රතු ධනවාදය බිහි වෙන තුරු ජනතාව රවටමු ද? ඇත්තට මුහුණ දෙමු ද?

ආණ්ඩුවේ අයවැය යෝජනාවලිය විග්‍රහ කිරීමේදී අප විසින් සලකා බලනු ලබන කාරණා කීපයක් තිබේ.

ඒ අතරින් පළමුවැන්න අපට මේ ආණ්ඩුව වහා පෙරළා දැමීමට හෝ මේ සමාජ ක්‍රමය අවුල් කර දැමීමට හෝ අවශ්‍යතාවක් නැත. ආණ්ඩුවට වසර පහක් රට පාලනය කිරීම සඳහා ජනවරමක් තිබේ. එසේම, සමාජ ක්‍රමය අවුල් කර දැමූ පමණින් සමාජවාදය නිර්මානය වන්නේ නැත. සමාජවාදය යනු ඉබේ හැදෙන එකක් නොව, හැදිය යුතු එකකි. දැන් සමාජවාදීන් ලෙස පෙනී සිටින වාමාංශික පක්ෂ කිසිවකට ඒ සඳහා කටයුතු කිරීමේ ධාරිතාවක් නැත. ඒවායේ නායක කාරකාදීහු අංග සම්පූර්ණ දෙබිඩ්ඩෝ ය. ඔවුන්ට දේශපාලනය හා සැබෑ ජීවිතය දෙකකි. මේ දෙබිඩිකම නැති කර නො ගෙන සමාජ විප්ලවයකට මුල පිරිය නො හැකි ය.

පවත්නා ආණ්ඩුව පත් කර ගත්තේ කෘෘර ඒකාධිපතිත්වයකට එරෙහි දීර්ඝකාලීන අරගලයකිනි. පත් කර ගත් ආණ්ඩුව පරිපූර්ණ එකක් නො වේ. එහෙත්, ඔවුන් සාපේක්ෂ වශයෙන් වඩා ප්‍රජාතන්ත්‍රවාදී බව ක්‍රියාවෙන් ඔප්පු කර තිබෙන බව කුහකයින් නො වන ඕනෑ ම කෙනෙකුට පෙනේ. පෙරටුගාමී පුරවැසි බලවේග ලෙස අප උත්සාහ කළ යුතු වන්නේ ආණ්ඩුවේ සීමා මායිම් තුළ එයින් ඉටු කරවා ගත හැකි උපරිමය ලබා ගන්නට ය. ඒ සඳහා ඔවුන්ට උපකාර කළ යුතු තැන්වලදී උපකාර ද, විවේචනය කළ යුතු තැන්වලදී විවේචනය ද කළ යුතු ය. අපගේ උපායමාර්ගය එයයි.

අයවැය යෝජනා සලකා බැලීමේදී එහි එක් එක් කාරණා සලකා බැලිය යුතුව තිබෙන්නේ සමස්ත සංදර්භය තුළ ය. එම සමස්ත සංදර්භය නිර්මානය වීමේදී මහින්ද රාජපක්ෂගේ අන්ධකාර දශකයේ බලපෑම අති විශාල බව අප අමතක කළ යුතු නැත.

අයවැය සම්බන්ධයෙන් ආණ්ඩුව මුහුණ දෙන ගැටලු තේරුම් ගැනීමේ වගකීමක් පෙරටුගාමී පුරවැසියන්ට තිබේ.

පසුගිය දශක ගණනාවක් තිස්සේ සීමාවකින් තොරව ලබා ගන්නා ලද ණය ආපසු ගෙවීමේ වගකීම රජයට තිබේ. ශ්‍රී ලංකා රජය මේ වන විට විදේශවලට පමණක් ඩොලර් බිලියන 50කට වඩා ණය ය. ඒවා ගෙවීමට රජයේ සමස්ත වියදමෙන් 40%ක් පමණ වෙන් කෙරේ.

ලංකාව මුල් කාලයේදී විදේශ ණය ලබා ගත්තේ මහවැලි සංවර්ධන ව්‍යාපාරය වැනි නිශ්චිත ඉලක්කගත සංවර්ධන ව්‍යාපෘති සඳහා ය. ණයත්, නාස්තිය හා දූෂණයත් අතර සම්බන්ධය මහින්දගේ කාලයේදී උපරිමයට ළඟා විය. දැන් ණය ගැනීම වැඩි වශයෙන් සිදු වන්නේ සංවර්ධන ව්‍යාපෘතිවලට වඩා ගත් ණය ආපසු ගෙවීමට හා එදිනෙදා වියදම් පියවා ගැනීමටයි. මේ ආණ්ඩුව ද ණය ගැනීම අඩු කර නැති බව කිව යුතු ය.

මෙවැනි සංදර්භයක් තුළ ආණ්ඩුවට නත්තල් සීයා කෙනෙකු වීමේ හැකියාවක් නැති බව වටහා ගැනීමේ වගකීමක් ජනතාවට නැද්ද? 

ආණ්ඩුවට කළ හැකි දේ අතර තිබෙන ප්‍ර‍ධාන කාර්යයක් වන්නේ රාජ්‍ය වියදම් අවම කර ගනිමින් රාජ්‍ය සේවයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීමයි. පුළුල්ව විහිදුණු ධනේශ්වර රාජ්‍යයක් ගොඩනැගීම වෙනුවෙන් සමාජවාදීන් පෙනී සිටින්නේ ඇයි ද යන්න තේරුම් ගත නො හැකි කාරණයකි. රාජ්‍ය අංශය පුළුල් වෙන්නට, වෙන්නට ධනේශ්වර ආණ්ඩුවේ බලපෑම ද වැඩි වේ. එසේම, ජනතාව මත පැටවෙන බදු බර ද අති විශාල වේ. දූෂණය ද ඉහළ යයි. 

රාජ්‍ය අංශය ම මේ වන විට ආර්ථිකයට දැවැන්ත බරකි. දේශපාලකයාගේ සිට ඇට මහත්තයා දක්වා නිකමුන්ගෙන් පිරි රාජ්‍ය අංශයට වැටුප්, විශ්‍රාම වැටුප්, බදු සහන ආදිය ගෙවන්නේ දෙයියන් දුන් සල්ලිවලින් නො වේ. ලංකාවේ ආර්ථිකයේ බර දරා සිටින්නේ මේ කිසිදු වරප්‍රසාදයක් නො ලැබෙන මැද පෙරදිග රැකියා කරන ගැහැනු, පිරිමි, ඇඟලුම් කම්හල් කම්කරුවන් හා වැවිලි කම්කරුවන් ආදීන් බව නිරන්තරයෙන් සිහිපත් කළ යුතුව තිබේ.

පීඩිත පංතික ව්‍යාපාර සටන් කළ යුත්තේ මේ ජනතාවන් වෙනුවෙන් මිස ඔවුන් සූරා කන ධනපති,  දේශපාලක හා නිලධාරි පැළැන්තිය වෙනුවෙන් නො වේ.

නිකම් සිට මහජන මුදලින් පඩි හා විශ්‍රාම වැටුප් කන්නට රජයේ සේවයට බැඳීම අධෛර්යවත් කළ යුතු ය. රජයේ සේවය කාර්යක්ෂම කළ යුතු ය. විශ්‍රාම වැටුප් අහෝසි කිරීමට ඉඩ නො දිය යුතු ය. එහෙත්, රජයේ සේවකයන්ගේ විශ්‍රාම වැටුප සමාජ ආරක්ෂාවක් නැති පීඩිතයන්ට බරක් විය යුතු නැත. ඒ නිසා විශ්‍රාම වැටුප් විධිමත් කළ යුතු ය.

එසේම, රජයේ සේවකයන්ට ලබා දෙන වරප්‍රසාද රජයේ සේවයේ කාර්යක්ෂමතාව සමග සම්බන්ධ කළ යුතු ය. බදු සහන ආදී වරප්‍රසාද භුක්ති විඳිමින් ජනතාව පෙළන රජයේ සේවය වෙනුවට වචනයේ පරිසමාප්ත අරුතින් ම සේවයක් වන රාජ්‍ය අංශයක් ගොඩනැගිය යුතු ය.

මෙම කරුණු ටික පෙරදැරි කරගෙන ඔබ දෙස ම බලන්න. ඔබ පෙනී සිටින්නේ කුමක් වෙනුවෙන් ද? ලංකාවේ වාමාංශිකයන් හා විප්ලවවාදීන් යයි කියන අය පෙනී සිටින්නේ කවුරුන් වෙනුවෙන් ද?

පීඩිත පංතික ව්‍යාපාර යයි තමන් හඳුන්වා ගන්නා පක්ෂ, කල්ලි, කණ්ඩායම් මේ මොහොතේ පෙනී සිටින්නේ මධ්‍යම පංතියේ කාර් සිහිනය වෙනුවෙනි. පෞද්ගලිකව මෝටර් රියක් හිමි කර ගත හැකි මට්ටමට රට දියුණු වෙනවාට අපි කැමති ය. එහෙත්, පීඩිතයන්ට තිබෙන මූලික ප්‍රශ්නය කාර් නො වේ.

ඔවුන්ට පෝෂණය අවශ්‍ය ය.
නිවාස අවශ්‍ය ය.
රැකියා අවශ්‍ය ය.
දරුවන්ට අධ්‍යාපනය අවශ්‍ය ය.
සෞඛ්‍ය පහසුකම් අවශ්‍ය ය.
සමාජ ආරක්ෂාව අවශ්‍ය ය.
ගමනාගමනයට පොදු ප්‍රවාහන පහසුකම් අවශ්‍ය ය.
............................................

ආණ්ඩුව අවධානය යොමු කළ යුත්තේ ඒ වෙනුවෙන් ය. සහනාධාර දිය යුත්තේ අත්‍යවශ්‍ය අය වෙනුවෙනි. පොදුවේ සමාජයේ මිළ දී ගැනීමේ හැකියාව වර්ධනය කිරීම හා නිදහස් වෙළඳපොළ මෙහිදී ප්‍ර‍බල සාධක දෙකකි. ආණ්ඩුව නිදහස් වෙළඳපොළ මත යම් පාලනයක් ද පවත්වාගෙන යයි. එය ඔවුන් හඳුන්වන්නේ සමාජ වෙළඳපොළ ක්‍ර‍මයක් ලෙසයි. 

ලෝකයේ පවතින්නේ ධනේශ්වර ක්‍ර‍මයකි. ලංකාවට පමණක් සමාජවාදී වන්නට බැරි ය. හැම රෙද්දට ම නව ලිබරල්, නව ලිබරල් කිය කියා නැටුවාට මේ සමාජවාදීන්ට විකල්ප නැත. වාදයන් පසෙක තබා බැලූ කල ලංකාව සංවර්ධනය වෙන්නට නම් දේශීය හා විදේශීය ආයෝජකයන් දිරි ගැන්විය යුතුව තිබේ. ඒ වෙනුවෙන් ශ්‍ර‍ම වෙළඳපොළ ලිබරල් කරන්නට ද සිදු වේ. කම්කරු පංතියට එහි අහිතකර විපාක නැති බවක් මම නො කියමි. එහෙත්, සැබෑ කම්කරු පංතිය හා ගතානුගතික වෘත්තීය සමිති ව්‍යාපාරය අතර සම්බන්ධය අවම ය. ලංකාවේ වෘත්තීය සමිති යනු මධ්‍යම පංතික අවයවයකි. ඒවායේ නායකයන් කම්කරුවන් හඳුනන්නේවත් නැත. විදේශ ශ්‍ර‍මිකයන්, ගෘහ සේවකයන්, සාප්පු සේවකයන්, සනීපාරක්ෂක සේවා සමාගම් කම්කරුවන්, ඉදිකිරීම් කම්කරුවන්, ඇඟලුම් කම්කරුවන්, වතු කම්කරුවන් වැනි සැබෑ වැඩ කරන ජනතාවට දැනටත් ඔය වෘත්තීය අයිතිවාසිකම් කිසිවක් නැත. ඔවුන් සිතන්නේ රස්සාව ගැන මිස වෙනත් කරුණු ගැන නො වේ. පෞද්ගලික අංශයේ සෑම මට්ටමක ම පාහේ සේවකයන්ගේ තත්වය මීට වෙනස් නො වේ. 

මේ රටේ වාමාංශිකයන් සිතන්නේ ආණ්ඩු තිබෙන්නේ ජනතාවගෙන් බදු අය නො කර, ධනවතුන්ගේ හා පීඩිතයන්ගේ මුදල් මංකොල්ල කා, මධ්‍යම පංතියට නිකම් ඉඳිමින් ගන්නට වැටුප්, විශ්‍රාම වැටුප්, තීරු බදු රහිත වාහන, ගෙවල් ආදිය සපයන සරදියෙල් කෙනෙක් කියා ය. 

ඔවුන්ගේ සමාජවාදී පරමාදර්ශ වන චීනය, වියට්නාමය වැනි රටවල ආර්ථික ප්‍ර‍තිපත්ති හදාරන්න. මොවුන් බලයට පැමිණියහොත් කරන්නේ එයයි. ඒ වනාහි ප්‍ර‍ජාතන්ත්‍ර‍වාදයෙන් තොර, ඒකාධිපති රතු ධනවාදයකි. රතු නව ලිබරල්වාදයක් ලෙස ද එය හඳුන්වන්නට පුළුවන. ඔවුන්ට ඒ සඳහා පාර කපා දෙන්නට මේ රටේ ජනතාව සිය ජීවිත කාලකන්නි කර ගත යුතු නැත. 

අප විකල්ප වෙනුවෙන් අරගල කළ යුතු ය. එහෙත්, ජනතාවගේ ජීවිත කාලකන්නි නො කරන මූලික කොන්දේසිය ආරක්ෂා කර ගත යුතු ය. 

පහත පළ වන්නේ මේ රටේ වරප්‍ර‍සාද, සුබසාධනය, සමාජාරක්ෂාව අවම කම්කරු ප්‍ර‍ජාවක් ගැන ලිපි දෙකකි. 




මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)