පැහැදිලි අයවැය යෝජනාවලියක්
කැඩිච්ච සිංහලෙන් පැය හතරකට වඩා දිග කතාවක් අසා සිටීම කම්මැලි වැඩක් වුණත් අයවැය වැදගත් ප්‍රතිපත්ති ප්‍රකාශනයකි |
රජයේ අයවැය යෝජනා අතර කැපී පෙනෙන ලක්ෂණ කීපයක් තිබේ. ඒවා මෙසේ ය:
- අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
- සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
- වාහන භාවිතය අධෛර්ය කිරීම
- ඍජු විදේශ ආයෝජන දිරිගැන්වීම
- සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම
අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
අයවැයෙන් ඇතැම් භාණ්ඩවල මිළ පාලනය කර තිබේ. ඇතැම් මිළ පාලනයන් නරක දේ නො වන බව කුකුළු මස් වැනි භාණ්ඩ සම්බන්ධයෙන් කලක සිට ක්‍රියාත්මක වන මිළ පාලනයන් දෙස් දෙයි. මිළ පාලනය හේතුවෙන් වටිනාකම එකතු කළ නිෂ්පාදන අලෙවියට ද දිරිමත් කෙරේ. උදාහරණයක් ලෙස මස් වෙළෙන්දෝ කුකුළාගේ හම ගසා හම වෙනම විකුණා, සම රහිත කුකුළු මස් වැඩි මිළකට විකුණති. චිකන් කොටස් අලෙවියක් ද තිබේ. එහෙත් වටිනාකම එකතු කිරීම මීට වඩා දෙයක් වෙනවා නම් හොඳ ය. ආප්ප, ප්ලේන් ටී වැනි භාණ්ඩවල මිළ පාලනය කරන්නට ද පසුගිය දිනවල ආණ්ඩුව මැදිහත් වූයේ ය.මිළ පාලනය යනු ඉතා කල්පනාකාරීව කළ යුතු දෙයකි. ප්‍රායෝගිකත්වයෙන් අඩු වුණත්, ජනප්‍රියත්වය රැක ගැනීමට ඉවහල් වේ
සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
මෙය මතභේදයට තුඩු දෙන කාරණයකි. සහනාධාර ලැබිය යුත්තේ ඒවා අත්‍යවශ්‍ය කොටස් වෙත ය. සියලු දෙනාට සහනාධාර අවශ්‍ය නැත. උදාහරණයක් ලෙස ඉහළ පෙළේ පාසල්වලට ළමයින් යවන මව්පියන්ට නොමිළේ දෙන බාල රෙද්දෙන් වැඩක් නැත. එහෙත් දිළිඳු පාසල් දරුවන්ට එක නිල ඇඳුම් රෙදි කට්ටලයකට වඩා ලබා දිය යුතු ය.
පොහොර සහනාධාරය ද විශාල නාස්තියකට හේතු වී තිබේ. පොහොර සහනාධාර ලබා දිය යුත්තේ වෘත්තීය ගොවියන්ට ය. එසේම, රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර දිරිගැන්විය යුතු ය.
සමාජවාදී අර්ථයකින් ගත්තත් මෙම පියවර දිරි ගැන්විය යුතු ය. ජනතාව ලෙස ආණ්ඩුව ලවා කරවා ගත යුත්තේ ජනතාවගේ මිළ දී ගැනීමේ ශක්තිය වැඩි කර ගැනීම සඳහා පියවර ගැනීම මිස හැම රෙද්දකට ම මැදිහත් වන ආණ්ඩුවක් ගොඩනැගීම නො වේ. ආණ්ඩුවල පාලන හැකියාව අනවශ්‍ය තරම් ශක්තිමත් වීමට සහනාධාර ද එක් හේතුවකි.
එහෙත්, ආණ්ඩුවට විරුද්ධව ජනතාව උසිගන්වන්නට බලා සිටින පෙරටුගාමී සමාජවාදී පක්ෂයට හා ඔවුන් කඩේ යවන මහින්ද රාජපක්ෂ බලවේගයට මේවා පනින රිලවුන්ට ඉනිමං වැනි ය. මෙවැනි ක්‍රියාමාර්ග පැහැදිලි කර දීමට අවශ්‍ය මාධ්‍ය ශක්තිය ආණ්ඩුවට තිබේ ද යන්න සැක සහිත ය.
දේශපාලකයන්ට හා ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන්ට තීරු බදු රහිත වාහන සහනාධාරය අත්හිටුවීම රජය විසින් ගන්නා ලද විප්ලවීය ම ප්‍රතිපත්තිමය පියවරයි. මෙය මහ දවල් මංකොල්ලයක් වැළැක්වීමකි. මෙම ප්‍රතිපත්තිය ආරක්ෂා කර ගැනීමට ආණ්ඩුවට ධෛර්යය දීම ජනතාවගේ පැත්තෙන් ගත යුතු සමාජවාදී පියවරකි. දේශපාලකයන් තරම් ම දූෂිත ජ්‍යේෂ්ඨ රජයේ නිලධාරීන් මෙයට එරෙහිව අවි අමෝරා ගැනීමට ඉඩ තිබේ.
වාහන භාවිතය අධෛර්ය කිරීම
මේ වන විට කොළඹ මාර්ග තදබදය දරා ගත නො හැකි තත්වයකට පත් වී තිබේ. ලංකාවේ මාර්ග පද්ධතියට දරා ගත නො හැකි තරම් වාහන සංඛ්‍යාවක් භාවිතයට පැමිණ ඇති බව පැහැදිලි ය. (කොළඹ වාහන තදබලය ගැන මෙතනින් කියවන්න) වාහන ආනයනය වෙනුවෙන් වැය වන්නේ විදේශ විනිමයයි.
එහෙත්, මිනිස්සු තමන් ළඟ වාහනයක් තබා ගැනීමට පෙළඹෙන්නට එක් හේතුවක් වන්නේ පොදු ප්‍රවාහන සේවාවල දුර්වලකම ය. පෞද්ගලික වාහන හා ත්‍රිරෝද රථ නැතිනම් කොළඹින් බැහැර ජනයාට ගමන් බිමන් යන්නට ක්‍රම අල්ප ය.
පොදු ප්‍රවාහන සේවා සංවර්ධනය කිරීමේ වැදගත් යෝජනා අයවැයෙහි නැත. බස් සේවා ඒකාබද්ධ කර විධිමත් කිරීමට හෝ බැරෑරුම් උත්සාහයක් ආණ්ඩුව පැත්තෙන් නැත. ප්‍රවාහන ක්ෂේත්‍රයේ කුඩා ව්‍යවසායකයන් ඒකාබද්ධ කර සමාගම් නිර්මානය කිරීම ද නියාමනයෙහිදී වඩා ඵලදායී වේ. ලංගමට තව බස් ගෙන්වීම නම් වැඩක් ඇති වැඩකැයි සිතිය නො හැකි ය. ලංගම, දුම්රිය වැනි ලාභ ලැබිය හැකි ව්‍යාපාර මහජන මුදලින් නඩත්තු වීම අවසන් කිරීමට පියවර ගත යුතු ය.
පික් මී වැනි කුලී රථ සේවා සම්බන්ධීකරණ මෙවලම් කොළඹින් බැහැරට ද හඳුන්වා දීමට පෞද්ගලික ව්‍යවසායකයන් දිරි ගැන්විය යුතු ය.
මේ වන විට වාහනය උපයෝගී භාණ්ඩයකට වඩා පාරිභෝජන සංස්කෘතික ලක්ෂණයක් වීම සෑම සමාජ තරාතිරමක් කරා ම විහිදී තිබේ. ඒ නිසා වාහන භාවිතය අධෛර්ය කිරීමේ පියවර දැඩි විරෝධයට ලක් වනු ඇත.
කෙතරම් ජනප්‍රිය නැති වුණත්, මෙම පියවර ආරක්ෂා කර ගැනීම ආර්ථිකය පැත්තෙන් වැදගත් ය.
ඍජු විදේශ ආයෝජන හා සංචාරක ව්‍යාපාරය දිරිගැන්වීම
ආයෝජන මණ්‌ඩලය, අපනයන සංවර්ධන මණ්‌ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය යන ආයතන ප්‍රතිව්‍යූහගත කිරිමට නියමිත අතර එම ප්‍රතිව්‍යූහගත ක්‍රියාවලිය අවසාන වන තෙක් ඒ සඳහා සංවර්ධනය සඳහා වූ නියෝජිතායතනය නම් වූ සංවිධානයක් පිහිටුවීමට යෝජනා කර තිබේ.
රටට විදෙස් ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා විදේශිකයන්ට ඉඩම් බදු දීමේ දී පනවා ඇති බදු ඉවත් කිරීමට ඉඩම් පනත යටතේ හඳුනාගත් ආයෝජනවල හිමිකාරිත්වය සම්බන්ධයෙන් පනවා ඇති සීමාවන් ඉවත් කිරීමටද සලකා බැලීමට නියමිතය.
ආයෝජන ප්‍රවර්ධනය සඳහා බාධාකාරී විනිමය පාලන පනත අහෝසි කිරීමට හා ආයෝජන හිතකාමී විදේශ විනිමය කළමනාකරණ පනතක් හඳුන්වාදීමට ද අයවැයෙන් යෝජනා කර තිබේ.
දේශීය ශ්‍රමිකයන් සමඟ කටයුතු කරනු ලබන විදේශීය ඉදිකිරීම් සමාගම් සඳහා දැනට පවත්නා බදු නිදහස තවදුරටත්, ගොඩනැගිලි ක්ෂේත්‍රයේ පුහුණුවන ශ්‍රමිකයන් සඳහා රුපියල් 10000 ක මාසික දීමනාවක් ලබා දීමත්, සංවර්ධන ඉලක්ක සමග ඉදිකිරීම් කර්මාන්තයේ පිබිදීමක් අපේක්ෂාවෙන් ගත් පියවරක් බව පෙනේ.
සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත දිරිමත් කිරීම
සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යවසායකයන්ගේ ගැටලු අවම කිරීම සඳහා නියාමන අධිකාරියක් පිහිටුවීමට කර තිබෙන යෝජනාව ද ප්‍රශස්ථ පියවරකි. එසේම 2016 දී මිලියන 500 ක ණය මුදලක් වෙන් කර තිබේ. භාණ්ඩ අලෙවිකරණය සඳහා අතහිත ලබා දෙන බව ද පැවසේ.
කෘෂි, ධීවර වැනි ක්ෂේත්‍ර වෙනුවෙන් ද යම් වැදගත් යෝජනා ඉදිරිපත් වී තිබේ. එහෙත්, මේ ක්ෂේත්‍ර කෙරෙහි යොමු කර තිබෙන්නේ සාපේක්ෂව අඩු අවධානයක් බව පෙනේ. අධ්‍යාපනය වෙනුවෙන් වැඩි අවධානයක් යොමු වී ඇති බවක් අයවැයෙන් පෙනේ.
විශ්‍රාම වැටුප
2012 වසරේ ජනගහණ සංඛ්‍යාලේඛන අනුව මේ වන විට සමස්ත ජනගහණයෙන් 12.4%ක් වන ශ්‍රී ලංකාවේ වැඩිහිටි ජනගහණ අනුපාතය 2020 වන විට 16% දක්වා ද, 2050 වන විට 29%දක්වා ද වැඩි වනු ඇතැයි ප්‍රක්ෂේපණය කර තිබේ. එබැවින් වගකීමක් ඇති කිසිදු රජයක් ජනතාවගේ විශ්‍රාම වැටුප අහිමි කිරීමට කටයුතු කරනු ඇතැයි සිතිය නො හැකි ය. (ජනගහණයේ වැඩි වන වැඩිහිටි අනුපාතය ගැන මෙම ලිපියෙන් කියවන්න)
විශ්‍රාම වැටුප් ක්‍රම විධිමත් කළ යුතු ය. සේවක අර්ථසාධක අරමුදල හා සේවක භාරකාර අරමුදල විධිමත් විශ්‍රාම වැටුප් ක්‍රම නො වේ. ඒවා විධිමත් කළ යුතු ය. එහෙත් රජය කරන්න යන්නේ කුමක් ද යන්න ගැන පැහැදිලිව කිව යුතු ය.
මේ වන විටත් පෙරටුගාමී සමාජවාදී ව්‍යාපාරය වැනි පක්ෂ මෙය විශ්‍රාම වැටුප් කප්පාදු කිරීමක් ය යන ආන්තික මතය ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ.
මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් මෙතැනින් ගත් බව කියන්න
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.
හීලියම් වාහන ගැන මොකද හිතන්නෙ ?
ReplyDeleteහීලියම් වායුව වහාම සක්‍රිය වායුවක් කරන්න ආණ්ඩුව පියවර ගනීවි. ඇයි අවුල් ද?
Deleteඅනෙකුත් අයවැය යෝජනා ඔබ කොහොමද රසායන විද්‍යාත්මකව විග්‍රහ කරන්නෙ?
රසායන විද්‍යාත්මකව විග්‍රහ කරන්න ඕන එක ආර්ථික විද්‍යාවෙන් විග්‍රහ කරන්න බැහැ.
Deletehttp://mahakalu.blogspot.com/2015/11/helium-cars-for-sale-in-sri-lanka.html
මහත්තයෝ... හීලියම් වායුව ගැන එහෙම නැත්තං හීලියම් වායුව ශක්ති ප්‍රභවයක් විදියට යොදාගැනීම ගැන (nuclear fusion - තරු වල ඇතුලේ මේක සිද්ධ වෙනවා) විස්තර කරන්න ඕනෙ රසායන විද්‍යාවෙන් නෙවෙයි භෞතික විද්‍යාවෙන්
Deleteඅත්‍යවශ්‍ය භාණ්ඩ මිළ පාලනය
ReplyDeleteප්‍රායෝගිකව කරන්න බැරි දෙයක්. විශේෂයෙන්ම කිරිපිටි, සැමන් වගේ දේවල් වලට සාර්ථක වුනත් හාල්මැස්සන්ට, සාලයන්ට මිල ගැහිල්ල විහිළුවක්. අවංක උත්සාහයක් තියනව නං පාලනය කල හැකි භාණ්ඩ වලට පමණක් මිල පාලනය ගෙන ආ යුතුයි.
සහනාධාර ක්‍රම අධෛර්ය කිරීම
හොඳයි. නමුත් ආණ්ඩු පෙරලෙන්න පුළුවන් සිද්ධියක්. ගොවි ජනතාව විශාල වශයෙන් ඉන්න රටක් විදියට පරීක්ෂාකාරීව කලයුතු වැඩක්. ආණ්ඩුව, දැනටත් ගොවියන් අතර අපකීර්තියට ලක්වෙමින් තියනව.
වාහන
වාහන පාවිච්චිය තීරණය කල යුත්තේ රටේ ජනතාව මිසක් පාර්ලිමේන්තුව නෙවේ. වාහන මත පනවා ඇති අධික බද්ද ඉවත් කල යුතුයි. පොදු ප්‍රවාහන සේවාව වෙනුවෙන් කිසිදු ප්‍රතිපත්තිමය මැදිහත් වීමක් නොකර වාහන වලට සීයට 150 දක්වා බදු ගැහිල්ල හොඳ තීරණයක් නෙවේ.
වාහන පර්මිට් කැන්සල් කිරීමත් ජනප්‍රිය තීන්දුවක් විතරයි. රාජ්‍ය සේවයේ වැටුප බැලුවම මනුස්සයෙකුට වාහනයක් ගන්න ලෙහෙසි නෑ. පර්මිට් එකෙන් වෙන්නෙ අධික බද්දෙන් නිදහස් වීමක් පමණයි. පර්මිට් විකිණීම වලක්වන්න පුළුවන් එක පෑන් පහරකින්.(රජයේ සේවකයන්ට අදාලව).
විශ්‍රාම වැටුප
කප්පාදුවක් මිසක් වෙන යමක් නෙවේ. කලයුත්තේ රාජ්‍ය සේවය ක්ෂුද්‍ර කිරීම මඟින් සිදුවන හාණිය අවම කිරීමත් පෞද්ගලික අංශයට විශ්‍රාම වැටුප් ක්‍රමයක් ගෙන ඒම මඟින් රාජ්‍ය සේවයට ඇතුළුවීමට සිටින පිරිස අඩු කිරීමත්.
රජයේ සේවකයන් ගෙන් පුද්ගලික අංශයේ සේවකයන්ට වඩා වෙනස් සේවයක් වෙනවාද ඔය පර්මිට් වගේ දේවල් සහ විශේෂ වරප්‍රසාධ දෙන්න?
Deleteරාජ්‍ය සේවය කියන්නෙ එකක්, පෞද්ගලික අංශය කියන්නෙ වෙනම එකක්. පෞද්ගලික අංශය තනිකරම ලාභය මූලික කරගත්තක්. රාජ්‍ය සේවය කියන්නෙ අත්‍යාවශ්‍ය, මඟහැර යා නොහැකි සේවාවන් සපයන තැනක්.
Deleteරාජ්‍ය සේවය ලාභ නොලබන-මුදල් උපදවන්නේ නැති- තැනක් නිසා එතන තිබිය යුත්තේ අත්‍යාවශ්‍යයෙන්ම තිබියයුතු අංශ කිහිපයක් විතරයි. අන්න ඒකයි රාජ්‍ය සේවය ක්ෂුද්‍ර කලයුතු වන්නේ. උපාධිධාරීන්ටත් දේශපාලන හෙංචයියන්ටත් ලගින්න පුළුවන් තැනක් නොවිය යුතුයි. එසේ වුනොත් රාජ්‍ය සේවය මිනිස්සුන්ට බරක් ඇති තැනක් නොවෙන්න පුළුවන්.
පර්මිට් දීම ගැන කියන්න වෙන්නෙ රාජ්‍ය සේවයේ යම් පිරිසකට පර්මිට් දුන්නට අවුලක් නෑ. ඒක හරියට පෞද්ගලික අංශයේ සේවකයන්ට ලැබෙන වාහන වැනි වරප්‍රසාදයක් පමණයි.
පැරකුම් මහතා,
ReplyDeleteඅයවැයෙන් අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කරලා කියල කිව්වට ඒක කරලා තියෙන ක්‍රම වේදය ගැන මොකක්ද ඔබෙ අදහස. පාසැල් වල දැනට තියෙන ගොඩනැගිලි වටිනාකම වත්කමක් තමයි. ගොඩනැගිලි නැතිව ඉස්කෝල පවත් වන්න බැහැ . නමුත් ඒක වියදමක් විදියට අලුතින් පෙන්නලා එහි වටිනාකම අධ්‍යාපනයට මෙවර කරන වියදමක් ලෙස පෙන්නීම නම් වැරදියි. මේකට ගණකාධිකරණ භාෂාවෙන් කියන්නේ සෙවනැලි වියදම කියලා. ඒක ගිණුම්ගත කරන්නෙ සිහිවටන ගිණුම් memorandum වල මිසක් ඇත්ත ගිණුම්වල නොවේ. ආර්ථික විද්‍යාව පිලිබඳ නිපුණත්වය දැක්වුයෙක් විසින් නියානය කලයුතු අයවැය සම්පනය වෘතිමය ගණකාධිකාරී වරයෙක් විසින් කිරීම නිසා මෙය සිදුවූ බවයි මගේ අදහස.
සමරසේකර
ජේ. ආර්. යුගයේ තිබුණා වගේ ලංකාවට ආනයනය කරන වාහනවලට සාධාරණ අයාත බද්දක් අය කරනවා නම් මේ පර්මිට් ප්‍රශ්නයක් එන්නේ නැහැනේ. වාහනවලට ලොවෙත් නැති ටැක්ස් ගහන නිසානේ මේ සේරම අවුල...
ReplyDelete