ජනාධිපතිගේ මෙව්ව එක හා ජන අරගල ව්‍යාපාරයේ සමාජවාදය

මම දන්නව කිලිනොච්චියෙ ඉන්න මිනිහට මේව වැදගත් නෑ. අපි ඒවයි බලන්න ඕනෑ.
-ජනාධිපතිතුමා 30දා පැවති විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ප්‍රධානීන් සමග සාකච්ඡාවේදී


ජනාධිපතිතුමා මෙව්ව එක යයි කියන්නේ දේශපාලන විසඳුමකදී බෙදා ගැනෙන බලයටයි. ඔහු කියන පරිදි කිලිනොච්චියේ මිනිසුන්ට ඒවා වැදගත් නැත. එහෙත්, මේ කිලිනොච්චියේ ම මිනිස්සු මීට දෙවසරකට පෙර බොහෝ කාලයක් කිලිනොච්චිය විකල්ප දෙමළ රාජ්‍යයක අගනුවර කරගෙන ශ්‍රී ලංකාවට එරෙහිව කැරැල්ලක් ගැසූ හ. 


ජනාධිපතිතුමා කියන්නේ මෙසේ විය හැකි ය. "කිලිනොච්චියේ මිනිසුන්ට අප අත් කර දුන් අලුත් ජීවිතය තුළ මෙව්වා වැදගත් නැත."


13+ දුන්නා ය කියා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නැති බව ජන අරගල ව්‍යාපාරයේ නායකයෝ ඇතුළු ඇතැම් වාමාංශිකයෝ ද කියති.


මේ වනාහි රැවුලත්, කැඳත් දෙක ම බේරාගෙන බලය බෙදා ගැනීමේ දේශපාලන විසඳුමකට විරුද්ධ වීම සඳහා ඇති තර්කයයි.


මේ පසුපස ඇත්තේ අන් කිසිවක් නො ව ජනප්‍රිය ජාතිවාදයට ඇති පෙරේතකමයි. මස් කා පුරුදු අයට උපාසක වුණත් මස් දුටු විට කටට කෙළ ඉනීම වළක්වා ගත නො හැකි ය.


මේ ජනතාවගේ ප්‍රශ්න නො විස‍ඳේ ය කියන ජනතාවාදී කතාව ගැන මෙහෙම ද කියන්නට පුළුවන.


ප්‍රජාතන්ත්‍රවාදය පිහිටෙව්වා ය කියා ද ජනතා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැත. මන්ද, ප්‍රජාන්ත්‍රවාදයෙන් කුසට ආහාර ලැබෙන බවට තහවුරු වන්නේ නැතැයි කියා තර්ක කළ හැකි ය.


මානව හිමිකම් තහවුරු කිරීමෙන් ද ජනතා ප්‍රශ්න විස‍ඳෙන්නේ නැතැයි තර්ක කළ හැකි ය. 


බඩගින්නේ සිටින මිනිසාට වැදගත් ආහාර යයි ද අන් කිසිවක් වැදගත් නැතැයි ද තර්ක කරන්නට පුළුවන. 


එහෙත්, එය මහත් ප්‍රතිගාමී තර්කයකි. සාගින්නේ මැරෙන්න වැටී සිටින මිනිසාට ද දේශපාලනය වැදගත් ය. මන්ද, ඔහු සාගින්නේ මැරෙන්න වැටෙන හේතු දේශපාලනික නිසා ය. තවත් මිනිසකුට ඔහුගේ ඉරණම අත් නො වන්නට සැලැස්වීමේ වගකීමක් මිනිසකු ලෙස සමාජය විෂයෙහි ඔහුට ඇති නිසා ය. 


නිශ්චිතව කිවහොත්, 13+ දුන්නා ය කියා දෙමළ ජනතාවගේ ප්‍රශ්න විස‍ඳෙන්නේ නැතැයි කීම අමූලික බොරුවකි. කිසිදු ප්‍රශ්නයක් නො විසඳුනත්, කොළඹ ආණ්ඩුව අත ඇති දේශපාලන බලය කිලිනොච්චියට ලැබීමෙන් එහි මිනිසාට සිය ප්‍රශ්න පිළිබඳව සාකච්ඡා කිරීමේ හා ඒවාට විසඳුම් තමන් ම සොයා ගැනීමට උත්සාහ කිරීමේ නිදහස ලැබේ. 


අප මේ ඍජුව අමතන්නේ ජන අරගල ව්‍යාපාරයට ය. බලය බෙදා ගැනීම ගැන ඔබේ ස්ථාවරය පැහැදිලිව රටට කියන්න. දෙමළ ජනතාවගේ ප්‍රශ්නයට විසඳුම කවුරුත් හරියට නො දන්නා දෙයක් වන සමාජවාදය යයි කීමෙන් වළකින්න. 


ජවිපෙ මේ සමාජවාදී කඩතුරාව පසුගිය කාලයේ පාවිච්චි කළේ සිංහල මහ ජාතිවාදයේ හෙළුව වසා ගන්නට ය. 


දෙමළ ඊලාම් ජාතිවාදයට විරුද්ධ නම් පළමුව සිංහල මහ ජාතික ස්වෝත්තමවාදයට විරුද්ධ වන්න. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජාතිවාදයට එක හෙලා විරුද්ධය. එහෙත් මේ කුඩා රටට බලය බෙදීමක් කිසිසේත් අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ වැදගත් දේශපාලන දැක්මක් හා සංස්කෘතියක් පමණි. නමුත් අවාසනාවකට පේන තෙක් මානයක නොමැත..

    ReplyDelete
  2. //දෙමළ ඊලාම් ජාතිවාදයට විරුද්ධ නම් පළමුව සිංහල මහ ජාතික ස්වෝත්තමවාදයට විරුද්ධ වන්න.//

    ReplyDelete
  3. prashnayata visaduma samajawadaya vithrai ,aka keemen walakina lesa samaja vadeenta kiyanna oba kawda? moda katha kiyanna apa

    ReplyDelete
  4. ප්‍රශ්නයට විසඳුම සමාජවාදය බව නොකියා බැහැ. එහෙත් එහෙම කියන්න එපා කියලා ඔබ කියන්නේ කුමක් නිසාදැයි මට අනුමාන කරන්නට පුළුවන්. සමහර අය ඔය කතාව කියන්නේ සමාජවාදය කියන එක තමන්වත් දන්නේ නැතුවනේ.

    ReplyDelete
  5. ධනවාදයෙන් සමාජවාදයට ගියත් ජනවර්ග නැතිවන්නේ නෑ...සංස්කෘතික අනන්‍යතාවයන් ඔය සියලු වාදයන්ට වඩා පරණයි විතරක් නොවේ ඒවා තව ඉදිරියට යනවා...මිනිසා සංස්කෘතික අනන්‍යතාවය සමග තමා ඔය සියලු වාද හොයාගෙන යන්නේ...බලය බෙදීම අවශ්‍ය වන්නේ මේ ජාතීන්ට තනි දේශපාලන රටාවක් තුල බියෙන් සැකෙන් තොරව තම සංස්කෘතිය ප්‍රති නිෂ්පාදන කිරීමේ කාර්ය ඉදිරියට ගෙන යාමට අවශ්‍ය් වන පසුබිම සපයා දීමටයි...තමන් වමාන්ශිකයන් යයි කියන අය තම සමාජ අරගලය ඉදිරියට ගෙන යාමට නම් ජාතින් සමග බලය බෙදා ගැනීමට සුදානම් විය යුතුයි...අඩුම වශයෙන් අද ජාතින් අතර ඇති අවිශ්වාසය තුරන් කිරීමට නම් මේ කාරණය ගැන ස්ථිර දහසක් දෙන්න ඕන...මොකද මේ කුඩා ජාතින් ගත වූ වසර හැටක කාලය තුල දේශපාලනකරණය වීම සිදු උනේ බලය බෙදීමේ ෆෙඩරල් අදහස සඳහා ඔවුන්ගේ ධනවාදී නායකයන් ගෙන ගිය අරගලය සමග නිසා...තමන් සිංහල ජාති වාදයට විරුද්ධ බව පෙන්වා දීම කරන්නේ පුළුවන් මේ ගැන ස්ථිර මතයක් ප්‍රකාශ කිරීමෙන්

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා