උමා ඔය, රාජපක්ෂවාදය, පරිසර අන්තවාදය හා දැන් ඉතින් කරන දේ

උමා ඔය ව්‍යාපෘතිය ගැන මට කියන්නට අවශ්‍ය දෙය මනෝරම වීරසිංහ වචන කීපයකින් කියා තිබෙනවා. ඒ මෙහෙමයි:

උමා ඔය සිද්ධිය හරිම ඛේදවාචකයක්...!

පසුගිය රජය කරපු කිසිම ව්‍යාපෘතියක් පරිසර අධ්‍යයන වාර්තා, යෝග්‍යතා වාර්තා කිසිවක් තුට්ටුවකට මායිම් නොකර හිතුවක්කාරකමට කරපු ව්‍යාපෘති.

ඒවා සියල්ලම වගේ අසාර්ථකයි.. ඒ කීවේ වැඩේ ලස්සනට තිබුණට ඇතුළාන්තය හා පසු ප්‍රතිඵල විනාශයක්ම වුණා..

ඔය කාලෙ අපි කීවා පොළව පැලෙයි, ගිලා බහියි, නායයයි කියල.. බයියො හිනාවුණා.. හිතුවක්කාරකමට තනිමතේට කරපු වැඩවලින් වන්දි ගෙවන්නෙ මිනිස්සු..

මේවා හරියට කරනව නං හරිම වටින ව්‍යාපෘති. දැන් මේවට රටම ණයයි. අත්ඇරල දාන්න බෑ. ආණ්ඩුවට සිද්ධවෙනව අතින් කයිට් වෙලා හරි මේ පැලැස්තර දාලා මේ කාන්දුව වහන්න. ඊට පස්සෙ භුගත ජල වහනය වසරකින් විතර සාමාන්‍ය තත්ත්වෙට එනව. නමුත් එතකල් මිනිස්සු මැරෙන්නද?

මොනව වුණත් ජෙප්පො කෑ ගැහුව කියල මේවා නවත්තල බෑ.. නොර්වේ, කැනඩා, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල විශේෂඥයො ගෙන්නල මේවට විසඳුම් හොයන්න ඕනි.. ලෝකෙ බැරි වැඩ නෑ..

ඒ වගේම මේ මිනිස්සුන්ට ලොකු වන්දියක් ගෙවන්නත් ඕනි.

මෙයට තව පොඩි එකතු කිරීම් කීපයක් කරන්නට ඕනැ. ලංකාවේ මෑත ඉතිහාසය පුරාම වගේ මෙවැනි මෙගා ව්‍යාපෘති ධාවනය කළ පෙළඹවීම හෙවත් අභිප්‍රේරණය වුණේ ඒ පිටුපස තිබුණු කොමිස් හා වෙනත් ජාවාරම්. තමන්ට අමතර වාසියක් නැතිනම්, සංවර්ධනය සම්බන්ධයෙන් තමන්ගේ වගකීම කුමක් වුවත්, ලොකු ලොකු වැඩ කරන්නට අපේ රටේ දේශපාලකයන් විතරක් නෙමෙයි රාජ්‍ය නිලධාරීනුත් පෙළඹෙන්නේ නැහැ. මේ දවස්වල අපේ රටේ ලොකු සංවර්ධන ව්‍යාපෘති අලුතෙන් ආරම්භ නො වන්නටත් හේතුව ඒක ම තමයි.

මහින්ද රාජපක්ෂලාට මේ මෙගා ව්‍යාපෘතිවලදී තිබුණේ මෙගා වාසි ගැන මෙගා අදහස් විතරයි. ඒ වගේ ම මෙගා විදියට ලංකාව ග්‍රහණයට අරගෙන සිටි නිසාත්, මෙගා විදියට ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් හා ප්‍රකාශනයේ නිදහස අවුරා තිබුණ නිසාත් මේ ව්‍යාපෘති ඉදිරියට තල්ලු කළේ මෙගා බලහත්කාරයකින්.

දැන් මේ ව්‍යාපෘති අතරමග නතර කළ හැකි ඒවා නෙමෙයි. එ් වගේ ම කිසිදු පාරිසරික බලපෑමක් සිදු නො වන පරිදි මෙවැනි සංවර්ධන ව්‍යාපෘති දියත් කරන්නටත් බැහැ. පොළව යටින් දිග උමගක් කණිනකොට මෙවැනි ප්‍රශ්න මතු වන්නට පුළුවන් ඇතැම් ගැටලු තාවකාලික වෙන්නත් පුළුවන්. ඒ වගේ ම, මේ මතු වෙන සියලු ගැටලු උමග නිසා ඇති වන ඒවාත් නෙමෙයි. මොකද, මධ්‍යම කඳුකරයේ පාරිසරික පද්ධතිය විනාශ කිරීම දිගු ඉතිහාසයක් සහිත ක්‍රියාවලියක්.

මනෝරම වීරසිංහ කියන පරිදි ම මගක් දුරට කණින ලද මේ උමග දැන් වහන්නට බැහැ. මේ ව්‍යාපෘතිය අතහැර දමන්නටත් බැහැ. පෝට් සිටි සම්බන්ධයෙන් මතු වුණේත් මේ ප්‍රශ්නයමයි. හම්බන්තොට වරාය අසාර්ථක ය කියා අපට දැන් එය වසා දමන්නට බැහැ. මත්තල ගුවන් තොටුපළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගනය වැනි ඒවා අතහැර දමන එක වැරදියි.

අනෙක් පැත්තෙන් මේ කාරණයත් කිව යුතුයි. මිනිසා කියන්නේ ඇත්තෙන් ම සෙසු සතුන්ට වඩා සුවිශේෂ සත්වයෙක්. මිනිසා සොබාදහම වෙනස් කරන සත්වයෙක්. ඒ වගේ ම විශ්වයේ ඉතිහාසය තුළ ස්ථිර, දිගු කාලීන පැවැත්මකුත් නැති, තමන් විනාශ වීමට නියමිත බව දැනගෙන ජීවත් වන සත්වයෙක්. මිනිසා සොබාදහම වෙනස් කරන්නට තීරණාත්මකව මැදිහත් වීම ආරම්භ කළේ දඩයම් හා ආහාර රැස් කරන තත්වයෙන් වෙනස්ව ආහාර භෝග වගාව හා සත්ව පාලනය පටන් ගත් තැන සිටයි.

ලංකාවේ පැරණි වාරි කර්මාන්ත වගේ ම ඔය දැවැන්ත වෙහෙර විහාර, සීගිරිය වගේ නගරත් මේ වගේ ම ව්‍යාපෘති තමයි ඒ කාලෙ හැටියට.

ආපසු හැරෙන්නට බැරි තරම් සෑහෙන දුරක් මිනිස් වර්ගයා පැමිණ තිබෙනවා. හැබැයි දැන් මිනිසා පරිසරය සම්බන්ධයෙන් කරන මැදිහත්වීම් බුද්ධිමත්ව කළ හැකි තැනකයි ඉන්නේ. මේ බුද්ධිමත් මැදිහත්වීම් හා පාරිසරික අන්තවාදය එකක් නෙමෙයි.

විශේෂයෙන් ම රාජ්‍ය නොවන සංවිධාන පාරිසරික ව්‍යාපෘතිවල නියැලී සිටින පිරිස් මේ වන විට සංවර්ධන ව්‍යාපෘතිවලට විරෝධය පළ කිරීම සිය වෘත්තිය බවට පත් කරගෙන තිබෙනවා. ඒ නිසා ම ආපසු හැරී බැලීමක් කරන්නේත් නැහැ.

මහවැලිය සම්බන්ධයෙන්, කණ්ඩලම හෝටලය සම්බන්ධයෙන්, නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය සම්බන්ධයෙන්, ඉහළ කොත්මලේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් එහෙම පරිසර සංවිධාන විසින් බලමුළු ගන්වන ලද විරෝධයන් හා එම ව්‍යාපෘතිවල සාර්ථක අසාර්ථකභාවය පිළිබඳ ඇගයීමක් මේ සමාජයට අවශ්‍යයි.

පසුගිය දිනවල කළුතර දිස්ත්‍රික්කයේ ඇති වූ ගංවතුර සම්බන්ධයෙන් සාකච්ඡා කරද්දී මතු වුණ කාරණයක් තමයි, කළු ගඟ හරස් කර ඉදි කළ, විශාල ජල කඳක් රඳවා ගත හැකි ජලාශයක් නො තිබීම. කුකුළේගඟ ව්‍යාපෘතියේ මුල් සැලසුම වුණේ එවැනි ජලාශයක්. එහි විදුලිබල උත්පාදන ධාරිතාවත් ඉහළයි. එහෙත්, සිංහරාජ වනාන්තරයෙන් කොටසක් යට වීම ප්‍රධාන හේතුව කර ගනිමින් මතු වූ විරෝධය නිසා ඒ ව්‍යාපෘතිය වෙනස් කර අවසානයේදී පොකුණක් වැනි කුඩා ජලාශයකට සීමා කළා. එහි පිටාර මට්ටම හා විදුලි බලය නිෂ්පාදනය කළ හැකි ජල මට්ටම අතර වෙනස මීටර් දෙකක් පමණයි. එය ජලාශයක් ලෙස හඳුන්වන්නටවත් විදුලි ඉංජිනේරුවන් කැමති නැහැ.

හැබැයි ඉන් පස්සෙ අපේ මිනිසුන් සිංහරාජය ආරක්ෂා කළෙත් නැහැ. අන්තිමට ජලාශෙත් නැහැ. සිංහරාජෙත් නැහැ.

කළු ගඟේ ජලය තවමත් මුහුදට ගලා යන්නේ අවම ප්‍රයෝජනයක් ගනිමින් හා වැඩි ගංවතුර විනාශයක් සිදු කරමිනුයි. මේ ජල කඳ වියළි කලාපයට හරවන්නට හැකියි. ඒ වෙනුවෙන් මීටත් වඩා දැවැන්ත ව්‍යාපෘති අවශ්‍යයි.

පාරිසරික අන්තවාදයක් නෙමෙයි අපට අවශ්‍ය. අපට අවශ්‍ය බුද්ධිමත් පරිසරවාදයක්. මිනිස් අවශ්‍යතා, සංවර්ධනය හා පරිසර සංරක්ෂණය තුලනය කරන එක ලේසි වැඩක් නෙමෙයි.

මේ ප්‍රශ්න ගැන විසඳුම් සෙවිය යුතු කැබිනට් මණ්ඩලයේ සිටින හරින් ප්‍රනාන්දුත් දැන් ආණ්ඩුව කියලා එයා නො වන වෙනින් මොකක් ද එකකට තග දානවා විසඳුවෙ නැතිනම් මං නරක මිනිහා ය කියන්න එපා අරවා මේවා කියමින්.

අප විසින්  ම ඡන්දෙ දීලා පාර්ලිමේන්තුවට පත් කර යවන හරින් ප්‍රනාන්දුලා වැනි උන්නැහේලාට වඩා වගකීමකින් බුද්ධිමත් පුරවැසියන් හැසිරෙන්නට ඕනැ. අප ප්‍රවර්ධනය කරන පුරවැසි දේශපාලනය එය බව තේරුම් කර දෙන්නට හරින් ප්‍රනාන්දු එක්ක තමන් සන්සන්දනය කර ගන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. මේ අතර, නාමල් සහ යෝෂිත රාජපක්‍ෂ සොහොයුරන් කොළඹ කොටස් වෙළඳ පොලේ වැඩිම ආයෝජනයක් කර ඇති විසි දෙනා අතර සිටින බව කියවේ.

    ප්‍රවෘත්ති මින් සමාප්තයි.

    මීළඟට නැවතත් බයිලා වැඩසටහනට යොමුවෙමු.

    මල්ලි අසනු මැන හැර දා දුක සංකාව
    ඉන්දි සයුරෙ මුතු ඇටයයි සිරි ලංකාව
    පෙර තන්හාව
    නොතිබුණි කාගෙත් ගාව
    හැර සංකාව
    බැබලුණු රට ලංකාව!

    ReplyDelete
  2. Para, these prohects are going at a high speed rather than they shoul. I think these Projects Continuous with some steps, which take years. (gal Oya project Took 20 years And I think harmful effects are Less than Mahaweli Which took only 7Years, despite It has been decided to go at least 30 years?)

    ReplyDelete
  3. //නොර්වේ, කැනඩා, බ්‍රිතාන්‍ය, ඇමරිකාව වැනි රටවල විශේෂඥයො ගෙන්නල මේවට විසඳුම් හොයන්න ඕනි..//

    අපි අද මූණ දීල ඉන්න සියලු ඛේදවාචක වලට හේතුව අන්ධ විධියට බටහිරයන් අනුකරණය කිරීමයි. පුරාතන සිංහල බෞද්ධ නයිදේ වරුන් මහාපරිමාණ වාරි ව්‍යාපෘති කොච්චර හැදුවත් ඔය කියන විදිහේ පරිසර හානි වුනේ නැහැ. ඒවාට විසඳුම් හොයන්න ඊනියා බටහිරයන් පස්සේ යන්න එක තරම් විහිලුවකුත් තවත් නැහැ.

    මේ වෙනුවෙන් අපි මොහොතකට හරි නලින් සිල්වා ගුරුතුමා යෝජනා කරන සම්‍යයක් දෘෂ්ටික දෙවි වරුන්ගෙන් දැනුම ලබා ගැනීම වගේ ක්‍රමවේද ගැන අවධානය යොමු කරන්න ඕන. අපේ රට මුහුණ දුන්න ආසනික් ප්‍රශ්නය, මහින්ද රාජපක්ෂ පරාජය, මීතොටමුල්ල වගේ බරපතල ඛේදවාචක බොහොමයක් ගැන වුනත් එතුමා ඇතුළු කණ්ඩායම කල්තියාම දැන ගත්තේ නාථ, විපස්සක වගේ දෙවි වරුන් මාර්ගයෙන්. එත් ඒ වගේ දේ වලට හැක හැක ගාන්නම බලාගෙන ඉන්න කාලෝ ෆොන්සේකා වගේ බටහිර බත් බැළයන් නිසාම ඒ කිසිම දෙයක් කල් තියා රටට හෙළි කරන්න එතුමා ඇතුළු කණ්ඩායමට බැරි වෙලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. පුදපු ගමන් කාපි යකා

      Delete
  4. එහෙම නම් ඉතින් නාථ තුමා හරි, විපස්සක තුමාව හරි රටේ ජනාධිපති කලානම් ඔක්කොම ප්‍රශ්න ඉවරයි නේ?

    එතකොට නලින් ද සිල්වා නිකම්ම අගමැති වේවි. එතකොට ඒ මල කරදරෙත් ඉවරයි.

    ReplyDelete
  5. පරිසරයට වෙන හානිය කලින් තක්සේරු කරලා පාරිසරික වැදගත්කම අනුව ඒව නවත්වන්න මුලින් කටයුතු නොකිරීමම එක් වරදක්. කොහොම උනත් පාරිසරික අන්තවාදයක් ගැන කියන්න බෑ. මොකද පාරිසරික සාධකේදී මනුස්සයන්ගේ පැවැත්මට අත්‍යාවශ්‍ය පාරිසරික අංගයන් රැකිය යුතුමයි. අනෙක මහිද රාජපක්ෂ ජනාධිපතිතුමා කොටි ත්‍රස්තවාදය ඉස්සරහ ක්‍රියා කරපු පරිනත බව අනෙක් තැන් වලදි තිබිල නෑ. විශේෂයෙන් දැවැන්ත සංවර්ධන ව්‍යාපෘති වලදී අනුගමනය කරල තියෙන පාඅරිසරික ප්‍රතිපත්ති හරි නෑ. එතනදි උපදෙස් දීපු මෝඩ සංවර්ධන උපදෙස් කාරයොත් මේ විනාශයට වග කියන්න ඕනේ. අපට සංවර්ධනේ කියල හැම දෙයක්ම බිල්ලට දෙන්න බෑ.

    ReplyDelete
  6. උමා ඔය ඇත්ත, බොරු හා පට්ටපල් බොරු...

    උමා ඔය වතුර ගෙනියන්නෙ හම්බන්තොටට, උමා ඔයේ තියන ගොවි ව්‍යාපාර වලට වතුර නැති වෙනවා.. දැනටත් උමා ඔය කාලෙකට හිදෙනවා.. එහෙම තියෙද්දි කොහොමද තවත් වතුර හම්බන්තොටට යවන්නෙ..??

    උමා ඔය වතුර බිංදුවක්වත් හම්බන්තොටට යවන්නෙ නෑ..

    උමා ඔය වතුර එලියට එන්නෙ වැල්ලවායට උඩින්.. සශ්‍රීක වෙන්නෙ වැල්ලවාය ඉඳන් කුඩා ඔය හරහා තනමල්විලට එනතුරු තියන ප්‍රදේශ.. මේවයෙ පස පුදුම විදියට සශ්‍රීකයි.. වතුර විතරයි ඕන.. මේක හැදිල ඉවර වෙද්දි මොණරාගල තවදුරටත් දුශ්කර දිස්ත්‍රික්කයක් නෙවෙයි...

    හම්බන්තොටට එක වතුර කඳුලක් ඕකෙන් එන්නෙ නෑ..

    අලුතෙන් ජලාශ හදන්නෙ කුඩා ඔය, අලිකොටාආර, හඳපානාගල (අලිකොට ආර වැල්ලවායට උඩින්, කුඩා ඔය හදපානාගල තණමල්විලට කිලෝමීටර් විස්සක් විතර උඩින් )..

    තව පායන කාලෙට හිඳෙන පොඩි වැව් 127කට වතුර දෙනවා.. ඒවයින් වගා කරන්නෙ තණමල්විලට එනතුරු තියන ඉඩම්.. ඔක්කොම අලුතෙන් හෙටයාර 3800ක් වගා කරනවා.. ඊට අමතරව දැනට වතුර හිඟකමින් එක කන්නයක් විතරක් වවන කුබුරු හෙක්ටයාර 1500කට කන්න දෙකම වගා කරන්න වතුර දෙනවා..

    දැනට ගංජා,හේන් ගොවිතැන් කරන තණමල්විල මිනිස්සුන් ඒකෙන් මුදවලා ඔවුන්ගේ ජීවන තත්වය උසස් කිරීමත් සිද්ද වෙනවා මේ එක්කම.. ගංගා ද්‍රෝණියකට වතුර වැටුනම ඒක මුළු ද්‍රෝණිය පුරාවටම යන එක වගේම ඒකෙ ජල මට්ටම ඉහල යන එක සිද්ද වෙනවා.. ඒ වගේම කුඹුරු වලින් එන අපජලය (ඩ්‍රෙනේජ් වෝටර්) කොහොමත් ද්‍රෝණියෙ පහළට ගිහින් මුහුදට වැටෙනවා..ඒ ඇරෙන්න හම්බන්තොට දිස්ත්‍රික්කයෙ එක අඟලකට මේ වතුර ඩිරෙක්ට් යවන්නෙ නෑ.. එහෙම කියන්න අය කියන්නෙ මේක මහින්ද හම්බන්තොටට වතුර ගෙනියන්න කරන වැඩක් කියන මතය හදලා කිසිම පදනමක් නැති විරෝධයක් ගොඩනැගීමේ තුච්ඡ අරමුණින් විතරයි..

    දැන් ඒක හරිනේ.. ආයෙ කවුරුහරි කිව්වොත් උමාඔයේ වතුර හම්බන්තොටට ගෙනියනවා කියලා කණට දෙකක් ගහලා මේක පෙන්නන්න..

    ඊළඟ කතාව උමාඔය පහළ අයට වතුර නැති වෙනව කියන එක.. උමා ඔය පෝශක ප්‍රදේශය ව.කි.මි.720ක්.. මේ වතුර දැන් යන්නෙ රන්ටැඹේට.. රන්ටැඹේ කියන්නෙ රන්දෙණිගලින් එලියට දාන වතුර එන ඉතාම කුඩා ජලාශයක්.. මුලු කැපෑසිටි එක 11mcm.. ඒකෙනුත් බාගෙකට වඩා වැලි පිරිල නිසා හැමදාම සෙඩිමන්ට් ප්‍රශ්නෙට මුහුණ දෙන ලංකාවෙ වැඩිම තර්ජනයකට ලක්වුණු ජලාශය..

    මේකෙ තියන අඩු ධාරිතාව නිසා උමාඔයෙන් වැහි කාලෙට එන වතුර ගබඩා කරන්නවත්, එයින් ඇති වෙන ගංවතුර තත්වයන් පාලනය කරන්නවත් රන්ටැබේට හැකියාවක් නෑ..ඒ නිසා මේ ප්‍රශ්න ඔක්කොටම උත්තරයක් විදියට උමා ඔය ඉහලින් ජලාශ කිහිපයක අවශ්‍යතාව 1950 ඉදන් කරපු හැම අධ්‍යනයකම අවධාරණය කළා වගේම රන්ටැඹේ සෙඩිමන්ට් ප්‍රශ්න එද්දි ඒ අවධාරණයන් තව තවත් තීව්‍ර වුණා..

    ඒ ජලාශ දෙක තමයි පුහුල්පොල ඩයරබා වල දැන් හැදෙන්නෙ..

    මීට පහලින් උමා ඔයේම තියන බත්මැඩිල්ල ඇතුළු වාරි ව්‍යාපාර වල ජල අවශ්‍යතාවය(25mcm) වෙනුවෙන් සහ රන්ටැඹෙන් පහල මහවැලි කලාපවල අවශ්‍යතාවය වෙනුවෙන්(40mcm) අවශ්‍ය ජලය පුහුල්පොල ඩයරබා දෙකෙන් කිසිම ප්‍රශ්නයක් නැතුව යවනවා වගේම ප්‍රමුඛතාව දෙන්නෙත් ඒ දෙකට..

    මේ ප්‍රමාණය දීලා ඉතිරියෙනුත් 150mcm විතරයි හරවලා යවන්නෙ... උමා ඔය වාර්ශික වර්ශාපතනය 2000-2500mmක්.. මේක විශාල අගයක්..ඒත් මේ වැස්ස ලැබෙන්නෙ අවුරුද්දෙ එක කාලයකට වැඩි බරක් ඇතුව... අදටත් අපේ තියන අනෙක් ජල විදුලි බලාගාර වලිනුත් හැමදාම එකම විදියට විදුලිය නිපදවන්න බෑ.. එහෙම වතුර අඩු කාලයකදි ටර්බයින් දෙකෙන් එකක් නවත්වයි.. ඒත් බැරි නම් දෙකම නවත්වයි.. ඒක අදටත් අනෙක් බලාගාරවලත් සිදුවෙන දෙයක්..ඒක එහෙමයි, පහල වාරි ව්‍යාපාර වලට මෙයින් සිද්දවෙන්නෙ හානියක් නෙවෙයි වාසියක්..

    මොකද බත්මැඩිල්ල ඇතුලු අනෙක් ව්‍යාපාර තුනම අමුණු.. අමුණකින් කරන්න පුළුවන් එන වතුරක් හරවල යවන එක විතරයි, ගබඩා කරල තියාගන්න බෑ.. එතකොට වතුර නැති කාලෙට මොකද වෙන්නෙ?? මේ ජලාශ දෙකට අමතරව තවත් ජලාශයක් හැදෙනවා තල්පිටිගල.. ඒක හුදෙක්ම වාරි අවශ්‍යතා වෙනුවෙන්ම කෙරෙන ජලාශයක් බත්මැඩිල්ලට උඩින්...ඉතින් මෙච්චර කාලයක් බත්මැඩිල්ලෙ අමුණෙන් කරගන්න බැරි වුණු කාලවලටත් උමාඔය නිම්නයේ ඉඩම් වලට වතුර ලැබෙනවා..

    (සම්බන්ධයි)

    ReplyDelete
    Replies
    1. (ඉහත කොටස හා බැඳේ) මම මේ පෙන්නල තියෙන්නෙ ජල ප්‍රමාණයන් සම්බන්ධයෙන් දැනට උමාඔය ආශ්‍රිතව තියන වාරි පද්ධති තිරසාරව පවතින්නත්, අපතේ යන වැසි ජලය කෘශිකාර්මිකව වගේම විදුලි බලය නිපදවන්නත්, රන්ටැඹේ ආශ්‍රිතව තියන රොන්මඩ ගැටලුවලට විසදුම් දෙන්නත් උමාඔය ව්‍යාපෘතිය මොන තරම් සාධණීය කාර්‍යයක් කරනවද කියන එක.

      උමාඔය කියන්නෙ සතපහකට වැඩකට නැති මහා ව්‍යසනකාරී ව්‍යාපෘතියක් කියන එක පට්ටපල් බොරුවක්...!!!

      ඊළඟ පට්ටපල් බොරුව ෆරබ් කියන්නෙ තෙල් ලිං ගහන කොම්පැනියක්‍ ය. උන් කවදාවත් මේ වගේ ප්‍රොජෙක්ට් කරල නැතිය..කියන එක.. උමාඔය කැපෑසිටි එක 120MW.. මුන් ඉරානෙ, පකිස්තානෙ, කෙන්යාවෙ, ටජිකිස්තානෙ,ආමේනියාවෙ, ඉරාකෙ 2000MW දක්වා වුණු හයිඩ්‍රොප්‍රොජෙක්ට් 35කට වැඩියෙන් කරල තියනවා..

      ඒ අතරෙ බර ගාණක් 1000MW ඉක්මවපු අන්ඩර්ග්‍රවුන්ඩ් ප්‍රොජෙක්ට්.. ෆරබ්ලා කරපු කරුන් 3 (Karun 3) ජල විදුලි බලාගාරයෙ ධාරිතාව 2000MWක්.. ලංකාවෙ වික්ටෝරියා(210MW),රන්දෙණිගල(201MW),රන්ටැඹේ(52MW) ඇතුළු සියළුම ජල විදුලි බලාගාර වල උත්පාදනය ගත්තත් 1500mwට අඩුයි.

      ඊලගට පරිසර සංවිධාන කියන හමස්පඩංගු හැමදාම වගේ මේකටත් කෑ ගහනවා... උන්ට අනුව ගෙදර වත්තෙ පස්පිඩල්ලක් කපන එකෙනුත් කූඹි,ගැඩවිල්ලු මැරිලා ගෝලීය උශ්ණත්වය ඉහළ ගිහින් ලංකාවෙන් බාගයක් මුහුදට යට වෙනවා.. ඒවා දැන් ඕන දේටයි එපා දේටයි හැමදේටම කියල කිසි කෙනෙක් ගණන් නොගන්න තත්වෙට ඇවිල්ලනේ තියෙන්නෙ..

      පරිසරයට "හානියක්" නොකර කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් කරන්න බෑ පැහැදිලිවම... සංවර්ධනේ කියන්නෙ අපිට ගෙයක් දොරක් හදන්නත් බෑ, ඒකෙනුත් පරිසර සමතුලිතතාව බිඳවැටෙනවා.. ඒ නිසා හානි නොවෙන්නෙ නෑ වෙනවා.. අවම කරන එකයි කරන්න ඕන.. මොරගහකන්දෙ වතුර පුරවද්දි බෝට්ටුවලින් ගිහින් වතුරට කොටුවෙන්න ගිය හූනො,කටුස්සො, තලගොයි,නයි,පොළොන්ගු ඇල්ලුව දැක්කනේ.. ඒ වගේ අවම කරන්න පුලුවන් හානිය..

      (සම්බන්ධයි)

      Delete
    2. (ඉහත කොටස හා බැඳේ)ඊලඟ එක නැවත පදිංචිකිරීම්...

      මේ කාරණාව තරම් ලංකාවෙ සංවර්ධනයට, නිකන් නෙවෙයි තිරසාර සංවර්ධනයට, බාධාවක් වුණු දෙයක් නැති තරම්.. ඒ වගේමයි මීඩියාකාරයින්ට මිනිස්සු අඬවලා නිව්ස් මවන්නත් මීට වඩා හොඳ පොයින්ට් එකක් වෙන නෑ.. අනික තමයි වන්දි කියන ඒවා හරියට තක්සේරු කරල දුන්නත් කොච්චර ලැබුනත් මදි.. ආයෙ ඇහුවත් කියන්නෙ මොකුත් ලැබුණෙ නෑ කියලා.. කැළණි ගග දෙපැත්තෙ මිනිස්සුන්ට ගංවතුර ආධාර බෙදන කොට වගේ තමයි...

      මේවා අද ඊයෙ නෙවෙයි හැමදාම හැම ප්‍රොජෙක්ට් එකකම වෙන දේවල්.. වික්ටෝරියාවලදි තෙල්දෙණිය ටවුමක්ම නැවත පදිංචි කලා, මොරගහකන්ද-කළුගඟට ලග්ගල-පල්ලෙගම ටවුමම යට වුණා.. අලුතෙන් පාරවල් හැදුවා... ඒවා අසාමාන්‍ය නෑ.. සංවර්ධන ව්‍යාපෘතිවල සාමාන්‍ය දේවල්.. බොහොම සාමාන්‍යයි..

      අනෙක් මහා පරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ජලාශවලට යටවෙන ප්‍රදේශයෙන් ඉවත් කරන්න වෙන ප්‍රමානය සාපේක්ශව ඉතාම අඩු ගණනක් මේ ව්‍යාපෘතියෙ.. සංඛ්‍යාත්මකව නම් සම්පූර්ණයෙන්ම යටවෙන ප්‍රමානය ගෙවල් 200ක්. මේක අනෙකුත් මහා පරිමාණ ව්‍යාපෘති එක්ක ගත්තම ඉතාම අඩු ගණනක්..

      පට්ටපල් බොරු ප්‍රශ්න තමයි උඩින් කිව්වෙ, හැබැයි උමාඔය ප්‍රොජෙක්ට් එකේ ඇත්තටම ප්‍රශ්නයක් තියනවා...

      (සම්බන්ධයි)

      Delete
    3. (ඉහත කොටස හා බැඳේ) දැන් එමු ප්‍රශ්නෙට..

      ප්‍රශ්නෙ එන්නෙ ටනල් හාරන්න යද්දි.. මේකෙ ටනල් 3යි. ඒ තුනෙන් පුහුල්පොල-ඩයරබා යා කරන ලින්ක් ටනල් එක හදලා ඉවරයි.. ඒකෙ දිග කිලෝමීටර් 4යි.. ඒක හදද්දිත් වතුර කාන්දු වුනා.. ඒ කාන්දු නවත්වගෙන සීල් කරගෙන ටනල් එක හදල ඉවර කලා.. ඒකෙ කිසිම ප්‍රශ්නයක් නෑ..

      තව ටනල් දෙකක් තියනවා හෙඩ්‍රේස් ටනල් එක සහ ටේල්රේස් ටනල් එක...

      හෙඩ්‍රේස් කියන්නෙ ඩයරබා වලින් විදුලි බලාගාරෙට වතුර ගෙනියන්න හදන මේ ටනල් එකේ දිග කිලෝමීටර් 15ක්, ටේල් රේස් එකෙන් බලාගාරෙ ඉදන් අලිකොටආරට වතුර ගෙනියනවා ඒකෙ දිග කිලෝමීටර් 3.3ක්..

      මේකෙන් ප්‍රශ්නෙ ඇවිත් තියෙන්නෙ හෙඩ්‍රේස් එකේ..

      ප්‍රශ්නෙ තමයි හාරද්දි භූගත ජලය කාන්දු වෙනවා.. ඒ නිසා ටනල් ට්‍රේස් එක උඩ තියන ප්‍රදේශවල භූගත ජල මට්ටම පහල යනව සහ ඒ නිසා පසෙහි සිදුවන වෙනස්කම් නිසා ඉහල පාංශු ස්ථරයේ ඉරි තැලීම් සිද්ද වෙනවා..

      මේ භූගත ජල කාන්දු වලක්වන්න පුලුවන් වගේම නිවැරදි අධ්‍යනයක් කළා නම් මේ තත්වෙට නොගිහින් වළක්වගන්නත් තිබුණා.. මේකෙ වගකීම සම්බන්ධයෙන් ගත්තම විවිධ පාර්ශව වලට චෝදනා වෙනවා..

      එතනින් ප්‍රධානම එකක් වෙන්නෙ ව්‍යාපෘතිය කඩිනම් කරන්න එවකට පැවති දේශපාලන අධිකාරියට තිබුණු හදිස්සිය හේතු වුණා කියන එක.මේක බැහැර කරන්න බැරි කාරණාවක්..!!!

      ඊලග දේ ටනල් ට්‍රේස් එක ගැන දත්ත අඩු අවස්ථාවක TBM (tunnel boring machine) එක යන්න කලින් ඉදිරි කලාපය ගැන දත්ත ගන්න අධ්‍යනයන් කරන්න ඕන..ඒක කරලත් නෑ...!!!

      මේ වෙද්දි අවස්ථා දෙකක දි දුර්වල පාංශු ස්ථර හමුවීම නිසා සැලකිය යුතු ප්‍රමාණයෙන් භූගත ජලය කාන්දු වුණා. පළවෙනි කාන්දුව අවම කරල තියෙන්නෙ.. (100%ක් ම වහන්න බෑ..) දැන් තියන කාන්දුවත් අවම කරන්න කටයුතු කරගෙන යනවා.. ඒවා ඉතාම වියදම් අධික ක්‍රියාවලි... සරලව කිව්වොත් මූලික අධ්‍යනයන් නොකර වගේම ටනල් එක හාරද්දි කරන්න ඕන අධ්‍යනයන් නොකිරීමෙන් ඇතිවෙලා තියන තත්වය පාලනය කරන්න යන වියදම අධික වීම නිසා ව්‍යාපෘතියෙ වියදම ඇස්තමේන්තුගත වියදම ඉක්මවා යන්න පුළුවන්...

      ටනල් එක හදලා ඉවර වෙද්දි භූ ජල විද්‍යාත්මකව නැවත ඉහල ජල ස්ථරය යථා තත්වයට පත්වෙනවා.. ඒත් ඒ වෙනතුරු ආපදාවට ලක්වෙලා ඉන්න ප්‍රදේශවලට අදාළ වන්දි ලබාදීම වගේම ජල පහසුකම් ලබාදෙන්න ඕන.. ඉහල බිම් සදාකාලිකව නිසරු වෙන්නෙ නෑ මොන හේතුවකටවත්... මේක තාවකාලික තත්වයක්..!!

      මේ ප්‍රොජෙක්ට් එක වගේම විදේශ ණය මත පදනම් වුණු සියළුම ව්‍යාපෘති වල තියන ප්‍රධානම ගැටලුවක් තමයි මේවා EPC(Engineering Procurement Contract) වීම.. එතනදි clientගෙ consultantට තියන බලය ඉතාම අවමයි. ඒ කියන්නෙ මේකට clientගෙ පැත්තෙන් ඉන්න CECB එකට ප්‍රොජෙක්ට් එකට අතදාන්න බෑ.. monitor කරන්න විතරයි පුළුවන්.. ඒක ලොකු පාඩුවක්.. මේ පාඩුව අපිට උමාඔය විතරක් නෙවෙයි මොරගහකන්ද,කතරගම රේල්වේ එකේ වගේම අනෙකුත් ව්‍යාපෘති වලත් මතු වෙනවා...

      මේ තත්වයෙදි රටේ දේශපාලන අධිකාරියත් කන්ට්‍රැක්ටර්ගෙ පැත්ත ගන්නව නම් උන්ව පාලනය කරන්න බැරිම තත්වෙකට එනවා.. උදාහරණෙකට කතරගම රේල්වේ එකේ CECB ටීම් ලීඩර් අයින් කරන්න පවා අපේ වත්මන් ජනාධිපති කටයුතු කරල තිබුණා..

      සාපේක්ශව ගත්තම ඉරාන් වැඩ චීන්නුන්ට වඩා ගොඩක්ම හොඳයි.. මොකද චීන සයිට් බලන්න යන්නවත් CECB එකට දෙන්නෙ නෑ, ගහනවා.!! .ඔව්.

      ඒත් උමාඔය එහෙම තත්වයක් නෑ.. එතන තියන කන්ස්ට්‍රන්ශන් ප්‍රශ්න විසඳ ගෙන ඉස්සරහට යන්න කන්ට්‍රැක්ටර්ටම අව්ශ්‍යතාව තියනවා.. ඒකට හේතුව ඔවුන් ලෝකයෙ ජල විදුලිය සම්බන්ධ නමක් තියන සමාගමක් වීම සහ මේ ප්‍රශ්න ඔවුන්ගෙ කීර්තිනාමයත් හානියක් වීම..

      උමාඔය තියෙන්නෙ විසඳන්න බැරි ප්‍රශ්න නෙවෙයි.. ඔය කියන විදියට ටනල් ට්‍රේස් එක උඩ සදාකාලිකව නිසරුවීමක්වත් පෝශක ප්‍රදේශ විනාශ වීමක්වත් වෙන්නෙ නෑ..

      ලෝකෙ කොහෙවත් ටනල් එකක් නිසා එහෙම වෙලත් නෑ, දැනට තියන ඉංජිනේරුවිද්‍යාත්මක දැනුමෙන් එහෙම වෙන්නෙත් නෑ. මේ ප්‍රශ්න තාවකාලිකයි..නමුත් ඉන් ආපදාවට ලක්වෙන මිනිස්සුන්ට වන්දි ලබාදීම අනිවාර්යෙන්ම සිදුවිය යුතුයි..!!

      සටහන : නොතිර සසර

      Delete
    4. @ නොතිර සසර,

      උමා ඔයේ ටනල් එකේ වතුර ලීක් වෙන එක ගත්තොත් මේක ටනල් කන්ස්ට්‍රක්ෂන් වලදි බොහොම සාමාන්‍ය දෙයක් වගේම හොඳින් ප්ලෑන් කළොත් වැළකිය හැක්කක්. මට හිතෙන විදිහට ලංකාව්දි අදාළ සමාගම එය හරියට කර නැහැ. ජනතාව වශයෙන් අප කළ යුත්තේ බලපෑම් කර එය නැවතීමට කටයුතු කිරීම නේද? ක්‍රමයෙන් ටනල් එකේ වැඩ නිමවෙද්දි ලීක්ස් ටිකෙන් ටික ඉබේම නැවතිලා සෙටල් විය යුතුයි. පස්සෙ කාලෙක වෝටර් ටේබල් හෙම බැලන්ස් වෙලා ආපහු ටනල් එකට ඉහල පරිසරය සෙටල් විය යුතුයි.

      මේ දේශපාලනික උද්ඝෝෂකයෝ කරන්න කියන්නේ 2/3 නිමාකල ටනල් එකයි ඉහල ජලාශයි සේරම අමතක කරලා ප්‍රොජෙක්ට් එක නවත්තන්න කියල. පිස්සු දේශපාලන පක්ෂවල විකාර කාරයින් මෙහෙයවන අසරණ මිනිස්සු. උමග ඉදිකිරීම් අතරතුර අර්බුද ගොඩක් ආවත් (ලීක් වගේ ඒවා) උමා ඔය ව්‍යාපෘතිය සැලසුම් කර ඇති විදිහට නම් විශාල වාසි ගෙනෙන අවසානයේදි අතිසාර්ථක විය යුතු ව්‍යාපෘතියක්.

      ලංකාවේ කිසිම කන්සල්ටන්ට් කෙනෙක් ෆීසිබිලිටි ස්ටේජ් එකේදි IEE, EIA, SIA වගෙම ඔතෝරිටි ඇපෲවල් ගන්න එකත් හරියට හරියකට කරන්නේ නෑ. විශාල මුදලක් අයකලත් කාන්නේ බොරු ප්‍රෝඩාවක්, හරි වාර්තාවක් ඉදිරිපත් කරන්නේ නැහැ.

      දැන් වත් හරියකට නැවත අධ්‍යනය කරලා වැරදි හදාගෙන ට්‍රබල්ශූට් කරල ප්‍රොජෙක්ට් එක හරි ට්‍රැක් එකට ගතයුතුයි. නැතිනම් වෙන්නෙ මහදැනමුත්තා වගේ එලුවයි මුට්ටියයි දෙකම නැතිවෙලා විශාල පාඩුවක්.

      Delete
    5. @ නොතිර සසර,

      ඔබේ පැහැදිලි කිරීම හුඟාක් වටිනවා. බොහොම ස්තුති යි.

      පොඩි ප්‍රශ්නයක්: උමා ඔය ව්‍යාපෘතියට මුදල් ප්‍රතිපාදන ලබා ගැනීම සඳහා 1991 වසරේදී ආසියානු සංවර්ධන බැංකුව වෙත ඉදිරිපත් කෙරුණු සක්‍යතා වාර්තාව ප්‍රතික්ෂේප වුණු බවත්, එසේ වූයේ ජල ද්‍රෝණි දෙකක් අතර ජලය ගෙන යෑමෙන් ජනතාව ගේ නිදහස් ජල අයිතිය උල්ලංඝනය වන බවට ඔවුන් හේතු දැක් වූ නිසා බවත් සමහර මාධ්‍යවල කියවෙනවා.

      එසේ එක ද්‍රෝණියකින් තවත් ද්‍රෝණියකට ජලය ගෙන යෑමෙන් පරිසරයට හෝ මනුෂ්‍යයන්ට හෝ යම් හානියක් සිදු වෙන්න පුළුවන් ද?

      Delete
  7. තරහා අවසර....

    මේ තත්පරයේ ජාතික තලයේ ටොප් ක්ලාස් ප්‍රශ්න දෙකක් ඇත. එකක් උමා ඔය, අනික සයිටම්. මේ ප්‍රශ්න දෙකම ඔඩු දුවා ඇත. මේ දෙකම වසා දැමීමෙන් විසඳිය හැකි ප්‍රශ්න නොවේ. අව්ශ්‍ය වන්නේ රිකවරි සොලූශන් පමනි. මේ රජය රිකවරි සොලූශන් සොයන්නේ පොලිටිකල් උවමනා මතය. විරුදධ උදවිය ප්‍රොටෙස්ට් කරන්නේත් වැනිසීයේ වෙලඳ බුවාගේ චරිතයෙන්මය. අපි වැරදි ජස්ටිෆයි කරනවා මිස උත්තර සොයන්නෝ නොවේ.

    ඒ කෙසේ කීවත් උමා ඔය අපරාදය වෙනුවෙන් සූප්පු ඉරුවෝ අද මරු ආතල් එකේය. ඒ විනාශය එදා සිට පෙන්වූ, ඌවේ පොලවේ ආදරනීය මිනිසුන්ට මගේ හද පිරි උත්තමාචාරය!!!! සමන්ත ඔබ මේ විනාශය මුලින්ම හඳුනාගත් ම්නිසෙකි. පක්ශ මොක වුනත්, ඇත්තට ගරුකල යුතුය.

    ReplyDelete
  8. ලාංකීය නූතන මිනිසා දුවන්නේ පක්ශ, ආගම්, ජාති ,දර්ශන යන කංඩායම් මාන්සිකත්වයේ මිස ඇත්ත පිටිපස නෙමේ. ඒ මදිවාට පුද්ගල වන්දනාව ඔඩුදුවා ඇත. මිථ්‍යාව, ඒකායන සත්‍ය්යම යැයි බව පුද්ගල විශ්වාසය බවට පත්වී තිබේ. සත්‍යය වටකරන් බොරුව ස්ථාපිත වී ඇත. දේශපාලනය යනු හතරැස් වස්තුවක් නම්, ආගම අටපට්ටමකි.

    ReplyDelete
  9. ලෝකේ මොන රටක වුනත් අන්තවාදින් ඉන්නවා..ඔවුන් පරිසරය වෙනුවෙන් දේශපාලනික දේවල් වෙනුවෙන් පෙනී ඉන්නවා..හැබැයි ඒ රටවල මිනිස්සු මැදක් හොයාගන්නවා..ඉන් පසු ඒක ක්‍රියාත්මක කරනවා.. දැන් මෙතනදි කල යුත්තේ මැද සොයාගැනීම..ඒ කියන්නේ මිනිස්සුන්ට වී ඇති පරසරයට විය හැකි හානිය සහ ව්‍යාපෘතිය අතර මැදක් තීරණය කරලා ව්‍යාපෘතිය නැවත දියත් කිරීම..හැමදේම ඇමරිකාවෙයි යුරෝපෙයි විතරක් තිබෙන දේවල් නෙමෙයි..ඉරානයටත් මේ ප්‍රශ්නයට සාර්ථක විසදුමක් ඇති..අර මාලිංග කියනවා වගේ ගිරවුන්ගේ ජොබ් එක ගිරවුන්ට කරන්න දෙන්නට ඕනි..ඉංජිනේරු ශිල්පය කියනනේ අද වනවිට දියුනු එකක්..ඒක මේ දවසින් දෙකින් යූටියුබ් බලල දේවල් ඉගෙනගන්න අපිට අල්ලගන්න බෑ..ඒක කරන අයට ඒක කරලා..අපිට තිබෙන පස්නය සාකච්චා කරල විසදාගන්නට ඕනි..දැන් වෙන්නේ කට්ටියක් උද්ගෝෂණ කරනවා..එයලට බය වෙලා වහනවා..ආයි ටික දවසකින් හොරාට වගේ අරිනවා..ආන්ඩුවට නිසි ස්ථාවරයක් නෑ මේක කරනවාද නැද්ද කියලා..සිරිසේන කිව්වොත් අපි කරමු කොහොම හරි කියල යූ ඇන් පිය කකුල දානවා.. රනිල් කිව්වොත් අපි මලත් කරනවා කියලා සිරිසේන කකුල දානවා..මේකද යහපාලනේ...? ඇත්තටම දන්නේ නැත ිනිසා අහන්නේ ඔ්‍ය පස්නය ගැන වර්ථමාන සිරිසේන රනිල් ආන්ඩුවේ ස්ථාවර මතය මොකද්ද? වැඩේ කෙරෙනවාද නැද්ද? අනික අර උසාවි කේස් අදිනවා වගේ මේ වගේ සංවේදී දේවල් කල් ඇද අද ඉන්න බෑ.. ඉක්මනින් කරන්න ඕනි..

    ReplyDelete
  10. ලංකාවේ පරිසර සංවිධාන, දේශපාලන පක්ෂ, ආණ්ඩුව, වාමාංශිකයන්, මාධ්‍ය සහ සමස්ත මහජනතාව ම ඉතා පාරිභෝජනවාදීයි. ඔවුන්ට විදුලිය ඇතුළු බලශක්තිය, අතිවිශාල වශයෙන් ඉන්ධන දහනය කරන දේශීය හා විදේශීය ගමන් බිමන්, ආහාර නාස්ති වන සාද සම්භාෂණ, ගස්වලින් හදන කඩදාසි නාස්ති වන පොත් පත් හා වාර්තා මුද්‍රණය වගේ දේවල් හරි හරියට ඕනැ. ඒ වුණාට ඒ වෙනුවෙන් අවශ්‍ය යටිතල සංවර්ධනය කරනකොට ඒවාටත් ජනප්‍රියවාදී විදියට විරුද්ධ වෙනවා.
    හැබැයි, මම අර ඉහතින් කියපු පිරිස තමන්ගේ ජීවිතයේ පාරිභෝජනවාදී පාර්ශ්වය අංශු මාත්‍රයකින්වත් වෙනස් කරන්න සූදානම් නැහැ.
    පාරිසරික ගැටලු මතු නො වුණ කිසිම සංවර්ධන ව්‍යාපෘතියක් ලෝකෙ නැහැ. හේනක් කෙටුවත් ඒක පරිසරයට කරන හානියක් තමයි. සංවර්ධනය එපා කියන්නට මිනිස් සමාජයට බැහැ. හේතුව, අපට ආපසු කැළේ තියෙන දේ දඩයම් කරගෙන, එක්රැස් කරගෙන ජීවත් වෙන තැනට යන්න බැහැ.
    සංවර්ධන ව්‍යාපෘති දියත් කරනකොට අපේක්ෂිත මෙන් ම අනපේක්ෂිත පාරිසරික ගැටලුත් ඇති වෙන්නට පුළුවන්. උමා ඔය සම්බන්ධයෙන් මතු වී තිබෙන තත්වයන් මෙහි ඉදි කිරීම් අවසන් කිරීමෙන් පසුව යම් දුරකට තුලනය කර ගන්නට බැරි ඒවා නෙමෙයි.
    දැන් කළ යුතුව තිබෙන්නේ මේකෙන් මොන දේශපාලන වාසිය ගන්නවා ද කියන එක කල්පනා කරන එක නෙමෙයි. බාගෙට කරලා තියෙන මේ වැඩේ අවසන් කරන්නේ කොහොමද කියන එක කල්පනා කරන එකයි.

    ReplyDelete
  11. @( නොතිර සසර) AnonymousJune 29, 2017 at 2:30 PM

    Thank you. උමාඔය කලබලය ගැන ඔබේ බොහොම පැහැදිලි හා සරල , 'පැහැදිලි' කිරීමට.

    හැම මාධ්‍යකම 'උද්ගෝෂණ' කරණ හරකුන්ගේ පින්තුර දැම්මට 'සිද්ධිය' පිළිබඳ පැහැදිලි කිරීමක් කිසි දාක කරන්නේ නෑ. ඊට හේතුව තමයි, ඒ දෙගොල්ලොම ඒ ගැන මෙලෝහසරක් නොදැනීම.

    ඔය ගම්වල මිනිස්සු ඕවට ස්වේච්චාවෙන් එන්නේ නෑ. කවුරු හරි දේශපාලන තක්කඩි පිරිසක් උන්ව දක්කාගෙන එනවා. 'බෝඩ් උස්සන් කෑගහල පාරේ පොඩ්ඩක් චාටර් වුනොත් ආණ්ඩුවෙන් හොඳ වන්දියක් ගන්න පුළුවන්' කියල කියපු ගමන් ඔය හරක් ටික පාරට දක්ක ගන්න පුළුවන්.

    මම දැක්ක ඔය හරක් රැල බණ්ඩාරවෙල කෝච්චි පාර වහගෙන මලඉලව් උද්ගෝශනේ කරනවා කියල. ඒ වෙලාවට එන්ජින් ඩ්‍රයිවර්ව ප්ලැට්ෆෝම් එකෙන් බස්සල කෝච්චිය ස්ටාට් කරලා එව්වා නම් උද්ගෝශනේ එතැනින්ම හබක්.

    ReplyDelete
  12. රටේ හැමදාම හැම තැනම තියෙන වර්ජන හා පාගමන් ගැන පාලකයන් කිසිම ක්‍රියාමාර්ගයක් ගන්නේ නැද්ද?

    පසුගිය දවසක ලංකාවට කතා කරපු වෙලාවේ මට දැනගන්න ලැබුන, අපේ ගෙවල් කිට්ටුව තරුණ ළමයෙක් විදේශ සමාගමක රැකියාවක් සඳහා ඉන්ටර්විවූ එකට යන දවසේ, ඉලවු ' විරෝධ පා ගමනක්' නිසා පාර අවහිර වීමෙන් ඒ ළමයට වෙලාවට එතනට යන්න බැරිවුනා කියල.. දන්නවනේ, කොම්පැනියක ඉන්ටර්විව් එකට වෙලාවට නොගියොත් එතැනින්ම ඩිස්කොලීෆයි කියල.

    පාරාට බැරිද, මේ රට පුරා දෙගොඩතලා යන වර්ජන, උද්ගෝෂණ හා විරෝධ පාගමන් නැවැත්වීම සඳහා පාලකයන්ට බලකිරීමේ
    ක්‍රමයක් යෝජනා කරන්න.

    ReplyDelete
  13. I all agri with you parakum sir. I put post about this too. Uma Oya projet no wrong. But mahinda theef bigin this to steel forign aids and money. But this garment continive this becase this like projets want our cuntry develop. bandarawela people no undestand diferant two garments and prasidants.

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා රටතොට විස්තර. ඔයත් එනවා ඒ අස්සෙ රොටිය පුච්චගන්න. මං දැන් විකාර පබ්ලිෂ් කරන එක නවත්තලා තියෙන්නෙ. පබ්ලිෂ් කළේ නැහැ කියලා පස්සෙ තරහ වෙන නිසා මේක ලිව්වෙ.

      Delete
  14. උමා ඔය ව්‍යාපෘතිය ගැන සජීවීකරණය කෙරුණු වීඩියෝ පෙළක් නරඹන්න, පහත සබැඳි මාර්ගයෙන්:

    (1) Sri Lanka Uma Oya Water and Energy Project-3D Animation-Part 1

    (2) Sri Lanka Uma Oya Water and Energy Project-3D Animation-Part 3

    (3) Sri Lanka Uma Oya Water and Energy Project-3D Animation-Part 4

    (4) Sri Lanka Uma Oya Water and Energy Project-3D Animation-Part 5

    (5) Sri Lanka Uma Oya Water and Energy Project-3D Animation-Part 6




    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා