ජීවිතය අන් තැනක: ශාස්තෘ

ප්‍රියන්ත ලියනගේ , සත්හඬ 2015 නොවැම්බර් 15 

මහත්තයගෙ නම කියන්නැයි ව්‍යාපාර ස්වරූපී හඬකින් කියූ ඇය මා දෙස නොබලාම සිය ස්පාඤ්ඤ ජාතික ආච්චි අම්මාගෙන් සොරකම් කරගෙන පෝල් අයිවන් මට තෑගි දුන් අනතුරුව මා තුලනිට දුන් පළමු තෑග්ග වූ ඒ අනාගතය කියන මායාකාර උල්පත් පෑන ගෙන නම් ලැයිස්තුවක් ලියූ මොනිටර් අභ්‍යාස පොතක හිස් රූලක් මත එහි රත් පැහැ තුඩ තැබුවාය.

‘ඉන්ද්‍රනාම’ මම කියමි’


අද අපේ ලියමනේ ශාස්තෲගේ කතාව කතුවරයා අවසන් කරන්නේ එලෙසින්. ඔව්; ඔහු ශාස්තෲ බවට පත් වූ ඉන්ද්‍රනාමය. වෙනත් විදියකින් කියනවා නම් අපේ කාලේ වාමාංශික දේශපාලනය තුළ මංමුලා වූ ඉන්ද්‍රනාමය. ඉතින් ඉන්ද්‍රනාමගේ හෝ ශාස්තෲගේ කතාවට පිවිසීමට මත්තෙන් එහි කතුවරයාගේ ජීවිතය ගැන කෙටි එබී බැලීමකට යාමට මා කැමැතිය. ඔහු අජිත් පැරකුම් ජයසිංහය. 

අජිත් ශාස්තෲ කෘතිය නම් කරන්නේ සම්පූර්ණ මනඃකල්පිත ප‍්‍රබන්ධයක් ලෙසය. එහෙත් මේ කෘතිය තුළ දී ප‍්‍රබන්ධ නාම සහිතව වුවත් අපට හමුවන්නේ යුගයක වාමාංශික දේශපාලනය වෙනුවෙන් දිවි දෙවැනි කොට වැඩ කෙරූ මිනිස් ප‍්‍රාණීන් සමූහයකගේ අවතැන් ජීවිත කතාවය.

එකී ‘වාමාංශික ව්‍යාපාරය’ ඉන්ද්‍රනාමලා නැතුව ද අදත් යෙහෙන් වැජඹේ. ඒ ධනපති නායකයන්ගේ ආශිර්වාදය ද සහිතවය. උන්ට අනුව විවිධ හේතූන් මත ඒ දේශපාලනය හැර ගිය සියල්ලෝම ද්‍රෝහීන්ය. වීරයන් හා ද්‍රෝහීන් නිර්ණය කරනා නිර්ණායක එතරම් ම සරලය. එහෙත් ඉතිහාසය එතරම් සරල නැත. වාමාංශික අවකාශයෙන් ඉවතට විසි වූ හෝ විසි කර දැමූ ඉන්ද්‍රනාමලා යනු ඒ සරල නොවූ ඉතිහාස පරිච්ඡේදයේ ජීවප‍්‍රාණීහු වෙති.

ඉන්ද්‍රනාමට වාමාංශික දේශපාලනයේ පළමු අඩිතාලම වැටෙන්නේ සිරිල් මාමාගෙනි. සිරිල් මාමා යනු 71 අපේ‍්‍රල් කැරැුල්ලට සම්බන්ධව සිරගතව සිට පැමිණියෙකි. ඉන්ද්‍රනාමගේ අත්තම්මාගේ දුර ඥාති පුතෙකු වූ ඔහු නැවතී සිටියේ ඒ අත්තම්මාගේ සෙවණේ ඉන්ද්‍රනාමලාගේ නිවසේය. 71 කැරැල්ලෙන් පසුව ජවිපෙන් ඉවත්ව සිටි ඔහු ඒ වෙද්දිත් වෙනත් වාමාංශික ව්‍යාපාරයක් හැදීමේ ව්‍යායාමයක නිරතව සිටියෙකි. ‘වානේ පන්නරය ලැබූ හැටි’ සහ වෙනත් විප්ලවීය සාහිත්‍ය කෘති හරහා ඉන්ද්‍රනාමව වාමාංශික දේශපාලනයට ආශක්ත කර වූ පළමු වාමාංශික මඟ පෙන්වන්නා වූයේ සිරිල් මාමාය. සිරිල් මාමා තම දේශපාලන මුල් ගෙය හැරපියා වෙනත් වාමාංශික ව්‍යාපාරයක් නිර්මාණය කරන්නට වෙහෙස වෙමින් සිටිය දී ඉන්ද්‍රනාම ශිෂ්‍යයකු ලෙස ‘පංති පහේ’ දේශපාලනයෙන් සිරිල් මාමා හැරපියා පැමිණි දේශපාලන නිවසේ පූර්ණකාලීනයකු ලෙස පදිංචි වන්නේය.

කතෝලික බැතිමතියකු වූ ආච්චි අම්මාගේ ආදරයෙන් හා දේවාරූඪයෙන් ශාස්ත‍්‍ර කියන අම්මාගේත් වෘත්තීය සමිති දේශපාලනයේ නිරතව සිටි තාත්තාගේත් සිරිල් මාමාගේත් ඇසුරෙන් මිදී සිය නිවස හැර දමා එන්නේ මේ නව භෞතීෂ්මයත් සමඟය. නව දේශපාලන ව්‍යාපාරයක් හදන්නට සිතන සිරිල් මාමාට අනුව පැරැුණි නමුත්, ඉන්ද්‍රනාමට අනුව අලූත් වාමාංශික නිවස හා එහි කටයුතු එතෙක් පටන් ඉන්ද්‍රනාමගේ ජීවිතය විය. ඒ ජීවිතය තුළ ඔහුගේ ජීවන සහකාරයෝ වූයේ සේදර, අභය, අසිත, ලැම්බට්, සිරිමෙවන්, සනත්, සෝභිත, නෙළුම් ආදීහුය. මර්දනකාරී වටපිටාවක පක්ෂය නමැති මාහා යාන්ත‍්‍රණයේ දැති රෝදය කරකැවූ ඔවුන් එහි තෙවන පෙළ බළඇණිය විය. ව්‍යාපාරය මර්දනය හමුවේ පළමු පෙළ බළඇණියේ සියල්ලෝම පාහේ විනාශ වූහ. දෙවන පෙළ බළඇණියේ ද සෑහෙන්න පිරිසක් ඊට ගොදුරු වූහ. අතරින් පතර ඉතිරි වූ බොහෝ දෙනකු සිටියේ සිරගෙවල්වල හා තැන් තැන්වල හුදෙකලාවේය. සමහරු රට හැර ගොස් සිටියහ. ඉතින් වනගත වුණු ඉන්ද්‍රනාමලා හා එක්ව සේදරලා ව්‍යාපාරය යළි සකසන්නට විවිධ උත්සාහයන් දැරීය. ඒවා තුළ ඉස්මතු වූ ඇතැම් පෞද්ගලික අගතීන් ද නැත්තේ නොවේ. එහෙත් ඒවා ව්‍යාපාරයක අගතීන්ගෙන් සහමුලින් වියෝ වූ ඒවා ද නොවේ. මේ සියල්ලේ ප‍්‍රතිඵලයක් ලෙස එම දේශපාලන හෙයියම්මාරුව ද අසාර්ථක වූ තැන ඉන්ද්‍රනාම ඉන්දියාවේ ප‍්‍රත්‍යන්ත ජනපදයකට පලා යයි.

ඉන් අනතුරුව අපට අභිමුඛ වන්නේ ඉන්ද්‍රනාම නොව ශාස්තෲවරයෙකි. එම ශාස්තෲ යළි ලංකාවට එන්නේ ඔහු හැරදා ගිය බිරිඳගෙන් හා නොදුටු දරුවාගෙන් සමුගෙන ජීවිත රඟ මඬලෙන් බැස යාමේ අරමුණ පෙරදැරිවය.

‘‘1987 දී සැබැවින්ම ඉන්ද්‍රනාම නම් වන මම නෙළුම් සහ තවත් තිදෙනෙක් විප්ලවවාදී පක්ෂයේ පංච පුද්ගල කමිටුවක එකට දේශපාලනය කළෙමු. ඒ වනාහී මගේ සත්‍ය ගවේෂණයේ මුල් පියවරයි. ඔවුන්ගෙන් ඇතැමෙක් හා තවත් අය මට ඉදිරි දින කිහිපයේ දී නැවත හමුවෙති....’’

එම හමුවීම් තුළ වන සේදර යනු මර්දනයට ලක් වුණ ව්‍යාපාරය වෙනුවට නව පන්නයක ව්‍යාපාරයක් හදන්නට දේශපාලනයෙන් පලා යමින් සිටි ඉන්ද්‍රනාමව යළි පොලඹවා ගත් සගයාය.

කාන්තා බැංකු ව්‍යාපාරයක් හරහා අලූත් ව්‍යාපාරයකට අඩිතාලම දමා ගන්නට ඉන්ද්‍රනාම කල්පනා කළේ සේදරගේ පෙලඹවීම නිසාය. එහෙත් බැංකු ව්‍යාපාරය සරුවට යද්දී දේශපාලන පක්ෂය ගොඩනැගීමේ සේදරගේ වුවමනාව හීන වී යයි. අවසානයේ එය අසාර්ථක වෙද්දී එහි ඉතිරි තැන්පතු මුදල් ද සමඟ සේදර ඔහුට ද හොරෙන් රට පනියි. මෙහි ප‍්‍රතිඵලය වන්නේ ණයකරුවන්ගෙන් බේරීම සඳහා වංචාකාරයකු ලෙස ඉන්ද්‍රනාමට ද රටින් පලා යාමට සිදු වීමයි.

සූර්ය වන්දනාව අභිචාරයක් කර ගනිමින් ශාස්තෲ ලෙස යළි උත්ථානය ලබන්නේ එම පලා ගිය වංචාකරුවා වූ ඉන්ද්‍රනාමය. නෙළුම් යනු ද පසුව එම ආගමික රැුහැනේම පැටළුණ ඉන්ද්‍රනාමගේ විප්ලවවාදී පක්ෂයේ ඔහු සමඟ එකම පහේ කමිටුවක සිටි සාමාජිකාවකි. ඇය එකල ඉන්ද්‍රනාම රහසින් පෙම් කළ පේ‍්‍රමවන්තිය ද වූවාය. 

නෙළුම් යනු තමන් හා එක්ව දේශපාලන සටනක් කළ සහෝදරියයි. ඒත් ඒ නෙළුම්ට ඉන්ද්‍රනාම ශාස්තෲ ලෙස අද පවසන්නේ වෙනස් කතාවකි. ‘‘නෙළුම් අපි මේ ක‍්‍රමය වෙනස් කරන්න දේශපාලන සටනක් කරන්නෙ නැහැ. අපි මේ සමාජ ක‍්‍රමයේ පොදු දුර්ගුණවලින් හැකි තරම් මිදුණු උත්තර ප‍්‍රජාවක් නිර්මාණය කරන්න වෙහෙසෙනවා. ලෝකයේ බහුතරය අපි වැනි උත්තම ප‍්‍රජාවක් වුණොත් ලෝකය වෙනස් වෙයි...’’
ඒ උත්තම ප‍්‍රජාවේ මහා ආගමික කාව්‍ය නිර්මාණය කළ ශාස්තෲ වූයේ ඉන්ද්‍රනාම නම් හිටපු විප්ලවවාදියාමය. එහෙත් සත්‍යය නම් තමන් ලිංගිකාර්ෂණයෙන් දපනෙ වැටුණු උමා දේවිය කෙරෙහි ඔහු සිත තුළ වූ ලිංගික ප‍්‍රහර්ශයේ ප‍්‍රතිඵලයක් ලෙසින් එම මහා කාව්‍යය බිහි විමයි. මේ සූර්ය වන්දනා ප‍්‍රජාවේ මහා ආගමික ග‍්‍රන්ථයේ උත්පත්ති කතාව එබඳුය.

ශාස්තෲගේ කතාව මෙලෙසින් ඔබට තවදුරටත් සිද්ධි වාචිකව විස්තර කිරීමට මම නොයමි. ශාස්තෲ යනු හිටපු විප්ලවවාදියෙකි. ‘විප්ලවවාදී පක්ෂ’වලින් විවිධ හේතූන් මත සාමාජිකයෝ පිටව යති. ඒවාට රාජ්‍ය මර්දනය, පෞද්ගලිකත්වය ඉස්මතු වීම, පක්ෂවල අත්තනෝමතික ස්වභාවය මේ සියල්ලම හේතු පාදක විය හැකිය. ඒ පිටව යන මිනිසුන් ඉන් අනතුරුව විවිධ නවාතැන්පොළවල නවතියි. ඉන්ද්‍රනාම නම් හිටපු විප්ලවවාදියා තම නවාතැන කරගන්නේ තමන් විසින්ම ගොඩනැගූ සූර්ය වන්දනාව අභිචාරයක් කොට ගත් ආගමික මධ්‍යස්ථානයකි. අප මතක තබාගත යුතු වැදගත් දෙය නම් මේ ආගම් ගොඩ නගන්නෝ ආගමික නොවූ තාර්කික චෞරයන් බවය. එහෙත් මේ ආගම්වල බැතිමතුන් අතාර්කික මිනිසුන්ය. වත්මන් විප්ලවී යැයි කියා ගන්නා බොහෝ දේශපාලන පක්ෂ ද මේ ආගම් බඳුය. ඒවායේ බොහෝ සාමාජිකයන්ට පක්ෂ නායකයන් යනු ආගමික ශාස්තෲන් වැනිය. ඒත් ඒ බැතිමත් සාමාජිකයන් නොදන්නේ ඒවායේ බොහෝ නායකයන් තාර්කික වූ අම්බ කපටීන් බවය.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පළමුව ඔබගේ ශාස්තෲ පොත කියවිය යුතුව ඇත. මාද කොළඹ වැඩකරන බැවින් ඉදිරි දිනකදි ඔබ අමතා ඒ සදහා ක්‍රමවේදයක් යොදා ගනිමි. මේ සටහන ලියනුයේ ඔබගේ මෙම ලිපියට පිලිතුරක් ලෙස පමණි.

    වාමාංශික දේශපාලනයේ යෙදුන බොහෝදෙනා අවංකවම සමාජය වෙනස් කිරීම සදහා ක්‍රියාකාරී විය. ඔබද ඒ අතරින් එක් අයකු පමණකි. අවංකව සමාජය වෙනස් කිරීමට කටයුතු කල බැවින් හෝ ඒ සදහා සංවිධානය වු පමණින් පවතින ධනේෂ්වර සමාජ ක්‍රමය වෙනස් වන්නේ නැත. එ සදහා අරගල කර පමණින්ම අරගලයන් සාර්ථක වන්නේද නැත.

    අප සියලු දෙනා මුල්කව විශ්වාස කරන්නේ මෙම පවතින ක්‍රමය සාධාරණ නොවන බවයි. මාක්ස් එංගල්ස් සිට අද දක්වා මෙම ක්‍රමවේදය වෙනස් කල යුතුයැයි විශ්වාස කරන පුද්ගලයන් කොටසක් සිටියි. ඔවුන් තවමත් ජයග්‍රහනයන් අත්කරගෙන නැත. ජයග්‍රහනයන් අත්කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඇයිද යන්න පිලිබදව තවමත් නිශ්චිත උත්තරයක් නැත. එනම් ලොකයපුරා සියලුම වාමාංශික ව්‍යාපාරයන් අවසන් අරමුණ ඉටුකරගෙන නොමැත. එමගින් වාමාංශික දේශපාලනය විසින් පිඩිත පාංතික ජනතාවට කිසිවක් සිදු නොකල බව අදහස් නොවේ.

    මෙම පවතින සමාජ ක්‍රමය නරක බව අපි දනිමු. එය වෙනස් කිරීම සදහා ක්‍රමවේදයක් සකස්කල යුතුව ඇත. අප ජිවත් වන්නේ ධනවාදී සමාජයකය. එබැවින් සංවිධානගතවන පුද්ගලයන්ට විවිධ අපේක්ෂාවන්. විවිධ අරමුණු ඇත. හොදම මිනිසුන් තොරාගනිමින් සංවිධාන සකස්කර ගැනීමට නොහැකිය එමෙන්ම සංවිධාන වල සිටින සියල්ලන්වම අපට දිරවන්නේද නැත. එම කරුණු හේතුවෙන් සංවිධානයන් දුර්වල වීමට හෝ විනාශවී යාමට හැකිය.

    යම් අරගලයක් පරාජය වීම, සංවිධානයන් දුර්වලවීම යන කරුණු නිසා පවතින සමාජ ක්‍රමය හොද වන්නේ නැත. අරගල වලට සම්බන්ධවු මිනිසුන්ගේ අඩුපාඩු, දුර්වලතා හා වැරදි නිසා ගෙවල් වලට වී නිදාගත් මිනිසුන් නිවරදියැයි තිරණය කිරීමටද නොහැකිය.

    හිටපු විප්ලවවාදීන් යනුවෙන් කොටසක් නොමැත තම අරමුණ මේ සමාජය වෙනස් කිරීමනම් තම අරමුණ වෙනුවෙන් වැඩ කල යුතුය. සමාජ ක්‍රමය වෙනස් කිරීම වාමාංශිකයන්ගේවත්, විවිධ දේශපාලන පක්ෂ වලවත් බුදලයක් නොවේය. එය වෙනස් කිරීමේ වගකීම තම තමන් සතුය. ඒ වෙනුවෙන් කටයුතු කල යුත්තේ කෙලෙසද යන්න තිරණය කල යුත්තේ තමන්මය. එබැවින් කිසිවකුට වැරදි පැටවීමට නොයන්න. අඩුපාඩු විවේචනය කරන්න.

    ReplyDelete
  2. මේ පොත ගැන ලියවුණු සෑබෑ විචාරක් මේ දැක්කාමයි!

    මෙන්න මං ලියපු හෑල්ල.
    http://rasikalogy.blogspot.com/2015/09/w3lanka-hbd2u-apj.html

    "ශෘංගාරාත්මක ලේඛන සහ ප්‍රධාන කතාව හා සම්බන්ධ විවිධාකරායේ පරිසර වර්ණනාවලින් කුල්මත් වූ මගේ සිතට, ශාස්තෲ නවකතාවේ මූලික හරය ලෙස අජිත් පැරකුම් ජයසිංහ ඉදිරිපත් කරන දේශපාලන කරුණු නම් එක එල්ලේ ඇතුළු නොවූ බව කිව යුතුය."

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා