කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි

ඇමැති ජෝන් සෙනෙවිරත්න අඳින්නේ සුදු ය. කතා කරන්නේ සාන්ත දාන්ත තීන්ත කූඩුව වාගේ ය. ඔහුගේ තනතුර රාජ්‍ය පරිපාලන හා ස්‌වදේශ කටයුතු පිළිබඳ ඇමැති ය.


රජයේ ප්‍රධාන ම ඇමති තනතුරක් වන මෙම තනතුරේ සම්බන්ධීකරණ ලේකම්වරයකු වන ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රී එල්. එච්. ධර්මසිරි නමැති අපරාධකාරයා ඇමතිගේ බලයෙන් කර ඇත්තේ මොනවාදැයි දැන් හෙළි වී තිබේ.


ඇති ජෝන්ගේ දේශපාලන බලය කෙතරම් ද යත්, අල්ලපු ගෙදර ගෑනිත්, මිනිහාත් එකතු වී මවක හා බාල වයස්කාර දියණියක කපා කොටා මරා, දියණිය‍ගේ සිරුර ත්‍රිරෝද රියක වෙනත් තැනකට ප්‍රවාහනය කර, ලේ තැවරුණ ඇඳුම් පිටින් ඇ‍ඳේ හාන්සි වී සිටියදී මිනීමරුවාගේ දරුවන් සිව්දෙනෙකු එය දැක තිබියදීත්, පොලිසියට මේ මිනීමැරුමේ සුලමුල සොයා ගන්නට මාස එකහමාරක් පමණ ගත විය.


අපට තේරෙන පරිදි නම්, මේ වනාහි රහස් පොලිස් කණ්ඩායම් හතක් යොදවා මාස ගණනක් කළ යුතුව තිබුණු පරීක්ෂණයක් නො වේ. මෙකී මිනීමරුවා සම්බන්ධයෙන් මුල සිට ම බොහෝ අය සැක කර තිබිණි. මහජන උද්ඝෝෂණ හේතුවෙන් ඔහු වරක් අත්අඩංගුවට ද ගන්නා ලදී.


සාමාන්‍යයෙන් නම් මෙවැනි වැරදිකරුවන්ගෙන් පාපොච්චාරණ ලබා ගැනීම පොලිසියට සිම්පල් වැඩකි.


සැකකරුවන් සම්බන්ධයෙන් නිවැරදි තොරතුරක් සපයන්නෙකුට රුපියල් ලක්ෂ 10ක ත්‍යාගයක් පිරිනැමීමට පොලීසිය තීරණය කිරීම ම මෙම ඝාතනය පිටුපස අභිරහසක් නිර්මානය කිරීමට කළ වංචනික ක්‍රියාවක් වන්නට පුළුවන.


මේ සියල්ල පසුපස ඇමති ජෝන්ගේ දේශපාලන ඉලය කැරකුණු බව සක්සුදක් සේ පැහැදිලි ය.


මේ මිනීමරුවන්ගේ කුඩු ජාවාරමට ඔවුන් මේ බාල වයස්කාර දැරිය යොදාගෙන ඇති අන්දම බලන්න. ඔවුන් ඇයට මත්දුව්‍ය භාවිතය හුරු කරවා ඇති බවට සැක කරන්නට පවා පුඵවන. මිනීමැරුමට හේතු වී ඇත්තේ, දැරිය මත්කුඩු ප්‍රවාහනයට කලක් තිස්සේ යොදාගෙන ඇති බව දැරියගේ මවට හෙළිදරව් වීමයි.


වෙනත් සිද්ධියකදී නම් මේ වන විට සැකකරුවෝ මිනීමැරුමට අදාළ ආයුධ පෙන්නන්නට ගොස් පැන යාමට තැත් කිරීමේදී පොලිස් වෙඩි පහරින් මරණයට පත් වී හමාර ය. කෝපයට පත් වූ ප්‍රදේශයේ ජනතාව දේශපාලන අධිකාරීන්ට විරෝධය පාමින් කළ නිවෙස් ගිනි තැබීම් ගැන ආණ්ඩුවත්, පොලිසියත් මහත් කැක්කුමකින් තතා කරමින් සාක්කි විනාශ වී ඇතැයි කියති. එය හරියට සාක්කි විනාශ කිරීමට උවමනාවක් ඇතිවා වැනි ය.


මෙවැනි මිනීමරුවන් ආණ්ඩුවට ළං කරගෙන ඉන්නේ හා ඔවුන් ආරක්ෂා කරන්නේ ඇයි ද යන්න පැහැදිලි ය. මේ අපරාධකරුවන් තවත් බොහෝ අපරාධවලට සම්බන්ධ බවට සැක නැත. එහෙත් ඒවා කිසි දිනෙක හෙළිදරව් වන්නේ නැත.


කහවත්ත මිනීමැරුම වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි. ලංකාව පත් වී ඇති අභාග්‍ය සම්පන්න තත්වය මෙයින් කදිමට නිරූපණය කෙරේ. 


සැක කළ හැකි පරිදි මත්කුඩුවලට ඇබ්බැහි කර, කුඩු ප්‍රවාහනයට යොදවාගෙන, මේ කෲර අන්දමින් මරා දැමුවේ ඔබේ දියණිය, ඔබේ සහෝදරිය හා ඇගේ මව විය හැකි ය.

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ජෝන් සෙනෙවිරත්න කියන්නේ තවත් සිල්වා කෙනෙක්. පොලීසිය වලිකන්නේ යුක්තිය පසදන්නේ නැතුව සාක්ෂී නැති බව කියමින් මිනිමරුවෝ බේරන්න. ඔයිට වඩා පවර්ෆුල් ප්‍රේමදාසත් නිවන් ගියේ.

    ReplyDelete
  2. ඔයාලට පිස්සු. ඔය පොඩි සිද්ධි එකක් දෙකක් වුණාට ආණ්ඩුව කොච්චර හොඳඳ?

    ReplyDelete
  3. ජෝන් දැන් ලේකම්ව අස්කරාලු, අපරාධයකට පවුලේ ය සම්භන්ද නිසා. ඇයි ධම්මිකගේ පුතා හිරගෙදරට කුඩු සපයන්නෙක් කියල අහුඋන වෙලාවේ ලේඛම්ව අස්කලේ නැත්තේ. අවුරුදු 20 ක් අස්සරේ කරන පවුල කරන්නේ කුඩු ජාවාරම බව මෙයා දැනගෙන තියෙන්නේ අදයි. තොත්ත බබා.

    මේක නිකන්, මර්වින් කුඩු මුදලාලි බව රජතුමා දන්නේ නෑ කියනවා වගේ තමයි.

    අනික් අතට, ජෝන කුඩුකාරයොත් එක්ක ජාවාරම් කරනවා කියලත් හොඳටම දැනදැනම තමා රජතුමා එයාව තියාගෙන ඉන්නෙත්. The buck stops at the top.

    ReplyDelete
  4. කහවත්තේ මිනීමැරුම් වත්මන් දේශපාලනයේ හරස්කඩක් පෙන්වන විච්ඡේදනයකි
    '''- පාඨකයෙකු විසින් අපට එවා තුබූ මෙම ලිපිය වත්මන් තලයේ ආන්දෝලනාත්මක සිදුවීමක් පාදක කරගෙන කරුණු ගණනාවක් විමසුමට බදුන් කර ඇත. එය, හෙට දවසේ ඛේදයන් අවම කර ගැනීම උදෙසා දැනුවත් වීමේ අදහසින් පළ කරමු.-
    http://www.lankacitizen.com/index.php/si/inside/front-page/11-hot-news/978-2012-03-10-09-48-05

    ReplyDelete
  5. කහවත්ත ඝාතන රැල්‍ලේ අවසන් ගොදුර වූ මව සහ ඇගේ දයාබර දියණිය ඉතාම ම්‍ලේච්ඡ ආකාරයෙන් ඝාතනය කිරීම යට ගැසීමට දේශපාලන බලවේග උත්සාහ කළබව දැන් රටට රහසක් නොවේ. කෙසේ හෝ වේවා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් හෙළි වූ කරුණු අනුව අපට ප්‍රශ්න රැසක් මතුවේ. එය මුළු රටටම වැදගත්ය. රාජු නැමැති ප්‍රධාන සැකකරුවාගේ සහෝදරයා ගොඩකවෙල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීවරයෙකි. ජෝන් සෙනෙවිරත්න ඇමැතිවරයාගේ එවකට සම්බන්ධීකරණ ‍ලේකම්වරයෙකි.කප්පම් චෝදනා පිට අත්අඩංගුවට පත් වීමෙන් පසු කුඩු ජාවාරම්කාරයකු බවටද සැක තොරතුරු හෙළි වී රිමාන්ඩ් බන්ධනාගාර ගත කළ බන්ධනාගාර නියාමක පුත්‍රයාගේ පියාය.
    පළමුවෙන් කුඩුපැකට් දැක ඇති බව පැවැසෙන්නේ ඇමැති සම්බන්ධීකරණ ‍ලේකම්ගේ ගෙදරදීය.ධර්මසිරි නැමැත්තාගේ පුතා කුඩු ජාවාරම් කරුවෙකු බවට සැකකෙරෙනබව ඇමැති දැනගත්තේ මේ මවගේ සහ දියණියගේ ඝාතන සිදුවීමෙන් පසුවද ? ඝාතනයට පෙර සම්බන්ධීකරණ ‍ලේකම්ගේ නියාමක පුතාද කුඩු චෝදනා පිට ‍පොලිස් අත්අඩංගුවට පත් විය. අපට පෙනෙන හැටියට ඇමැති සිය සම්බන්ධීකරණ ‍ලේකම් තනතුරෙන් ධර්ම සිරි අස්කළ යුතුව තිබුණේ ‍ලේකම්ගේ පුත්‍රයා කුඩු චෝදනා ලැබ එසේ ‍පොලිස් අත්අඩංගුවට පත් වූ විටය. එසේ නොකර සියල්ලම රටට හෙළි වූ විට ඇමැතිවරයා සම්බන්ධීකරණ ‍ලේකම් ඉවත් කළ බව මධ්‍යයට පැවැසීම විහිළුවක් යයි යමෙකුට තර්ක කළ නොහැකිද ? එපමණක් නොව විටින් විට ‍පොලිස් ප්‍රශ්න කිරීම්වලට ඇමැති සම්බන්ධීකරණ ‍ලේකම්වරයා සහ ඔහුගේ සහෝදර රාජු ලක් වූ බව කොටකෙතන ප්‍රදේශයටම රහසක් නොවිණි. කහවත්තේ කුඩු ජාවාරමේ තතු හෙළි වන විට බොහෝ අයගේ ඇඟිල්ල දික්වූයේ ප්‍රාදේශීය දේශපාලනඥයන් කෙරෙහිය. එබඳු ආකාරයට මහපරිමාණයෙන් කුඩු ජාවාරම කිරීම ප්‍රාදේශීය දේශපාලන හයියෙන් පමණක් කළ හැකිද ?
    කොටකෙතන කුඩු ජාවාරම සුළුපටු එකක් නොවේ. මෙමගින් අපට තව කරුණක් හෙළිකර ගත හැකිය. සුදු වෑන්වලින් එකාදෙන්නා පරලොව යන විට කොළඹ බිඳවැටුණු කුඩු වෙළෙඳ‍පොළ දැන් කොළඹින් බැහැර ප්‍රදේශ ආශ්‍රිත කර ගෙන ක්‍රියාත්මක වන බවය. මෙම කුඩු දේශපාලනය මෙසේ වර්ධනය වුවහොත් තව නොබෝ කලකින් මේ රටේ දේශපාලනය කුඩු පක්ෂය, කුඩු විපක්ෂය සේ වෙනස් වනු ඇත. දේශපාලනයේ ප්‍රධාන තේමාව කුඩු වනු ඇත. ජනතාවද කුඩුවලට පක්ෂ විපක්ෂ වශයෙන් පිල් බෙදෙනු ඇත.
    මගේ වැටහීම සහ විශ්වාසය පරිදි ආරක්ෂක ‍ලේකම්වරයාට කොටි ත්‍රස්තවාදයෙන් සේම කුඩු ත්‍රස්තවාදයෙන් රට නිදහස් කර ගැනීමේ හැකියාව ඇත. එහෙත් සාම්ප්‍රදායික දේශපාලනය තුළ ඔහුට අභියෝග මතු වීමද නොවැළැක්විය හැකිය. එහෙත් කොටි ත්‍රස්තවාදය නැතිකිරීමේදී එල්ල වූ තර්ජනවලට බිය නොවූ ආරක්ෂක ‍ලේකම්වරයා නව අභියෝගවලින් ද නොසැලෙනු ඇත.
    අපට පැහැදිලි වන හැටියට මෙරටින් කුඩු ජාවාරම තුරන් කිරීමට නම් දේශපාලන කුඩු ජාලය පිළිබඳ පූර්ණ අවධානය යොමු කළ යුතුය. එකී කුඩු ජාලයට එරෙහිව දයාවිරහිතව කිසිදු ළතෙක් බවක් නොමැති දැඩි ක්‍රියාමාර්ග ගත යුතුය.
    මේ අතර කහවත්තේ මව සහ දියණියගේ ඝාතනයෙන් ඇවිස්සුණු ජනවිරෝධය අඩු කිරීම සඳහා විවිධ මෙහෙයුම් ක්‍රියාත්මක වූ අයුරු අපට නිරීක්ෂණය කළ හැකි වූයේ වරක් දෙවරක් නොවේ.
    පළමු වටයේදී අප දුටුවේ එම ම්‍ලේච්ඡතර ඝාතනය භූතයන්ට පැවැරීමේ අද්භූත මෙහෙයුමයි.
    දෙවැනි මෙහෙයුම වූයේ එකී මවගේ චරිතය ඝාතනය කිරීමය. ඒ මෙහෙයුමට අදාළ අසභ්‍ය කතා කොළඹටද ගලාගෙන ආවේ ජෙට් වේගයෙනි.
    දැන් තෙවැනි මෙහෙයුමද ආරම්භ කර තිබේ. කනගාටුවට හේතුව මේ මෙහෙයුමට ජනතාව වෙනුවෙන් පෙනී සිටිය යුතු ඇතැමුන්ද හවුල් වීමය.
    මේ මෙහෙයුම ‍ජ්‍යොතිෂ එසේ නැතිනම් නක්ෂත්‍ර මෙහෙයුමක් යැයි නම්කළ හැකිය. මෙරට නැකැත් බලන රාළ කෙනෙක් ප්‍රකාශ කර තිබුණේ මව සහ දියණිය අතරෙන් දියණිය ඝාතනය වූයේ ඇය ඝාතනය වීමට ටික කලකට පෙර ලැබූ අයහපත් ග්‍රහයෝගයක් නිසා බවය. මේ පුදුමාකාර නැකත්කරුවාගෙන් ඇසිය යුතු ප්‍රශ්න කීපයක් මගේ තර්කානුකූල සිත මතු කරයි. පළමුවැන්න කරුණාකර මව ඝාතනය වූ ග්‍රහ යෝගය පැහැදිලි නොකළේ මක් නිසාද? මව සහ දියණිය ඝාතනය වූයේ යම් ඒකාබද්ධ ග්‍රහයෝගයකින් ද ? මෙම අයහපත් ග්‍රහ යෝගයෙන් දියණිය ඝාතනය වූ බව මීට පෙර රටට හෙළි නොකළේ කවර හේතු නිසා ද ?
    මේ ප්‍රශ්න පත්‍රවලට නැකැත්කරුවා පිළිතුරු දිය යුතුය. වර්තමානයේ ජනප්‍රිය ‍ජ්‍යොතිෂය ද දේශපාලනීකරණය වූ විෂය ශාස්ත්‍රයක් බව අප දන්නේ අද ඊයේ නොවේ.
    ජනතාව මේ මානසික මෙහෙයුම්වලට හසු නොවිය යුතුය. යුක්තිය ඉටුවන තෙක් දෑස් දල්වාගෙන සිටිය යුතුය.
    අපරාධකාරයන්ට එරෙහිව කතාකිරීම ලිවීම රජයට එරෙහි මෙහෙයුමක් බව සමහර දේශපාලන බබ්බු ප්‍රචාරය කරමින් සිටිති. රජයේ වගකීම අපරාධකාරයන්ට උපරිම දඬුවම් ද ජනතාවට යුක්තිය ඉටු කිරීමය. ජනාතාවට යුක්තිය ඉටුවන විට ඔවුහු රජය රකිති. අසත්‍ය කතා ප්‍රචාරය කරන දේශපාලන බබ්බු මෙය තේරුම් ගත යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා