සිංග්ලිෂ් අයවැය හා ලාංකිකයන්ගේ පශ්චාත් යටත් විජිත භාෂා අරගලය

අයවැය ගැන තව හැදෑරිය යුතු ය. මේ සටහන අයවැය ගැන නො වේ. රවී කරුණානායකගේ සිංහල ගැන ය. 

මේ වනාහි පළමු වරට සිංග්ලිෂ්වලින් කියැවුණු අයවැය යයි මම සිතමි. රවී කරුණානායකගේ සිංහල පිටපත ලියා තිබුණේ ඉංග්‍රීසි අකුරෙන් ද කියා මම නො දනිමි. මොහිදීන් බෙග් සිංදු කීවේත් ඒ වගේ ය. 

එහෙත්, රටේ වැඩි දෙනෙක් ඔහුට අනුකම්පා කළ හ. 

“මයි සිංහල ඉස් නොට් වෙරි ගුඩ්" යි කියන, නමින් සිංහල වන කොළඹ කේන්ද්‍රීය එක්තරා පැළැන්තියක් මට නිතර හමුවෙයි. එහෙත්, ඔවුන් ඒ තරම් ඉංග්‍රීසි දන්නේත් නැති බව ඔවුන් ලියන දේ අනුව පෙනේ. ඔවුන් වැඩිපුර හදාරා ඇත්තේ ඉංග්‍රීසි කථනය හා ව්‍යාපාර ලේඛනය වැනි දේ බව මම සිතමි. ඉංග්‍රීසි භාෂාව පිළිබඳ විශාරද දැනුමක් තිබේ යයි කියන්නට හැකි වන්නේ ඉංග්‍රීසි සාහිත්‍යය ඇසුරු කර ඇති අයටයි. එහෙත්, ලංකාවේ සිටින සිංහල දන්නේ නැති බව ආඩම්බරෙන් කියන වැඩි දෙනෙක් ඉංග්‍රීසි සාහිත්‍යය දන්නේ ද නැත. එහෙත්, චතුර ඉංග්‍රීසි උච්චාරණයෙන් ඔවුන් සමාජය යටපත් කර ගැනීමට සමත් වෙති. මොවුන්ගේ සම්භවය බ්‍රිටිෂ් කවුන්සිල් නම් යටත් විජිතවාදී ටියුෂන් සෙන්ටර් එක ය. 

සම්මන්ත්‍රණ, සම්මේලන ආදියෙහිදී රාජ්‍ය අංශය නියෝජනය කරමින් සාරගර්භ ඉදිරිපත් කිරීම් කරන බොහෝ ප්‍රවීණයෝ ඉංග්‍රීසි කථනයෙහිදී සිටින්නේ සාමාන්‍ය ව්‍යවහාරික මට්ටමේ බව මම නිරීක්ෂණය කර ඇත්තෙමි. එහෙත්, ඔවුන් විෂය සම්බන්ධයෙන් විශාරදයෝ ය. ලේඛනවලදී ද ඔවුහු වඩා හොඳින් භාෂාව හසුරුවන බව පෙනේ. ඔවුන්ගේ කථන ව්‍යවහාර සීමාව සලකුණු වන්නේ ගෙදරදී සිංහලෙන් කතා කිරීම, සේවා ආයතනයේදී බොහෝ විට සිංහලෙන් වැඩ කිරීම, මහජන සම්බන්ධතාවලදී සිංහල භාවිතා කිරීම, දේශපාලනයෙහිදී සිංහල ජාතිකවාදියකු වීම, ජාත්‍යන්තර සම්මන්ත්‍රණවලදී ඔවුන් ඉදිරිපත් කරන කරුණු මිස ඔවුන්ගේ භාෂාව ගැන අවධානයක් යොමු නො වීම නිසා ගැටලු පැන නො නැගීම වැනි හේතු මත ය. 

ලංකාවේ අති බහුතරයකට ඉංග්‍රීසි යනු දෙවන භාෂාවක් පමණි. එය පළමු භාෂාව බවට පත් කරන්නට උත්සාහ කළ මධ්‍යම පංතික රැල්ල යටපත් වී යාම සිංහල ජාතිවාදයේ එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. එහෙත් දෙවෙනි භාෂාවක් ලෙස ලාංකික ඉංග්‍රීසියේ ප්‍රමිතිය ඉහළ නංවා ගත යුතු ය. විශේෂයෙන් ම කථනය සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු ය.

රවී කරුණානායක දෙමළ ජාතිකයකු බව පෙන්වා දීමට බන්දුල ගුණවර්ධන පසුගියදා දැරූ උත්සාහයේදී රවී කරුණානායක තමන් සිංහලයකු බව දැඩිව අවධාරණය කළේ ය. ඔහු විවාහ වී සිටින්නේ (මට මතක හැටියට) මැලේ ජාතික කාන්තාවක සමග පැවසූ බව මට මතක ය. 

රවී කරුණානායක අයත් වන්නේ සිංහල භාෂාව ගෙදර වැඩකාරයින්ගේ භාෂාව ලෙස සැලකූ අගනාගරික ප්‍රභූන්ගේ පංතියට යයි මම සිතමි. වාමාංශික ලක්ෂ්මන් ගුණසේකර සහෝදරයා අතින් සන්ඩේ ඔබ්සර්වර් පත්තරයේ මෙවැනි කතුවැකි ලියැවෙන්නේ වඳ වී යමින් තිබෙන මේ පැළැන්තිය වෙනුවෙනි. කල් ඉකුත් වූ භාෂාවෙන් ඔලුව කරකැවෙන මෙවැනි උද්ධච්ඡ අපභ්‍රංස ලියන්නේ තමන්ගේ ඉංග්‍රීසි පාණ්ඩිත්‍යය පෙන්වීමට හැර අන් කුමකට ද?

රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘතිවලට මුදල් හිඟ වීමත් සමග පැවැත්ම පිළිබඳ ප්‍රශ්න පැන නැගී සිටින මෙම පැළැන්තියට ජනමාධ්‍ය තල්ලුවක් ඔබ්සර්වර් පත්තරයෙන් දෙන්නට ලක්ෂ්මන් ගුණසේකර උත්සාහ කරනවා විය හැකි ය. 

හොඳ ඉංග්‍රීසි පත්තරයක් කරන්නැයි රනිල් වික්‍රමසිංහ දුන් උපදෙස ලක්ෂ්මන් ගුණසේකර තේරුම් ගෙන තිබෙන ආකාරය සන්ඩේ ඔබ්සවර් කියවන විට පෙනේ. රැකියා ඇබෑර්තු අංශය තවමත් ඔබේ පුවත්පතේ වැදගත් ම කොටස බව හා එහෙමට වෙනසක් අපට නම් නො පෙනෙන බව අප මිත්‍රයාට පෙන්වා දෙන්නේ කණගාටුවෙනි. 

ලක්ෂ්මන් ගුණසේකර වනාහි අප දන්නා ඉතා හොඳ වාමාංශික අරගලකරුවෙකි. ඔහු වනාහි සයිබර් විප්ලවවාදියෙක් නො වේ. වීදියෙහිද සිටින අරගලකරුවෙකි. ඔහු පශ්චාත් යටත් විජිත කතිකාව ගැන ද හොඳින් දන්නේ ය. එහෙත්, යටත් විජිත විරෝධී අරගලය තුළ ලාංකික ඉංග්‍රීසි භාෂාවක් වෙනුවෙන් කරන අරගලයේ වැදගත්කම අවබෝධ කර ගැනීමට ඔහු කැමති නැත. මෙය බොහෝ බුද්ධිමතුන්ගේ හා වාමාංශිකයන්ගේ ලක්ෂණයකි.

පශ්චාත් යටත් විජිත කතිකාවේ තවත් පඬිවරයකු වන මහාචාර්ය අර්ජුන පරාක්‍රම තමන් මවගේ ඔඩොක්කුවේ සිට ඉංග්‍රීසි කතා කළ අයෙකු බව ප්‍රසිද්ධියේ ආඩම්බර කතා කියනු මම අසා ඇත්තෙමි. සංස්කෘතික සමානත්මතාව වාගාඩම්බරයක් නො වී භාවිතාවක් බවට පත් කළ යුතුව තිබේ. ඒ වෙනුවෙන් වන සටන වැදගත් දේශපාලනික අරගලයකි. 

දේශපාලනය තිබෙන්නේ ශිෂ්‍ය උද්ඝෝෂණවල පමණක් යයි සිතා සිටින වාමාංශික සහෝදරයන්ගේ අවධානය මෙවැනි ක්ෂේත්‍රවලටත් යොමු විය යුතු ය.

ලංකාව වනාහි කලක් නයිජීරියාවට ඉංග්‍රීසි ගුරුවරුන් යැවූ රටකි. එහෙත්, සුද්දන්ට හුකාගනිල්ලා (screw you) යි කියූ චිනුවා ඇචිබෙ වැනි විශ්ව සම්භාවනාවට පත් ලේඛකයන් ලංකාවෙන් බිහි වුණේ නැත්තේත්, ලංකාව බිහි කළ මයිකල් ඔන්ඩච්චි වැනි අය දේශපාලනික වශයෙන් නො වැදගත් වන්නේත් මේ දේශපාලනික දෙබිඩිකමේ ප්‍රතිඵලයක් ලෙසයි. එපමණක් නොව, දැන් මාලදිවයිනවත් ලංකාවේ ඉංග්‍රීසි ගුරුවරුන් බඳවා ගන්නේ නැති මට්ටමට පොදු භාවිතාව තුළ ඉංග්‍රීසිය පිරිහී ඇත්තේත් ඒ නිසා ය.

ව්‍යාපාර ක්‍රියාවලි බැහැරින් ලබා ගැනීමේ (BPO) ව්‍යාපාර පැත්තෙන් ලංකාවට දකුණු ඉන්දියාවේ මට්ටමට කිට්ටු වීමට හෝ බැරි වී තිබෙන්නට එක් හේතුවක් වන්නේ ද මෙයයි. එවැනි ආයතනවල වැඩ  කිරීමට තරම් කෝල් සෙන්ටර් ගර්ල්ස්ලා ලංකාවේ නැත. හේතුව කෝල් සෙන්ටර් මට්ටමේ අයට ලංකාවේ ඊට වඩා ලොකු ඇකඩමික් මට්ටමේ රස්සා ලැබෙන තරම් ලංකාවේ ඉංග්‍රීසි බස දුර්වල වීමයි. 

ඉංග්‍රීසි භාෂාව විෂමතා සංරක්ෂණය කිරීමේ මාධ්‍යයක් බවට පත් කර ගත්, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමත්තු මෙම තත්වයට වගකිව යුතු ය. 

රවී කරුණානායක ලක්ෂ්මන් ගුණසේකරට වඩා මෙම කාරණයෙහිදී ප්‍රගතිශීලී බව මම සිතමි. හේතුව ඔහු මෙවැනි භාෂා දෙබිඩ්ඩන්ගෙන් ගැලවී මහජනතාව අතරට පිවිසෙන්නට උත්සාහ කරන බව පෙනෙන බැවිනි. 

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අපට උසස් පෙළ ශුද්ධ ගණිතය ඉගැන්වූ කොඩිකාර නම් ගුරුවරයෙකු ඒ දිනවල නයිජීරියාවට ගියා මතකයි.

    ඉංගිරිසි උගන්නවන්නට යෑම කෙසේ වෙතත්, ලංකාවේ ඉංගිරිසි, ඕස්ටේ‍ර්ලියාව වැනි රටක රැකියාවක් කරගෙන ජීවත්වීමට නම් ඕනෑවටත් වඩා ප්‍රමාණයවක් බව පසුගිය වසර විස්ස තුල විශ්ව විද්‍යාල කතිකාචාරයවරයෙකු, ව්‍යාපාර විශ්ලේෂකයෙකු, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු සහ ව්‍යාපාර පද්ධති කළමණාකරුවෙකු ලෙස මා ලද අත්දැකීම් මත පදනම්ව කිව හැකියි.

    ReplyDelete
    Replies
    1. අහෝ රසිකොලොජිස්ට් මහතාණෙනි. ඔබ පර සුද්දගේ දේශයක පසුගිය වසර විස්ස තුල විශ්ව විද්‍යාල කතිකාචාරයවරයෙකු, ව්‍යාපාර විශ්ලේෂකයෙකු, ජ්‍යෙෂ්ඨ ව්‍යාපෘති නිලධාරියෙකු සහ ව්‍යාපාර පද්ධති කළමණාකරුවෙකු ලෙස කටයුතු කල බව දැන ගැනීමෙන් මගේ සිත පහන් වේ.

      මේ බව ඔබ මෙතරම් කලක් සඟවා සිටියේ ඇයි? කම් නැත. කම් නැත.

      ඉතා වැදගත් පුද්ගලයෙක් ලෙස ඔබ ඉතා වැදගත් රාජකාරි කටයුතු සම්බන්ධයෙන් ඔබ කාර්ය බහුල වන බවට සැකයක් නැත. ඔබේ වෙනත් දක්ෂතාවයන් ඇත්නම් ඒ ගැන හැකි ඉක්මනින් අප හට දන්වනවානම් අනර්ඝය.

      Delete
  2. රොනී ද මෙල් ගේ මුල් අයවැය කතාවේ දී ත්, සියළුම සංඛ්‍යා ඉංගිරිසියෙනුත් කීවා, ඒ දිනවලින් පසුව තමයි මිලියන් කියන වචනය ලංකාවට ආවේ. සිංහලෙන් දශ ලක්‍ෂ, ඉංගිරිසියෙන් මිලියන්.

    ReplyDelete
  3. බොහෝ රටවල් ඉංග්‍රීසි ගුරුවරු ලෙස බඳවා ගන්නේ ඉංග්‍රීසි පළමු භාශාව ලෙස භාවිතා කරන රටවල් අයයි. ලංකාවේද ඉංග්‍රීසි පළමු බස ලෙස භාවිතා කරන අය ඇත. එවන් අය ඉංග්‍රීසි ගුරුවරුන් ලෙස පුහුණු කර වැඩි වැටුපක් යටතේ හෝ බඳව ගැනීම රටේ ඉංග්‍රීසි භාවිතා ඥාණය වැඩි වීමට හේතුවිය හැකිය. අඩුම වශයෙන් පාසැලේදී ඉංග්‍රීසියෙන් ඉගෙන ගත් අය භාවිතා කල යුතුය. එසේම චන්ද්‍රිකා යුගයේ ආරම්භ කල විශයන් කිහිපයක් ඉංග්‍රීසියෙන් ඉගැන්වීම ඉතා හොඳපියවරකි. එසේ නොමැතිව ඉංග්‍රීසි ගණිතය මෙන් විශයක් ලෙස උගැන්වීමට පුහුණුකර බඳවා ගන්නා ඉංග්‍රීසි ගුරුවරුන් ගෙන් එවන් ප්‍රතිඵලයක් බලාපොරොත්තු වීම ප්‍රයෝජනයක් නොවේ. අද තරමක් හෝ ඉංග්‍රීසි භාවිතය දියුණු වී ඇත්තේ සමහර විශ්ව විද්යාල උපාධි සහ ගණකාධිකරන වැනි තාක්ශණික සුදුසුකම් ඉංග්‍රීසි භාශාවෙන් ඉගෙනගන්න අය නිසා යැයි සිතමි.

    ReplyDelete
  4. ඉංග්‍රිසිය පැත්තකින් තියන්ට පැරා. අද සිංහල සාහිත්‍ය හදාරපු අය කීදෙනෙක් ඇත්ද? කීදෙනෙකුට හරියට සිංහලෙන් රචනාවක්, ලියුමක්, නැත්නම් කතාවක් කරන්ට පුළුවන්ද? ඒ වගේම තමයි ඉංග්‍රිසීත්. තමන්ට අවශ්‍ය එහෙමත් නැත්නම් හැකි ප්‍රමාණයෙන් භාෂාව ප්‍රගුණ කරගෙන භාවිතා කරන අය ඉන්නවා. ඉංග්‍රිසිය කතාකරන රටවල කීදෙනෙක්නම් ඇත්ද හරියට ලියන්ට කියවන්ට සහ කතාවක් වත් කරන්ටබැරි අය.

    ReplyDelete
    Replies
    1. kandyan හරි, ඉංග්‍රීසියෙන් තියා සිංහලෙන්වත් ලියාගන්න පුළුවන් පිරිසක් බිහිවෙන්නේ ලංකාවේ පාසල් අතලොස්සකින් විතරයි, මගේ ජීවිතයේ මම දුක්වෙන්නේ එකම දෙයක් ගැන විතරයි, ඒ ලිවිමට අදක්ෂයකු වීම ගැන.

      ලිවීමට නැඹුරුව ඇතිවෙන්නේ 5 වසර දක්වා කාලය තුල (මට හිතෙන හැටි), මා වෙසෙන අවට පාසල් 6 ක ප්‍රාථමික (1-3 වසර) අංශ තිබෙනවා මේවායේ ගුරවරු/වරියන් 45 උගන්වනවා, ඔවුනතරින් එක් ගුරුවරියකගේ ළමුන් පමණයි කියවන්න ආසා හිතෙන විදිහේ රචනාවක් ලියන්න හැකියාව (5 වසර වන විට) ගොඩනගා ගන්නේ.

      මට වරින් වර ලංකාවට පැමිණි යුරෝපීය විශ්ව විද්‍යාල සිසුන් සමඟ වැඩ කිරීමට සිදුවුනා, අපට සාපේෂව ඔවුන්ගේ ලිවීමේ හැකියාව ඉතා ඉහලයි. පසු ගිය වසර 5 තුල ලංකාවේ විශ්වවිද්‍යාල වලින් පිටතට ආ 8 දෙනෙකුත්, යුරෝපයේ විශ්වවිද්‍යාල වල ඉගෙනගන්නා අය 10 දෙනෙතු පමණත් වරින්වර අප සමඟ වැඩකළා. ඒ අතුරින් ලංකාවේ අය කිසිවෙකුටත් පලදායී කෙටි දෛනික වාර්තා ඉදිරිපත් කිරීමට හැකිවුනේ නෑ, මටත් බෑ. එත් අප සමඟ ගිය විදේශික සිසුන් බොහොමයක් සති කීපයක අපගේ නිරීක්ෂණ ඇසුරෙන් ඉහලින් අගය කෙරුණු පර්යේෂණ වාර්තා ඉදිරිපත් කරා.

      Delete
  5. සාහිත්තේ වගේම භාසාව කන්නද ආයිබොවන්ඩ....

    වැඩේ වෙනවා නම් අනික් එකාට තේරෙනවා නම් එච්චරයි..

    හැබයි රවී ඇමතිකම කරලා... කතික තරඟෙකින් ජය ගත්ත පුංචි පහේ හපෙනුකට ඕක කියවන්න දුන්නා නම් ඔයිට ලස්සනට කියවනවා... මේ යකාගේ හින්ගල දැණීම නම් අන්තීමයි.. මට මතක විදියට ඕකා ඉගෙන ගත්තේ හින්ගල මීඩියම්...

    ReplyDelete
  6. // පළමු භාෂාව බවට පත් කරන්නට උත්සාහ කළ මධ්‍යම පංතික රැල්ල යටපත් වී යාම සිංහල ජාතිවාදයේ එක් සාධනීය ප්‍රතිඵලයක් ලෙස සැලකිය හැකි ය. //

    //ඉංග්‍රීසි භාෂාව විෂමතා සංරක්ෂණය කිරීමේ මාධ්‍යයක් බවට පත් කර ගත්, කොළඹ කේන්ද්‍රීය බුද්ධිමත්තු මෙම තත්වයට වගකිව යුතු ය. //

    //මොවුන්ගේ සම්භවය බ්‍රිටිෂ් කවුන්සිල් නම් යටත් විජිතවාදී ටියුෂන් සෙන්ටර් එක ය. //


    මේවායෙ නම් පැරාට වමෙන් උරුමවුනු කොලඹ, ඉන්ග්‍රීසි කතාකරන, ධනවත්, රෝයල්/ලේඩීස් කොලේජ්/බ්‍රිටිෂ් කවුන්සිල් යන පැලැන්තිය ගැන ඇති ඇරියස් එකකට වඩා දෙයක් නෑ..

    ලංකාවෙ ඉන්ග්‍රීසි දැනුම අඩුවෙන්න ප්‍රධාන හේතුව 1950 අනන්වල සිංහල භාෂාව අධ්‍යාපන මාධ්ය කරල කරපු ගොන් වැඩේ නිසා බහුතරයකට ඉන්ග්‍රීසි ඉගෙනගන්න තිබ්බ incentive එක (ඉස්කෝලේ පාඩම් වලට ඉන්ග්‍රීසි අවශ්‍ය වීම ) සම්පූර්නයෙන්ම නැතිවුනා...

    ඒවගේම 71 පසුව බිහිවුනු වාමාන්සිකයින්ගේ තිබ්බ ඉන්ග්‍රීසි විරෝදයත් මේකට බලපෑවා.. අදටත් අන්තරේ සාමාජිකයින් ඉන්ග්‍රීසි පුලුවන් එකෙක් කැම්පස් එකට ආවොත් වැඩියෙන් රැග් කරනවා.
    'දොරමඩලාව' වගේ ඒවගෙ පොරටෝක් දෙනසිංහල ජාතිකවාදීන්ගෙ බටහිර හා ඉන්ග්‍රීසි විරෝදයත් මේකට බලපෑව
    කොටින්ම කිව්වොත් ලංකාවෙ ඉන්ග්‍රීසි දැනුමට කෙලවෙන්නේ 50දශකයේ ඉදන් ( මේක 90 දශකයේ ඉදන් ටිකක් අඩුවෙමින් පවතිනවා ) ලංකාවෙ වම්මු හා සිංහල ජාතිකවාදීන් සමාජගත කරපු මෝඩ මතිමතාන්තර හා ඔවුන්ව සතුටු කරන්න ආන්ඩු ගෙනාපු ප්‍රතිපත්ති නිසා..

    මේ කොටස් දෙකටම අයිති නොවුනු නාගරික දමිල හා මුස්ලිම් මධ්‍යම පාන්තිකයින් සින්හල මධ්‍යම පාන්තිකයින්ට වඩා ඉන්ග්‍රීසි දැනුමක් ඇත්තන් වීම ගැන හොයා බලන්න

    ReplyDelete
    Replies
    1. //මේවායෙ නම් පැරාට වමෙන් උරුමවුනු කොලඹ, ඉන්ග්‍රීසි කතාකරන, ධනවත්, රෝයල්/ලේඩීස් කොලේජ්/බ්‍රිටිෂ් කවුන්සිල් යන පැලැන්තිය ගැන ඇති ඇරියස් එකකට වඩා දෙයක් නෑ.//

      මේ අයට ඉරිසියා කරන්න තියෙන හේතු මොනවද කියා පෙන්වා දෙනවා නම් ඉරිසියා කරන්න ට්‍රයි කරන්න පුළුවන්.

      මට නම් මේ කට්ටිය ජෝක්.

      Delete
    2. තමන්ට වඩා වැඩි ආදායමක් ලබන, තමන්ට වඩා සුවපහසු ජීවිත අත කරන, තමන්ට වඩා සමාජයේ ඉහල ස්තර වල අය අදුනන, තමන්ට වඩා සැපපහසු තරුන/ලමා කාලයක් ගෙවාපු, තමන්ට වඩා ලෝකය දැකපු අයව ඔයාට 'ජෝක්' වෙන්නෙ ඇයි පැරා...

      මට කැලේක මිදි කන්න ගියපු නරියෙකුත් කිව්ව වගේ මතකයි ඔහොම කතාවක්..

      Delete
    3. ඔය කියන දේවල් ඔක්කොම සාපේක්ෂ කාරණා.

      හැබැයි, ඔය //ඉංග්‍රීසි කතාකරන, ධනවත්, රෝයල්/ලේඩීස් කොලේජ්/බ්‍රිටිෂ් කවුන්සිල් යන පැලැන්තිය// ගැන ඔයාට තියෙන්නේ ඔයාගේ ඔලුවේ නිර්මානය වුණ මිථ්‍යා අදහසක්. එහෙම එකක් ඉස්සර තියෙන්න ඇති.

      දැන් මේ රටේ ඔයා කියන ඔය උපරිම සැප විඳින්නේ ඔය පංතිය නෙමෙයි, පොලියෙස්ටර්ලා හෙවත් ගිනි පොළියට දෙන්නන්, කොන්ත්‍රාත්කරුවන්, දේශපාලකයන්, රජයේ ඉහළ නිලධාරීන් ආදීන්ගෙන් සමන්විත, සිංහල කතා කරන, අර කට්ටියට වඩා එළිපිට ම හොරකම් කරන අලුත් පැළැන්තියක්.

      ඔය කියන පාසල්වලට එහෙම ළමයි යවන්නෙත් දැන් ඒ කට්ටිය තමයි. අරගොල්ලන්ට ඉතිරි වෙලා තියෙන්නේ බාසාව විතරයි.

      Delete
    4. මේ කොමෙන්ට් එක ගැන මැදිහත්ව බලනවා නම්, මැක්ස් මතුකරන කාරනය මේ ළිපියෙන් ගම්‍ය වෙනවා.

      ඒ වගේම පැරාට ඉන්ගිරිසි ලිව්වට කතා කරන්න බෑ වගේ හැඟීමකුත් එනවා.. (එහෙම ඉන්න විශාල පිරිසක් ඉන්නවා.) ඒ කියන්නේ වැඩ විතරයි හඬ නෑ. ලංසි වගේ උන්ට මදර් ෆකර් ගාලා කතා කලාට ළිපියක් ලියා ගන්න බෑ.. ඒ කියන්නේ හඬ විතරයි වැඩ බෑ.. හඬයි වැඩයි දෙකම පුළුවන් පිරිස තමයි ඉහළම පැලැන්තිය කියන අය. එතන ඔවුන්ගේ වින්දනයත් රසිකත්වයත් වෙනස්, සඟිස්කූතියත් වෙනස්. පැරා කියන අළුත් සල්ලි කාරයන්ට උන් එක්ක පෑහෙන්න බෑ, රෝයල් නෙමෙයි සැන් තෝමස් ගියත්. ඒත් මේ දෙවල්ට වග කියන්න ඕන.. පැරාවත් මැක්ස්වත් නෙමෙයි... බන්ඩාරණායක කියන අලුගුත්තේරුවා...

      මාතලන්ට නම් ඔය දෙකම බෑ...

      Delete
  7. Mata nam wedagath ayaweya lekanaye thibbe mokakda kiyaneka witharayi.. :)

    ReplyDelete
  8. එහෙත්, ඔවුන් විෂය සම්බන්ධයෙන් විශාරදයෝ ය. Professor Ashley Halpe wage kenekwath mohu tharam thaman English dannawa kiyala hithanne ne. Me writer mohuge rassawaath, English and Sinhala yana thunama nodath uddachcha modayeki.

    ReplyDelete
  9. මම ඉංග්‍රීසි දන්නා බවක් මෙහි කොතැනකවත් කියා නැත. ඔබ උපුටා දක්වා තිබෙන “එහෙත්, ඔවුන් විෂය සම්බන්ධයෙන් විශාරදයෝ ය" යන කොටස සහ ඔබ කියන දෙය අතර තිබෙන සම්බන්ධය මොකක්ද යන්න මෝඩයකු වන මට කරුණාකර පැහැදිලි කර දෙන ලෙස ඉල්ලා සිටිමි.

    ReplyDelete
    Replies
    1. Sorry! it's too much. First of all, I say that I am not good in either written or spoken English. However, I believe I am fluent in spoken Sinhala. I used the word modaya just to insult you. In relation most of our writers in Sinhala and English, you have been very useful to Sri Lankan readers. Honestly, I never pay a glance to articles by the likes of Professor Nalin de Silva. I know what am going to get even by reading the byline. You are different. You do a big contribution to our people. Both byyas and toyyas. However, one thing in this article seems overbearing. I think you should not mention the likes of Arjuna Parakrama in this way. Your assumption is true. They are not experts in using their language but they are honest people who won a name amoung people, at least among their friends. I think you are too harsh on them. I enjoyed the content of your article. I regret using the word 'modaya'. It expresses anger on impulse.

      Delete
    2. You don't worry about telling me fool since I am really one of that sort and I have told it many times. Forget it.

      Read the article again. I have not said Prof. Arjuna Parakrama is not an expert. He definitely is. What I highlighted is his dualism in terms of the post-colonial discourse. I mean the discourses are not mere theory but practice. Not only he but many other intellectuals too are like that.

      My politics is to expose this dualism. It is never popular. No one will ever appreciate me for that. But everyone will look back at least a little.

      This is struggle man. Changes will happen. Individuals or fools like me are not important. The change is the thing!

      Delete
    3. My harshest criticism is against Lucky whom I loved and respected so much until Ranil appointed him to run a colonial language machine. I am really sorry about it. He is a good friend. But politics is politics. Friendship must not die with political criticism.

      Delete
  10. මෙහෙමයි.....................

    සිංහල කතා කරන්න බැරි සිංහලයින් බහුතරය ඉන්න රටක සමස්ථ මූල්‍ය අංශය නොහොත් අාර්ථිකයේ කොදු නාරටිය හසුරුවන්න යන අැමති..... සිංහල කතා කරන්න බැහැ කියන්නේ සිංහල විතරක් නෙමෙයි දෙමළ ගැන කොහෙත් ම දන්නෑ කියන ඒක වෙන්න පුළුවන්.. (අපි ඒහෙම හිතනවා) ඒක ලංකාව කියන රටේ මහපොළවේ යථාර්තය නොදැනීම ගැන තියෙන හොදම සාක්ෂියයි... මේක අායෙම සලකා බලන්න තරම් වෙන දෙයක්...... මහා අාර්ථිකයක් හදන්න සැලසුම් හැදුවාට වැඩක් නැහැ ඒක මහපොළවට ගැලපෙන්නැත්තං....

    මේකයි ජනාධිපති ඉංග්‍රීසි කතා නොකිරීමයි කියන්නේ දෙකක්..... අමු යූඒන්පී කාරයෝ නැත්තං මේ දෙක පටලා ගනීවි.... අපි කියන්නේ සිංහල හුරුනැතිකම නොහොත් සිංහල සමාජය පිළිබද නොදැනීම සහ රටේ අාර්ථිකය හැසිරවීම කියන්නේ රටට බරපතල තත්වයක් බවයි......

    ReplyDelete
  11. රවි ගේ සින්හල උච්චාර්නය කොහොමටත් අපෑහිදිලිය් නේද. රනිල් ගෙත් ඒ වගේ.
    ජේ ආර් ගෙ සහ රොනී ගෙත් අඉ ප්‍රශ්නය තිබුනා.
    කතාව නෙවේ වෑඩ කරනවද බලමු. මාතා කියනව වගේ තෙරෙනවනම් මදෑ

    ReplyDelete
  12. පැරා,

    භාෂාව හොදින් ලිවීමට හා කියවීමට හැකිනම් එය ඉතා වටිනවා. මෙය ලියන මටත් සිංහල හෝ ඉංග්‍රීසි හොදින් ලියන්න බෑ (සමහරු නම් සිංහල බෑ කියන්නේ නම්බු නාමයක් ලැබුනට සමාන දෙයක් )

    නමුත් වැදගත් දෙය නම් අදාළ භාෂාවෙන් අදහස් ප්‍රකාශ කිරීමේ හැකියාවයි.

    මහේ පියා මෙරටේ ඉංග්‍රීසි මාධයෙන් ඉගනගත් අන්තිම පරම්පරාවට අයත් කෙනෙක්, මාදකින වෙනස නම් ඔවුන්ගේ (මගේ පියාගේ සමකාලීනයන් ) පාවිච්චිකරන ඉංග්‍රීසි ඉතා නිවැරදිව හසුරවන ආකාරයයි. නමුත් අද මමද ඇතුළු මගේ මිතුරන් තුලින් ඔවුන්ගේ මට්ටමේ ඉංග්‍රීසි භාවිතයක් සිදුවන්නේ නෑ.

    මා හිතනේ මෙරටේ ඉංග්‍රීසි මාද්‍ය යොදා විෂයන් ඉග්න්විම නොමැති නිසා අද සිදුවී ඇත්තේ වේගයෙන් අලුත්වන දැනුම අපට ග්‍රහණය කිරීමට වසර ගණනක් ගත වීමයි. ඒ අතින් සිංහල පමණක් කිරීම මගින් සිදුවී ඇත්තේ නව දැනුම උකහා ගැනීමට නොහැකි වීමත් අනවශ්‍ය යුද්ධයකට වසර 30ක් පැටලීම පමණයි.

    ReplyDelete
  13. අය වැය කතාවකදී වැදගත් වෙන්නේ කියන පුද්ගලයාගේ වචන උච්චාරනයවත් සමාජ පසුබිමවත් නෙමෙයි ඒ අයවැයෙන් රට ඉදිරියට ගෙනියන්න දෙන දායකත්වය. 2016 අවසානෙදි අයවැය ගැනකතාකරද්දී "අපෝ මතකද කිව්ව හැටි" කියන එක කිසිම කෙනෙක් කියන එකක් නැහැ එකෙන් රටට උන ප්‍රගතිය හෝ අගතිය ගැන මිසක්. අද කාලේ තියන ප්‍රශ්න වලින් තියන ලොකුම ප්‍රශ්නේ වෙලා තියෙනේ ප්‍රමුඛත්වය දෙන්න ඕනේ මොහොකටද කියල තේරුම්ගන්න බැරිකම.

    ReplyDelete
  14. ජාතියේ මහා පඬියා වන ශ්‍රීමත් නලින් ද සිල්වා අපට උගන්වා ඇති ආකාරයටනම්, ඉංගිරිසි අවශ්‍ය නැත. ඉංගිරිසි දැනුම ලබා ගැනීමෙන් පර සුද්දාගේ පරම පරමාණුව ඇතුළු විවිධ යුදෙව් ක්‍රිස්තියානි පට්ටපල් බොරු හිසට ඇතුලත් වේ. එයින් නලින් ද සිල්වා වැනි මහා පඬියන් කියන කතා බොරු ලෙස හැඟී යැයි. අති පිවිතුරු සිංහල බෞද්ධ දර්ශනය වෙනුවට චීන-විරෝධී දලයි ලාමා බෞද්ධ දර්ශනය ගැන පැහැදීමක් ඇතිවේ. ඒඩ්ස් වලට ඖෂධ සොයා ගත් අපේම අපේ වෙදුන් ගැන සැක සංකා පහල වේ.

    එනිසා පොදු ජනයාට ඉංගිරිසි අවශ්‍ය නැත.

    ReplyDelete
  15. UNP දේශපාලනය අනුමත නොකරමි.අයවැයද අනුමත නොකරමි.එහෙත් රවී මුදල් ඇමතිවරයාගේ සිංහල භාෂාව හැසිරවීම පිළිබඳකෙරෙන විවේචන තරයේ හෙළදකිමි.රවී මුදල් ඇමතිවරයා ඉංග්‍රීසියෙන් අයවැය කියෙව්වානම් පාර්ලිමේන්තුවේ හා රටේ ජනතාවඅතර අතිබහුතරයට ඉංග්‍රීසි බැරිනිසා මෙලෝදෙයක් වැටහෙන්නේ නැත.ඇමතිවරයාගේ කැඩිච්ච සිංහල ට හිනාවෙන්න එපා.ඒ මනුස්සය සිංහල උත්සාහයෙන් ඉගෙනගෙන කතාකිරීම අගයකළයුතුය.මුස්ලිම් දෙමළ මිනිස්සු දෙමළ භාෂාව ට අමතරවඉංග්‍රීසි,සිංහල භාෂාවද තරමකට හෝ හසුරුවයි.සිංහලයට දෙමළත් බෑ!ඉංග්‍රීසිත් බෑ!හරියටම හොයල බැලුවොත් සිංහලයට සිංහලත් බෑ!

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. Machanla, If you wish to have a clear idea of the English knowledge of SL academics, pls read some of the Eng medium textbooks for gr 6-7. So, what to tok abt trickle-down effect?.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා