සයිටම් සම්බන්ධයෙන් රජයේ විසඳුම හා මස් රාත්තල ම ඉල්ලන ෂයිලොක්ලා

ලෝකයේ මේ වන විට කොමියුනිස්ට් ආණ්ඩුවකට තිබෙන්නේ ලොවෙන් හුදකලා වී, ඉතිහාසය තුළ එක තැන නතර වී තිබෙන බව පෙනෙන උතුරු කොරියාව සහ කියුබාව පමණි. කොමියුනිස්ට්වාදය සෙසු ලෝකයට පිළිගැනීමට අපහසු වන ප්‍රධානම හේතුවකි, මෙම ජීවමාන උදාහරණ දෙක.

කොමියුනිස්ට් දේශපාලනයක් හෝ වෙනත් ඒ හා සමාන විකල්පයක් ප්‍රවර්ධනය කරන කිසිදු දේශපාලන පක්ෂයක් ලංකාවේ නැත. මූලික වශයෙන් ම ඔවුන්ට ඒ ගැන විශ්වාසයක් නැති බව පෙනේ. එසේම, ඔවුන්ට වෙනත් කිසිදු විකල්පයක් ද නැත.

ජනතා විමුක්ති පෙරමුණ හා පෙරටුගාමී සමාජවාදී පක්ෂය යන වාමාංශික පක්ෂ දෙකට ප්‍රමුඛ වී තිබෙන්නේ එකිනෙකා පරයා මතු වීමේ බර අරගලයයි. ඔවුන් අතර හෝ එක් එක් පක්ෂ තුළ පවා ලංකාවේ ආණ්ඩුවක් පිහිටුවා ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් නැත.

දූෂණය නැති කළ පමණින් රට සංවර්ධනය කළ හැකි යයි ඇතැම් වාමාංශිකයෝ සිතාගෙන සිටිති. ඒ බවක් මහජනතාවට ද කියති. දූෂණය නැති කිරීම නරක දෙයක් නො වේ. එහෙත්, එපමණකින් රටක් දියුණු වන්නේ නැත. ඒ සඳහා ආයෝජන, දැනුම හා කුසලතාවන් ගොඩනගා ගැනීම අවශ්‍ය ය. වාමාංශිකයන්ට ඔවුන් වර්තමානයේ අනුගමනය කරන ප්‍ර‍තිපත්ති ද සමග එසේ කළ නො හැකි වීමට පැහැදිලි හේතු තිබේ.

බොහෝ වාමාංශික පක්ෂ පෞද්ගලික අංශයට විරුද්ධ ය. ඇතැමෙක් වෙළඳපොළටත් විරුද්ධ ය. වෙළඳපොළෙහි මූලික සාධකයක් වන ලාභය සම්බන්ධයෙන් ඔවුන්ට ඇත්තේ ඉතා අවිද්‍යාත්මක වූ නිශේධනීය අදහසකි. සේවාවන් රජය විසින් නොමිළේ සැපයිය යුතු යයි ඔවුහු විශ්වාස කරති. රජය නිෂ්පාදනය ද සියතට ගත යුතු බව ඔවුහු සිතති. පෞද්ගලික ව්‍යවසායන්ට ඉඩ දුන්නත් ඔවුන් ඕනෑම මොහොතක ඒවා රජයට පවරා ගන්නට ඉඩ තිබේ. පෞද්ගලික ව්‍යවසායකයන් අතර මෙම වාමාංශික බලවේග සම්බන්ධයෙන් කිසිදු විශ්වාසයක් නැත.

වාමාංශික අන්තවාදීන් අතට රාජ්‍ය බලය ලැබෙන්නට නම් දරුණු ආර්ථික අර්බුදයක් හෝ යුද්ධයක් වැනි භයානක තත්වයක් රටේ ඇති විය යුතු බව ඔවුහු දනිති. එහෙයින්, ඔවුන් දේශපාලනය කරන්නේ එවැනි මොහොතක් ඉලක්ක කරගෙන ය.

අන්තවාදීන් තමන්ට බලය නැති සංදර්භයක් තුළ රටේ ජන ජීවිත සංවර්ධනය වෙනවාට කැමති නැත. සාමකාමී වටපිටාවක් ඇති වෙනවාට, මිනිසුන් සතුටින් ජීවත් වෙනවාට කැමති නැත. එහෙම වුණොත් තමන්ගේ දේශපාලනය අසාර්ථක වේ යයි ඔවුන් බය ය.

සයිටම් සම්බන්ධයෙන් රජය විසින් ලබා දී තිබෙන විසඳුමට එකඟ නැති ජනතා විමුක්ති පෙරමුණේ සිට විවිධ තනි පුද්ගල වාමාංශිකයන් දක්වා පිරිස් තේරුම් ගත හැක්කේ එසේ ය.

සයිටම් යනු අභියෝගාත්මක ව්‍යවසායකි. එහෙත්, එය සිදු වූයේ රාජ්‍ය දිරි ගැන්වීම යටතේ ය. මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා සයිටම් වෙතින් අල්ලස් ලබා ගත් බව පවා පෙනේ. ඔහු වෙනුවෙන් ප්‍ර‍ශස්ති ගැයූ සහේලි නම් ආධුනික ගායිකාවකට ද මෙම විශ්වවිද්‍යාලයට ශිෂ්‍යත්වයක් ලබා දීමට කටයුතු කර තිබේ.

මෙවැනි තත්වයන් ලංකාවේ ව්‍යාපාර අවකාශයෙහි එතරම් පුදුම විය යුතු දේ නො වේ. එවැනි තත්වයන් සම්බන්ධයෙන් දොස් පැවරිය යුත්තේ අභියෝගාත්මක ව්‍යවසයාන්ට අතගසන ආයෝජකයන්ට නො වේ.

විදේශ ආයෝජන කෙරෙහි විශාල අවධානයක් යොම කර ඇති රටක් වන ලංකාව දේශීය ආයෝජකයන් පිටරටට ඇදී යාම වැළැක්වීම, ඔවුන් රැක ගැනීම, දිරි ගැන්වීම හා ඔවුන්ට මාර්ගෝපදේශ සැපයීම විධිමත් අන්දමින් කළ යුතු ය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයක් වැනි දේශපාලනික වශයෙන් අභියෝගාත්මක ආයෝජනයකට කිසියම් ව්‍යවසායකයකු දිරි ගැන්වූවා නම්, ඔහුට ඒ සඳහා උපකාර කිරීමේ වගකීමක් ද රජයට තිබේ. මෙය අලුත් තත්වයක් නො වේ. ලංකාව විදේශ ආයෝජකයන්ට උපකාර කිරීම සඳහා ම දීර්ඝ කාලයක සිට ආයෝජන මණ්ඩලයක් පවත්වාගෙන යයි. හිටපු ජනාධිපති ආර්. ප්‍රේමදාස සමයේදී ඇඟලුම් කර්මාන්තයේ දේශීය හා විදේශීය ආයෝජනයන්ට කරන ලද දිරි ගැන්වීම් ලංකාවේ අපනයන ආදායම් හා රැකියා වියුක්තිය නැති කිරීමට විශාල වශයෙන් ඉවහල් විය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට එක පැත්තකින් වෛද්‍ය අධ්‍යාපනය වෙනුවෙන් රටින් බැහැරට යන විශාල විදේශ විනිමයක් ඉතිරි කර ගන්නට ද අනෙක් පැත්තෙන් රටින් බැහැර සිසුන්ට වෛද්‍ය උපාධි පිරිනැමීමෙන් විදේශ විනිමය ආකර්ශනය කර ගන්නට ද පුළුවන. නේපාලය වැනි රටවල් පවා දැන් මෙය කරති. ලංකාවේ ඇතැම් සිසුවෝ නේපාලය, බෙලරස් වැනි රටවලින් වෛද්‍ය උපාධි ලබාගෙන පැමිණ ලංකාවේ රජයේ සේවයට එක් වෙති.

සයිටම් සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ගේ හා වෛද්‍ය සිසුන්ගේ ප්‍ර‍ශ්න කිරීම මූලික වශයෙන් ප්‍ර‍මිතිය පිළිබඳව ය. ප්‍ර‍මිතිය ගැටලුවක් වී නම් එම ගැටලුව විසඳීම අපහසු නැත. එහෙත්, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය එයට බාධා කළේ ය. කාලෝ ෆොන්සේකා යටතේ වෛද්‍ය සභාව මේ සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය දදේශපාලනික පක්ෂපාතිත්වයන්ගෙන් යුක්ත ය; සමාජ ආර්ථික දැක්ම පැත්තෙන් අපරිණත ය.

ලංකාවේ රජය සම්බන්ධයෙන් තිබෙන මූලික ගැටලුව එහි ඉදිමුණු දැවැන්තභාවය හා ඒ දැවැන්තභාවයට කිසි සේත් ම නො ගැලපෙන අකාර්යක්ෂමතාවයි. මෙය සමාන කළ හැකි වන්නේ බරවා කකුලකට ය. රජයේ අකාර්යක්ෂමතාව යනු ඉතා ගැඹුරට විහිදුණු එකකි. එයට පිළියම් යෙදීම ලෙහෙසි නැත. මේ වන විට මේ රටේ ජනතාව සූරා කන ප්‍ර‍ධාන ම ධනේශ්වර ව්‍යූහය එයයි. රජයට අයත් ව්‍යවසාය කිසිවක් ජනතාවට වඩා හොඳ, ලාභදායී සේවා සපයන්නේ නැත. අනෙක් පැත්තෙන් මේවායේ බර දරා ගැනීමට ජනතාවට විශාල බදු බරකට හා ණය බරකට උර දීමට සිදු වී තිබේ. අලුත්, අලුත් රාජ්‍ය ව්‍යවසායන් යනු මේ බදු බර ඉහළ නංවන ක්‍ර‍මයකි.

අනෙක් පැත්තෙන්, මේ රජයේ සේවා සම්පාදනය බොහෝ දුරට රජය පවත්වා ගැනීම සාධාරණීකරණය කරන පමණට සීමා වේ. උදාහරණයක් ලෙස පාසල් අධ්‍යාපනය සලකා බැලුවහොත්, මේ වන විට එය පාසලේ සිට ම නවලිබරල්වාදී හැඩගැස්මකට ගොදුරු වී තිබේ. රජයේ පාසල් පවා එකිනෙකා අතර දැඩි ලෙස තරගකාරී විකෘති ව්‍යූහයන් බවට පත් වී තිබෙන අතර ඒවායින් ලබා දෙන අධ්‍යාපනය දැඩි ලෙස වානිජකරණය වූ එකකි. සමස්තයක් ලෙස ගත් කල පාසල් අධ්‍යාපනය ගුණ යහපත් මිනිසුන් නිර්මානය කිරීමට එතරම් ඉවහල් වන්නේ නැත. මේ අධ්‍යාපන පද්ධතිය පවත්වාගෙන යන්නේ ඇත්තෙන් ම එයින් වරප්‍ර‍සාද ලබන, අඩුවෙන් වැඩ කර, සාපේක්ෂ වශයෙන් වැඩි වරප්‍ර‍සාද ලබන, දේශපාලකයන්, රාජ්‍ය නිලධාරීන් හා රජයේ සේවකයන් වෙනුවෙනි. රජයේ සේවා ඇත්තේ මහජනතාව වෙනුවෙන් ය යන මිථ්‍යාව බිඳ දැමිය යුතු ය. ඒවා ඇත්තේ රජයෙන් යැපෙන මධ්‍යම පන්තිය වෙනුවෙනි. මහජන සේවාවන් යනු මධ්‍යම පන්තියේ මෙම උවමනාවට ආවරණයක් පමණි.

රජය පෞද්ගලික වෛද්‍ය විද්‍යාල රජයට පවරා ගැනීම වැරදි ක්‍රියාවක් වන්නේ මෙම සංදර්භය තුළයි. පාසල් අධ්‍යාපනය යනු සියලු සිසුන්ට අනිවාර්යයෙන් ම ලබා දිය යුතු, අත්‍යවශ්‍ය මූලික සේවාවකි. එහෙත්, තෘතීයක අධ්‍යාපනය එසේ නො වේ. එය එක පැත්තකින් පෞද්ගලික ආයෝජනයකි. උදාහරණයක් ලෙස ලංකාවේ බොහෝ දෙනා වෛද්‍යවරුන් වීමේ සිහින ගොඩනගන්නේ ඒ හා බැඳුණු දැවැන්ත වරප්‍ර‍සාද ඔස්සේ වේගයෙන් මුදල් ඉපැයීමේ හා පන්ති ඉණිමගේ ඉහළට ඉක්මණින් ගමන් කිරීමේ අභිලාෂයෙනි. ඔවුන් ඇතුළත් වන්නේ මහජන සේවාවකට නොව ජාවාරම් ස්වරූපී දැවැන්ත ව්‍යාපාරයකට ය. රටක දිළිඳු දරුවන් වෙනුවෙන් තෘතීයක අධ්‍යාපනය වෙනුවෙන් ණය ක්‍ර‍ම වැනි සහන සැලසිය යුතු ය. එසේම, රටට අත්‍යවශ්‍ය, විශේෂයෙන් ම තරගකාරී නො වන අංශවල වෘත්තිකයන් ගොඩනැගීම සඳහා ආයෝජනය කළ යුතු ය. එහෙත්, තෘතීයක අධ්‍යාපනය තවත් පැත්තකින් පෞද්ගලික ආයෝජනයක් බව ද අප අමතක නො කළ යුතු ය. මේ රටින් නිදහස් අධ්‍යාපනය ලබා විදේශ රටවලට සේවය සැපයීම පිණිස රටින් පිට වන පිරිස් පවා සිටින බව අප අමතක නො කළ යුතු ය. තෘතීයක අධ්‍යාපනය වෙනුවෙන් ගෙවීම් කළ හැකි අය එසේ ගෙවීම කිසිදු වරදක් නො වන්නේ එම සංදර්භය තුළයි. එය රජය පමණක්, නොමිළේ පමණක්, තෝරා ගත් පිරිසකට පමණක් ලබා දිය යුතු දෙයකි ය යන්න ඉතා බොළඳ, පසුගාමී අදහසකි. සරලව කිව්වොත්, තෘතීයක අධ්‍යාපනය බදු ගෙවන ජනතාවට ඉතා පීඩාකාරී බදු බරක් බවට පත් නො කළ යුතු ය.

සයිටම් ලාභ නො ලබන ස්වාධීන ආයතනයක් බවට පත් කිරීම හොඳ දෙයකි. එහෙත්, ලාභය යනු කුමක්දැයි අප තේරුම් ගත යුතු ය. ලාභය යනු ඔය කියන තරම් මහා නරක දෙයක් ද? ලාභය ලිබ්බොක්කේ වලලන යුගය අවසන් ය. ලාභ ලබන්නෝ ඒ මුදල් ආයෝජනය කරති. නැතිනම් ඉහළ මට්ටමින් පරිභෝජනය කරති. මේ මුදල් සංසරණය වන විට සමස්තයක් ලෙස රටේ රැකියා ඇති වේ. ආර්ථිකය ප්‍ර‍සාරණය වේ. නව ලිබරල්වාදී ආර්ථික විශේෂඥයෝ එය ආර්ථික වර්ධනය පහළට කාන්දු වීමක් ලෙස සැලකූ හ. එහෙත් විෂමතා ඇති වීමේ බරපතල ගැටලුවක් තිබේ. ධනවාදයේ ඇති මූලික ගැටලුව මෙම විෂමතා ය. ලාභය නියාමනය කිරීම ඇත්තෙන් ම දුෂ්කර ය. සමාජවාදීන්ගේ ක්‍රීඩාව ඇත්තේ එතැන ය.

ස්වාධීන ආයතනයකට පවා ලාභය අවශ්‍ය ය. හේතුව, එම ආයතනය වෙනුවෙන් කරන ලද ආයෝජන වෙනුවෙන් ණය හා පොළී ගෙවිය යුතු ය. එසේම, ආයතනය සංවර්ධනය කළ යුතු ය. සංවර්ධනය වෙනුවෙන් ගොඩනගා ගත හැකි ඉලක්කවලට සීමාවක් නැත. ස්වාධීන ආයතන ලාභ ලබන ප්‍ර‍මාණය කෙතරම් ද යන්න පවා ප්‍ර‍ශ්නයකි.

බොහෝ දෙනෙකු සිතන්නේ රජය ලාභ නො ලබන ආයතනයක් ය කියා ය. මෙය සම්පූර්ණයෙන් ම වැරදි ය. රජය පමණක් නො ව, දැවැන්ත සමායතන පවා මේ වන විට ලාභය ඉහළ වැටුප් හා වරප්‍ර‍සාදවලට පරිවර්තනය කරගෙන තිබේ. එහෙයින් රජය හෝ කිසිදු ස්වාධීන ආයතනයක් හෝ ලාභයෙන් මුළුමනින් ම ගැලවී ඇතැයි සිතීමට වඩා ලාභය ගැන පුළුල් අන්දමින් විග්‍ර‍හ කර ගැනීම ප්‍රයෝජනවත් වනු ඇත.


ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ජීවීතේට ලංකාවෙන් පිට ගිහින් නැති 2500 මොකද්ද එක ගැන කිය කිය ඉන්න මිනිස්සුන්ට ඕවා ගැන කිව්වට වැඩක් නෑ පැරා.

    ReplyDelete
  2. වෛද්‍ය පීඨ ශිෂ්‍ය ක්‍රියාකාරී කමිටුව (රයන්) අධ්‍යාපනය විකුණනවට විරුද්ධයි. නමුත් සෞඛ්‍ය සේවය විකුණන එකට පක්ෂයි. මොන ප්‍රතිපත්තිද අප්පා මේවා!

    ReplyDelete
  3. ජවිපෙ ලොකු ලොක්කෝ කියන්නේ 'වෛද්‍ය උපාධිය මුදලට විකුණන' කියලනේ.
    මටත් බැරිද දන්නේ නැහැ සල්ලි ගෙනිහින් මුදලට වෛද්‍ය උපාධියක් ගන්න.

    ReplyDelete
    Replies
    1. ඒක විතරක්යැ. සමහරු නෙවිල් ප්‍රනාන්දුගෙ ලාභය ගණන් හදන විදියත් මරු. ජවිපෙ නායකයට ගණිතය සම්බන්ධ උපාධියක් තිබුණට ගෝලයෝ වැඩි දෙනෙකුට ගණන් බැහැ.

      Delete
  4. ලංකාව දියුණු කරන්න බැරි ආණ්ඩුවෙන් පඩි ලබන මාස් පඩි කාරයො හින්දයි කියල දවසක් මට කිව්වෙ පිරුවණක උගන්නල විශ්‍රාම ගියපු පණ්ඩිත හාමුදුරු නමක්. මං කිව්ව ඔබවහන්සෙත් එහෙම නේද? කියල. උන් වහන්සෙ හිනාවෙලා කිව්ව මාස් පඩියක් ලබන එකයි ඒක ගැන යථාර්ථවාදීව හිතල කටයුතු කිරීමයි දෙකක් කියල.

    ReplyDelete
  5. Kumar G s children are in Monash. That is funney

    ReplyDelete
  6. පැරකුම් සහෝදරයාට කෙරෙන කාරුණික නිවේදනය යි.

    ඔබ දීර්ඝ කාලයක් තිස්සේ වමට මඩ ගසමින් සිටියි. ඔබ සිදු කරන්නේ පාළු ගෙයි වළන් බිඳීමකි. වමේ, විශේෂයෙන් විප්ලවීය වමේ යුරෝපා ජ්‍යෙෂ්ඨයන්ගේ, ශාස්ත්‍රීය ප්‍රතිචාර වාරණය කරන ඔබ වාම විප්ලවීය දේශපාලනයේ දිදුල තාරකාවන්ට අඛණ්ඩ ව මඩ ප්‍රහා⁣ර එල්ල කරයි. ලංකාවේ අනාගතය හිමි උගත් බුද්ධිමත් තරුණ ප්‍රජාවට එරෙහි ව ඔබ හද නැඟෙන කෝපාග්නිය ඔබ තුළ සිටි ප්‍රාථමික වූ මානවයා ද දවා අළු කර ඇත. ශේෂය තිරිසන් සමාන විකෘතියකි. කප්පරක් කයිවාරු ගසා අවසන සමාජවාදය වෙනුවෙන් ධනවාදය සමඟ යහන්ගත වන ඔබගේ ජීවරේඛය සහන සහය නිවේදකකමකින් අවසන් වීම දෛවයේ සරදමකි. දෛවය ඔබට සරදම් කළ ද අපි ඔබට සරදම් නො කරමු.

    පැරකුම් සහෝදරයාණනි, ඔබ ඉල්ලා සිටින්නේ ඔබ වෙනුවෙන් ප්‍රසාද ගීතිකා ගැයීමට විශේෂ වේදිකාවක් අරඹන්න කියා ද? බ්ලොග් පඩංගු අටවාගෙන රාජ්‍ය මාධ්‍ය ආයතනවලට රිංගා ගැනීම, වේදිකා සා⁣දාගෙන මුල්පුටුවලට පැන ගැනීම ආදිය වාම දේශපාලනය නොවන බව පැරකුම් සහෝදරයාට පවසනු කැමැත්තෙමු.

    අජිත් පැරකුම් ජයසිංහගේ පෞද්ගලික ලිපි ගොනුව 2017/11/04 දින දක්වා යාවත්කාලීන කරනු ලැබ, වම සතු ව යුරෝපයේ සුරක්ෂිත ව ඇති බව පැරකුම් සහෝදරයාට සිහි කරමින් අපි නිහඬ වෙමු. (වැටහෙන්නට ඇති කිව්ව දේ)

    "ශරත් සමයේ අග
    නැඟෙන ශීතලට ගුලි වී
    ශිශිර තරණයට සැරසෙමු
    ඒත් වසන්තය එනවා
    මතු දිනෙක නිසැක ව ම"

    ReplyDelete
    Replies
    1. මෙය ලියූ උන්මත්තකයා කුමක් අදහස් කළත් මට කීමට ඇත්තේ එක දෙයකි. හෙට ද මම අද සේ ම ඇත්ත වෙනුවෙන් පෙනී සිටිමි. මා ඝාතනය කළත් ඇත්ත ඝාතනය කළ නො හැකි ය. ඇත්තට මුහුණ දීමට ශක්තිය නැති පෙන්දන්ට මම බිය නො වෙමි.

      Delete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා