ඔබද ලක්ෂපතිආරච්චි? මමද ලක්ෂපතිආරච්චි?

නිමල් ලක්ෂපතිආරච්චි ගුවන් විදුලි සංස්ථාවේ සිටි ක්‍රියාකාරී සහායකයකු හා නිවේදකයෙකි. රජයේ ගුවන් විදුලියේ වෙළඳ සේවයේ සේවය කළ ඔහු එතරම් කැපී පෙනෙන දස්කම් දැක්වූවකු නොවේ. නොඑසේ නම්, ඔහුට දස්කම් දැක්වීමට පොළවක් ගුවන් විදුලියේ තිබුණේ නැත. 


එහෙත්, මහරාජා ආයතනය මෙම ගුවන් විදුලි ශිල්පියා ලංකාවේ ගුවන් විදුලි ඉතිහාසයේ සුවිශේෂ සන්ධිස්ථානයක් සලකුණු කළ විදග්ධයකු ලෙස නැවත සොයා ගත්තේ ය. 


රූපවාහිනියේ ආගමනයත් සමග ජනතා‍වගෙන් ඈත් වෙමින් තිබුණු ගුවන් විදුලි මාධ්‍යය රජයේ ගුවන් විදුලි සම්ප්‍රදායේ සිරගෙයින් මුදාගෙන වෙළඳපොළට නිරුවත් කිරීමට මහරාජාට ශක්තිය වුණේ නිමල් ලක්ෂපතිආරච්චිගේ නිර්මානශීලිත්වයයි. 


ඔහුට පෙර ගුවන් විදුලිය වනාහි, ලක්ෂපතිආරච්චිට පවා එළිපත්ත පමණක් හිමි වූ, කොළඹ කේන්ද්‍ර කර ගත් වරප්‍රසාදිත ඊනියා ප්‍රබුද්ධයන්ගේ සමාජයක ආධිපත්‍යයට නතු වූ, ජනතාව‍ තමා ළඟට ගෙන්වා ගත් මාධ්‍ය අවකාශයකි. 


ලක්ෂපතිආරච්චි යුගයේ ගුවන් විදුලිය තුළ සිදු වූ විප්ලවය වන්නේ ගුවන් විදුලිය ජනතාව අතරට යාමයි. 


ඇටුවම් බැස්ස ඊනියා ප්‍රවීණයන් වෙනුවට නිර්මානශීලී හිරිමල් කොල්ලෝ, කෙල්ලෝ සිරස හරහා ජන හදවත්වලට හඬ විහිදුවන්නට පටන් ගත්හ. 


අසන්නන්ගේ ඉල්ලීම්වල තැපැල්පත් පමණක් වී සිටි අසන්නෝ සිරසෙන් සජීවීව කතා කරන පිරිසක් බවට පත් වූහ. 


රජයේ ගුවන් විදුලියේ අර්ධ ලිඛිත භාෂාව වෙනුවට සාමාන්‍ය කතා ව්‍යවහාරය ගුවන් විදුලි භාෂාව බවට පත් විය.


ගුවන් විදුලියේ ශ්‍රේණිගත සරළ ගී ගායකයන් වෙනුවට ගීය සරළ වෙළඳ භාණ්ඩයක් ලෙස සිරසට පිවිසියේ ය. 


එසේම, ගුවන් විදුලිය පැය විසි හතරේ විකාශනයක් බවට පත් වූයේ ද මේ වකවානුවේ ය. රෑ වැඩ කරන ශ්‍රමිකයෝ, රාත්‍රී මගියෝ, නිදි වරන මිනිස්සු ආදීන්ගෙන් සැදුම්ලත් නවතම ප්‍රජාවක් වෙත ගුවන් විදුලිය මේ සමග සමීප විය. 


'තොපිට ඕනැ නම් අප කියන දේ අහපියව් - නැතිනම් නිකා හිටපියව්' යන රජයේ හා අධිපති මාධ්‍යකරුවන්ගේ ප්‍රතිපත්තියේ පිහිටා තිබුණු ලංකාවේ ගුවන් විදුලි මාධ්‍යය ලක්ෂපතිආරච්චිගේ මැදිහත්වීම ඔස්සේ සසල විය. 


ඔහු ඇත්තෙන්ම ලංකාවේ ඔලුවෙන් සිටගෙන සිටි ගුවන් විදුලිය දෙපයින් සිටවූයේ ය. ඒ සාර්ථකත්වය පසු කලෙක සිරස රූපවාහිනිය වෙත ද දිගු විය. ගුවන් විදුලිය හා රූපවාහිනිය අත්වැල් බැඳ ගැනීම ඇරඹුණේ ද සිරස හරහා ය. 


ලක්ෂපතිආරච්චි යුගයේ ගුවන් විදුලිය ග්‍රාහකයන් වෙත සමීප වූ තරමට ම එය ගුණාත්මක වශයෙන් දැවැන්ත පරිහාණියකට ලක් වීමේ ආරම්භය සලකුණු කළ වකවානුවක් ලෙස ද සැලකිය හැකි ය. එහෙත්, එය ගුවන් විදුලියට පමණක් සුවිශේෂ වූ තත්වයක් නො වන බව ද මේ විවේචනය කරන විට අප සිහි තබා ගත යුතු ය. 


ලක්ෂපතිආරච්චි යුගයේ අවසානයේ දැන් බුදු බණ ද අතරමග දැන්වීම් සහිත සෙජ්මන්ට් වශයෙන් විකුණනු අසන්නට ලැබේ.


ලක්ෂපතිආරච්චි ඔහුගේ කාර්යය කළේ ය. ඔහුගෙන් පසු ඔහු වැනි යුග පුරුෂයෝ ගුවන් විදුලියට බිහි නො වූ හ. ලක්ෂපතිආරච්චි යුගය දැන් අවසන් ය.


ඒ බව හේ මුර ගා කීවේ කන්දක් විලි ලා බිහි කළ මී පැටවකු වූ හිරු රූපවාහිනිය ඔස්සේ ය. 

සිය යුගයේ නිමාව සිය ජීවිතාවසානය ද සමගින් සටහන් කරන්නට නිමල් ලක්ෂපතිආරච්චි තීරණය කර ඇත. 

ගුවන් විදුලිය දැවැන්ත ප්‍රසාංගික අවකාශයක් වෙත විවර කළ මේ පුංචි මිනිසා තාලයට අප්පුඩි ගසන්නට බැරි අයකු බව ඔහු ම ප්‍රසිද්ධියේ කීවේ ය. 


ගුවන් විදුලියට, රූපවාහිනියට පමණක් නොව පොදුවේ මාධ්‍ය කලාවට (ව්‍යාපාරයට?) දැන් අලුත් කෝටිපතිආරච්චිකෙනෙකු අවශ්‍ය ය. 

මේ ලිපියට ඔබ කැමති නම් වෙන අයත් එක්කත් බෙදා ගන්න

Comments

  1. ලංකාවට විවෘත ආර්ථිකය ගෙනාවේ ජේ ආර් ද?

    - Dimithri

    ReplyDelete
  2. හොඳ විග්‍රහයක්.

    ReplyDelete
  3. ගයි පරනවිතානJuly 20, 2012 at 11:57 PM

    මේ වගේ අය වපුරපු බීජ වල අස්වැන්න තමයි දැන් කවුරු කවුරුත් නෙලමින් ඉන්නේ...........

    ReplyDelete
  4. පුස් බැඳුනු ගුවන් විදුලිය නැවත ජන මාධ්‍යයක් බවට පත් කරපු ලක්ෂපති ආරච්චි මට නම් පොරක්.විවේචන ඇති බව හැබෑව පස්සෙම් පහු කාලෙක මේක අසුචියක් වෙච්චි බවත් හැබෑව.සමස්ත සමාජ පද්ධතියේ කඩාවැටීමෙන් ගුවන් විදිලිය විතරක් බේරිලා ඉන්න විදිහක් නැහැනේ.සිරස ටෙලිවිෂන් එකනම් මට පෙනුනේ ඉන්දියානු ආර එහෙමම කොපි කරලා ගැහිල්ලක්.හැබැයි සිරස ගුවන් විදුලිය නිර්මාණයේදී ලක්ෂපති ආරච්චි දක්වපු දස්කම ලාංකීය ජනමාධ්‍යකරණයේ බොහොම ලොකු පිම්මක් !
    කොටින්ම ඒ කලේ යොවුන් වියේ එළිපත්තේ හිටපු අපිට කින්ස්ලිලා, සුරන්ගිල, තමාලිලා ,දිල්රුක්ෂිල වගේ අපි අහලවත් තිබුනේ නැති කොල්ලෝ කෙල්ලෝ සෙට් එකක් හඳුන්වල දීල රේඩියෝ එක අපිට ඇහෙන තැනක් නොවී අපට අහන්න පුළුවන් තැනක් වුන ඒ අතීතය මතකය සොඳුරුයි!

    ReplyDelete
  5. කොහොම උනත් නිමල් ලක්ෂපතිආරච්චි සාර්ථක නිර්මාණ කරුවෙක්. නමුත් ඔහුටත් අවසානයේ සිදුවුනේ ඔහු විසින්ම ගුවන් විදුලියට කපපු වලේ වැටීමටයි. අද තියෙන්නේ කොපි මාධ්‍ය කළාවක්... නව නිර්මාණ හිඟයි. පයිප්ප වෙළෙන්දන්ට ගිය මාධ්‍යය අද කුඩු වෙළෙන්දන් අතේ. ඒකට නිමල් ලක්ෂපතිආරච්චිට ගතු කියලා වැඩක් නෑ.

    -Gamaya-

    ReplyDelete
  6. පයිප්ප වෙළෙන්දෝ කිව්වේ
    ලංකාවේ මාද්‍ය නව මගකට යොමුකරන්න විශාල කැපකිරීමක් කරපු
    ලංකාවේ ක්‍රිකට්වලට අතහිත දීපු
    ජනතාවගේ ප්‍රශ්න ලෝකෙට හෙලිකරපු
    මහරාජා සංවිධානයටනම්
    ලංකාවේ මිනිස්සුන්ගේ කුහකකම ගැන කතා කරලා වැඩක් නෑ.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා