ඕවිටිගල කුඹුක් ගහ සහ වර්තමාන ආණ්ඩුව

ඔන්න පෙරළුණා, මෙන්න පෙරළුණා කීවාට ආණ්ඩුව තවම තියෙන බව දැනගන්නට ලැබිණි.

මේ ආණ්ඩුව ගැන විස්තර කරන්නට මා මීට මාස දෙකකට පමණ පෙර ගත් ඡායාරූපයක් යොදා ගනිමි. අලුතෙන් සංවර්ධනය කරමින් තිබෙන මතුගම අලුත්ගම පාරේ ඕවිටිගල, කඩිත්තමංකඩ නම් ස්ථානයේ මේ ගස පිහිටා තිබේ. මෙම ස්ථානය දැන් මීට වඩා වෙනස් වී තිබේ. මේ පාර සංවර්ධනය කරගෙන යමින් තිබෙන අතර දැන් මේ ගස කැපිය යුතුව තිබේ.

මේ ගස අසබඩ පසුගිය සමයේ තිබුණේ අනවසර හෝටලයකි. ඒ හැරෙන්නට මේ ගසේ වෙනත් කිසිදු විශේෂත්වයක් නො තිබිණි. පාර වෙනුවෙන් එම අනවසර හෝටලය ඉවත් කිරීමට සිදු විය.

පාර අයිනේ තිබෙන මේ කුඹුක් ගස හැර තව බොහෝ කුඹුක් ගස් මෙම ප්‍රදේශයේ තිබිණි. පසුගිය සමයේ ඒ කුඹුක් ගස් බොහොමයක් ප්‍රදේශයේ නිවෙස්වල තරප්පු පේලිවලට සවි විය. ඒ ගැන කාටවත් අවුලක් තිබුණේ නැත.

එහෙත්, මේ ගස කපනවාට පරිසරවේදීන්, සංවර්ධන විරෝධීන්, ජාතිවාදීන්, ආගම්වාදීන් හා මහින්ද රාජපක්ෂගේ අනුගාමිකයන් විරුද්ධ ය. ඔවුන් සංඛ්‍යාවෙන් අතළොස්සක් වන මුත්, ලොකු සද්දයක් දැමීමේ හැකියාව ඇති අය වෙති. ප්‍රදේශයේ අති බහුතරයක් ජනතාවට මේ ගසෙහි කිසිදු විශේෂත්වයක් නැත.

ගස කැපීමේ වගකීම තිබෙන්නේ ප්‍රාදේශීය ලේකම්ට වන අතර එම නිලධාරියා එම කාර්යය සිදු නො කර, එහි වගකීම ප්‍රදේශයේ දේශපාලන බලධාරියා වන ජගත් පී. විතාන වෙත පවරා තිබේ. දේශපාලන බලධාරීන් තමන්ට අදාළ නැති මෙවැනි දේ ද කරට ගැනීම සාමාන්‍ය තත්වයකි.

ජගත්ට ගස කපන්නට උවමනා ය. එහෙත්, ගමේ අර මෝඩ බලවේගයට බය නිසා ගස කපන්නට පියවර ගන්නට ඉදිරිපත් වන්නේ නැත.

දැන් මේ පාර හදන්නට යන්නේ එක්කෝ ගස මැදි කර හෝ නැතිනම් ගස අයින් කර වංගුවක් දමලා ය.

මේ ආණ්ඩුව වැඩ කරන විදිය ඔය ගසෙන් කදිමට සංකේතවත් වේ. කළ යුතු දේ ආණ්ඩුව නො දන්නේ ම නැත. එහෙත්, ඒ සඳහා අදාළ පියවර ගන්නට ඔවුන් බිය ය.

මහින්ද රාජපක්ෂ බලවේගය ද මේ ගස කැපිය යුතු බව දනියි. ගෝඨාභය හිටියා නම් ගහ කපන බව ද කියන ගමන් ම මේ ආණ්ඩුවට සත්තම දමා කිසිම තේරුමක් නැතිව මෙම ගස කැපීම වළක්වති.

ඒ එක පැත්තකි. මේ අතර රජයේ නිලධාරීන් තමන්ගේ වගකීම ඉටු කරන්නේ නැත. උන්ට එරෙහිව පියවර ගන්නට ද ආණ්ඩුව බය ය.

එබැවින් රට ඉදිරියට යන්නේ ද පාර මැද ගහක් ඉතුරු කරලා ය. ඒ ගහ නිසා අවසානයේදී සිදු වන්නේ මළ මිනී අහුලන්නට විතර ය.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ඔය ගහ කපන්නෙ අපරාදෙනෙ.
    මෙන්න මෙහෙම කරමු.

    http://www.amusingplanet.com/2012/01/gate-tower-building-with-highway.html

    ReplyDelete
  2. රුක් දේවතාවට මල පැනලා වගේ.

    ReplyDelete
  3. ගහට මුල් පොරෝපාර ගහන ජොබ් එක බාර ගන්න RDA එක කියක් ගෙවයිද?

    ReplyDelete
  4. කළුතර බෝධියේ අත්තක් රේල් පාරට අවහිරයක් උනාලු. බෞද්ධ බැතිමතුන් අත්ත කපන්න දෙන්නෙම නෑලු. බඩු පටවන මැදිරියක් එක්ක මහ රෑ ආපු කෝච්චියක් අත්ත කපලා ඒකත් අරගෙනම කොළඹ ගියාලු!

    ReplyDelete
  5. 'දේශපාලකයට කියමු කපන එක ගහට කුඹුක් ගස් 25ක් හිටවන කැම්පේන් එකක් ගමේ අයත් එක්ක එකතුවෙල පටන් ගන්න කියල. ආර් ඩී ඒ එකට කියමු ගහ කපල වෙන්දේසි කරන්න කියල.'
    ප්‍රජාතන්ත්‍රවාදය පවතින්න මහජන දැනුවත්භාවය, නිළ ආයතන ව්‍යූහය ශක්තිමත් වීම, මහජන නායකයන් නිවැරදි තීරණගෙන ක්‍රියාත්මක කිරීම, එහි නිරවද්‍ය භාවය වගේම එයින් සැලසෙන පොදු යහපත නිවැරදිව මාකට් කිරීමත් අවශ්‍යයි කියලයි මට හිතෙන්නෙ. ජනාධිපතිතුමා තොරතුරු දැනගන්නෙත් පත්තරෙන් බවයි කියන්නෙ. එතුමාට මේ බ්ලොග් පත්තරත් ප්‍රින්ට් කරල හිටං උදේට කනප්පුව උඩ බුලත් වට්ටිය යටින් තියන්න කාව හරි යොදවන්න බැරිද දන්නෑ. එතකොටවත් මොකක් හරි වෙල ආණ්ඩුවෙ පාණ්ඩුව නැති වේවායි පතමු.

    ReplyDelete
    Replies
    1. මං මේ දවස්වල Sansom ගේ Lamentation කියවනව. Anabaptistලා ගැන කියවීම කුතුහලය දනවනවා.

      http://nogodzone.blogspot.com/2007/01/those-crazy-anabaptists-europes-first.html

      ඇමරිකාවේ අශ්ව කරත්ත වලින් යන, සරල උපකරණ පාවිච්චි කරන, දරුවන් දිගටම පාසැල් නොයවන, ප්‍රතිශක්තිකරණය නොකරන අමීෂ්ලා ඉන්නවා. මේ අය නවීන සංවර්ධනය ඇතුළෙම නවීන සංවර්ධනයෙන් ඈත්ව ජීවත්වන පිරිසක්. ඒ වගේම ඔවුන් ඇමරිකාවේ වැඩිම ජනගහණ වර්ධන වේගයක් තිබෙන කණ්ඩායමක්. මේ අය ඇමරිකාවේ ප්‍රධාන සංස්කෘතියට වෙනස් සංස්කෘතියක සිටිමින්, ප්‍රධාන සංස්කෘතිය සමඟ ගැටුමක් නැතිව ජීවත් වන කණ්ඩායමක්.

      Delete
  6. ඔය ප්‍රශ්නය අපේ ගමෙත් මතුවුණා, පාර ලොකුකරන්න හන්දියේ බෝධිය බාධාවක් වුණා, ගහ කපනවට ලොකු විරෝධයක් නැගුන. පාරේ කොන්තරාත්තුව කරේ සුපිරි මීටරයක් වුන අලි සභාපති, මිනිහ සමිතියේදී කිව්වලු, ගහ කපන්න ඉන්ජිනේරුවා නියම කලත් එය කිසිසේත්ම නොකරන බවත් පාර හදල ගන්නා ලාබයෙන් එය වට බෝධි ප්‍රකරයකුත් තනන්න බවත්, නමුත් ඒ හැඩයක් නැති කාක බෝධියට වඩා ශ්‍රී මහාබෝධියේ අංකුරයක් තිබ්බනම් වටිනවය කියා. ඉතින් ගම්මු එකතුවෙලා නාකි බෝධිය කපල උත්සවශ්‍රීයෙන් අලුත් බෝපැලයක් හිටෙව්වා, ඊළඟ දවසේ එළිවෙනකොට අලුත් බෝපැලේ අතුරුදහන්, ඊළඟ පෝයට තවත් පැලයක් ගෙනාවත් එකත් දවස් කීපයකින් අතුරුදහන්, කොහොමද සබපතිගේ ටිකිරි මොලේ.

    ReplyDelete
  7. පැරා මමනම් හිතන්නේ ඔවැනි ගස් කපා දැමීම අපරාදයක් බවයි. මෙන්න මෙහෙමයි ලෝකය ඔවැනි දේවලට පිළියම් සොයන්නේ
    https://www.youtube.com/watch?v=Rp5IKUBfvlI

    ReplyDelete
  8. ඔය වගේම ගහක් තියනවා කොළඹ කොලොන්නව - ඔරුගොඩවත්ත හරියේ , බෝ ගහක්
    විචාරක දියණිය

    ReplyDelete
  9. දෙගොඩ තලා ගං වතුරයි ගලන්නේ
    මහ බැංකුවේ පැටිකිරියම ඇදෙන්නේ
    රට හොල්ලන නිව්ස් දැන් දැන් මැවෙන්නේ
    කවදද කුඹුක නුඹ බ්ලොගයෙන් මිදෙන්නේ

    ReplyDelete
  10. Gahata merila yanne poison inject kala nam hari.project eka patan ganna kotama karanne one wada

    ReplyDelete
  11. ලංකාවේ නායකත්වයට හරියන්නේ ගෝඨාභය මිසක් වෙන කෙනෙක් නෙවෙයි.

    රනිල් - දිනපු ගමන් අර්ජුන් මහේන්ද්‍රන් එක්ක ඩීල් දාලා, රවි සහ ඇලෝසියස් පෙරමුණට දාලා බැඳුම්කර වංචාව කලා. දැන් අවුරුදු 30ක් යනකල් ආණ්ඩුව උන්ගේ පවුල් පෝසත් කරන්න රුපියල් බිලියන ගාණක් ගෙවන්න ඕන.

    රනිල් සහ මෛත්‍රී හිතන්නේ ඉදිරි මැතිවරණ දිනන හැටි විතරයි. උන් දෙන්නට රට දෙකඩ වුණත් කමක් නෑ. යාපනයේදී මහවිරු සතිය සමරන ගමන් සිංහල සිසුන්ට පහර දීලා එලවපු යාපනය විශ්වවිද්‍යාලයේ දෙමළ ජාතිවාදීන් ගැන පියවර ගන්න ආණ්ඩුව බයයි.

    යාපනය විශ්වවිද්‍යාලය තවදුරටත් දෙමළ විශ්වවිද්‍යාලයක් නොවිය යුතුයි. එහි ඇදුරන්, සිසුන් අතරට වෙන ජාතියකයන් වැඩි වැඩියෙන් ඇතුළත් කළ යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා