2017-02-03

සයිටම් නඩුව: වෙනස ප්‍ර‍චණ්ඩ මුත් වෙනස්වීමට විකල්ප නැත

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින්නට අපට කිසිම උවමනාවක් නැති බව මුලින් ම කිව යුතුයි. එහෙත්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප අවධානය යොමු කරන්නේ ග්‍රාහකයාගේ අන්තය වෙතයි. එනම්, අධ්‍යාපනය ලබන්නට අවශ්‍යතාව තිබෙන අයට ඒ සඳහා ඇති ප්‍රවේශ අවස්ථා වැඩි කළ යුතුයි. මේ ලියන මට මගේ දරුවකු ලක්ෂ 120ක් ගෙවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යවන්නට බැරි බව ඇත්ත. ඒත්, මේ රටේ එහෙම යවන්නට පුළුවන් මව්පියන් ඉන්නවා. ලක්ෂ 120ක ආයෝජනය පාඩුවක් නො වන බව දන්නා නිසා ඔවුන් එය කරනවා. මෙතැන තිබෙන්නේ සරළ ව්‍යාපාරික තර්කනයක්. ඉතින් ඇති හැකි ව්‍යාපාරිකයන් මේ ආයෝජනය කරන එකෙන් සමාජයට හානියක් වෙනවා ද? වෛද්‍ය ක්ෂේත්‍ර‍ය කියන්නේ අමුතුවෙන් වානිජකරණය විය යුතු අංශයක් නෙමෙයි. උසස් පෙළ දක්ෂ ලෙස සමත් වන සිසුන්ට වෛද්‍ය උපාධියක් ලබන්නට තිබෙන අවස්ථාව අහිමි වෙලා නැති සමාජවාදී සංදර්භය වෙනස් නො වී පවත්වා ගනිමින් ධනවත් පිරිස්වලට මේ ධනවත් වෘත්තීන්ගේ සුදුසුකම් මෙරටදී ම ලබා ගන්නට පහසුකම් සැලසීම එතරම් නරක දෙයක් වන්නේ කොහොම ද? ධනේශ්වර සමාජය කියන්නේ විෂමතා නැති කළ හැකි සමාජයක් නෙමෙයි. අප උත්සාහ කළ යුත්තේ විෂමතා අවම කරන්නටයි. 

අපි හැමෝ ම දොස්තරලා විය යුතු ද? අධ්‍යාපනය කියන්නේ දොස්තරලා වෙන්නට සිහින නිර්මානය කිරීම හා දොස්තරලා වෙන්නට බැරි වූ අය වෙනුවෙන් වෙන වෙන දේවල් නිර්මානය කිරීම නෙමෙයි. අධ්‍යාපනයේ පදනමේ ම තිබිය යුතු දෙයක් තමයි නිරෝගීව ජීවත් වීමට ඉගෙනීම. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් වගේ එකක් හැදෙනවා නම්, ඒ සමාජයට මේ තරම් දොස්තරලා අවශ්‍ය නො වන්නත් පුළුවන්. දොස්තරලාට වඩා අවශ්‍ය වනු ඇත්තේ ගුරුවරුනුයි.

සයිටම් නඩු තීන්දුවත් එක්ක පැතිරෙන කම්පන තරංග මැදින් වැදගත් සංවාදයකුත් හාරා පාදා ගන්නට පුළුවන්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය කියන මතුපිට සටන් පාඨයට යටින් තිබෙන හරවත් සටන් පාඨය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ලාභය මත දිවෙන වෙළඳපොළට ඇද දැමිය යුතු නැති බවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය දිසාපාමොක්ලාගේ ජීවකලාගේ කාලයේත් පූර්ණ ලෙස වෙළඳපොළකරණයෙන් මිදුණු අවකාශයක තිබුණේ නැහැ. මූලිකව ම දිසාපාමොක්ලා, ජීවකලා සේවය කළේ ධනවත්, බලවත් සමාජ තීරයට විතරයි. එතනම තිබුණේ වෙළඳපොළ තමයි. වර්තමානයට එන විට මේ දෙක ම බොහෝ දුරට වෙළඳපොළකරණය වෙලා ඉවරයි. එහෙත්, කේනීසියානු සංකල්පවල හා සමාජවාදයේ බලපෑම නිසා මේ වන විට ලෝකය පුරා ම අධ්‍යාපනය හා සෞඛ්‍යය මුළුමනින් ම වෙළඳපොළකරණය කළ නො හැකි මිනිස් අයිතිවාසිකම් ලෙස ක්‍රියාත්මක වෙනවා. එයට ලෝකයේ ජාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගොඩනගා ගන්නා ලද සම්මුති ද ඉවහල් වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන හෝ සෞඛ්‍ය හෝ වෙළඳපොළ පුළුල් වූ පළියට ඒ ක්ෂේත්‍ර‍වල රජය හැකිළෙන්නේ නැහැ. එහෙම හැකිළෙන්නට ඉඩ දිය යුතුත් නැහැ. වෙළඳපොළ විසින් රාජ්‍යය සම්පූර්ණයෙන් ම අහෝසි කර දමනු ඇති ය යන්න අන්තවාදී නව ලිබරල් විරෝධී හිතලුවක් විතරයි. රාජ්‍යය නැතිව පැවතිය හැකි වෙළඳපොළක් පිළිබඳ සිතන්නටවත් හැකියාවක් මේ මොහොතේ මිනිස් සමාජයට නැහැ.

අධ්‍යාපන වෙළඳපොළකරණ විරෝධය වඩා ප්‍ර‍ශස්ථ අන්දමින් ඉදිරිපත් කිරීමක් ‘බව' බ්ලොග් අඩවියේ තිබුණා. එහි දැක්වුණේ මෙසේයි: “අද දවසේ සීග්‍රයෙන් මානව ශාස්ත්‍ර, කලා පීඨ, සෞන්දර්ය අධ්‍යාපනය වැසී යාම තුළ අපට පෙන්වා දෙන්නේ ගෝලීයවම ලෝකය යොමු වන්නේ උපයෝගීතාවක් ලබා ගැනීම තකා මිනිසා නිපදවීම කෙරෙහි බවයි. අද දවසේ අධ්‍යාපන අරගලයේ දී අප වඩාත් උලුප්පා පෙන්විය යුතු වන්නේ මෙම නිර්–උපයෝගීතාවය අධ්‍යාපනයේදී කෙතරම් වැදගත් වනවා ද යන්නයි. උපකරණමය මිනිසාගෙන් කිසි විටක නව චින්තනයක් හෝ යුග පෙරලියක් බලාපොරොත්තුවිය නොහැක. එසේ වීමට අවස්ථාවක් නොමැත." අධ්‍යාපනය වෙළඳපොළකරණය නො කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳ සාධාරණ තර්කයක් මෙතැනදී මතු කෙරෙනවා. හැබැයි, මේ අදහස එක්තරා දුරකට පරමාදර්ශවාදීයි. හේතුව අධ්‍යාපනය කියන්නේ වෙළඳපොළකරණය නො වූ අවකාශයක් නෙමෙයි.

අධ්‍යාපනය වෙළඳපොළකරණයට පක්ෂව තර්ක කරන අය වුණත්, වෙළඳපොළේ වල් බූරු නිදහසක් තිබිය යුතු ය කියා කියන්නේ නැහැ. අධ්‍යාපන වෙළඳපොළ නියාමනය කිරීම පිළිබඳව වැදගත් තර්කයක් අක්ෂය කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබුණා. “පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට පක්ෂව තර්ක කරන අය ඉදිරිපත් කරන අදහස නම් රජයේ නියාමනයට යටත්ව එවැනි ආයතන ඇති කිරීමේ ගැටලුවක් නොමැත යන්නය. මේ ඔවුන්ගේ පොදු ස්ථාවරයයි. දැන් මේ 'පොදු න්‍යාය' සයිටම් ආයතනයට අදාලව ක්‍රියාත්මක වන ආකාරය අපූරුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය වෘත්තීයේ ප්‍රමිතීන් නිර්ණය කිරීම සදහා පිහිටුවා තිබෙන නියාමන ආයතනයයි. සයිටම් ආයතනය අදාල ප්‍රමිතීන් සපුරා නැති බව කියන්නේ රජයේ එම නියාමන ආයතනයය. එවිට ඒ නියාමනය පිලිගෙන සයිටම් නීතිගත කිරීම අනුචිත යැයි මොවුන් පවසන්නේද? ඒ වෙනුවට වෛද්‍ය සභාව කුමක් කීවත් සයිටම් ආයතනය පිලිගත යුතුයි කියාය 'රජයේ නියාමනයට යටත්ව පුද්ගලිකකරණයට පැවැතිය යුතු' යැයි කියන පිරිස් තර්ක කරන්නේ. මෙය මේ පිරිස් තුල වැඩ කරන්නේ පුද්ගලිකකරණය ගැන දෘෂ්ටිවාදී විශ්වාසයක් පමණක් බවත් 'රාජ්‍ය නියාමනය' ගැන කතාව ඒ විශ්වාසය ආවරණය කරගැනීමට දමා ගත් සීනි තැවරුමක් පමණක් බවත් කදිමට හෙලිදරවු කරන අවස්ථාවකි."

මේ තර්කය වැදගත්. හැබැයි, නියාමනය කියන්නේ තහනම් කිරීම නෙමෙයි. යමක් නිවැරදිව කරගෙන යාමට මග පෙන්වීම. වෛද්‍ය සභාව හා එහි සභාපති වන කාලෝ ෆොන්සේකා වැනි දේශපාලකයන් විසින් පෙන්නුම් කරන්නේ රජයට නියාමන කාර්යය හෝ කරන්නට හැකියාවක් නොමැතිකමයි. මේක වෛද්‍ය සභාවෙන් විතරක් නෙමෙයි විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් පවා ඔප්පු වෙලා තිබෙනවා. ඔවුන් මහජන දේපලක් වන සංඛ්‍යාත පරාසය නියාමනය කරන ආකාරයෙන් එය පෙන්නුම් කරනවා. රජය හරිහමන් නියාමනයක් හෝ කර ගන්නට බැරි තැනට පිරිහී තිබෙන බව පෙන්වන තවත් උදාහරණයක් තමයි විගණකාධිපතිගේ අවෘත්තික චර්යාව. තව එක්කෙනෙක් තමයි සීමානිර්ණ කොමිෂමේ සභාපති. කොටින් ම කියනවා නම් රජය ඇතුළේ දේශපාලකයාගේ වගකීම මොකක්ද රාජ්‍ය නිලධාරියාගේ වගකීම මොකක්ද කියන අවබෝධයවත් නැහැ. මෙතැනදී විප්ලවවාදීන් කොයි තරම් අවුල් වෙලා ද කියනවා නම්, තමන් අතට බලය ගෙන හෝ නො ගෙන හෝ ඔවුන් ද බලාපොරොත්තු වන්නේ පවත්නා රජය ඒ අන්දමින් ම පවත්වාගෙන යන්නටයි.

 තමන් විසින් කළ යුතු නියාමනයවත් කර ගන්නට බැරි රජය ඊට වඩා විස්තීර්ණ කාර්යයක් වන සේවා සම්පාදනය හරියට කරාවි ය කියා බලාපොරොත්තු වීමයි, නියාමනයකින් තොර ධනේශ්වර වෙළඳපොළෙන් සාරාර්ථ බලාපොරොත්තු වීමයි දෙකම එකයි. මේ විදියට බැලුවාම ලංකාව තියෙන්නෙ ඇඩ්‍ර‍ස් නැති අරාජිකත්වයක. මහජන ව්‍යාපාර මේ අවස්ථාව පාවිච්චි කරලා කළ යුතුව තිබෙන්නේ අරාජික, පරපෝෂී රජය වැඩිදුරටත් ශක්තිමත් කරන්නට උර දීම නෙමෙයි. මහජන නියාමනයන් ශක්තිමත් කරන්නට ක්‍ර‍මවේද නිර්මානය කර ගන්නට උත්සාහ කිරීමයි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය උදාහරණයකට ගත්තොත්, පවත්නා අධ්‍යාපනික ව්‍යූහය එපරිද්දෙන් ම රැක ගනිමින් වඩා හොඳ තත්වයන් බලාපොරොත්තු වීම බුද්ධිගෝචර නැහැ.

ලංකාවේ සිවිල් සමාජයට හා විද්‍යාර්ථී ප්‍ර‍ජාවට ස්වාධීන අධ්‍යාපනික ආයතන ගොඩනගන්නට උත්සාහ කළ හැකියි. ඒ වෙනුවෙන් මෙතෙක් කල් නම් ඉදිරි පියවරක් ගෙන තිබෙන්නේ ඇක්වයිනාස් ආයතනය විතරයි. ගොඩනැගෙමින් තිබුණු විද්‍යෝදය, විද්‍යාලංකාර වැනි විශ්වවිද්‍යාලවල ආරම්භය තුළ මෙවැනි තත්වයක් තිබුණත්, පසුකාලීනව එම විශ්වවිද්‍යාල විසින් සිය ස්වාධීනත්වය රජයට පවරා දුන්නා. අනාගමික ආයතන අතරින් මෙවැනි දෙයක් කිරීමේ හැකියාව තිබුණු ආයතන රැසක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ අතරින් ඒ වෙනුවෙන් යම් හෝ උත්සාහයක් දැරුවේ විභවි ලලිත කලා විද්‍යායතනය පමණයි. අනෙක් එවැනි ආයතනවලට තිබුණු ඒ විභවය අහිමි වුණේ ඇයි ද කියන එකත් අපි කල්පනා කළ යුතුයි.

ස්වාධීන බුද්ධිමය සංවිධාන බිහි නො වන්නට මූලික හේතුව තමයි, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ව්‍යාපාරකරණය. මේකත් වෙළඳපොළේ ම කොටසක් මිසක් අන් යමක් නොවෙයි. ඒ විතරක් නෙමෙයි එය ඉතා ම අසීලාචාර වෙළඳපොළක්. සාමාන්‍ය වෙළඳපොළේ තිබෙන පාරදෘෂ්‍යභාවය, පාරිභෝගිකයා කෙරෙහි දක්වන ව්‍යාජ හෝ ගරුත්වය, ශ්‍ර‍ම හිමිකම්, ආචාරධර්ම, සදාචාරය හා වෘත්තිකභාවය පවා මේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති වෙළඳපොළේ නැහැ. මේවාට සම්බන්ධ බුද්ධිමතුන් දැනුම අලෙවි කරන්නේ වෙනත් ඕනෑම වෙළෙන්දෙක් බඩු විකුණන විදියටම තමයි. ඒවා පිළිබඳ දන්නා කිසිවෙක් ප්‍ර‍තිතර්ක ඉදිරිපත් කරන්නට පෙරට එයි කියලාත් මා බලාපොරොත්තු වන්නේ නැහැ.

මෑත වකවානුවේදී විකල්ප උසස් අධ්‍යාපනික ආයතනයක් ගොඩනගන්නට අවංක උත්සාහයක් දැරුවා නම් දැරුවේ මහාචාර්ය සුචරිත ගම්ලත් පමණයි. ඔහු විසින් මුල පුරනු ලැබූ බෘහස්පති සරසවිය ඔහුගේ අකල් වියොවින් පසුව නිසි මග පෙන්වීමක් නැතිව අයාලේ ගොස් අවසානයේදී සටහන් ලියා ගන්නා බාහිර උපාධි පන්තියක් බවට පත් වී අවසන් වුණා. 

මේ තමයි අප සිටින තැන. ඒ නිසා වෙනත් රටවල පරමාදර්ශ අපට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපන ව්‍යූහයේ වෙනස්කම් ඉතා සුඛනම්‍ය විධියට සිදු වෙන්නේ නැති එක ගැන කණගාටු වුණත්, වෙනස්කම් සිදු වන්නට ඉඩ නො දී සිටීමේ හැකියාවක් ලංකාවට නැහැ.

වෙනස හැම විට ම සාමකාමී නැහැ. හැබැයි මේ තිබෙන ප්‍ර‍චණ්ඩත්වයත් එක්ක සන්සන්දනය කළ විට වෙනසේ තිබෙන ඇතැම් ප්‍ර‍චණ්ඩත්වයන් ගැන කලබල විය යුතුත් නැහැ. මෙය ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින සියලු තත්වයන්ට අදාළයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.