්ෂ වැනි අයයි. අන් සියල්ලෝ ම ඊට පිටුපසිනි.

අප රනිල් වික්‍රමසිංහ සමග වැඩ කරන්නේ ඔහු හෙට දකින අයෙකු ලෙස වරදවා වටහාගෙන නම් නො වේ. ඇත්තම කීවොත් ඔහුට මහ ලොකුවට හෙට පෙනෙන්නේ නැත. එහෙම පෙනෙනවා නම් බටලන්ද, බැඳුම්කර වැනි කුණු කේස්වලට නම ගාවා ගන්නේ නැත. බැඳුම්කර කේස් එකට නම ගාවා ගැනීම වනාහි රනිල් ඔහු පිළිබඳ තැබූ විශ්වාසය බරපතල ලෙස පළුදු කර ගැනීමකි.

කෙසේ වෙතත්, අප දකින ආකාරයට, ලංකාවේ මේ නිශ්චිත මොහොතට අදාළ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ සිදු කිරීම සඳහා යෝග්‍යතම නායකත්වය වන්නේ රනිල්-මෛත්‍රී තුලනයයි.

මහින්ද-ගෝඨා ගත්තත් මේ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ වඩා ජනප්‍රිය පදනමක සිට කළ හැකිව තිබුණු සුසංයෝගයකි. එහෙත්, ඔවුන්ගේ පවුල්වාදී, සීමාන්තික කෑදරකම හා මිනීමරු මානසිකත්වය නිසා ඔවුන් මුල් පෙළේ නායකත්වයෙන් බැහැර කර තබා ගැනීම අත්‍යවශ්‍ය ය. එහෙත්, මහින්ද හා ගෝඨා තුළ ආර්ථික ප්‍රතිසංස්කරණ සම්බන්ධයෙන් තිබුණු අධිෂ්ඨානසහගතබව මෛත්‍රී-රනිල් සුසංයෝගයට නැත.

මෙහිදී වඩා ඉදිරිගාමී නායකත්වය ලෙස අප දුටු රනිල්ට වඩා මෛත්‍රීපාල බොහෝ පැතිවලින් පරිණත නායකයෙකි.

රනිල් නොම්මර එකේ කට්ටිවාදියෙකු බව නැවත නැවතත් ඔප්පු කරමින් සිටියි. ඔහුගේ සමීප කවයේ සිටින අය බලන්න. තිලක් මාරපන, මලික් සමරවික්‍රම, ආශු මාරසිංහ වැනි රනිලියානු සමීප කවයේ දේශපාලකයන්ට කැමරාවක් දිහා කෙළින් බලන්නට පවා හැකියාව නැත. ජනතාවගේ ඇස් දෙස කෙළින් බලන්නට බැරි අන් කිසිදු හේතුවක් නිසා නොව, තමන් බලයට පත් වී තිබෙන හොර පාරවල් ගැන ඔවුන් දන්නා නිසා ය.

මෛත්‍රීපාල ජන බලය ගැන වැඩි විශ්වාසයක් තබා ඇති නායකයෙකි. ඔහු ක්‍රමානුකූලව ශ්‍රීලනිපය තුළ පදනමක් ගොඩනගා ගනිමින් තිබේ. උපායිකව එය වැරදි යයි කිව නො හැකි ය. මහින්දට ඕනෑ නම් විජේදාස රාජපක්ෂ වැනි අසාර්ථක නන්නත්තාරවාදීන් එකතු කරගෙන ගොඩ ටිකක් ලොකු කරගෙන තාවකාලික සෙල්ලමක් පෙන්නන්නට පුළුවන. මෛත්‍රීපාල සිරිසේනට ඉදිරි සංවත්සරයෙන් පසු සුසිල් ප්‍රේම ජයන්ත, ජෝන් සෙනෙවිරත්න, නිශාන්ත මුතුහෙට්ටිගම වැනි ආණ්ඩුවේ හිඳිමින් මහින්දට තවමත් කඩේ යන නිවටයන්ට බැහැපියව් දොට්ට යයි කියන්නට ශක්තිය ලැබෙනු නියත ය.

මේ වන විට ශ්‍රීලනිපයට අලුත් බලවේග එකතු වෙමින් සිටියි. මොන බයිලා කිව්වත්, ඡන්දයකදී මහින්දගේ නමට මෙන් ම ශ්‍රීලනිපයටත් බලයක් ඇත. මේ වන විට මෛත්‍රීපාල කියන නමටත් බලයක් ගොඩනැගෙමින් තිබේ.

මහින්දගේ උපාය වන්නේ මෛත්‍රීපාලව බිත්තියට හේත්තු කර 'අගමැතිකම මට දීපන් උඹට ජනාධිපති වෙලා ඉන්නට දෙන්නම්' යයි තර්ජනය කරන්නට ය. එය බැරි වුණොත්, මහින්ද නියත වශයෙන් ම රනිල් වෙත ගොස් 'ඔයාට ජනාධිපතිකම දෙන්නම් මෙයා - මට අගමැතිකම දෙන්නැ'යි කියන්නට ඉඩ තිබේ.

මේ කරුණ මා සමග කියූ ප්‍රභූ දේශපාලනයට සමීප මිතුරා පැවසුවේ මෙතැනදී මෛත්‍රීපාල මහින්දට අහු නො වනු ඇති මුත්, රනිල් ෂුවර් නැති බවයි.

හෙට දකින රනිල් කෙනෙකු හදා ගන්නට ඕනෑ නම් මෙන්න මෙතැනදී නො ඇඹරෙන රනිල් කෙනෙකු හදා ගන්නට රනිල්වාදීන් වග බලා ගත යුතු ය.

වත්මන් බල තුලනය බුද්ධිමත්ව රැක ගන්නේ නම් 2025 දක්වා බලය රැක ගැනීම දුෂ්කර නැත. රාජපක්ෂ පවුලේ බාල චෞරයන්ට සිර ගෙදර රුවන් දොරටු විවර වනවාත් සමග ම මහින්දට හා ගෝඨාභයට පවා කැමති නම් රටේ සංවර්ධනයට දායක විය හැකි සම්මුතියකට එළඹීමට ඉඩ ලබා දිය හැකි ය. ලංකාවේ දේශපාලනයේ ඉන්න බහුතරයක් පල් හොරු තමා ය. මේ මොහොතේ දේශපාලනයේදී වඩා වැදගත් වන්නේ දැනට කරගෙන යන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ ඉදිරියට ගෙන යාමයි. සොරුන් හිරේ යැවීම වුව ඊට දෙවෙනි ය.

අප සහාය දෙන සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ මොනවාදැයි සරලව කියන්නේ නම් ඒ මෙසේ ය:


  1. පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
  2. රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී බදු, පරිපාලනය, ආරක්ෂාව, ව්‍යාපාර නියාමනය, නීතියේ ආධිපත්‍යය, මහජන සුබසාධනය, සමාජාරක්ෂාව දිළිඳුකම දුරලීම වැනි කාරණාවලට මූලික අවධානය යොමු කිරීම
  3. රාජ්‍යය ප්‍රමාණාත්මකව කුඩා හා වඩා කාර්යක්ෂම එකක් බවට පත් කිරීම
  4. රජයේ මධ්‍යම පංතික ආධිපත්‍යය තුලනය කිරීම හා වැඩකරන ජනතාවට හා ව්‍යවසායකයන්ට වැඩි බලයක් ලබා දීම.
  5. ගෝලීය ආර්ථිකය හා දේශපාලනය සමග සුබවාදීව කටයුතු කිරීම
දැනට ඒ ඇති ය. මේ වනාහි සමාජවාදය ගැන කතිකාවේ ලංකාවේ පොළවේ මේ මොහොතේ නිශ්චිත දේශපාලනයයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. 100% ඔබ හා එකඟවෙමි.

    ReplyDelete
  2. 100% ඔබ හා එකඟවෙමි.

    ReplyDelete
  3. වියුණු ලොවේ තනි මංසල අතරමං වෙලා
    සුසුම් හෙලන පාඨක අප හදවත් සනසා
    අතීතයේ ගිලිහී ගිය ජොලිය රැගෙන යළි වඩින්න
    ආරාධනා ආරාධනා

    නෙලූ නෙලිලි දස අත බ්ලොග පවුරැ තලාවේ
    මැකී ගියාදෝ කාලයේ වෙරළේ
    මල්ලේ පොල් දිගු ගමනින් අනාත වූ දා
    ජාතිකවාදී පියුමන් යළිදු පිපේවා
    ආරාධනා ආරාධනා

    ReplyDelete
  4. බටලන්දෙන් මඩ ගාගෙන
    බැඳුම්කරෙන් ගොම නාගෙන
    හෙට නොදකින ජහමනයට
    හෙට පෙන්නන රනිල්

    හොරු අල්ලන්නට ඇවිදින්
    තව තව හොරු බෝකරගෙන
    පුක නොදකින ජහමනයට
    පුක පෙන්නන රනිල්

    උඩඟුකම හිතේ දරාන
    ලූලා නැති වල රජයන
    කණයන් බැතියෙන් අදහන
    හතලිස් වසරක් සපුරන
    චිරං ජයතු රනිල්




    ReplyDelete
  5. නෙවිල් චෙම්බලේන්August 21, 2017 at 9:37 PM

    //මහින්ද-ගෝඨා ගත්තත් මේ සමාජ-ආර්ථික-දේශපාලන ප්‍රතිසංස්කරණ වඩා ජනප්‍රිය පදනමක සිට කළ හැකිව තිබුණු සුසංයෝගයකි. එහෙත්, ඔවුන්ගේ පවුල්වාදී, සීමාන්තික කෑදරකම හා මිනීමරු මානසිකත්වය නිසා ඔවුන් මුල් පෙළේ නායකත්වයෙන් බැහැර කර තබා ගැනීම අත්‍යවශ්‍ය ය.///
    දැන් ඒතෙකාට රනිල්ට ඒ් සීමාන්තික කෑදරකම නැද්ද ? කෑදරකම තියාෙගන හරි රට හදන නායකෙයක් රටට වින කරන රට ඒකතැන පල්කරන පෙතා්ල නායකෙයක්ට වඩා ෙහාඳ නැද්ද

    ReplyDelete
    Replies
    1. Pashchat nuthana kade yama kiyanne menna me wage article walata thamayi. Nosahenna banala ape gona apita hondayi yana conclusion eka deema; ennam Ranil = hondayi

      Delete
  6. හෙට දකින රනිල් සහ සම්බන්දන් !
    රනිල්-සම්බන්දන් දේශපාලන සහජීවනය මගින් අද උතුරු දකුණ යාකරයි.එමගින් රටේ හෙට දවස තීරනය වේ.

    ReplyDelete
  7. You are wrong Para, Sirisane can't ask anyone to get out, rather he will lick anyone's feet to come in. Why? he need power to try again in 2020, he had this idea from day one. That is why he appointed election losers to the parliament and given ministries. It is easy to control losers like SF than MR. Remember his two tongue statements during election time thinking that MR+SLFP will win and he will have no parliament to work with.

    ReplyDelete
  8. 90% ක් ඔබ සමග එකඟ වෙමි...රාජිත සේම මහින්ද ද දේශපාලන මගේ අවසානයට ආව අය වේ...ඔවුන්ට ඔයට වඩා අනාගතයක් නැත...මංගල, සජිත් වැන්නවුන්ට නම් ශක්ශ්‍යතාවක් ඇත .

    ReplyDelete
    Replies
    1. සහෝදරයා , මංගල කෙසේ වෙතත් සජිත් යනු පට්ටි හරක් පැටියෙක් බව ඔහුගේ අමාත්‍යංශය යටතේ ඇති සියලුම ආයතන වල සේවකයන් දේශපාලන බේදයෙන් තොරව කියයි.මුදලට ගත් මාධ්‍ය අනුග්‍රහය හරහා මිනිහා හෙන පොරක් හැටියට පුම්බගෙන ඉන්නේ.නමුත් දැන් රාජ්‍ය ඉංජිනේරු සංස්ථාවද පුද්ගලීකරණය කරන්න හදනවා. සියලු ආයතන බංකොලොත්. පඩි ගෙවා ගන්නවත් බැහැ .

      Delete
  9. පැරා, විග්‍රහයට එකඟයි. නමුත් මෙය පුද්ගලනුබද්ධව නොවී දේශපාලනික විග්‍රහයක් වූවා නම් වඩාත් අර්ථවත්. විශේෂයෙන්ම රනිල් මෛත්‍රී සුසංයෝගය දේශපාලනිකව නැතහොත් පංතීන් අතර අරගලයේදී මුහුණ දෙන ගැටළු කෙසේද? යන්න කතාකිරීම වඩාත්ම සරුසාරයි.
    ඔබ පංති අතර ගැටුම් දැන් පිළිගන්නේ නැතිවද මන්දා ....?

    ReplyDelete
    Replies
    1. මම නම් හිතන්නෙ මාක්ස්වාදය පවත්නා තත්වයන් විග්‍රහ කර ගන්න උපයෝගී කර ගත හැකි එක් මෙවලමක්. එකම මෙවලම නෙමෙයි. පංති පිළිබඳවත් මා හිතන්නෙ පංති සමාජයේ පවතින එක් තත්වයක් මිස එකම හෝ මූලික ම තත්වය නෙමෙයි.

      Delete
  10. කෙටියෙන් ලියන්න ඉගෙන ගනිං බං

    (1) ධනවදය ට ඉඩ දෙමු.
    (2) බටහිර අධිරාජ්‍යවාදය ඉදිරිපිට දන ගහමු.
    (3) හැබැයි බොරු සමාජවාදී වෙස් මුහුණක් පළඳිමු.

    ReplyDelete
    Replies
    1. එතකොට හරියට හිටිය, ලෙඩ වුණා, මළා වගේ නෙ. කාගෙවත් චරිත කතාවක්වත් ලියන්නට වෙන්නෙ නැහැ.

      Delete
    2. ධනවාදයේ එක වැරැද්දක් පුළුවන් නම් පෙන්වා දෙන්න...

      Delete
    3. //ධනවාදයේ එක වැරැද්දක් පුළුවන් නම් පෙන්වා දෙන්න...//

      1.අසාර්ථක විකල්පයන් බිහිවිම .

      හික්ස් ZZZZZZZ

      Delete
  11. පැරා විසින් තම බොරු සමාජවාදී රෙද්ද ගලවා දමා, තම ධනවාදී නිරුවත පෙන්වූ එම ඓතිහාසික මොහොත ඔබත් දැක ගන්න.

    පැරා මෙපමණ කලක් අපට ඇඟවූයේ තමන් මහින්ද විරෝධියෙකු බවත්, තමන් රනිල්ට සහාය දෙන්නේ මහින්දට විරුද්ධව බවත්ය. එහෙත් ඒ සියල්ල බොරු බවත්, පැරා ගැන අප මෙතෙක් කී සියල්ල සත්‍ය බැව් මේ අනුව සනාථ වන බවත්, පැරා යනු ධනවාදයේ ඒජන්තයෙකු බවත්, මේ අනුව ඔප්පුවේ.

    මෙන්න පැරා ගේ කටින්ම මේ බව අසා ගන්න.

    // සොරුන් හිරේ යැවීම වුව ඊට දෙවෙනි ය. //

    // මහින්දට හා ගෝඨාභයට පවා කැමති නම් රටේ සංවර්ධනයට දායක විය හැකි සම්මුතියකට එළඹීමට ඉඩ ලබා දිය හැකි ය. //

    ඒ අනුව,

    හොරු ඇල්ලුවේ නැතිවාට කමක් නැත. මහින්ද - ගෝඨා නැවත සෙට් වුනාට ද කමක් නැත. රනිල්ගේ වේගය මදිනම්, මහින්ද - ගෝඨා ගෙනැවිත් හෝ වේගයෙන් යා යුතුය.

    නමුත් යායුත්තේ කොහාටද?

    නැවතත්, පැරාගෙන්ම අසා දැනගනිමු.


    1. පෞද්ගලික ව්‍යවසායකත්වයට මුල් තැන දීම
    2. රජය ව්‍යවසායන්ගෙන් ඈත් වී . . .

    මේ ධනවාදය හැර අන් කුමක් ද?

    ReplyDelete
    Replies
    1. ධනවාදයේ එක වැරැද්දක් පුළුවන් නම් පෙන්වා දෙන්න...

      Delete
    2. ප්‍රධානම වැරැද්ද සූරෑකෑම. අවම වශයෙන් කොමියුනිස්ට් ප්‍රකාශනය කියවන්නකෝ. එතකොට තේරෙයි.

      Delete
    3. නියම ධනවාදයේ ඇති සූරාකෑමක් නෑ.. මිනිස්සු තමන්ගේ විව්‍යසායකත්ව හැකියාවක් පාවිච්චි කරලා මුදල් හොයනවා.. එච්චරයි... කොමියුනිස්ට් ගුබ්බෑයම්වල තමා රජය (බොහෝවිට කැස්ත්‍රෝ පවුල වගේ එක පවුලක් ) මුලු ජනතාවගේම ජීවත් වීමේ අයිතියේ ඉදන් සූරා කන්නේ... සමාජවාදය අසාර්තකයි... ලෝකයේ දියුනු රටවල් සියල්ලක්ම ධනවාදී රටවල්... කවදාවත් ධ්නවාදී රතැඛැ ඉදන් සමාජවාදී රටවලට මිනිස්සු සංක්‍රමනය වෙනවා කියල අහල තියෙනවද?

      Delete
    4. ඔබ සමාජවාදය ලෙස හඳුනාගෙන ඇත්තේ කැස්ත්‍රෝවාදය ඇතුළු විකෘති සමාජවාදී රටවල තත්ත්වයන්. එයම තමා ධනපති ගුබ්බෑයම්වල මතුර මතුර කියවන්නේ. ඔබට එම ගුබ්බෑයමේ ලගින්න අයිතිය ඇත. නමුත් කොමියුනිස්ට් ප්‍රකාශනය අල්ලලාවත් නැති ව සංක්‍රමණ ගැන කතා කරමින් සමාජවාදයට ගරහන්නේ මනෝ විකාරයෙන් පෙලෙන නිසා මිස අන් කිසිවක් නිසා නොව.

      ඔබේ තර්කය හරියට තලේබාන් බෞද්ධයෝ තමයි නියම බෞද්ධයෝ කියල කියනවා වගේ වැඩක්.

      මම- ඇනෝ AUG 22 ඇත 9:01 AM

      Delete
  12. මම මේ බ්ලොග් එකේ කියවපු හොඳම ලිපිය!

    ReplyDelete
  13. මමනම් හිතන්නෙ ලංකාවෙ ඉදිරිගාමීම සිංහල ඡන්ද බැංකුව කේන්ද්‍ර කරගත්ත දේශපාලඥයා මංගල සමරවීර. සාපේක්ෂව. අනික නියෝජනය කරන අදහස් වලින්. ඒත් කියන තරම් මාර කෙනෙක් නෙවෙයි.
    වාමාංශික දේශපාලඥයෝ ඉතාම පසුගාමී බොරුකාරයෝ ටිකක් .
    ඉතින් රනිල් සාපේක්ෂව හොඳ බව ඇත්ත.

    ReplyDelete
  14. ""රාජපක්ෂ පවුලේ බාල චෞරයන්ට සිර ගෙදර රුවන් දොරටු විවර වනවාත් සමග ම මහින්දට හා ගෝඨාභයට පවා කැමති නම් රටේ සංවර්ධනයට දායක විය හැකි සම්මුතියකට එළඹීමට ඉඩ ලබා දිය හැකි ය.""

    පට්ට තර්කයක්
    හොරා කෑව කියල චෝදනා කරනවානම්, ඔප්පු කරන්නත් පුළුවන්නම්, ඇයි රාජපක්ෂ බාල "චෞරයින්ව" විතරක් ඇතුලට දාන්න යෝජනා කරන්නේ
    හැමෝටම එක හැන්දෙන් හරියට බෙදුවොත් යහපාලන හොර නඩයත් ඇතුලට යන්න ඉඩ තියෙන නිසාද මහින්ද සහ ගෝඨාව එළියේ තියාගෙන සංවර්ධනයට දායක කරගන්නව වගේ ඔෆර් දික් කරන්නේ

    සාධාරණ සමාජේ හදා ගන්න ඇත්තටම හීන දකිනවනම් උන්වත් ඇතුළට දක්කන්න කතා කරන්න එපැයි පැරා, මොනවද මේ දෙබිඩි කතා

    ReplyDelete
  15. agree with you.But don't Ranil's crony capitalism make you shiver? or else do you think Maithree will act as a controlling factor?

    ReplyDelete
    Replies
    1. මෛත්‍රී මේ තත්වයන් තුලනය කරන්නට ඉවහල් වෙලා තියෙනවා. ඒක හොඳයි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා