නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනීවි ද?

මැතිවරණ ව්‍යාපාරයේදී වූ පොරොන්දුවක් ඉටු කරමින් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් පසුගිය සඳුදා අන්තර්-ශාන්තිකර හවුල්කාර වෙළඳ ගිවිසුම අවලංගු කිරීමේ විධායක තීන්දුවකට අත්සන් කළා. ඒ සමග ම එක්සත් ජනපදය සිය ආසියාතික හවුල්කාර රාජ්‍යයන්ගෙන් ඈත් වීම ආරම්භ කරනවා.

අන්තර්-ශාන්තිකර හවුල්කාරිත්වය යනු ශාන්තිකර සාගරයට මායිම් වන රටවල් 12ක් අතර බදු කපාහැරීමට, වෙළඳාම දිරිගැන්වීමට සහ ආර්ථික ප්‍ර‍තිපත්ති හා නීති සම්බන්ධයෙන් සමීප සම්බන්ධතා ගොඩනගා ගැනීමට ඉවහල් වන සම්මුතියකි. එය ලෝකයේ ආර්ථිකයෙන් 40%ක් තරම් විශාල කලාපයක්. මිලියන 800ක් වන එහි ජනගහණය යුරෝපා සංගමයේ ජනගහණය මෙන් දෙගුණයක්. ජපානය, මැලේසියාව, වියට්නාමය, සිංගප්පූරුව, බෘනයි, ඕස්ට්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව, මෙක්සිකෝව, චිලී හා පේරු මේ රටවල් 12 අතර තිබෙනවා. වසර 2016 පෙබරවාරි මස අත්සන් කරන ලද මෙම ගිවිසුම මේ වන විට ජපානය විසින් ක්‍රියාත්මක කර තිබෙනවා. එක්සත් ජනපදය මෙයට අත්සන් කළත්, රිපබ්ලිකන් බහුතරයකින් සමන්විත කොංග්‍ර‍සයේදී මෙය සම්මත වුණේ නැහැ. එහෙත්, එක්සත් ජනපදය මෙම පුළුල් සන්ධානයේ වැදගත් හවුල්කරුවෙක් වුණා.

හිටපු ජනාධිපති බරක් ඔබාමා මෙය අතිශය වැදගත් සම්මුතියක් ලෙස සැලකුවා. එමගින්, චීනයේ බලපෑම වර්ධනය වෙමින් තිබෙන ආසියා ශාන්තිකර කලාපයේ ඇමරිකාවේ බලය ශක්තිමත් කරනු ඇතැයි ඔහු පැවසුවා. එය ඉතා පැහැදිලිව ම බලතුලනය හා සම්බන්ධ කාරණයක් වූ අතර ගිවිසුම අත්සන් කරනු ලැබුවේ චීනය බැහැර කරමිනුයි. එහෙත්, ඇමරිකන් ජනාධිපතිවරණයේදී ඔබාමාගේ පක්ෂය වන ඩිමොක්‍ර‍ටික් පක්ෂයෙන් අපේක්ෂකත්වය වෙනුවෙන් තරග කර හිලරි ක්ලින්ටන්ට පරාජය වූ බර්නි සෑන්ඩර්ස් වැනි ජාතිකවාදී මධ්‍ය වාමාංශිකයන්ගේ පවා අදහස වුණේ එම ගිවිසුම මහා පරිමාණ ව්‍යාපාරිකයන්ට හා අනෙකුත් රටවලට වඩා පක්ෂපාතී, ඇමරිකානුවන්ගේ රැකියාවලට හා ජාතික ස්වෛරීත්වයට බලපාන ගිවිසුමක් බවයි. එසේම, අධ්‍යාපනය, සෞඛ්‍යය වැනි අංශවලදී රාජ්‍ය සේවාවන්ට පක්ෂපාතීව සිදු වන ප්‍ර‍තිපත්ති වෙනස් කිරීම්වලදී ඒවාට එරෙහිව නඩු පවරන්නට මෙමගින් සමාගම්වලට අවස්ථාව ලැබෙන බවටත් විවේචනයක් එල්ල වුණා. රටවල්වල ශ්‍ර‍ම බලකායන් අතර තරගකාරිත්ව මෙමගින් ඉහළ යන බවටත් අදහස් පළ වුණා.

එහෙත්, මෙම ගිවිසුම තුළ වැදගත් ලක්ෂණ ගණනාවක් ම දක්නට ලැබුණා. පරිසර සංරක්ෂණය, කම්කරු හිමිකම් හා බදු නියාමනයන් විධිමත් කිරීම මෙන්ම ඇතැම් රටවල ඇතැම් කර්මාන්තවලට විශේෂ ආරක්ෂණයන් ද මෙමගින් සැපයුණා.

ට්‍ර‍ම්ප්ගේ නායකත්වයෙන් යුක්ත ඇමරිකා එක්සත් ජනපදය සලකන්නේ මෙම ගිවිසුම තමන්ගේ ජාතික ආර්ථිකයට අවාසිදායක ලෙසයි. ලාභ ශ්‍ර‍මය ඉලක්ක කරමින් රටින් පිට පිහිටුවන ලද කර්මාන්ත ශාලා ආපසු සියරටට ගෙන්වා ගැනීම මගින් රැකියා ප්‍ර‍ශ්නයට විසඳුම් සෙවිය හැකි බවයි ඇමරිකාව සිතන්නේ.

මෙවැනි ගිවිසුමක් ඇමරිකාව සහ අත්ලාන්තික් කලාපයේ රටවල් සමගත් සාකච්ඡා කරමින් තිබුණත්, ට්‍ර‍ම්ප් යටතේ එය ද ඉදිරියට යාම සැක සහිතයි. දැනට අත්සන් කර තිබෙන උතුරු අත්ලාන්තික් නිදහස් වෙළඳ ගිවිසුම හෙවත් නැෆ්ටාහි කොන්දේසි ද ඇමරිකා එක්සත් ජනපදයට වාසිදායක වන පරිදි නැවත සාකච්ඡා කිරීමට ජනාධිපති ට්‍ර‍ම්ප් බලාපොරොත්තු වෙනවා.

හැබැයි මේ අතර චීනය ආසියා ශාන්තිකර කලාපය තුළ නිදහස් වෙළඳ කලාපයක් යෝජනා කර තිබෙනවා. එසේම ගිනිකොණදිග ආසියානු කලාපයේ විස්තීර්ණ ආර්ථික සහයෝගිතාවට ද චීනය නායකත්වය දෙනවා.

මේ අතර පසුගිය සතියේ වැදගත් දුම්රිය ගමනක් සිදු වුණා. චීනයේ සිට ඉතිහාසයේ පළමු වතාවට බඩු දුම්රියක් ලන්ඩනයට පැමිණියා. වෙනස් පළල සහිත රේල්පාරවලට අනුව බඩු බාමින්, නැවත පටවමින් රටවල් හතක් ඔස්සේ කිලෝමීටර් 7500ක දුරක් ගෙවන්නට මෙම දුම්රියට දින 18ක් ගත වුණා. ලෝකයේ නත්තල් භාණ්ඩවලින් 60%ක් නිෂ්පාදනය කරන චිනයේ යිවු නගරයේ සිට දුම්රිය පෙට්ටි 34කින් ගෙන ආ මෙම බඩු තොගයේ වටිනාකම යුරෝ මිලියන හතරක්. මුහුදු මගින් භාණ්ඩ ප්‍ර‍වාහනයට වඩා මේ දුම්රිය ගමන ඉක්මණ් හා වියදම් අඩු ලෙස සැලකෙනවා.

බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීමේ ජනමතවිචාරණය, ඩොනල්ඩ් ට්‍ර‍ම්ප් ජයගත් ඇමරිකා එක්සත් ජනපද ජනාධිපතිවරණය වැනි අවධි ඔස්සේ ලෝක දේශපාලනයේ වැදගත් පරිවර්තනයක් සිදු වෙමින් තිබෙන යුගයක් ලෙස මෙම යුගය සැලකිය හැකියි.

මාඕ සේතුං බොහෝ කලකට පෙර කළ ප්‍ර‍කාශයක් ද පසුගිය දිනවල නැවත සිහිපත් කෙරුණා. ඔහු කීවේ මෙසේයි: "නැගෙනහිර සුළඟ විසින් බටහිර සුළඟ ජය ගනු ඇත."

රාවය තනියාය, 2017-01-29


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)