මගේ කාටුන් කලාව

අතපත ගාන්නට පටන් ගත්තෙ කොන්ඩම්වලින්  
වසර 2017 උදා වුණේ අක්ෂර මාධ්‍යයක පළ වූ මගේ පළමු සම්මුඛ සාකච්ඡාව කියවමින්.

ඔබත් කැමති නම් කියවන්න >>> එළියකන්ද වධ කඳවුරේ සිටි අජිත් පැරකුම් ජයසිංහ

සාමාන්‍ය පුරවැසියකු වන මගේ ජීවන අත්දැකීම් පණ්ඩිතයන්ට කෙසේ වෙතත්, අප වැනි බහුතර පුරවැසියන්ට වැදගත් විය හැකි නිසා සාහිත්‍යයකට නැගිය යුතු ය කියන අදහසේ මම කාලෙක ඉඳලා ඉන්නවා. ඒත් ඉතින් දරු පවුල් නඩත්තු කරන්නට දෛනික වැටුපට වැඩ කරන කම්කරුවන් වන අපට වැඩට යන්නට ගත වන කාලය හා වැඩ කිරීමට ගත වන කාලය හැරුණාම ඒ වගේ වැඩකට කාලය සොයා ගන්නා එක ලේසි නැහැ. ඒ වුණත්, එළියකන්දේ කතාවෙන් මේ වැඩේ පටන් ගන්නට බලාපොරොත්තු වෙනවා. 

2016 වසරේ මම මේ බ්ලොග් එකේ ලිපි 327ක් පළ කළා. එයින් 50ක් විතර විවිධ පුවත්පත්වලට ලියපුවා.

කියන්නසිංහල හා ඉංග්‍රීසි ලිපි 110ක් විතර ලිව්වා.

සති අන්තයේ අවම 10ක් ගණනේ සිලෝන් ටුඩේ පත්තරේට විශේෂාංග ලිපි 500ක්වත් පරිවර්තනය කරන්නට ඇති.

මගේ පැත්තෙන් මෙන් ම අදාළ ආයතනය පැත්තෙන් ද සිදු වුණ අනවබෝධයන් ගොඩක් මැද්දේ ජනමාධ්‍ය ප්‍ර‍තිව්‍යූහගතකරණය සඳහා වන ලේකම් කාර්යාලය වෙනුවෙන් ‘ජනතාවට වග කියන මාධ්‍ය කර්මාන්තයක් උදෙසා - ශ්‍රී ලංකාවේ ජනමාධ්‍ය ක්ෂේත්‍ර‍ය හා වෘත්තිය නඟා සිටුවීමට සැලැස්මක්' කියන පිටු 250කට වැඩි වාර්තාවත් පරිවර්තනය කළා. ඒක මෙතැනින් කියවන්නට පුළුවන්.

තව වචන 20,000ක විතර සංස්කාරක මාර්ගෝපදේශ සංග්‍ර‍යක්, නිර්මාල්ගේ අලුත් ම තිසීසය ඇතුළු ශාස්ත්‍රීය ලේඛන ගණනාවක්, කාර්තුවකට වරක් පළ වන සමාගම් පුවත්පතක් ආදියත්, ඔප්පු තිරප්පු සහතික ආදී සිරම් බිරම් පරිවර්තන ගොන්නකුත් කළා. ලිවීම එක ම වෘත්තිය කර ගත් මුල් කාලයේ එතරම් තේරීම් කිරීමේ හැකියාව තිබුණෙ නැහැ.

මම ලේඛකයෙකු ය කිව්වොත් සමහරුන්ට කේන්ති යන නිසා මෙහෙම කියන්නම්. මම වෘත්තීය වශයෙන් ලියන කම්කරුවෙක්. මේ අවුරුද්දෙ මම උපයපු හැම සතයක් ම ඉපැයුවේ ලියලායි. ඒ වගේ ම මුදල් උපයන්න ලිව්වා වගේ තව ගුණයක් නිකම් ද ලිව්වා. ඒකත් ඔය වෙළඳ ප්‍ර‍චාරණයෙදි වගේ වචන දෙකක් තුනක් ලියලා ලක්ෂ දෙකක් තුනක් ගන්නවා වගේ නෙමෙයි. වචන ගානට, පිටු ගානට දුෂ්කර ක්‍රියා කරලායි. බස්වල, කෝච්චිවල තෙරපිලා, දවස පුරා වැඩ කරලා අමාරුවෙන් ජීවත් වුණාට මට නම් ජීවිතේ එහෙම දුකක් ය කියලා දැනෙන්නෙ නැහැ. සාමාන්‍ය ප්‍රීතිමත් ජීවිතයකට ප්‍ර‍මාණවත් විධියට මම මුදල් ඉපැයුවා. අනාගතය වෙනුවෙන් පුංචි ඉතිරියකුත් කරන්නට අවශ්‍ය නිසා ඒකත් කළා. ණය නැහැ. ලොකු වාහන, ඉහළ පෙළේ කෑම බීම, පිටරට සවාරි ආදිය අත්පත් කර ගන්නට මට බැරි නිසා ඒවා මගේ අපේක්ෂා ලැයිස්තුවේ නැහැ. පවුලත් එක්ක සතුටින් ජීවත් වුණා. මිතුරු සමාගමයට ලැබුණ වෙලාව නම් මදි වගේ. මගට ගත වන කාලය වැඩියි නේ. ඒ වුණාට පුළු පුළුවන් විදියට බස් එකේදි පොත් ටිකක් එහෙමත් කියෙව්වා.

අවසානයේ ගත්තාම කම්කරුවකු වන මම මේ අවුරුද්ද ගත කළේ සතුටින්. මා වගේ ලොකු අපේක්ෂාවන් නැති කම්කරුවන් බොහෝ දෙනෙකු අපේ ගම්වල, මගතොටේ නිතිපතා මට හමු වෙනවා. ලොකු අපේක්ෂා නැතිව සාමාන්‍ය විධියට ජීවත් වුණ බොහෝ දෙනෙකු මම දන්නා තරමින් නම් සතුටින් ජීවත් වුණා. බේබදුකම, ලෙඩ රෝග, ස්වාභාවික ආපදා වැනි දේවලින් ඇතැමෙකුට කරදර වුණා. ජීවිතේ කියන්නේ දුක, සතුට දෙක ම එකට වියාපු රටා පැදුරක්. අපි ඒක උඩ ඉපදී, සැතපී, මිය යනවා. එච්චරයි.

වසර 2016 අන්තිම හරිය වන විට මම බොහෝ පරිවර්තන කටයුතු සම්බන්ධ වගකීම්වලින් ඉවත් වුණා. රසවත් හා හරවත් වැඩ විතරක් තවමත් කරන බව කියන්නේ එහෙම දේවල් කරන්නට අවශ්‍ය අය වෙනුවෙන්. ලබන අවුරුද්දෙ මා හිතාගෙන ඉන්නෙ නිර්මානාත්මක ලේඛනය පැත්තට වැඩි අවධානයක් යොමු කරන්නටයි. ජීවත් වෙන්න අවශ්‍ය තරමට විතරක් වෙනත් ඒවා ලියනවා.

මේ බ්ලොග් එකට ඒක අදාළ නැහැ. හේතුව, මේක මම කරන්නේ මගේ දේශපාලන වගකීමක් ලෙස සලකායි. (මේ වෙනුවෙන් මට ලැබෙන බව කියන ඩොලර්, යුරෝ, රුපියල් ආදිය තවම ලැබී නැති බැවින් හැකි ඉක්මණින් ලැබෙන්නට සලස්වනවා නම් හොඳ ය.)

ඒ අතරෙ ගිය අවුරුද්දෙ මගේ ලොකු ම ජයග්‍ර‍හණය විදියට මම සලකන්නෙ මම අලුතෙන් අත ගහපු මෙන්න මේ වැඩේ. ඒක මගේ පුංචි කුසලතාවක් වැඩි දියුණු කර ගන්නට කළ වැඩක්. කුසලතා ගොඩනගා ගැනීම ජීවනෝපායට වුණත් වැදගත්. කාටුන් එකක් ඇඳීම වුණත් මිනිස් සිරුර, වෙනත් වස්තු, අවකාශය, ආලෝකය, වර්ණ, රේඛා ගැන කරන එක්තරා කියවීමක්. මේ එකතුව මම පළ කරන්නෙ මගේ සතුට මිතුරු ඔබත් එක්ක බෙදා ගන්නටයි. පිළිවෙලකට නෙමෙයි දාලා තියෙන්නෙ. අන්තිමට ඇන්දේ අර නත්තල් කාටුන් එකයි. 

ඒවා එච්චර සිරා නැහැ. ඒ නිසා සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකුගේ කාර්යය මොකක් ද කියලා අවබෝධ කර නො ගෙන, මටත්, මගේ පවුලටත් සාප කරමින් කමෙන්ට් කරන අය තමන්ගේ ඩේටා පරිස්සම් කරගෙන නිකම් ඉන්න. මේ අවුරුද්දේ මට බැනලා දාන කමෙන්ට්වලට ඉඩ නැති බව ද කරුණාවෙන් සලකන්න. පෞද්ගලික අත්දැකීම් ලියන්නේ වෙන දෙයක් හින්දා නෙමෙයි, මාත් කැමති ඒ වගේ දේ කියවන්නට නිසායි. පුද්ගලයකුගේ අත්දැකීමක් කියන්නේ දැනුමක්. ඒක බෙදා ගැනීම ගැන ඒ පුද්ගලයාට බනින එක නෙමෙයි වෙන්න ඕනැ. තමන්ට ඒකෙන් ගත හැකි දෙයක් තිබෙනවා නම් ගන්නා එක. ලංකාවේ සිංහලෙන් කියවන ඇතැම් පුද්ගලයන්ට ඒ විනය නැහැ. ඒ වගේ ම මේ නව මාධ්‍යවල තිබෙන තවත් ප්‍රශ්නයක් තමයි, කවුරුහරි තමන්ගේ ආශාවේ වස්තුවෙන් ප්‍රමෝදයක් ලබනවා වගේ පෙනෙනවා නම් ඇනොනිමස් ඇවිත් කුණුහරුප කියලා, පවුලට, දරුවන්ට බැනලා ඒක නවත්වන්නට උත්සාහ කරන එක. මතක තියාගන්න මේ ඇනොනිමස් ගහලයන් කියන්නේ අමුතු කට්ටියක් නෙමෙයි, ඔය පොත් දොරට වැඩුම්, සම්මන්ත්‍රණ වගේ කොළඹ කවවල එහෙම හමු වෙන, ඉරිසියාව සඟවාගෙන හිනා වෙන, බොහොම අහිංසක මහත්මාකමකින් හැසිරෙන මිනිසුන් බව.

මං 2017ත් කාටුන් අඳින්නට බලාපොරොත්තු වෙනවා, වෙලාව ලැබෙන හැටියට. මට කොච්චර බැන්නත් මා මේ බ්ලොගය ලිවීම ඇතුළු දේශපාලන වැඩ නවත්තන්නේ නැත්තේ ඇයි ද කියන එක අර උඩ ලින්ක් එකේ දාලා තියෙන සම්මුඛ සාකච්ඡාවේ මම කියනවා.

(නාලක ගුණවර්ධන ඇතුළු මා දිරිගැන්වූ සැමට ස්තුතියි.) 


කුලියාපිටිය 



මැයි දිනය 

යහපාලනය 

බෝට්ටු ජනතාව 

මෝටර් සයිකල් අනතුරු 

ජාතික පාරිභෝගික මිළ දර්ශනය 
ජවිපෙ ගුනරත්නම්ව හඳුනන්නෙ නැහැනේ 

අලුත් අවුරුදු ක්‍රීඩා

පාර්ලිමේන්තුව

ළමා විවාහ 

නත්තල් 

මෙගාපොලිස් 


ස්ත්‍රී පුරුෂ සමාජභාවය පදනම් වූ ප්‍රචණ්ඩත්වය 

තනිකඩ මව්වරු
පවුල් පසුබිම් වාර්තාව
ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)