ඉන්දියාවට එකකුත්, ලංකාවේ ජනතාවට තව එකකුත් නො කියා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කීම ආණ්ඩුවේ වගකීමකි

රුපියල රැකගැනීම සඳහා ශ්‍රී ලංකා මහ බැංකුව විසින් දේශීය විදේශ විනිමය වෙළෙඳපොළට විනිමය සැපයීමේ ප්‍රතිඵලයක් ලෙස ලංකාවේ විදේශ සංචිත ප්‍රමාණය ඉකුත් දෙසැම්බර් මාසය වන විට ඇමෙරිකානු ඩොලර් බිලියන 5.9 ක්‌ දක්‌වා පහත වැටී තිබේ. මෙම විදේශ සංචිත ප්‍රමාණවත් වන්නේ මාස 3.6ක ආනයන සඳහා පමණි.


විදේශ සංචිත ඉහළ නංවා ගැනීම සඳහා රජයට ඇති ප්‍රායෝගික විසඳුම වන්නේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදල විසින් සපයනු ලබන ණයෙහි අවසන් වාරිකය ලබා ගැනීමයි. එහෙත්, ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසියක් වන්නේ ද රුපියල රැක ගැනීම සඳහා රජය ගනු ලබන පියවර අත්හැරීමයි.


රුපියල අවප්‍රමාණ වූ විට ඇති වේ යි බලාපොරොත්තු විය හැකි අධික ලෙස බඩු මිළ ඉහළ යාම වැනි ආර්ථික සාධකහමුවේ ආණ්ඩුව බියපත් වී තිබේ.


ජාතීන්ගේ ප්‍රශ්නය විෂයෙහි ‍ස්ථිර දේශපාලන විසඳුමක් යෝජනා කිරීමට ආණ්ඩුවට සිදු වී තිබෙන්නේ ද ඒ අව් අස්සේ ය.


මේ වනාහි බොහෝ කාලයකට පෙර කළ හැකිව තිබූ දෙයකි. අදූරදර්ශීකම හා අවස්ථාවාදී අමනකම නිසා ආණ්ඩුව හැමදාමත් කළේ ජාතීන්ගේ ප්‍රශ්නයට විසඳුමක් නො දී කල් ගැනීමයි. මේ කල් ගැනීම අන්තයක් කරා යන බව ආණ්ඩුව තේරුම් ගත යුතුව තිබිණි.


ආර්ථිකය සම්බන්ධයෙන් ද තත්වය එසේ ය. පැලැස්තර දමමින් මතුපිටින් වෙදකම් කරමින් තිබියදී ආර්ථික තුවාලය ඔඩු දිවූයේ ය.


මෙතෙක් කල් ගත් කිසිදු පියවරකදී විපක්ෂයේ හෝ රටේ ජනතාවගේ අදහස් නො විමසූ ආණ්ඩුව ජාතික ප්‍රශ්නය සම්බන්ධයෙන් පූර්ණ ප්‍රජාතන්ත්‍රවාදී වන්නට යාම විහිළුවකි.


ආර්ථිකය සම්බන්ධයෙන් නම් දැන්වත් විරුද්ධ පක්ෂවල හෝ ජනතාවගේ අදහස් විමසීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැත.


සියලු බලය සියතට ගොනු කර ගත් රාජපක්ෂ පාලනය දැන් මේ ප්‍රශ්නවලට විසඳුම් දීමේ වගකීමෙන් කර අරින්නට දරන උත්සාහයට ඉඩ දිය යුතු නැත.


ජාතික ප්‍රශ්නයට විසඳුම් සෙවීමේදී 13වන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ රාමුව ඉක්මවා යන්නට ඉන්දියාවට කැමැත්ත පළ කළ ආණ්ඩුව දැන් රටට ‍අනෙකක් කියයි.


ආණ්ඩුවේ කල් ගැනීමේ අලුත් ම උපාය තේරීම් කාරක සභාවයි. දෙමළ ජාතික සන්ධානය ඇතුළු විපක්ෂය ආණ්ඩුවෙන් අසන සාධාරණ ප්‍රශ්නයක් තිබේ. තේරීම් කාරක සභාවට ආණ්ඩුව ඉදිරිපත් කරන යෝජනාව කුමක් ද? පොදු සාකච්ඡාවකින් තීරණ ගන්නට පුළුවන. එහෙත් සාකච්ඡාවට එන ආණ්ඩුවට සාකච්ඡා කරන්නට අදහසක් තිබිය යුතු ය.


ආණ්ඩුවේ අදහස කුමක් ද? ඉන්දියාවට එකකුත්, ලංකාවේ ජනතාවට තව එකකුත් නො කියා තමන්ගේ ප්‍රතිපත්තිය හරියට කීම ආණ්ඩුවේ වගකීමකි.


එක ම සෙල්ලම හැමදාම කරන්නට බැරි ය. මෙතෙක් කල් නො තිබූ මහා ප්‍රජාතන්ත්‍රවාදයක් එක පාරට ම ඕනෑ ද නැත. බලය ඔබ අතේ ය. තවමත් හැන්ද ද අතින් අත හැර නැති ඔබ ප්‍රශ්නවල වගකීම ද භාර ගත යුතු ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. මේ ආන්ඩුවෙන් ඕකට විසඳුමක් ලැබෙන්නේ නම් නෑ.. මොකෝ මේ ඉන්නේ පලාත් සභාවලටත් විරුද්ධ වෙච්ච සෙට් එකක්. මගේ අදහස නම් මේ පලාත් සභා ඕනත් නෑ. ඉස්සර තිබුන ඡන්ද ක්‍රමයට ගිහින් සෑම දිස්ත්‍රික්කයක්ම එක ලෙස සංවර්ධනය කිරීමයි..

    ReplyDelete
  2. අජිත්...මෙතන ප්‍රශ්න දෙකක් තිබෙනවා..
    එකක් ජාතික ප්‍රශ්නය - ශ්‍රී ලාංකීය ජාතිය ගොඩ නැගීම
    අනෙක ජාතීන්ගේ ප්‍රශ්නය - ජාතීන්ගේ අනන්‍යතාවයන් සුරක්ෂිත කිරීම

    දෙවන්නට තමා මේ රටේ අවධානයක් නැති උනේ...
    මේ නිසා ඔක්කොම් ජාතින් ඉන්නේ බයෙන්
    ඔවුන්ගේ සංස්කෘතිය ප්‍රති නිෂ්පාදන ක්‍රියාවලියට බාධා නොකරන...
    ඔවුන්ට බියක් රහිතව ජිවත් වීමට ඉඩ සලසන රජයනයක් ඇති තැනක් බවට මේ රට පත් කිරීම තමා සියලු බලය බෙදීම් වල අරමුණ වෙන්න ඕන...මේකට මුල තැන දුන්නොත් ජාතික ප්‍රශ්නයට පිළිතුර ලැබෙනවා

    ReplyDelete
  3. ඉන්දියාවේ එවුන්ටත් ඕක කිව්වානම්?

    ලංකාවේ දී එකකුත් ඉංදියාවට පැන්නම තව එකකුත් කියන්නැතුව යන්න කියලා....

    අදත් කාටහරි මඩ ගහලා බඩ පිරුණැයි?

    ReplyDelete
  4. මේ ආණ්ඩුව විතරක් නොවෙයි, රනිල්ගේ ආණ්ඩුවකට වුණත් බලය බෙදාහැරීම නොකළ හැක්කක්. 1987 ව්‍යවස්ථා සංශෝධනයෙන් පසු අවුරුදු හතකුත් ඊට පසු අවුරුදු දෙකකුත් (2001-2004) බලයේ සිටි එජාපය නොකළේද බලය බෙදාහැරීමයි. පවතින දේශපාලන යථාර්ථය අවබෝධකර නොගැනීමට හැකි මෙම ලේඛකයා වැනියවුන් හෙම්බත් වන තුරුම අසන්නේ බලය බෙදන්නේ කවදාද කියායි. එයට නියම පිළිතුර නම් කිසිදාක බලය බෙදා නොහැරේ යන්නයි.

    සමහර විට ඉන්දියාවටත් ලංකාවේ දෙමළ ජනයාට බලය අරන් දීමට උවමනාවක් නැතිව ඇති. සියල්ලන්ම රඟපාන්නේ නාටකයක් විය හැකියි.

    ReplyDelete
  5. "Jathika Prashnaya" started in 1920's. Why others could not sort out this for 90 years?
    Terrorism started in 1983, why others could not eliminste terrorism. Only MR govt. did that.
    13th Amendment came in 1987. Why others could not implement during last 25 yers?
    Why are you finding fault with this MR Govt? Are you guys mad? or ignorant?
    Do not try to tell half truth.
    Govt. is not bowing down to IMF dictates, because it will result in inlation & people cannot bear rising cost of living. So protecting people from misguided IMF looks bad in your eyes?? Better wash your eyes & look at the truth!!

    ReplyDelete
  6. මහින්ද බලය බෙදා හැරලා තියෙන්නේ,මෑන්ස්ගේ පවුලේ බුවාලා සහ බුවිලා අතරේ.තව මොනවාද.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා