රේඩියෝ බැලීම හෙවත් මගේ රේඩියෝ කතා

රේඩියෝ කියන්නෙ හරි සුන්දර දෙයක්. රූපවාහිනී එන්න කලින් ඉපදුණු අපේ පරම්පරාවෙ අය රේඩියෝවට පෙම් බැඳි තරම ගැන අපූරු කතාවක් තමයි ලියනගේ අමරකීර්ති ලියපු කුරුළු හදවත නවකතාව.

රේඩියෝවට පෙම් බැන්දට, ගෙදරදි ප්‍රවෘත්ති කියන විධිය අනුකරණය කරමින් පත්තරේ කියෙව්වට, ගමේ තොරණ ගාව එහෙම ලවුස්පීකරෙන් එනවුන්ස් කළාට රේඩියෝ ලෝකෙ අප වගේ හද්ද ඩොටේ කට්ටියට ගොඩක් දුර වුණා. ඒ හීන එහෙම්ම ම බොඳ වෙලා ගියා.

හැබැයි මං පදවියේ ගුරුවරයකුව ඉන්න කාලෙ සාම රැළිවල එහෙම කරපු නිවේදනයන් නිසා ජයතිලක බංඩාර අයියා හරහා රජරට සේවයට සම්බන්ධ වෙන්නට අවස්ථාවක් ලැබුණා.

එතකොට මං හිටියෙ අනුරාධපුරේ. රජරට සේවයෙන් පුහුණුවක් දීලා මා ඇතුළු පිරිසකට ස්වේච්ඡා සන්නිවේදකයන් විදියට වැඩසටහන් ඉදිරිපත් කිරීමේ සිට නිෂ්පාදනය දක්වා බොහෝ දේවලට සම්බන්ධ වෙන්නට නිර්ලෝභී අවස්ථාවක් එවකට රජරට සේවයේ පාලිකාව වූ ශ්‍රියානි සමරනායක අපට ලබා දුන්නා.

හැබැයි 2001දී රනිල් වික්‍රමසිංහ බලයට පත් වීමත් එක්ක රජරට සේවයේ ප්‍රධානියා බවට නැවත පත් වුණ ජෝතිපාල තෙබුවනගෙ මුල් ම රාජකාරිය වුණේ අප කණ්ඩායම දොට්ට දාන එක. ඒ වෙනකොට මම මගේ අවසන් වැඩසටහන කරලා සමු ගැනීම සඳහා මෙන්න මේ ගීතයත් වාදනය කරලායි තිබුණෙ.



එතනින් මගේ රේඩියෝ කතා අවසන් වුණා. මං අනුරාධපුරය දාලා ගමට ආවා. රනිල්ගෙ ආණ්ඩුව වැටුණට පස්සෙ මගෙත් එක්ක වැඩ කළ පිරිස සහන නිවේදකවරුන් ලෙස සේවයට බඳවා ගත්තත් මං ඒ ගැන හෙව්වෙ නැහැ. එතකොට මං හිරු පත්තරේ වැඩ. බැහැලම දේශපාලනය කරනවා.

රේඩියෝ ගැන නැවත ආසාවක් ඇති වුණේ 2012දි විතර බීබීසී සිංහල සේවයේ තනතුරකට අයදුම් කළ වෙලාවෙයි. මුලින් ම සිංහල, ඉංග්‍රීසි දෙපැත්තට ම පරිවර්තන හැකියාවන් පරීක්ෂා කරන ප්‍රශ්න පත්තරයකට උත්තර ලිව්වා. මං දන්නවා ඒකෙන් මං උපරිම ලකුණු ගත් බව. එතන ඇවිත් හිටි අයගෙන් දෙපැත්තට ම පරිවර්තන කරන්නට පළපුරුද්ද තිබුණු අය අඩුයි. ඊළඟට ඔඩිෂන් එකක් හෙවත් හඬ පරීක්ෂාවක් තිබුණා. මේ සියල්ල ඉතා මැනැවින් බ්‍රිටිෂ් කවුන්සිල් ආයතනය විසින් මෙහෙයෙව්වා.

ඉන් පසුව, සම්මුඛ පරීක්ෂණයට ප්‍රියත් ලියනගේ බ්‍රිතාන්‍යයේ සිට ආවා. සම්මුඛ පරීක්ෂණය අවසානයේදී මම ඇහුවා මට ලිඛිත පරීක්ෂණයේ සහ ඔඩිෂන් එකේ ප්‍රතිඵල දැනගන්නට පුළුවන් ද කියලා. එතනින් තමයි සෙට් ගේම එළියට පැන්නෙ. මෙන්න ප්‍රියත් ලියනගේ කියනවා එහෙම එකක් ගැන එයා දන්නෙ නැහැ කියලා. මම මෙතන සිදු වුණ කූට ප්‍රයෝගය සම්බන්ධයෙන් බීබීසී එකේ ප්‍රධානීන්ට පැමිණිලි කළා. ඔවුන් නැවතත් මගේ පැමිණිල්ල විමර්ශනය කරන්නට ප්‍රියත් ලියනගේට යොමු කරන බව කිව්වා. මං ඇහුවා මගේ පැමිණිල්ල එයාට විරුද්ධව නම් එයා කොහොමද ඒක විභාග කරන්නෙ කියන එක. ඕක ඉතින් ඒ පැත්තට, මේ පැත්තට ඇඹරි ඇඹරි තිබිලා මට ම එපා වෙලා මං අතහැර දැම්මා. ඒක එහෙම වුණ එකත් නරක ම නැහැ. මිදි ඇඹුල කතාවම ම නෙමෙයි, ඒ වගේ ආයතනයකින් අවස්ථාවක් ලැබුණා නම් හොඳයි. ඒත් මං හිතන්නෙ දැන් තියෙන බීබීසී සිංහල සේවය වගේ එකක් නම් මේ බ්ලොග් එකේ වුණත් කරන්නට බැරිකමක් නැහැ කාලය පොඩ්ඩක් හොයා ගන්නට පුළුවන් නම්. ප්‍රියත් ලියනගේ ටික කලකට පසු වෙනත් වංචා වගයකට වැරදිකරු වී බීබීසියෙන් දඬුවම් ලැබුවා.

රේඩියෝ විනෝදාංශයට නැවත වතාවක් යොමු වෙන්නට අවස්ථාව ලැබුණෙ ගුවන් විදුලි සංස්ථාවේ සභාපතිකමට සුදර්ශන ගුණවර්ධන පත් වුණාට පසුවයි. අර පරණ රේඩියෝ ආසාව ඇතුළෙ මං නැවත ජීවත් වෙනවා. ඒකෙන් මහ ලොකු දෙයක් වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් මං සතුටු වෙනවා. කවුරු වුණත් සතුටෙන් ඉන්න එක හොඳයි නේ. මිනිසුන් සතුටෙන් ඉන්නකොට කුහකකම, සමාජ වෛරය වගේ දේවල් අඩු වෙනවා. ඔය වර්තමාන වොරියර්ලා බොහෝ දෙනෙකුට තියෙන ගැටලුව සතුට, ප්‍රමෝදය පිළිබඳ ප්‍රශ්නයක්.

මේ සටහන ලියන්නෙ ඒ වගේ සීරියස් බුද්ධිමතුන්ට නෙමෙයි. සතුටු වෙන්න කැමති මිනිසුන්ට.

මං ඉතින් මගේ චූන් එකටත් එක්ක සිකුරාදා සාරප්‍රභාගිර වැඩසටහන කරනවා නේ. මේ සතියෙ වැඩසටහනට ගෙන්නුවේ එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලාංකික තරුණ නියෝජිත ශේෂාද්‍රි කෝට්ටෙආරච්චි. ඇතුළට යනකොට මෙන්න අද වැඩසටහන වෙන ස්ටුඩියෝ එකක. මං යනකොට එක වැඩසටහනක් ඉවර වෙලා ඩිලාන් ඇමතිතුමායි, ජනරංජනයි එළියට බහිනවා. පුංචි බීම් එක ඇතුළෙ සෙනග පිරිලා ලයිට් දාලා, කැමරා අල්ලගෙන අලුත් වැඩක්. අපේ රේඩියෝ වැඩසටහන ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නිල ෆේස්බුක් පිටුව ඔස්සේ සජීවීව විකාශය කරනවා.

වර්තමානයේ කිසිදු මාධ්‍යයක් හුදෙක් ඒ මාධ්‍යයට පමණක් සීමා වෙන්නෙ නැහැ. වර්තමානයේ තියෙන්නෙ බහු මාධ්‍ය අවකාශයක්. ප්‍රධාන මාධ්‍යය රේඩියෝ වුණත්, ඒකත් වෙබ් අඩවි, වීඩියෝ වගේ දේ එක්ක සම්බන්ධ කරන්නට පුළුවන්. සුදර්ශන ගුණවර්ධන උත්සාහ කරන්නෙ එහෙම වැඩක් කරන්න. රේඩියෝව රේඩියෝවෙන් එළියට ගන්න. මේ කරන අත්හදා බැලීම් රාජ්‍ය අංශය තුළ ඉතා වැදගත්. හරියට යමක් කර පෙන්වනවා නම් ඒ ඔස්සේ ප්‍රමිති නිර්මානය කරන්නට රජයට පුළුවන්. එතකොට වෙනම නියාමන යාන්ත්‍රණයන් අවශ්‍ය නො වෙන්නටත් පුළුවන්.

පහත වීඩියෝ දෙකට මම හරි කැමතියි. ඒකෙ ඉන්න තරම් මං කළු නෑ හලෝ. ලයිට් දාපු කට්ටිය මාව හරියට ලයිට් කළේ නැහැ. ඒකයි. මේ වීඩියෝ දෙක ඔස්සේ රේඩියෝ වැඩසටහන් විකාශය වන මැදිරියක් තුළ සිදු වන නාට්‍යමය ජවනිකාත් බලන්නට පුළුවන්. රේඩියෝ බලන එකත් හරි අපූරු වැඩක්.

දැන් ඉතින් මේකට ශාස්ත්‍රීය විග්‍රහ කරන්න යන්න එපා. සතුටින් බලන්න බැරිනම් නිකම් ඉන්න. කොහොම වුණත් කමක් නැහැ, සතුටු වෙන්නට පුළුවන් විදියට ජීවත් වෙන්න.

(විශේෂ ස්තුතිය සුදර්ශන ගුණවර්ධනට. මම වගේ අයට සාමාන්‍යයෙන් වැඩිය කවුරුවත් අවස්ථාවක් දෙන්න කැමති නැහැ. හේතුව මේ බ්ලොග් එක ම තමයි ඉතින්. ජීවිතේට මගෙත් එක්ක වචනයක් කතා කරපු නැති අය පවා ජන්මාන්තර වෛරක්කාරයන් වෙලා තියෙනවා මේ බ්ලොග් එක නිසා. ඒත්, සුදර්ශන ලෝබ නැතුව බොහෝ අයට අවස්ථා ලබා දෙමින් ඉන්නවා. දක්ෂයා අනෙක් අයට බය නැහැ. ඔහු දන්නවා වෙන කෙනෙකුට ඔහු වෙන්නට බැරි බව.)






ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. අහා, මතක මංපෙත් දිගේ ....
    මුල් හරිය බොහොම ලස්සනයි. එක හුස්මට කියෝගෙන, කියෝගෙන ගිහින් මෙන්න මෙතනට ආවා. හුටා!

    //ඒකෙ ඉන්න තරම් මං කළු නෑ හලෝ//

    ඇයි කළු නං අවුල්ද? නෑ , නොකිව්වට කාරි නෑ, මං නං උපන්දා ඉඳලම "අවුල්"

    ReplyDelete
  2. පැරා,

    මේකනම් අපුරුයි ඔබට සුභපැතුම්!

    පහල තියන ලින්ක් විනෝදය සදහාම දාපු ඒවා, ඔබට හිතෙනවනම් මෙය සුදුසු නෑ කියල මේ කොමෙන්ටුව Publish නොකලත් කමක් නෑ මෙය ඔබ පමණක් බැලුවත් ප්‍රමාණවත්.

    මෙහි කිසි අසභ්‍ය දෙයක් නොතබුනත් ඔබට ප්‍රශ්නයක් වෙයි කියලා හිතෙනවනම් පබ්ලිෂ් කරන්න එපා.

    https://www.youtube.com/watch?v=V6HemLpCQsE

    https://www.youtube.com/watch?v=s2LjintHDf0

    ReplyDelete
    Replies
    1. දෙවෙනි එක ක්‍රියේටිව්

      Delete
    2. මාත් හිතනවා දෙවෙනි එක ක්‍රියේටිව් කියල.

      " ක්‍රියේටිව්" කිව්වම මතක් උනේ අද මගේ තාත්තා මගෙන් අහනවා මොනවද හොද ටෙලිනාට්ටි කියල? ඔහු රුපවාහිනිය බලල මට කියනවා කිසිම වැඩකට ඇති දෙයක් නෑලු, මම කිව්වා කුබියෝ සහ ඉසුරු යෝගය කියල, ඉසුරු යෝගය නම් මම කීපයයි බලල තියෙන්නේ, මට මේ දෙකට අමතරව වෙන මොකුත් හම්බවෙලා නෑ මොකද මම රුපවාහිනිය නරබන්නේ නෑ බොහෝවිට මම බලන්නේ පරිගහනකයෙන් නිසා, මට හොද ඒවා තිබුනානම් මගහැරෙන්න ඇති.

      හැබයි අද මම දකින දෙයක් තමයි පැරණි `සිනමා වල තමයි 1960 1970 දශක වල තමයි ක්‍රියේටිව් දේවල් වෙලා තියන්නේ, 1990 දසකයේ සිට මේ දක්වා නිපදවල තියන සිනමා වලින් ක්‍රියේටිව් දේවල් වල ලොකු අඩුවක් තියනවා.

      Delete
  3. බීබීසී සිංහල සේවයයි ප්‍රියත් ලියනගේ ගැනයි කියනකොට පරණ කාටුනයක්‌ මතක් උනා. පොලිස් කාරයෙක් අහිංසක මිනිහෙකුට ගහනවා. මිනිහා පොලිස්පතිට පැමිණිලි කරනවා.පරීක්ෂණය සඳහා පැමිණිල්ල නියෝජ්‍ය පොලිස්පතිට-ප්‍රාදේශීය පොලිස් අධ්කාරිට- ස්ථානභාර නිලධාරියට අතින් අත ගිහින් අන්තිමට අර මිනිහට අල්ලාගෙන තඩිබාපු පොලිස් කාරයගේ අතට එනවා. පොලිස්කාරය මිනිහ හොයාගෙන ගිහින් "තෝ නේද යකෝ මට විරුද්ධව පැමිණිලි කරේ" කියල අහලා අර මිනිහට ආපහු ගහනවා.

    ReplyDelete
  4. Well done Ajith . You are a good communicator,clear and precise .

    ReplyDelete
  5. කළු වුනාට කොල්ල හැඩයි: හැඩ කෙල්ලෙක් එක්ක ඉන්නකොට තවත් හැඩයි.
    මෙහෙමත් කියමු: මගේ මේ ව්‍යායාමය හුදෙක් මගේ බ්ලොග සඳහාම නොවේ. මට ඉරිසියා කරන්නවුන්ගේ රුධිර පීඩනය ඉහල නැංවීම සඳහායි.

    ReplyDelete
  6. ඩොටේ හිටියද කොඩිගහ යට හිටියද කියල වෙනසක් නැහැ. පැරා කියනා කාලේ අවස්තාව ලැබුනේ දක්ෂයාට නෙවෙයි , සම්බන්ධකම් වැඩි කෙනාට. නමුත් අද තත්වය වෙනස්. තමන්ගේ නිර්මාණය ජනගත කිරීමේ අවස්තාව දෙනෙකුටම තියෙනවා අන්තර්ජාලය හරහා. තමන්ව මාකට් කරගැනීමේ හැකියාව තියෙනවා ඩේටා ටිකක් වැය කරාම.

    මම නම් හිතන්නේ පැරා ට අද අවස්ථාව එන්නේ වෙන කිසි දෙයක් නිසා නෙවෙයි මේ බ්ලොග් එක නිසා. නමුත් මේ බ්ලොග් එක ඒ තත්වයට ගෙන එන්න කරපු කැපවීම කාටවත් පෙනෙන්නේ නැහැ. සමහර විට දවසට පොස්ට් දෙක ගානේ. කාලය ඩේට විතරක් නෙවෙයි, නිර්දය විවේචකයන් ගෙන් එන පීඩනය.
    ආඩම්බරයි පැරා.

    ReplyDelete
  7. රේඩියෝ හීන පාසලේ රේඩියෝ සේවයෙන් එහාට ගෙනියන්නමටත් බැරිවුනා, ඒකට තල්ලුවක් ඕන වුනත් එහෙම තල්ලුවක් ගන්න කෙනෙක් හිටියේ නෑ. ඉතිං ඔහොම අත ඇරලා ඉන්නකොට තමා රුපවාහිනියේ හඬ කැවීම් අංශයට සම්බන්ධ වුනේ කාලයක් එකේ පොඩි පොඩි කෑලි වලට හඬ කව කවා හිටියා කාටුන් වල, එත් අතේ සල්ලි නැති වෙනකොට කොළඹ යන්න බැරි නිසා ඒක නැවතුනා . ඊට පස්සේ ඕවා හිතෙන අත ඇරිලා වෙනම පැත්තකට දුවන්න වුනා. ඒ වුනාට සැබෑ නොවෙනා හීන හරි මිහිරියි නේ පැරා.

    ඒක නෙවී ඔයා ඔකේ පෙන තරං කළු නෑ වගේම අර ගෑල්ලමයා ඔය පේන තරං සුදුත් නැද්ද අප්පා :(

    ReplyDelete
  8. අජිත් අයියා, කාලයක් බ්ලොග් ලොව හොල්මන් කරපු සරසා, මයුරේ, කුදලේ සහ වමේ සෙට් එක කෝ දැන්? අජිත් අයියලා මා⁣ර ගේමක් දීලා වගේ. වම සෙට් එකේ වෙබ් සයිට් එකත් ලංකාවේ බ්ලොක් කරලා දාලා අජිත් අයියලා සුද්දයක් දෙන්න වගේ යන්නේ. බලාගෙන අජිත් අයියා පරිස්සමෙන්. ඕකුන් රජ ගේම් කාරයෝ.

    ReplyDelete
  9. වර්තමානයේ ගුවන් විදුලි ආයතනවල වෙබ් අඩවි ප්‍රවෘත්ති, විනෝදාශ්වාද, උත්සව, උපදේශන, ළමා අංශ, බ්ලොග් යනාදී දේවල්වලින් සමන්විත යි.

    පැරා, ඔබට පුළුවන් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා වෙබ් අඩවියේ බ්ලොගයක් ලියන්න.

    ReplyDelete
  10. අජිත් පැරකුම් ජයසිංහ නමැත්තාගේ 'චූන් එක' සඳහා ලාංකීය වැඩ කරන ජනතාවගේ රාජ්‍ය දේපළ නාස්ති කළ යුතු ද? මෙය පැහැදිලි ව ම රාජ්‍ය දේපළ අවභාවිතයකි. වැඩකරන ජනතාවනි, අජිත් පැරකුම් ජයසිංහට එරෙහි ව නැඟී සිටිමු. වම සදා ඔබ සමඟ යි.

    වම

    ReplyDelete
  11. ඔබතුමා මේ ළගදි දවසක බම්බලපිටියෙ ස්ටේශමෙ පාලම උඩ හිටියද????ඔය වගේම කෙනෙක් හිටියා අප්පා,,,,,

    ReplyDelete
    Replies
    1. මාත් ඔයා වගේ ම රස්තියාදුකාරයෙක් තමයි. ඔව් මං දවසක් හිටියා තමයි හවස පහමාරට විතර වගේ සමුද්‍රදේවි එනකල්

      Delete
    2. අඩේ මාත් යන්නෙ ඒකෙනෙ. මන් මූන දිහා බැලුවා ඔබතුමා අහක බලා ගත්තා ඉතින් මන් හිතුවා වෙන ඩයල් එකක් වෙන්න ඇති කියලා. ඇත්තට දැකලා නැති නිසා ෂුවර් එකක් තිබ්බෙ නෑ. නැත්තම් කතා කරනවා අපරාදෙ

      Delete
    3. මූණ බැලුව නම් මං අඩු ගානෙ හිනාවත් නො වී හිටියෙ මං වෙන ලෝකෙක ඉන්න ඇති. මං හැමදාම සමුද්‍රෙ යන්නෙ නැහැ. කලාතුරකින් තමයි යන්නෙ. නැවත දැක්කොත් කතා කරන්න.

      Delete
  12. ඒකෙ ඉන්න තරම් මං කළු නෑ හලෝ (අර කෙල්ල සුදු වැඩියි එකයි මං කළුවට පෙනෙන්නේ)

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා