2014-01-19

පාක්‍යසෝති සරවනමුත්තු ‍ඩොලර් විසිපහක් ඉල‍්ලා ලියමනක් එවා ඇත

අලුත් අවුරුද්දට සුබ පතන්න ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ උතුරුමැද හිටපු මහ ඇමතිටත් අලුත් අවුරුදු සුබපැතුමක් යැව්වා කියා ආරංචියි. ‍හැබැයි පර ලෝකෙට නෙමෙයි, අනුරාධපුරේ මහ ඇමතිගේ ගෙදරට.

මටත් ඔය වගේ එකක් ලැබුණා පහුගිය දවස්වල. ඒක එවලා තිබුණේ පාක්‍යසෝති සරවනමුත්තු මහත්තයා. ඒ මහත්තයා විධායක අධ්‍යක්ෂ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ. ලියුම එවලා තිබුණේ ඒගොල්ලන් කරන වැඩවලට උදව් කරන්න ය කියලා.

ඔවුන් මට අවස්ථාවක් දී තිබෙනවා කැමති නම් මුළු ජීවිත කාලෙටම එක පාරක් ඩොලර් 2000ක් දෙන්න. නැතිනම්, අවුරුද්දකට ඩොලර් 500ක් දෙන්න. එහෙමත් නැතිනම් මාසෙකට ඩොලර් 25ක් දෙන්න. ඇත්තෙන්ම මාර අවස්ථාවක්.

ඒ වුණාට මගේ ගුරු පඩිය ගෙඩි සුපියල් විසිපන්දාහකට අඩු නිසා මට පුළුවන් අර මාසෙට ඩොලර් 25 ගානෙ දෙන්න විතරයි. හැබැයි ඒකත් මගේ පඩියෙන් දහයෙන් පංගුවකටත් වැඩි නිසා මං මේ කල්පනා කර කර ඉන්නේ ටියුසන් පාරක්වත් කරලා මේක ගෙවනවද කියලායි.

ඇත්තෙන්ම, මම හිතන්නේ මේ ඊමේල් එක එන්න ඇත්තේ වැරදිලා. මීට ටික කාලකෙට උඩදි හිරු කණ්ඩායමේ හිටපු හීරෝලා දෙන්නෙක් මේ විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රයේ ව්‍යාපෘතියක හිටියා. බුදු අම්මෝ උන් බීපු බීම! ‍එච්චර සල්ලි තියෙන තැනක අැත්තෝ මේ අපි ව‍ගේ හිඟන්නන්ගෙන් සල්ලි ඉල්ලයි යැ.

රාජ්‍ය නොවන සංවිධානවල ඉන්න උදවිය දෙයියනේ කියලා කාලා ඇඳලා හුඟක් වෙලාවට හවසට ව්‍යාපෘති අරමුදලෙන් වංගුවක් ගහලා ඩ්‍රින්ක් එකකුත් ගන්නවා. ඕකට ඉතින් අපි කවුරුවත් ඉරිසියා කරන්න ඕනැ නැහැ. මොකද මෙහෙම ලියුං එව්වාට අපි කවුරුත් ඕවට සල්ලි දෙන්නෙ නැහැනේ. 

මේවට ‍සල්ලි දෙන්නේ සුද්දෝ. පිටරටවල අාණ්ඩුවලින්, දුප්පත් රටවලට උදව් කරන්න ය කියලා පිහිටුවා ගත්ත පුණ්‍යායතනවලින් එහෙම තමයි මේවාට සල්ලි දෙන්නේ. සමහර සුද්දෝ මේ සල්ලි දෙන්නේ දුප්පත් ගොවියකුට හ‍රකෙක් ගන්න එහෙම මේ සල්ලි යෙදවෙනවා ය අරවා මේවා හිතලායි.

2004 අවුරුද්දේ ආපු සුනාමිය නිසා රාජ්‍ය නො වන සංවිධානවලට 2005 අවුරුද්දෙ සල්ලි සුනාමියක් ආවා. ඔන්න ඉතින් ඔය හැම විදියක ම රාජ්‍ය ‍‍නො වන සංවිධාන සුනාමියෙන් විපතට පත් මිනිසුන්ට උදව් කරන්න ව්‍යාපෘති ලියලා අරමුදල් අනුමත කර ගත්තා. උදව් කරන්න ඉතින් වැල්ලට යන්න එපා‍යැ. ඒකට ගත්තා SUV. ව්‍යාපෘති පවත්වාගෙන යන්න කොළඹ හතෙන් ගත්තා කාර්යාලයක්. ඒකට බඩු මුට්ටු, කොම්පියු‍ටර් අරව මේවා. ව්‍යාපෘති මෙහෙයවන්න ප්‍රොජෙක්ට් මැනේජර්ස්ලා. ඒ‍ගොල්ලන්ට පොෂ් සෙක්‍රට්‍රිලා. ඉතින්, ඕවට වියදම් කරනකොට සුනාමියෙන් අවතැන් වූ අයට වියදම් කරන්න සල්ලි ඉතිරි වුණේ නැහැ. ඒකයි වුණේ. වංචාවක් නෙමෙයි නේ. ආණ්ඩුවට වුණත් වෙලා තියෙන්නේ ඔය සන්තෑසියම තමයි.

කාලයක් අපිත් විවිධ සමාජ, සංස්කෘතික වැඩ කරන්න මේ රාජ්‍ය නො වන සංවිධානවලින් මුදල් ඉල්ලුවා. බුදු අම්මෝ ඒ ලාච්චුවකින් සුපියල් දාහක් ගන්න හත් අට පාර කාල් ගාන්න වුණා. හැබැයි පස්සෙ කාලෙක මං මේ රානොස සමහරකට කුලියට ප්‍රෝග්‍රස් රිපෝට් ලියනකොට දැක්කා, අර රුපියල් දාහවල් පවා මාකට් කරන ලස්සන. 

රානොස ඩොලර් නැති වුණත් සමාජ වැඩ කරන්න බැරි නැහැ. හැබැයි අපි අපව රැක ගන්න මහජන සහයෝගිතා පදනමක් ගොඩනගා ගන්න ඕනැ. ඉස්සර අපිත් එහෙම උදව් ඉල්ලුවා. සංවිධාන හදාගෙන, වෙබ් අඩවි පටන් අරගෙන, පොත් ගහගෙන, සම්මන්ත්‍රණ සංවිධානය කරගෙන, වැඩ කරන්න අපට උදව් කරන්න කියලා. දැනුත්, සමහරු අහනවා මොනවද කරන්න ඕනැ කියලා.ඒගොල්ලො දන්නවනේ අපි ඉතින් ඒ ප්‍රශ්නයට උත්තර නො දෙන බව. ඇත්තට ම එහෙම කවුරුවත් කාටවත් උදව් කරනව ද කියලා මම නම් දන්නෙ නැහැ. සමහර විට ඔය ආධාර උපකාර ලබා ගැනීමේ සයන්ස් එකක් ඇති. මම නම් දෙයියම්ප දන්නෙ නැහැ.

අපට යමක් කරන්න ඕනැ නම් අපි ඒක කරන්න ඕනැ. එහෙම නැතිව කවුරුවත් උදව් කරන කල් බලන් හිටියාට වැඩක් නැහැ. දැන් උදාහරණෙකට මම මේ බ්ලොගය ලියනවා. ඒ වෙනුවෙන් මුළු අන්තර්ජාලයමත් පීරනවා. රටේ ගමේ දේවලුත් හොයනවා. ලිවිල්ල වෙනුවෙන් මගේ කාලය, විදුලිය, ඩේටා ගාස්තු, කොම්පියුටර් අරවා මේවා වියදං වෙනවා. ඉතින් මං ඒව සපය ගන්න කම්කරුවෙක් විධියට වැඩ කරනවා. මං බුද්ධිමය කම්කරුවෙක්. මං කරන්නේ පරිවර්තන, ලියන කියන වැඩ එහෙම. ඒකෙන් උපයන මුදලින් මං මගේ පවුලත් නඩත්තු කරලා බ්ලොගත් ලියලා, තව වමේ පත්තරේකටත් ස්වේච්ඡාවෙන් වැඩ කරලා, ගමේ රටේ තව වැඩ ටිකකුත් කරනවා. මං කරන ගුරු රස්සාවත් මං සලකන්නේ දේශපාලන වැඩක් විදියට. මං ගුරු ජීවිතයක් ජීවත් වෙන්න උත්සාහ කරනවා. 

කට්ටියට මේවා ලොකු මදි ඇති. ඒ වුණාට මට ඉතින් පුළුවන් එච්චරයි. ‍නැතිනම් මගේ බැලන්ස් එක නැති වෙලා යනවා. ඒ නිසා මට ඒ ටික ඇති. ඕනෑවට වඩා කොරන්න ගිහිල්ලා, අරක වුණා, මේක වුණා, සීගිරි යන්න බැරි වුණා, ඒ නිසා මාව බලා ගනිල්ලා කියලා සමාජයෙන් ඇරියස් ඉල්ලන්න ඕනැ නැහැනේ.

දවසට පැය දහඅටක් විතර වැඩ කරන එක ලේසි නැහැ. ඒ නිසා ඉස්සර වගේ ඔය කොළඹ කතා සාප්පුවලට යන්නත් දැන් වෙලාවක් නැහැ. ඒ නිසා සමහරු කියන්නේ දැන් මිනිහ වැඩ නැහැ කියලායි. ඇයි, අපි දැන් උන්ගෙ කතා අහන්න එන්නෙ නැහැ නේ. 

මේ අතරෙ වැඩිය කොලෙස්ටරෝල් කන්න සල්ලි නැති නිසා, හවසට වතු වැඩත් කරන නිසා සහ ඩ්‍රින්ක් එහෙම ගන්නත් සල්ලි නැති නිසා ශරීර සෞඛ්‍යයත් නරකම නැහැ. 

මං හිතන්නේ සමාජ වැඩ කරන්න බටහිරින් අරමුදල් ලබා ගන්න රාජ්‍ය නොවන සංවිධාන පසුපස යන එක යල් පැන ගිය ක්‍රමයක්. ඒ වෙනුවට මම යෝජනා කරන්නේ ක්ෂුද්‍ර හා මහේක්ෂ තලයේ වැඩ දෙකක්. 

ක්ෂුද්‍ර තලයේදී තමන් වැඩ කරලා උපයන මුදලින් යම් ප්‍රතිශතයක් සමාජ වැඩට යොදන්න පුළුවන්. මං කරන්නේ ඒක. මං ඒ ගැන හරි ආඩම්බරයි. මට ෆන්ඩ් කරන්නේ මංමයි. මං තමයි ඩොනර්. මංම තමයි සෝෂල් වර්කර්.

අනෙක, මහජන අරමුදල් රැස් කරලා සමාජ වැඩ කරන එක. මං හිතන්නේ ජවිපෙ සමාජ ව්‍යාපාරයක් කාලේ මේ දේ කළා. ඒක මහේක්ෂ වැඩක්. මං ඒවට දක්ෂ නැති නිසා අපි ඕවට නැහැ.

ඉතින් මං මේ ටික ලිව්වෙ මොකද දන්නවාද? මං කියනවානේ අපි සමාජවාදී ජීවිතයක් සෙවිය යුතුයි කියලා. මේ මගේ එක්ස්පරිමන්ට් එක.

මේ ලිපිය වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න
Read in English blog.parakum.com