2012-03-06

දුම් බීමෙන් සැනසීම ලැබේ ද?

සිගරැට් පැකට්ටුවේ දුම් බීමේ ආදීනව දැක්වෙන රූපසටහන් යෙදූ විට මිනිසුන්ට එය හොඳින් තේරී දුම් බීම අඩු වනු ඇතැයි සිගරැට්ටුවෙන් අය කරන බදුවලින් යැපෙන ආණ්ඩුවේ මහා ප්‍රාඥයකු වන මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිතයි. 


ඒ අනුව, මේ දිනවල ආණ්ඩුවට ජිනීවා සවුදම ඇරුණාම න‍ටන සෙසු සවුදම් අතරින් එකක් වී තිබෙන්නේ දුම්බීම තහනම් කිරීම සඳහා නීති ගෙන ඒමයි. සෞඛ්‍ය ඇමතිවරු නටන සවුදමේ බෙරකරු කාලෝ ෆොන්සේකා ය. 


ඔහු නො දන්නා කාරණය වන්නේ ලංකාවේ බහුතරයක් දුම් බොන්නන් දුම්වැටි පැකට් ගණන් මිළ දී නො ගන්නා බවයි. ඔහු සිගරැට් පෙට්ටියේ අඳින්නට යන මේ රූප සටහන් දකිනු ඇත්තේ කඩවල මුදලාලිලා පමණි. 


මිනිස්සු සිගරැට් බොන්නේ ඇයි?


ලේඛකයා රුපියල් 18ට ගෝල්ඩ් ලීෆ් බිවූ පසු සිගරැට්ටුවක් බිව්වේ නැත. එයට හේතුව අන් කිසිවක් නො ව, ආර්ථික දුෂ්කරතා ය. එසේ ම ආණ්ඩුවට අධික ලෙස බදු ගෙවන්නට ඇති අකැමැත්ත ද නිසා ය. 


හීනි අඩියක් ගැසූ විටෙක, මිතුරකු සමග සල්ලාපයේ යෙදෙන විටෙක, දුම්වැටියක රසයක් ඇතැයි ලේඛකයාට සිතේ. ලංකාවේ විකිණෙන තත්වයෙන් බාල දුම්වැටි බොහොමයකින් ඇති කරන්නේ වින්දනයකට වඩා අපහසුවකි. එහෙත්, දුම් උරා පිට කිරීම කිසියම් සියුම් මානසික සතුටක් ඇති කරයි. එය නැවත, නැවත කිරීමට පෙළඹවීමක් ඇති වේ. 


ඊයේ දිනයේ ලේඛකයා රත්මලානේ කඳවල ප්‍රදේශයේ නිවසක පෙට්ටි කඩයකට ගොඩ වුණේ ය. එතැනට රටේ එක්තරා ප්‍රසිද්ධ මාධ්‍ය ආයතනයක වැඩ කරන අය දුම් බීම සඳහා පැමිණෙති. ජැන්ඩි පහට ඇඳුම් ඇඳි ඒ මහත්වරු සුදු තාප්ප එක පෙළට නැඟී සිටි ඒ කාන්තාර පෙදෙසේ, ගිනි මද්දහනේ, හිස පුපුරන ගිනි කූටකේ, අසල කුණු කාණුවලින් පැමිණ නහයේ, කටේ වහන මැස්සන්  මැද්දේ, වමනය ඇති කරන එකී අපිරිසිදු අවකාශයේ සිටිමින් ප්ලේන් ටී බොමින් කාර්, ජංගම දුරකථන හා ලෙඩ ගැන කතා කරමින් දුම් බිව්වෝ ය. 


මිනිසුන් එසේ දුම් බො‍න්නේ ඇයි ද යන්න ලේඛකයාට නො තේරේ. එහෙත් මිනිස්සු වැසිකිලියට යන විට ද දුම් බොන්නට කැමති ය. අපිරිසිදු වැසිකිලිවල හා තමන්ගේ ම අසූචිවල දුර්ගන්ධය ඔවුහු දුම් වැටිය හරහා උරා බොති.


ලේඛකයාට සිතෙන පරිදි මේ සියල්ලෝ ම දුම්වැටිවලින් පිළිකා හැදෙන බව හා එහි ආදීනව නරක බව කාලෝ ෆොන්සේකාට වඩා හොඳින් දනිති. 


ලේඛකයා දන්නා වාමාංශික‍ චරිත බොහෝ ගණනක් අධික ලෙස දුම් පානයට ඇබ්බැහි වී සිටිති. තමන් සමාජවාදය වෙනුවෙන් දිවි කැප කර සිටින බව සිතාගෙන ස්වයං මෝහනයක ප්‍රීතියෙන් සිටින මොවුන්ගෙන් ඇතැමෙක් කෑමට මුදල් වැය කරන්නේ ද දුම් බීමට වැය කළ පසු ය. 


ලේඛකයාගේ අත්දැකීම අනුව, සිගරැට් අරක්කු කටේ නො තියන ප්‍රතිපත්තිවල ඉන්නා මිනිස්සු අදහන්නට බැරි තරම් කුහකයෝ ය. ඇතුළාන්තයට යොමු වුණ මනස් ඇති ගුඩ්ඩෝ ය.  සිගරැට් අරක්කු බොන්නෝ අඩු කුහකයෝ ය. 


ලංකාවේ මිනිසුන් දුම් බොන්නේ එයින් පිළිකා හැදෙන බව නො දැන යයි සිතීම වැරදි ය. දුම් බීමට ඇබ්බැහි වීම වත්මන් ධනවාදී සමාජය විසින් ඇති කර ඇති සමාජ අසහනයේ පාර්ශ්වයකැයි ලේඛකයාට සිතේ. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න