2014-09-02

මැරුණු මිනිසුන් ගැන ගුණකථන කළ යුතුම ද?


ජීවිතය සම්බන්ධ වැදගත් කාරණය අප ජීවත් වුණ බව නො වේ.  අප ජීවත් වූ ජීවිතයේ වැදගත්කම තීරණය වන්නේ අප අනුන්ගේ ජීවිත සම්බන්ධයෙන් කර තිබෙන වෙනස්කම් මත ය. 
- නෙල්සන් මැන්ඩෙලා

ප්‍රභූන් තිදෙනෙකුගේ අවමංගල්‍යයන් සිදු වී තිබේ. එහෙම වුණා ම ඉතින් රටේ ජනමාධ්‍ය ගුණකථන ලියනවා ය. මැරුණු පොර මාර පොරක් කියා තමා ය ලියවෙන්නේ. ඉතින් අප ද එහෙම ම ලිවිය යුතු ද? විකල්ප දෙකක් තිබේ. එක්කෝ මැරුණු මිනිහාට පාඩුවේ සැතපෙන්නට දී නිහඬව සිටිය යුතු ය. නැතිනම් ඔහුගේ ජීවිතය ගැන ඇත්ත සමාලෝචනයක් කළ යුතු ය. 

මිනිසකුගේ ජීවිත යුතුකම කුමක් ද? මෙය සංකීර්ණ ප්‍රශ්නයකි. ඒ සම්බන්ධයෙන් මෙසේ යෝජනා කළ හැකි ය. පළමුව තමන් සතුටින් ජීවත් විය යුතු ය. දෙවනුව අනුන් සතුටු කිරීමට ද පුද්ගලයා සමත් වී තිබිය යුතු ය. එසේම, සමාජයේ සතුට චිරස්ථායීව පැවතිය හැකි අන්දමේ කැප කිරීමක් එම පුද්ගලයා කළ යුතු ය. එමගින් ඇතැම් විට පෞද්ගලික සතුට නැති වන්නට හෝ අඩු වන්නට පුළුවන. 

පුද්ගලයෙක් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වන්නේ මේ තුන්වන කාර්යය නිසා ය. 

මේ මැරුණු ප්‍රභූන් අතරින් එක් අයෙක් වචනයේ පරිසමාප්ත අරුතින් ම ලොක්කෙකි. ගැමි ප්‍රභූ පවුලකින් පැමිණ, කොළඹ ප්‍රභූ පාසල්වලින් අධ්‍යාපනය ලබා, කොළඹ ප්‍රභූ සමාජයෙන් කසාද බැඳ, පවුල් සම්බන්ධතා මත යම් යම් ලොකු ලොකු තනතුරු දැරූවෙකි. අදාළ තනතුරුවල රාජකාරි යම් වෘත්තික මට්ටමකින් කළ අයෙකි. වැටුප් ගෙවන රාජකාරිය හරියට කිරීමත් මේ රටේ මහ දෙයක් ලෙස සලකන සිරිතක් තිබේ. 

සෑම් විජේසිංහ කලක් පුවත්පත් පැමිණිලි කොමිෂම නම් රාජ්‍ය නොවන සංවිධානයේ ප්‍රධානියා විය. ඒ කාලයේ අපි හිරු පුවත්පතින් සිහල දමිළ කලා උළෙල සංවිධානය කළෙමු. පොලිසිය බලා සිටිද්දී සිහල උරුමය එයට පහර දුන්නේ ය. එය කලා උළෙලක් ලෙස සාර්ථක වූයේ නැත. සංවිධායකයන් ලෙස අප හැම විටම කල්පනා කළේ උතුරින් හා නැගෙනහිරින් එහි පැමිණි කලාකරුවන්ගේ ජීවිත ආරක්ෂා කර දෙන්නේ කෙසේ ද කියා ය. 

එහෙත් එය දේශපාලනික කාර්යයක් ලෙස සාර්ථක විය. සිහල උරුමය එල්ල කළ ප්‍රහාරය නිසා එයට දැවැන්ත ජාත්‍යන්තර ප්‍රචාරයක් ලැබිණි. අවසානයේ සිහල උරුමයට ත්‍රස්තවාදී ලේබලය ඇලවෙන්නටත් එය හේතු විය. සාම ක්‍රියාකාරිකයන් ජාතිවාදීන්ගේ ප්‍රහාර හමුවේ ගුටි කා පසුබසින පුරුද්ද පසෙක තිබියදී දෙමළ කලාකරුවන්ගේ ජීවිතාරක්ෂාව වෙනුවෙන් නව නගර ශාලාව අබියස ආත්මාරක්ෂාව වෙනුවෙන් සටන් කරන්නට අපට සිදු විය. දෙමළ සමාජයත්, ජාත්‍යන්තර ප්‍රජාවත් අප දෙස සාධාරණ ඇසකින් බැලුවේ අප සටන් කළේ ආත්මාරක්ෂාව වෙනුවෙන් නිසා ය. සුචරිත ගම්ලත්, ධර්මසිරි බංඩාරනායක, පරාක්‍රම නිරිඇල්ල ඇතුළු කලාකරුවෝ රැසක් එදා අප සමග එක් වී මේ අයුක්ති සහගත ප්‍රචාරයට එරෙහිව සටන් කළ හ. 

මෙම ප්‍රහාරය සඳහා පසුබිම හැදුවේ දිවයින පුවත්පතයි. සිහල දමිළ කලා උළෙල පොංගු තමිල් වැඩසටහන ලෙස නම් කර දැවැන්ත ප්‍රචාරයක් කළ දිවයිනට එරෙහිව අපි කරුණු සහිතව පුවත්පත් පැමිණිලි කොමිසමට පැමිණිලි කළෙමු. විභාගය වෙනුවෙන් දිවයින දිනපතා පුවත්පතේ කර්තෘ ඇතුළු පිරිසක් පැමිණ සිටිය හ. විභාගයේදී සෑම් විජේසිංහ විභාග කරන්නට පටන් ගත්තේ අපගේ පැමිණිල්ල නො වේ. මෙන්න බොලේ ටික වෙලාවක් යන විට අපට පෙනුනේ දිවයින පැමිණිල්ල වී අපි විත්තිකරුවන් වී සිටින ආකාරයයි. සෑම් විජේසිංහ අම්පයර් ද දිවයිනත් සමග එකතු වී බැට් කරමින් සිටියේ ය. ඔහු ද දිවයිනේ චෝදනා ම අපට එල්ල කරන්නට පටන් ගෙන තිබිණි. 

අතරමැද විවේකයකදී අපි පුවත්පත් පැමිණිලි කොමිෂමේ නිලධාරීන්ට පැමිණිලි කරමින් කීවේ අප මෙම විභාගයෙන් නැගිට යන බවයි. එහිදී ඒ නිලධාරීහු කලබල වූහ. අප නැගිට ගියා නම්, එය මේ රාජ්‍ය නොවන සංවිධාන පොල්කටු උසාවියට ගැටලුවක් වන්නට තිබුණු බැවින් එතැන් සිට නඩුව යම් ආකාරයකට සමථයකට ගෙන එන්නට උත්සාහයක් තිබිණි. අන්තිමේදී සති ගණනක් තිස්සේ හිරු කණ්ඩායමට එරෙහිව මුල් පිටුවෙන් කරන ලද ද්වේෂ සහගත ප්‍රචාරය වෙනුවෙන් දිවයින ඇතුළු පිටුවක කාටත් නො පෙනෙන පුංචි කොටුවක සමාව ගත්තේ ය. 

සෑම් විජේසිංහ රජයෙන් විශ්‍රාම වැටුප් දෙකක් ලබාගෙන අසු වූ කතාවක් ද තිබේ. 

බාලා තම්පෝ සමග ද අපි එකට කටයුතු කරන්නට උත්සාහ කර ඇත්තෙමි. ඔහු වනාහි රතු ඇඳ ගත් ධනේශ්වර ඒකාධිපතියෙකි. ඔහුගේ සමාගම වූ ලංකා වෙළඳ සේවක සංගමය යනු හාම්පුතුන් හා සේවකයන් අතර සාමූහික ගිවිසුම් සාකච්ඡා කරන තැරැව්කාර සමාගමකි. ඔහු කම්කරු නායකයකු ය කියන අය මුලින් ම කම්කරුවා කවුරු ද, නායකයා කවුරු ද යන්න විග්‍රහ කර ගත යුතු ය. වසර 60කට වැඩි කාලයක් තිස්සේ වයස අවුරුදු 92ක් වී මිය යන තෙක් ම තම්පෝ ලංකා කම්කරු සංගමයේ ලේකම් ය. ඔහු කිසි කලෙක දෙවෙනියකු නිර්මානය කළේ නැත. ඔහු ගැන කියන විට, ඔහු සිංහල හා දෙමළ ජාතිවාදයන්ට විරුද්ධව දැරූ ස්ථාවරය ගැන ගෞරවයෙන් සඳහන් කළ යුතු ය. 

බන්දුල විතානගේ සාමකාමී, අහිංසක කලාකරුවෙකි. ඔහු සමාජයට කළ හොඳක් මිස වරදක් ගැන සිහිපත් වන්නේ නැත. 

ඉහත සඳහන් කළ පුද්ගලයන් ගැන මේ දිනවල මාධ්‍යවල බහුලව ලියැවේ. අප විසින් ලියන ලද මේ සටහන සම්ප්‍රදායික ගුණකථනවලට වඩා වෙනස් ය. අප එය ලියුවේ එසේ ලියන අයටත්, ඉදිරියේදී මිය ගොස් එවැනි දේ ලියවා ගැනීමට අදහස් කරන අයටත් තමන් කරන දේ හා තමන්ගේ ජීවිතය ගැන නැවත කල්පනා කරන්නට ය. 

මිනිසාගේ පරම යුතුකම මිනිසාට සේවය කිරීම යයි එස්.ඩබ්.ආර්.ඩී. බංඩාරනායක කළ ප්‍රකාශය මෙහිදී සිහිපත් කරමි. සමාජයට සේවය කිරීම යනු වැටුප වෙනුවෙන් වැඩ කිරීමට වඩා දෙයකි.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.