2017-08-12

පාර සොයා ගන්න දන්නා කොළඹ තරුණයෝ හා මංමුලා වන ගමේ තරුණයෝ

හැබැයි මා තරුණයෙකු නොවෙයි. ඒ වුණාට මා ලෝක තරුණ දිනය ගැන උනන්දුයි. ඒ වෘත්තීය වශයෙන් මා ක්‍රියා කරන ක්ෂේත්‍ර නිසා විතරක් නෙමෙයි.

අපේ තරුණ අවධිය නාස්ති වී යන්නට හේතු වුණ තත්වයන් අපේ දරුවන්ට ඇති නො වන පරිදි කටයුතු කිරීම මගේ වගකීමක් ලෙස මා අද සලකන නිසායි.

මට තවමත් මගේ ගමේදි, මා දන්නා පාසල්වලදි, මගතොටේදි බොහෝ විට හමු වන්නෙ මා ගෙවූ තුරුණු විය ම වැනි තුරුණු වියකට උරුම කියන්නට සිදු වන අවදානමේ ගැට්ටේ සිටින තරුණ පිරිස්. ජාති, ආගම්, දේශපාලනික අන්තවාදයන් ඔවුන්ගේ ඔලුවලට උඩ කැරකෙන්නේ වද බඳින්නට එන කණ මී මැසි හමුදා වගේ.

ඔවුන් අතර බොහෝ දක්ෂයන් සිටිනවා. ඔවුන්ටත් හීන ගොඩක් තියෙනවා. හැබැයි, ඔවුන්ට කොළඹ ඉහළ ප්‍රභූ සමාජයේ ඉංග්‍රීසිය හා ඒ හා බැඳුණු සංස්කෘතිය නැහැ. නිසි මග පෙන්වනවා නම්, එය ඔවුන්ට අත්පත් කර ගැනීම එතරම් දුෂ්කර දෙයක් නො වුණත්, ඊට වඩා පහසුවෙන් ඔවුන් අන්තවාදී අදහස් හා පුහු දෘෂ්ටිවාද සමග බැඳෙනවා. ඒවාට මග පෙන්වන්නට වඩා බලවත් බලවේග සමාජයේ තිබෙනවා. අවසාන ප්‍රතිඵලය විදියට ඔවුන්ට ලැබෙන්නේ සීමිත අවස්ථා ප්‍රමාණයක්. විශ්වවිද්‍යාල අධ්‍යාපනය වැනි වරප්‍රසාද ලැබුණත්, ඔවුන් අන්තරේ ලෝකයට සීමා වී පුළුල් ලෝකයට දොර කවුළු වසා ගන්නවා.

හැබැයි මට මගේ වෘත්තීය ජීවිතයේදී කොළඹ ප්‍රභූ සමාජයට ප්‍රවේශය ඇති තරුණ පිරිස් හමු වෙනවා. ඔවුනුත් දක්ෂයි. ඉංග්‍රීසි භාෂා භාවිතය පැත්තෙන් චතුරයි. ඔවුන්ගේ සුවිශේෂ ම තත්වය තමයි, ඔවුන් සමාජය තුළ ඉදිරියට යාමට අවශ්‍ය අවස්ථා ලබා ගැනීම සඳහා උවමනා මෘදු කුසලතාවලින් පිරිපුන් වීම සහා වඩා සමාජශීලී හා වෘත්තික වීම. හැබැයි, කොළඹින් බැහැර ලාංකීය සමාජය හා පොදු ජනතාව මුහුණ දෙන ජීවන ගැටලු පිළිබඳ ඔවුන්ට එතරම් අවබෝධයක් හෝ ඒ අවබෝධය ප්‍රායෝගිකව ලබා ගැනීමට ලොකු උනන්දුවක් හෝ නැහැ. හැබැයි, ලංකාවේ සංවර්ධනය සම්බන්ධ තීරණ, තීන්දු ගැනීමේදී ඔවුන් ගමේ තරුණ තරුණියන්ට වඩා බලවත්.

මා iVoice වෙබ් අඩවිය හා සම්බන්ධ කටයුතුවලදී විවිධ තරුණ තරුණියන් හමු වෙනවා. ගමට පාලමක් හදන්නට මුල් වුණ නෙළුවේ මේ තරුණියන් තිදෙනා හමුවන්නට මා ගියා.

ගිය සිකුරාදා මා ගුවන් විදුලියේ වෙළඳ සේවයෙන් සිකුරාදා උදේ 8-9 විකාශ වූ සාරප්‍රභාගිර වැඩසටහනට සෙනෙල් වන්නිආරච්චි එක්කගෙන ගිහින් පැයක් ඔහු සමග කතා කළා. කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයේ සිසුවකු ලෙස හය ශ්‍රේණියේ සිට ඉංගිරිසි මාධ්‍යයෙන් ඉගෙන ගෙන, උසස් පෙළට කලා විෂය තෝරාගෙන, කොළඹ විශ්වවිද්‍යාලයෙන් ජාත්‍යන්තර සම්බන්ධතා උපාධිය හදාරා, හෑෂ්ටැග් පරපුර හරහා සමාජ ක්‍රියාකාරිත්වයන් ඔස්සේ ඉදිරියට ගිහින් වයස අවුරුදු 27ක් වන විට එලිසබෙත් රැජින විසින් වාර්ෂිකව තෝරා ගනු ලබන ලොව තරුණ නායකයන් පිරිස අතරට එක් වී සම්මාන ලබන්නට ඔහු සමත් වුණේ කොහොමද කියන එක මා විමසුවා.

මා අද ලියු ලිපිය තුළින් විමසා බැලුවේ එක්සත් ජාතීන්ගේ මහ ලේකම් අන්තෝනියෝ ගුටරස්ගේ තරුණ නියෝජිතවරිය වන්නට තරම් තැනකට බෙන්තර හබුරුගල ගමේ ඉපදුණු, අලුත්ගම සංඝමිත්තා විද්‍යාලයෙන් අධ්‍යාපනය ආරම්භ කළ අවුරුදු 27ක තරුණියක් සමත් වුණේ කොහොමද කියන එක.

අපේ පරම්පරාවේ අපේ මිතුරන් බොහෝ දෙනෙකු පුහු දෘෂ්ටිවාදයන් හා අන්තවාදී අදහස් නිසා ජීවිත හෝ අනාගත විභවයන් හෝ අහිමි කර ගත්තා. ඒ ගැන හොඳින් දන්නා අපි අනාගත පරපුරටත් ඒ කාලකණ්ණිකම ම උරුම කර දෙනවා ද?

මේ තරුණ කෙල්ලගේ කතාව කියවා බලන්න ඇය සිය වාසනාව පාදා ගැනීමට ගෙන තිබෙන මග. මේ පසුපස දේශපාලනය වුණත් තියෙන්නට පුළුවන්. හැබැයි මා හිතන්නෙ පුද්ගල දක්ෂතාව හා ගත් මග වැදගත්.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.