2012-06-14

ඩැඩී, පප්පා, තාත්ති, අප්පච්චි හා අපුච්චා

"මගේ සහෝදරයන් සිවු දෙනා විජයරත්න බණ්ඩා, සෙනෙවිරත්න බණ්ඩා, කරුණාරත්න බණ්ඩා සහ අභයරත්න බණ්ඩා ලෙසින් නම් ලැබුවා. මගේ අම්මගෙ මවුපියො හිටියෙත් අපේ ගමේමයි. මං අපේ අම්මගෙ තාත්තට කිව්වේ කිරි අත්තා කියලා. අම්මගෙ අම්මා කිරි අම්මා වුණා. අපේ ගෙදර පරණ ගෙදර වුණා වගේ මේ ගේ ‘අලුත් ගෙදර’ වුණා. මං පුංචි කාලෙදි මේ ගෙවල් දෙකේ ම ජීවත් වුණා. ඒ කාලෙ අපේ අම්මා එයාගෙ පියාට කිව්වේ ‘අපුච්චා’ කියලා. ඒත් මං මගෙ පියා ආමන්ත්‍රණය කළේ ‘අප්පච්චි’ කියලයි. මට තේරෙන අවදිය වෙනකොට මං මේ දෙකේ වෙනස මොකක්ද කියලා සොයා බැලුවා. අපේ ගම අයිති වුණේ හතර කෝරළයට. ඒත් අපේ අප්පච්චි උඩුනුවරට අයිති කෙනෙක්. මේ නිසා පියාට කරන ආමන්ත්‍රණවල වෙනසක් ඇති බව මං වටහා ගත්තා. මේ හැම සියලු දෙයක් ම භාෂාව ගැන හොයන්න මට ඉඟියක් ලබා දුන්නා.” 


දිනමිණ පුවත්පතට මෙසේ කියන්නේ මහාචාර්ය ජේ. බී. දිසානායකයි. 


අප මෙය උපුටා දැක්වූයේ මෑතක සිට ලංකාවේ විලාසිතාව වී ඇති තාත්තාට අප්පච්චි යයි ඇමතීම පිළිබඳ සාකච්ඡා කරන්නටයි. කාලෙන කාලෙට තාත්තලා ඩැඩීලා, පප්පලා, තාත්තිලා වී දැන් ස්ටයිල් එක අප්පච්චි ය. 


මේ අප්පච්චි ස්ටයිල් එක දැන් නැගලා යන පුහු සිංහල ජාතිවාදී ප්‍රවණතාවත් එක්ක මාරෙට ෆිට් ය. 


දැන් අප්පච්චිලා වැඩිපුර ඉන්නේ නුවර කලාවියේ හෝ වෙනත් ගැමි කෝරළාදියෙහි නොව කොළඹ ය. කොළඹ පැල්පත් නිවාස පොකුරු පිහිටි වතුවල ද අප්පච්චිලා සිටිති. අද තාත්තාට අප්පච්චි කියන බොහෝ දරුවන්ගේ කිරිකිත්තලා පවා තාත්තාට අප්පච්චි යයි කියූ අය නොවේ. 


දැනට ටික කලකට ඉහතදී අපේ රටේ බිරියෝ බරුවන්ට හෙවත් සිය ස්වාමි පුරුෂයන්ට දරුවන් කියන ආකාරයට ම තාත්ති කියා ආමන්ත්‍රණය කරන මෝස්තරයක් ආරම්භ කළ හ. සාමාන්‍යයෙන් මේවා ආරම්භ වන්නේ ඉහළ පෙළැන්තියේ ප්‍රභූන්ගෙන් වන අතර වසර දහයක් පමණ ඇතුළත ගමේ හා නගරයේ කබ්බන් කරා මේ මෝස්තර සංක්‍රමණය වී ඒවා බලු වී යයි. එහෙත්, ගමට ආ අලුත ගමේ ප්‍රභූහු මේ මෝස්තරවලින් ගමේ කබු ම කබ්බන්ට පඩේ දමති. 


ලේඛකයා කලක් දුෂ්කර ප්‍රදේශයක රැකියාවක් කරන අතර ඔහු සිටි නිල චමරියේ සිටි තවත් සගයකුගේ මිතුරකු පොල් එකතු කරන ව්‍යාපාරයේ යෙදෙන අතරේ ඇතැම් දිනෙක රැය පහන් කිරීමට මෙම චමරියට එන පුරුද්දක් තිබිණි. අසල පොදු ළඳ අසල තවත් නිල නිවසක් වූ අතර එහි සිටියේ ඒ ගමේ ම යුවලකි.  ඒ ගෙදර ගෘහනිය සිය සැමියාට තාත්ති කියා කතා කරනවා ඇසූ අපේ අර පොල් මිතුරා ලේඛකයාගෙන්ඇසුවේ 'අර මිස්ගෙ තාත්තා කොහොමද අච්චර තරුණ වුණේ?' කියා ය. එහෙත් ඇත්ත කරුණ වූයේ මේ සැමියා බිරිඳට වඩා වයසින් අඩු වීමයි. 


මේ මෝස්තරය අනුව සැමියෝ ද බිරිඳට අම්මි කියති. එපමණක් නොව දරුවන්ට අක්කි, නංගි, අයියා (අයියි කියන්නට බැරි ය), මල්ලි කියා ද කියති. 


අර අප්පච්චි විලාසිතාව ද දැන් මේ අන්දමින් පීචං වී හමාර ය. ඒ නිසා කොහොමද අපුච්චා ස්ටයිල් එක කර ගත්තා නම්? 


මේ ස්ටයිල් එකට අනුව අම්මා අම්මන්ඩි විය යුතු ය. වැඩේ තියෙන්නේ අම්මන්ඩි කීවා ම වෙන තේරුම් තිබෙන එක ය. 

 මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න