රනිල් බැඳුම්කර කොමිසම ඉදිරියේ ඇඹරීම දෙවෙනි වන්නේ මහින්ද ජනෙල් පඩි උඩ නැගීමට පමණි

අගමැති රනිල් වික්‍රමසිංහ බැඳුම්කර කොමිසම හමුවට සාක්කි දෙන්නට කැඳවීම අවාසනාවන්ත තත්වයකි.

හේතුව ඔහු මේ රටේ ආර්ථික සංවර්ධනය සම්බන්ධයෙන් යම් දැක්මක් තිබුණු නායකයකු වීමයි. ඔහු මෙවැනි මතභේදකාරී ගනුදෙනුවක පැටලීම මහින්ද රාජපක්ෂට වූ දෙය ම වැනි එකකි.

යුද්ධය කුමන හෝ මාර්ගයකින් අවසන් කිරීමට සමත් වූ, දේශපාලනයේ සුසමාදර්ශීය වෙනසක් සිදු කළ නායකයකු වූ මහින්ද රාජපක්ෂ ඔහු ඉදිරියේ රට ගොඩනැගීමට තිබුණු අවස්ථාව අහිමි කර ගත්තේ යම් සේ ද, රනිල් වික්‍රමසිංහ ද මෙම සිද්ධිය නිසා සිය අනාගත විභවයන් අහිමි කර ගත්තේ ය.

එය රටේ අවාසනාව වන්නේ යම් හෝ ආර්ථික දැක්මක් ඇති වෙනත් නායකයකු රටෙහි නැති වීම නිසායි.

කෙසේ වෙතත්, මෙම ගොඩනැගීම එක්තරා ආකාරයකට වැදගත් ය. වත්මන් පාලනය බලයට ගෙනෙන විට ම අප බලාපොරොත්තු වූ දෙයක් වූයේ නායකත්වය වෙනුවට ආයතන ශක්තිමත් වීමයි. එහෙත් නායකත්වය මෙතරම් දුර්වල වනු ඇතැයි ද, ආයතන මාෆියා ලෙස වර්ධනය වනු ඇතැයි ද අප බලාපොරොත්තු වූයේ නැත.

අද වන විට රාජ්‍ය ආයතනවල ස්වභාවය තේරුම් ගත හැකි කදිම නිදර්ශනයකි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව. පසුගියදා ඇති වුණ තෙල් අර්බුදය තනිකර ම ඔවුන්ගේ නිර්මාණයකි. ඒ පිළිබඳව ඇති තරම් ලියැවී ඇති නිසා නො ලියමි.

මෙතැනින් ඉදිරියට යන්නේ කෙසේ ද යන්න ගැන කල්පනා කරන පුරවැසි ව්‍යාපාර විසින් අවධානය යොමු කළ යුතුව තිබෙන පැතිකඩ දෙකක් කෙරෙහි අවධානය යොමු කරමි.

පළමුවැන්න, වත්මන් නායකත්ව දුබලතාව පාවිච්චි කරමින් ඒකාධිපතියකු මතු වීමට තිබෙන ඉඩ පාලනය කර ගැනීමයි. වත්මන් නායකත්වයේ දුබලතා නැති කර ගත් ශක්තිමත් ප්‍රජාතාන්ත්‍රික පාලනයකට මිස ඒකාධිපතියකුට මතු වීමට ඉඩ දිය යුතු නැත.

දෙවැන්න අතීතයට නො යාමයි. සරලව කිවහොත් මහින්ද රාජපක්ෂට නැවත ඉඩ නො දීමයි.

මොනවා කීවත්, එක ම ජනප්‍රිය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ පමණක් බව දැන් දැන් නැවත නැවතත් ඔප්පු වෙමින් තිබේ. ගෝඨාභය වැනි චරිතවලට මහින්ද සෙවණේ මිස අනාගතයක් නැත. අනෙක් පැත්තෙන් මහින්ද ද ගෝඨාභයට ඔහු අභිභවා යන්නට දෙන්නට තරම් අනුවණ අයෙකු නො වේ.

රාජපක්ෂලාගේ පොහොට්ටු සෙල්ලම අවසන් වන්නේ පළාත් පාලන මැතිවරණයෙනි. මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ලෙස මැතිවරණයට සූදානම් වන්නට මුල පුරා ඇති බව පෙනේ. පොහොට්ටුව ශ්‍රීලනිපය දෙකට කඩා අවසානයේදී තුන්වන තැනට පත් වන්නට ද යම් ඉඩක් ඇත. දෙවෙනි තැන ගත්තත්, එය පොහොට්ටුවේ අවසානය ම ය.

අප ඉතා පරීක්ෂාවෙන් ඉදිරිය වෙත ඇස් කණ් යොමාගෙන හරි තැනදී හරි ආකාරයට මැදිහත් විය යුතු ය. අප යයි කියන්නේ කවුරුදැයි අහන්නට පෙර මෙසේ කියමි. අප කියන්නේ පක්ෂ හා දෘෂ්ටිවාදී දේශපාලනයට ඉදිරියෙන් සිටින නිදහස් මතධාරී, ඉදිරිගාමී ජනතාවයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. "ඔබ" එක්සත් ජාතික පක්ෂය තෝරා නොගන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. අංක එක එහෙම ආරාධනයක් ලැබිලා නැහැ. ගම් මට්ටමේ ශාඛා සංවිධානවල ඉඳලා වැඩ කරන්නට තරම් අපි බාල නැහැ.

      පස්සෙන් නො යන්න හේතුව මේක. පක්ෂ වෙනුවෙන් වැඩ කිරීම තේරුමක් නැති දෙයක්. අරමුණක් වෙනුවෙන් වැඩ කරන එක නිදහස්. කාටවත් බැඳීම් නැහැ.

      අනෙක දේශපාලනයෙන් ඉදිරියට යාමේ උන්නතිකාමයක් මට නැහැ. වැඩක් කරන්නට කවුරුහරි කතා කළොත් කරනවා. දැනුත් එහෙම තමයි කරන්නෙ.

      Delete
    2. වැඩක් කරන්නට කවුරුහරි කතා කළොත් කරනවා. දැනුත් එහෙම තමයි කරන්නෙ......//////

      මොනවගේ වැඩක්ද දැන් මේ සදහා ඔබතුමාට කරන්න පුළුවන්

      Delete
    3. මේ සඳහා වුණත් කළ යුතු දේ තමයි අප කරමින් ඉන්නෙ. හැබැයි ඉතින් අතින් අරන් ---- තියාගන්න කට්ටිය ඉරා ගන්න ඒවා මහන්න අපට බැහැ.

      අනෙක් කාරණේ මෙන්න මේක. මේ ආණ්ඩුව කවදාවත් අප වගේ අයගෙන් ඔය ප්‍ර‍ශ්නෙ කොන්ද කෙළින් තියාගෙන අහන්නෙ නැහැ. හේතුව, උන් දන්නවා උන්ට වඩා හොඳට අපට ඔය ආණ්ඩුව වුණත් කරන්නට පුළුවන් බව.

      Delete
  2. සොරී වුනත් තව අවුරුදු දෙක තුනක් යනකම් වෙන විකල්පයෙක් නෑ, රනිලම තමා.යුන්පි තුන් වෙනි පේලියේ දැක්මක් ඇතිවුන පහක් හයක් හිටියත්, දෙවෙනි පේලියට මාරුවෙන්න ????

    ReplyDelete
  3. අර්ජුන් මහේන්ද්‍රන් යනු රනිල් වික්‍රමසිංහගේ නිවැරදි තෝරාගැනීම නොවන බව "වැරදි සිදුවී ඇතිමුත් යහපාලනය ඉදිරියටම යනබවට" සාක්ෂි දීම අවසානයේ කොමිසමෙන් එළියට පැමින කරන ප්‍රකාශයෙන් පෙනෙනවා. බැඳුම්කර වරද කරුවන්ට නිසි දඬුවම් ලැබීමට සැලැස්වීම සහ මුදල් අයකරගැනීම යහපාලන ආණ්ඩුවේ පැවැත්මට ඒකායන මාර්යයි. චන්ද්‍රිකාගේ වචනවල ඒ තරම් බරක් නැතත් වත්මන් අගමැති සහ ජනාධිපති යන දෙදෙනාම හොරුන් නොවන බවට කරන ප්‍රකාශය ඒ කිසිවකුගේ බැතිමතුන් නොවන අයට අස්වැසිල්ලක්.

    ReplyDelete
  4. රනිල්මොන වැරැද්ද කරත් හොරකන් කරන්නෑ. බැඳුම්කර ගහපු පලවෙනි ආණ්ඩුව මේක නෙවෙයි . විනිවිද පෙන්නන්න ගිහිල්ලා හිල්වෙලා වැක්කෙරන්කන් දන්නෑ. ඒකෙ වාසිය ගත්ත මහින්දහේ සාටකේ බෙල්ලේ ඔතාගෙන අසූචි ගිලින එවුන් කෑගහනවා.
    විචාරක දියණිය

    ReplyDelete
  5. "නායකත්වය වෙනුවට ආයතන ශක්තිමත් වීමයි"
    ඔබේ ලිපියේ මට වැඩියෙන් දැනුනෙ මේ කොටස.
    ලංකාවෙ ජන ජීවිතයෙ හැම උලව්වකටම දේශපාලකයෙක් අවශ්‍ය ඇයි?අඩු ගානෙ උප්පැන්න සහතිකේ පිටපතක් ගන්නත් අඩු ගානෙ පංසලේ හාමුදුරුවො සම්බන්ධ කර ගන්න වෙනව. දැන හැඳුනුකමක්, හෝ ඉහල බලයක්,හෝ පගාවක් නැතුව සාමාන්‍ය වැඩක් වත් සාමාන්‍ය මිනිහට කරගන්න බැහැ.ප්‍රජාතන්ත්‍ර වාදී රාමුවක් යටතේ ගොඩ නැගුනු ආයතන ව්‍යූහයක් නැහැ. බිම් මට්ටමේ 'හිටං' මේව ගොඩ නගන්න වෙලා.

    ReplyDelete
  6. ai oya නිදහස් මතධාරීන් ජනතා විමුක්ති පෙරමුණේ පිරිසිදු දේශපාලනය amathaka karala thiyenne

    ReplyDelete
    Replies
    1. මට ජනතා විමුක්ති පෙරමුණ ගැන අවුරුදු 35ක විතර හැදෑරීමක් තිබෙනවා. එයින් සැලකිය යුතු කොටසක් සහභාගිත්ව පර්යේෂණයක්. ජවිපෙ දේශපාලනය පිරිසිදුයි කියන එක මොකක් හෝ හේතුවක් මත ඒ පැණි හැළියට වහ වැටී සිටින පිරිස විතරක් කියන බොරුවක්. නායකයන්ගෙන් වැඩි දෙනෙකුවත් ඒක විශ්වාස කරන්නෙ නැහැ.

      Delete
  7. අනිල් අපිත් ඔබ සමගයි..
    එකගයි
    විකල්පයක් නොමැත..

    ReplyDelete
  8. දෙවැනි තැන ගත්තත් පොහොට්ටුවේ අවසානය වන්නේ ඇයි?

    ReplyDelete
    Replies
    1. පළමු තැන එජාපය වන නිසා ය.

      Delete
  9. පැරදුණ අය ජනෙල් පඩියෙන් අත දමා ඇමතුවට වඩා කොමිසමට ගිහිං ආපසු එද්දී "අපි යහපාලනය ඉදිරියටත් ගෙන යනවා " කිව්වා එකනම් වැදුනා .

    ReplyDelete
  10. parakum why dont you contest from unp? you are sucking up to ranil..disgrace

    ReplyDelete
  11. පැරා කොහොම හරි එතනත් රනිල් ව උඩින් තිබ්බා නේද? ලැජ්ජා නැද්ද බං?

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා