සයිටම් නඩුව: වෙනස ප්‍ර‍චණ්ඩ මුත් වෙනස්වීමට විකල්ප නැත

සයිටම් හෙවත් මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය වෙනුවෙන් පෙනී සිටින්නට අපට කිසිම උවමනාවක් නැති බව මුලින් ම කිව යුතුයි. එහෙත්, අධ්‍යාපනයේ නිදහස වෙනුවෙන් පෙනී සිටින අප අවධානය යොමු කරන්නේ ග්‍රාහකයාගේ අන්තය වෙතයි. එනම්, අධ්‍යාපනය ලබන්නට අවශ්‍යතාව තිබෙන අයට ඒ සඳහා ඇති ප්‍රවේශ අවස්ථා වැඩි කළ යුතුයි. මේ ලියන මට මගේ දරුවකු ලක්ෂ 120ක් ගෙවා පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයකට යවන්නට බැරි බව ඇත්ත. ඒත්, මේ රටේ එහෙම යවන්නට පුළුවන් මව්පියන් ඉන්නවා. ලක්ෂ 120ක ආයෝජනය පාඩුවක් නො වන බව දන්නා නිසා ඔවුන් එය කරනවා. මෙතැන තිබෙන්නේ සරළ ව්‍යාපාරික තර්කනයක්. ඉතින් ඇති හැකි ව්‍යාපාරිකයන් මේ ආයෝජනය කරන එකෙන් සමාජයට හානියක් වෙනවා ද? වෛද්‍ය ක්ෂේත්‍ර‍ය කියන්නේ අමුතුවෙන් වානිජකරණය විය යුතු අංශයක් නෙමෙයි. උසස් පෙළ දක්ෂ ලෙස සමත් වන සිසුන්ට වෛද්‍ය උපාධියක් ලබන්නට තිබෙන අවස්ථාව අහිමි වෙලා නැති සමාජවාදී සංදර්භය වෙනස් නො වී පවත්වා ගනිමින් ධනවත් පිරිස්වලට මේ ධනවත් වෘත්තීන්ගේ සුදුසුකම් මෙරටදී ම ලබා ගන්නට පහසුකම් සැලසීම එතරම් නරක දෙයක් වන්නේ කොහොම ද? ධනේශ්වර සමාජය කියන්නේ විෂමතා නැති කළ හැකි සමාජයක් නෙමෙයි. අප උත්සාහ කළ යුත්තේ විෂමතා අවම කරන්නටයි. 

අපි හැමෝ ම දොස්තරලා විය යුතු ද? අධ්‍යාපනය කියන්නේ දොස්තරලා වෙන්නට සිහින නිර්මානය කිරීම හා දොස්තරලා වෙන්නට බැරි වූ අය වෙනුවෙන් වෙන වෙන දේවල් නිර්මානය කිරීම නෙමෙයි. අධ්‍යාපනයේ පදනමේ ම තිබිය යුතු දෙයක් තමයි නිරෝගීව ජීවත් වීමට ඉගෙනීම. පරමාදර්ශී කොමියුනිස්ට් සමාජයක් වගේ එකක් හැදෙනවා නම්, ඒ සමාජයට මේ තරම් දොස්තරලා අවශ්‍ය නො වන්නත් පුළුවන්. දොස්තරලාට වඩා අවශ්‍ය වනු ඇත්තේ ගුරුවරුනුයි.

සයිටම් නඩු තීන්දුවත් එක්ක පැතිරෙන කම්පන තරංග මැදින් වැදගත් සංවාදයකුත් හාරා පාදා ගන්නට පුළුවන්. පෞද්ගලික වෛද්‍ය විද්‍යාල විරෝධය කියන මතුපිට සටන් පාඨයට යටින් තිබෙන හරවත් සටන් පාඨය වන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍යය ලාභය මත දිවෙන වෙළඳපොළට ඇද දැමිය යුතු නැති බවයි. අධ්‍යාපනය හා සෞඛ්‍යය දිසාපාමොක්ලාගේ ජීවකලාගේ කාලයේත් පූර්ණ ලෙස වෙළඳපොළකරණයෙන් මිදුණු අවකාශයක තිබුණේ නැහැ. මූලිකව ම දිසාපාමොක්ලා, ජීවකලා සේවය කළේ ධනවත්, බලවත් සමාජ තීරයට විතරයි. එතනම තිබුණේ වෙළඳපොළ තමයි. වර්තමානයට එන විට මේ දෙක ම බොහෝ දුරට වෙළඳපොළකරණය වෙලා ඉවරයි. එහෙත්, කේනීසියානු සංකල්පවල හා සමාජවාදයේ බලපෑම නිසා මේ වන විට ලෝකය පුරා ම අධ්‍යාපනය හා සෞඛ්‍යය මුළුමනින් ම වෙළඳපොළකරණය කළ නො හැකි මිනිස් අයිතිවාසිකම් ලෙස ක්‍රියාත්මක වෙනවා. එයට ලෝකයේ ජාතීන් එක්සත් ජාතීන්ගේ සංවිධානය හරහා ගොඩනගා ගන්නා ලද සම්මුති ද ඉවහල් වී තිබෙනවා. ඒ නිසා අධ්‍යාපන හෝ සෞඛ්‍ය හෝ වෙළඳපොළ පුළුල් වූ පළියට ඒ ක්ෂේත්‍ර‍වල රජය හැකිළෙන්නේ නැහැ. එහෙම හැකිළෙන්නට ඉඩ දිය යුතුත් නැහැ. වෙළඳපොළ විසින් රාජ්‍යය සම්පූර්ණයෙන් ම අහෝසි කර දමනු ඇති ය යන්න අන්තවාදී නව ලිබරල් විරෝධී හිතලුවක් විතරයි. රාජ්‍යය නැතිව පැවතිය හැකි වෙළඳපොළක් පිළිබඳ සිතන්නටවත් හැකියාවක් මේ මොහොතේ මිනිස් සමාජයට නැහැ.

අධ්‍යාපන වෙළඳපොළකරණ විරෝධය වඩා ප්‍ර‍ශස්ථ අන්දමින් ඉදිරිපත් කිරීමක් ‘බව' බ්ලොග් අඩවියේ තිබුණා. එහි දැක්වුණේ මෙසේයි: “අද දවසේ සීග්‍රයෙන් මානව ශාස්ත්‍ර, කලා පීඨ, සෞන්දර්ය අධ්‍යාපනය වැසී යාම තුළ අපට පෙන්වා දෙන්නේ ගෝලීයවම ලෝකය යොමු වන්නේ උපයෝගීතාවක් ලබා ගැනීම තකා මිනිසා නිපදවීම කෙරෙහි බවයි. අද දවසේ අධ්‍යාපන අරගලයේ දී අප වඩාත් උලුප්පා පෙන්විය යුතු වන්නේ මෙම නිර්–උපයෝගීතාවය අධ්‍යාපනයේදී කෙතරම් වැදගත් වනවා ද යන්නයි. උපකරණමය මිනිසාගෙන් කිසි විටක නව චින්තනයක් හෝ යුග පෙරලියක් බලාපොරොත්තුවිය නොහැක. එසේ වීමට අවස්ථාවක් නොමැත." අධ්‍යාපනය වෙළඳපොළකරණය නො කළ යුත්තේ ඇයි ද යන්න පිළිබඳ සාධාරණ තර්කයක් මෙතැනදී මතු කෙරෙනවා. හැබැයි, මේ අදහස එක්තරා දුරකට පරමාදර්ශවාදීයි. හේතුව අධ්‍යාපනය කියන්නේ වෙළඳපොළකරණය නො වූ අවකාශයක් නෙමෙයි.

අධ්‍යාපනය වෙළඳපොළකරණයට පක්ෂව තර්ක කරන අය වුණත්, වෙළඳපොළේ වල් බූරු නිදහසක් තිබිය යුතු ය කියා කියන්නේ නැහැ. අධ්‍යාපන වෙළඳපොළ නියාමනය කිරීම පිළිබඳව වැදගත් තර්කයක් අක්ෂය කණ්ඩායම විසින් ඉදිරිපත් කර තිබුණා. “පුද්ගලික විශ්ව විද්‍යාල ඇති කිරීමට පක්ෂව තර්ක කරන අය ඉදිරිපත් කරන අදහස නම් රජයේ නියාමනයට යටත්ව එවැනි ආයතන ඇති කිරීමේ ගැටලුවක් නොමැත යන්නය. මේ ඔවුන්ගේ පොදු ස්ථාවරයයි. දැන් මේ 'පොදු න්‍යාය' සයිටම් ආයතනයට අදාලව ක්‍රියාත්මක වන ආකාරය අපූරුය. ශ්‍රී ලංකා වෛද්‍ය සභාව යනු වෛද්‍ය වෘත්තීයේ ප්‍රමිතීන් නිර්ණය කිරීම සදහා පිහිටුවා තිබෙන නියාමන ආයතනයයි. සයිටම් ආයතනය අදාල ප්‍රමිතීන් සපුරා නැති බව කියන්නේ රජයේ එම නියාමන ආයතනයය. එවිට ඒ නියාමනය පිලිගෙන සයිටම් නීතිගත කිරීම අනුචිත යැයි මොවුන් පවසන්නේද? ඒ වෙනුවට වෛද්‍ය සභාව කුමක් කීවත් සයිටම් ආයතනය පිලිගත යුතුයි කියාය 'රජයේ නියාමනයට යටත්ව පුද්ගලිකකරණයට පැවැතිය යුතු' යැයි කියන පිරිස් තර්ක කරන්නේ. මෙය මේ පිරිස් තුල වැඩ කරන්නේ පුද්ගලිකකරණය ගැන දෘෂ්ටිවාදී විශ්වාසයක් පමණක් බවත් 'රාජ්‍ය නියාමනය' ගැන කතාව ඒ විශ්වාසය ආවරණය කරගැනීමට දමා ගත් සීනි තැවරුමක් පමණක් බවත් කදිමට හෙලිදරවු කරන අවස්ථාවකි."

මේ තර්කය වැදගත්. හැබැයි, නියාමනය කියන්නේ තහනම් කිරීම නෙමෙයි. යමක් නිවැරදිව කරගෙන යාමට මග පෙන්වීම. වෛද්‍ය සභාව හා එහි සභාපති වන කාලෝ ෆොන්සේකා වැනි දේශපාලකයන් විසින් පෙන්නුම් කරන්නේ රජයට නියාමන කාර්යය හෝ කරන්නට හැකියාවක් නොමැතිකමයි. මේක වෛද්‍ය සභාවෙන් විතරක් නෙමෙයි විදුලි සංදේශ නියාමන කොමිෂමෙන් පවා ඔප්පු වෙලා තිබෙනවා. ඔවුන් මහජන දේපලක් වන සංඛ්‍යාත පරාසය නියාමනය කරන ආකාරයෙන් එය පෙන්නුම් කරනවා. රජය හරිහමන් නියාමනයක් හෝ කර ගන්නට බැරි තැනට පිරිහී තිබෙන බව පෙන්වන තවත් උදාහරණයක් තමයි විගණකාධිපතිගේ අවෘත්තික චර්යාව. තව එක්කෙනෙක් තමයි සීමානිර්ණ කොමිෂමේ සභාපති. කොටින් ම කියනවා නම් රජය ඇතුළේ දේශපාලකයාගේ වගකීම මොකක්ද රාජ්‍ය නිලධාරියාගේ වගකීම මොකක්ද කියන අවබෝධයවත් නැහැ. මෙතැනදී විප්ලවවාදීන් කොයි තරම් අවුල් වෙලා ද කියනවා නම්, තමන් අතට බලය ගෙන හෝ නො ගෙන හෝ ඔවුන් ද බලාපොරොත්තු වන්නේ පවත්නා රජය ඒ අන්දමින් ම පවත්වාගෙන යන්නටයි.

 තමන් විසින් කළ යුතු නියාමනයවත් කර ගන්නට බැරි රජය ඊට වඩා විස්තීර්ණ කාර්යයක් වන සේවා සම්පාදනය හරියට කරාවි ය කියා බලාපොරොත්තු වීමයි, නියාමනයකින් තොර ධනේශ්වර වෙළඳපොළෙන් සාරාර්ථ බලාපොරොත්තු වීමයි දෙකම එකයි. මේ විදියට බැලුවාම ලංකාව තියෙන්නෙ ඇඩ්‍ර‍ස් නැති අරාජිකත්වයක. මහජන ව්‍යාපාර මේ අවස්ථාව පාවිච්චි කරලා කළ යුතුව තිබෙන්නේ අරාජික, පරපෝෂී රජය වැඩිදුරටත් ශක්තිමත් කරන්නට උර දීම නෙමෙයි. මහජන නියාමනයන් ශක්තිමත් කරන්නට ක්‍ර‍මවේද නිර්මානය කර ගන්නට උත්සාහ කිරීමයි. ලංකාවේ විශ්වවිද්‍යාල පද්ධතිය උදාහරණයකට ගත්තොත්, පවත්නා අධ්‍යාපනික ව්‍යූහය එපරිද්දෙන් ම රැක ගනිමින් වඩා හොඳ තත්වයන් බලාපොරොත්තු වීම බුද්ධිගෝචර නැහැ.

ලංකාවේ සිවිල් සමාජයට හා විද්‍යාර්ථී ප්‍ර‍ජාවට ස්වාධීන අධ්‍යාපනික ආයතන ගොඩනගන්නට උත්සාහ කළ හැකියි. ඒ වෙනුවෙන් මෙතෙක් කල් නම් ඉදිරි පියවරක් ගෙන තිබෙන්නේ ඇක්වයිනාස් ආයතනය විතරයි. ගොඩනැගෙමින් තිබුණු විද්‍යෝදය, විද්‍යාලංකාර වැනි විශ්වවිද්‍යාලවල ආරම්භය තුළ මෙවැනි තත්වයක් තිබුණත්, පසුකාලීනව එම විශ්වවිද්‍යාල විසින් සිය ස්වාධීනත්වය රජයට පවරා දුන්නා. අනාගමික ආයතන අතරින් මෙවැනි දෙයක් කිරීමේ හැකියාව තිබුණු ආයතන රැසක් ලංකාවේ ක්‍රියාත්මක වුණා. ඒ අතරින් ඒ වෙනුවෙන් යම් හෝ උත්සාහයක් දැරුවේ විභවි ලලිත කලා විද්‍යායතනය පමණයි. අනෙක් එවැනි ආයතනවලට තිබුණු ඒ විභවය අහිමි වුණේ ඇයි ද කියන එකත් අපි කල්පනා කළ යුතුයි.

ස්වාධීන බුද්ධිමය සංවිධාන බිහි නො වන්නට මූලික හේතුව තමයි, රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති ව්‍යාපාරකරණය. මේකත් වෙළඳපොළේ ම කොටසක් මිසක් අන් යමක් නොවෙයි. ඒ විතරක් නෙමෙයි එය ඉතා ම අසීලාචාර වෙළඳපොළක්. සාමාන්‍ය වෙළඳපොළේ තිබෙන පාරදෘෂ්‍යභාවය, පාරිභෝගිකයා කෙරෙහි දක්වන ව්‍යාජ හෝ ගරුත්වය, ශ්‍ර‍ම හිමිකම්, ආචාරධර්ම, සදාචාරය හා වෘත්තිකභාවය පවා මේ රාජ්‍ය නොවන සංවිධාන ව්‍යාපෘති වෙළඳපොළේ නැහැ. මේවාට සම්බන්ධ බුද්ධිමතුන් දැනුම අලෙවි කරන්නේ වෙනත් ඕනෑම වෙළෙන්දෙක් බඩු විකුණන විදියටම තමයි. ඒවා පිළිබඳ දන්නා කිසිවෙක් ප්‍ර‍තිතර්ක ඉදිරිපත් කරන්නට පෙරට එයි කියලාත් මා බලාපොරොත්තු වන්නේ නැහැ.

මෑත වකවානුවේදී විකල්ප උසස් අධ්‍යාපනික ආයතනයක් ගොඩනගන්නට අවංක උත්සාහයක් දැරුවා නම් දැරුවේ මහාචාර්ය සුචරිත ගම්ලත් පමණයි. ඔහු විසින් මුල පුරනු ලැබූ බෘහස්පති සරසවිය ඔහුගේ අකල් වියොවින් පසුව නිසි මග පෙන්වීමක් නැතිව අයාලේ ගොස් අවසානයේදී සටහන් ලියා ගන්නා බාහිර උපාධි පන්තියක් බවට පත් වී අවසන් වුණා. 

මේ තමයි අප සිටින තැන. ඒ නිසා වෙනත් රටවල පරමාදර්ශ අපට ගැලපෙන්නේ නැහැ. අපේ රටේ අධ්‍යාපන ව්‍යූහයේ වෙනස්කම් ඉතා සුඛනම්‍ය විධියට සිදු වෙන්නේ නැති එක ගැන කණගාටු වුණත්, වෙනස්කම් සිදු වන්නට ඉඩ නො දී සිටීමේ හැකියාවක් ලංකාවට නැහැ.

වෙනස හැම විට ම සාමකාමී නැහැ. හැබැයි මේ තිබෙන ප්‍ර‍චණ්ඩත්වයත් එක්ක සන්සන්දනය කළ විට වෙනසේ තිබෙන ඇතැම් ප්‍ර‍චණ්ඩත්වයන් ගැන කලබල විය යුතුත් නැහැ. මෙය ලංකාව මේ මොහොතේ මුහුණ දී සිටින සියලු තත්වයන්ට අදාළයි.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. පැරා, නලින් ද සිල්වා සමග මතවාදී වශයෙන් සමපාත වන අවස්තාව..
    සයිටම් සිසුන්ට අසාධාරණයක් නොවිය යුතුයි

    ReplyDelete
  2. පැරා මේ ගැන ඔබ මොකද හිතන්නේ ? මෙතැන් තියෙන්නේ නිදහස් හෝ ගෙවා ලබන අධ්‍යාපනය ගැන ප්‍රශ්නයක් නොව මුදල් සහ දේශපාලන බලයෙන් කූට ලෙස පෞද්ගලික විශ්වවිද්‍යාලයක් නියාමනය බයිපාස් කර යෑමට තැත්කිරීමක් නිසා ඇතිවුන මතබේධාත්මක තත්වයක් නොවේද ?

    සසර සැරිසරන පාදඩයා ගේ සටහන :

    SLMC (Sri Lanka Medical Council) - ශ්‍රී ලංකා වෛද්‍යය සභාව​
    ලංකාවේ වෛද්‍ය වෘත්තිය පිළිබඳ වූ වෘත්තිය ආයතනය​. ලංකාවේ වෛද්‍යවරුන් ගේ ප්‍රමිතිය පවත්වාගෙන යාම මොවුන් ගේ වගකීමකි. මෙහි ප්‍රධානියා මහාචාර්‍ය කාලෝ ෆොන්සේකා මහතායි

    GMOA (Government Medical Officers Association) - රජයේ වෛද්‍ය නිලධාරී සංගමය​
    රජයේ රෝහල් වල සේවය කරන වෛද්‍යවරුන් ගේ වෘත්තිය සමිතිය. මෙය හුදෙක් වෘත්තිය සමිතියක් වන අතර SLMC එකට ඇති වෘත්තිය බලය මොවුන්ට නොමැත​. මෙහි ප්‍රධානියා වෛද්‍ය පාදෙණිය මහතායි.

    SMG (State Medical Graduates) - රජයේ විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
    FMG (Foreign Medical Graduates ) - විදේශීය විශ්ව විද්‍යාල වලින් උපාධිය සමත් වූ උපාධිධාරීන්
    විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් ලැබීම සහ වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීම අතර වෙනසක් ඇත​. විශ්ව විද්‍යාලයකින් වෛද්‍ය උපාධියක් දීම එම විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ වගකීමකි. නමුත් කෙනෙක් වෛද්‍යවරයෙක් වශයෙන් සේවය කිරීමට නම් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියා පදිංචි විය යුතුය​.
    මෙය වෛද්‍ය සේවයට පමණක් අදාල තත්වයක් නොවේ. විවිධ මට්ටම් වලින් වෙනත් සේවාවන් හිදී ද මෙය ක්‍රියාත්මක වේ. උදාහරණයකට නිවෙසක සැලසුමක් අනුමත කිරීමට සිවිල් ඉංජිනේරු උපාධියක් තිබීම ප්‍රමානවත් නොවේ. ඒ සඳහා වරලත් සිවිල් ඉංජිනේරුවෙක් විය යුතුය​. වරලත් ඉංජිනේරු තත්වය පිරිනමන්නේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට අනුරූප ඉංජිනේරු අංශයේ ආයතනය වන ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය (Institute of Engineers Sri Lanka) හෙවත් IESL ආයතනයෙනි.

    ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට ප්‍රධාන ක්‍රමවේදයන් දෙකක් ඇත​.

    1. පොදු බහුවරණ පරීක්‍ෂනය (Common MCQ)
    මෙය රජයේ විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත්වේ.

    2. ERPM (Act 16)
    මෙය විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධි ධාරීන් සඳහා පැවැත් වේ.
    මෙම පරීක්‍ෂන දෙකෙන් සමත් වූ අයෙකුට වෛද්‍ය වරයෙක් ලෙස ලංකාව තුළ සේවය කිරීමේ බලය ඇත​.
    රජයේ රෝහල් වලට වෛද්‍ය වරු බඳවා ගැනීමේදී යොදා ගන්නේද මෙම විභාගයක් දෙකයි.

    සියළුම රජයේ වෛද්‍ය පීඨ වලින් පිටවන උපාධිධාරීන් පොදු බහුවරණ පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.
    විදේශීය විශ්ව විද්‍යාල වලින් පිටවන උපාධිධාරීන් ERPM පරීක්‍ෂනයට සහභාගී විය යුතුය​. එහිදී ලබා ගන්නා ලකුණු අනුව ඔවුන් ලැයිස්තු ගත කෙරෙන අතර රජයේ රෝහල් වල සේවයට බඳවා ගැනෙන්නේ එම ලැයිස්තුවේ අනු පිළිවෙලටයි.

    මෙහිදී විදේශීය උපාධිධාරීන් ලැයිස්තු ගත කෙරෙන්නේ රජයේ උපාධිධාරීන්ට පසුවය​.
    උදාහරණයකට පොදු බහුවරණ පරික්‍ෂනයෙන් 1200ක් සමත් වූයේ නම්, ERPM විභාගයෙන් වැඩිම ලකුණු ගත් උපාධිධාරියා ට ලැබෙන අංකය 1201 යි.
    මීට හේතුව වන්නේ ERPM පරීක්‍ෂනය මදක් ලිහිල් වීමයි.
    කෙසේ නමුත් ERPM විභාගය සඳහා සහභාගී වන අයගෙන් සමත් වන්නේ 15% ක තරම් ප්‍රතිශතයකි.

    අසමත් වන අයට ලංකාව තුළ වෛද්‍ය වරයෙක් ලෙස සේවය කළ නොහැක​.
    2007 වසරේදී විදේශීය උපාධිධාරීන් කළ ඉල්ලීමකට අනුව ඔවුන්ට පොදු බහුවරණ පරික්‍ෂනයට සහභාගී වීමට ඉඩ ලබාදුන් අතර​, එහිදී ඔවුන් ගේ සමත්වන ප්‍රතිශතය 1.5% දක්වා පහත වැටිනි.

    සයිටම් (SAITM) දකුණු ආසියා තාක්‍ෂනික සහ වෛද්‍ය අධ්‍යාපන ආයතනය (South Asia Institute of Technology and Medicine)
    ලංකාවේ ඇති පුද්ගලික විශ්ව විද්‍යාලයක්. මෙමගින් වෛද්‍ය උපාධියක් ලබා දේ.
    සයිටම් ආයතනයෙන් පිට වන උපාධිධාරීන් ERPM පරික්‍ෂනය සඳහා සහභාගී නොවේ. ඊට හේතුව ඔවුන් විදේශීය විශ්ව විද්‍යාලයක් නොවන නිසාය​. නමුත් ඔවුහු පොදු බහුවරණ පරීක්‍ෂනයටද සහභාගී නොවේ.

    එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්‍යය නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්‍ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්‍රමානවත් බවයි.
    නමුත් මෙහිදී මතුවන ගැටළුව නම් එවිට සයිටම් උපාධිධාරීන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ඇගයීමකට ලක් නොවීමයි. මෙහිදී ඔවුන් තමාගේ අවසන් වසර පරීක්‍ෂනය නියාමනය කිරීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට ආරාධනා කලහ​. නමුත් එය ජාත්‍යන්තරව පිළිගත් ක්‍රමවේදයක් නොවේ.

    එමනිසා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කිරීම ප්‍රතික්‍ෂේප කළ අතර​, ඊයේ පෙරේදා ලැබුණු නඩු තීන්දුවෙන් ඔවුන්ට එසේ කිරීම නවතා සයිටම් උපාධිධාරීන් ලියාපදිංචි කරන ලෙස දන්වන ලදී.

    ReplyDelete
    Replies
    1. මේ පිළිබඳ දිවයින පුවත්පතේ පළ වූ ප්‍ර‍වෘත්තිය මෙසේ ය:

      //මාලබේ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයෙන් (සයිටම්) වෛද්‍ය උපාධිය ලැබූ සිසුවියකට වෛද්‍ය වෘත්තියේ කටයුතු කිරීමට හැකි වන පරිදි ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අදාළ නීතිමය ප්‍රතිපාදනවලට අනුව අයිතියක්‌ ඇතැයි අභියාචනාධිකරණය ඊයේ (31 දා) තීන්දු කළේය.

      අභියාචනාධිකරණය සඳහන් කළේ වෛද්‍ය ආඥ පනතේ 29 (2) වගන්තිය යටතේ ඇයට එම අයිතිය හිමිවන බවයි.//

      දැන් මෙම ලියාපදිංචි කිරීම “ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමට අදාළ නීතිමය ප්‍රතිපාදනවලට" යටත් නම් ප්‍ර‍ශ්නයක් නැහැ නේ.

      Delete
    2. ශ්‍රිලංකා වෛද්‍ය සභාව වෛද්‍යවරුන් ගේ ප්‍රමිතියගැන ඔවුන් වෛද්‍ය වරයෙක් වශයෙන් ලියාපදිංවිවු දිනයේ සිටම අමතක කර දමයි . වෛද්‍ය වරයෙක් ගේ නොසැලකිල්ලමත ජිවිතහානියක් සිදුවු අවස්ඨාවක අගතියට පත් පාර්ශවය විසින් දිව්රුම්පෙත්සමක් මගින් එ ්සඳහා පැමිනිල්ලක් කල යුතුයි. එසේ වුවත් එම පැමිනිල්ල විභාග කිරීම හිතාමතාම කල්යවයි. මේ දක්වා කිසිම පැමිනිල්ලක් අවසානය දක්වා ක්‍රියාකර දඪුවම් දෙනලද අවස්ඨාවක් නැත !.

      Delete
    3. //එහිදී ඔවුන් ගෙන එන තර්කය වන්නේ රජයේ රෝහල් වල සේවය සඳහා රජයේ උපාධිධාරීන් සමඟ තරග කිරීමට ඔවුන්ට අවශ්‍යය නොමැති බවයි. වෙනත් වචන වලින් කිවහොත්, රජයේ විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් 1200 ක් පොදු බහුවරණ පරීක්‍ෂනයෙන් සමත් වුවහොත් සයිටම් උපධිධාරීන්හට ලැයිස්තුවේ 1201 න් අරඹා අංක ලබා දීම ප්‍රමානවත් බවයි.//


      අදමයි එහෙම එකක් දැන ගත්තේ. ඒ ගැන වැඩිදුර කියවලා බලන්න නිශ්චිත ලියවිල්ලක් තිබේ නම් එය සොයාගන්නා විදිය කියන්න පුලුවන්ද ?

      කලින් සයිටම් සිසුන් මාධ්‍යය වලට පරාශ කර තිබුනා ඔවුන් Act 16 ලියන්න කැමතියි ඊට ඉඩ දෙන්න කියල. නමුත් ඒ වෙලාවේ ඒකට ඉඩ දුන්නෙත් නෑ.

      ..
      එතකොට සයිටම් සිසුන්ගේ ඔය තර්කයම රජයේ උපාධිදරීන්ටත් ගෙනෙන්න පුළුවනි නේද ? රජයේ උපාධිදරීන්ටත් විභාගේ ලියල අසමත් වෙන්නේ නැතිව කෙනෙකුට පුළුවන් නේද මටත් තරඟ කරන්න අවශ්‍ය නෑ සමත් අයගෙන් පසුව මීළඟ අංකය දෙන්න කියන්න ? ඔය කතාව ඇත්තක් නම් එතනදී විසඳුමක් මතු වේවි නේද ?

      Delete
    4. In 2010, the then SLMC President, Professor Lalitha Mendis writes to The Island explaining the reasons.

      “Licensing examinations the world over are not easy to pass,” she explains. “In the UK about 15% pass the licensing examination called the PLAB Part I and 50% of them pass the PLAB Part 2, i.e 7.5% of those who sit.

      “In June/July 2008, 34%, of those who sat completed the ERPM (Examination to Practice Medicine in Sri Lanka); in Nov/Dec 2008, 46.5%, and in May 2009 42%. From September 2009, the UGC was asked to conduct the ERPM. FMGs had to then sit the common MCQ papers that students from local medical schools sit. The pass rate in the written papers which was previously about 30% fell to 6.1%. In December 2009 10.3% passed, and in April 2010 9.3%.

      “There is a wide variation in the knowledge and skills of those returning FMG. Those who have qualified from certain medical schools overseas, pass the ERPM easily. Others are weak in their knowledge base, problem solving skills and even more so in their clinical skills. In many medical schools overseas, they do not receive the hands on clinical experience that they should receive, particularly in subjects such as Obstetrics, Gynecology and Pediatrics. These are serious deficiencies. Some have no labour room experience whatsoever. These deficiencies have to be corrected after they return.”

      Delete
  3. Good one.. they too should be regulated.

    ReplyDelete
  4. සයිටම් විරෝධීන්ට මේ ගැන කීමට ඇත්තේ මොනවා ද?

    උපුටා ගැනීම
    Chameera Jeewantha Dedduwage වෙතිනි

    ගොමා (GMOA) නියෝජිතයින් විසින් සයිටම් පිළිබඳව වපුරන පච කීපයක් සහ ඊට පිළිතුරු:
    ---
    පචය: සයිටම් MBBS උපාධිය සඳහා රුපියල් ලක්ෂ 120ක් අයකරයි.
    ඇත්ත: සයිටම් MBBS උපාධිය සඳහා (ශිෂ්‍යත්ව රහිතව) අයකෙරෙන සම්පූර්ණ පාඨමාලා ගාස්තුව රුපියල් ලක්ෂ 95කි. මෙය කලාපයේ වෙනත් පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සමග සැසඳූ විට අවම අගයයකි.
    ---
    පචය: නෙවිල් ප්‍රනාන්දු ශික්ෂණ රෝහල ශික්ෂණ රෝහලක් වීමට කොහෙන්වත් අවසර අරගෙන නැත.
    ඇත්ත: ලංකාවේ ශික්ෂණ රෝහලක් වීමට නම් මෙන්න මේ මේ සුදුසුකම් සපුරාලිය යුතුයැයි නිර්දේශ කරන නීතිමය පණතක් හෝ, එසේ අවසර ලබාගත යුතු ආයතනයක් නැත.
    ---
    පචය: සයිටම් වෛද්‍ය පීඨය ඇරඹීමට වෛද්‍ය සභාවෙන් අනුමැතියක් ලබාගෙන නැත.
    ඇත්ත: ලංකාවේ වෛද්‍ය පීඨයක් නොව කිසිදු පීඨයක් ඇරඹීමට, වෛද්‍ය සභාවෙන් හෝ වෙනත් කිසිදු සභාවකින් අවසර ලබාගත යුතු නැත. යම් ආයතනයකට උපාධි ප්‍රදානය කිරීමේ බලතල ඇත්දැයි තීරණ ගැනීමේ සම්පූර්ණ බලය ඇත්තේ UGC හෙවත් විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට ය. UGC අනුමැතිය ඇත්නම් උපාධියක් ප්‍රදානය කිරීමට වෙනත් අවසරයක් අවශ්‍ය නැත.
    ---
    පචය: සයිටම් ආයතනයේ MBBS උපාධිය සඳහා උසස් පෙළ අසමත් සිසුන් ද ඉගෙනුම ලබයි.
    ඇත්ත: සයිටම් ආයතනයේ උපාධි වැඩසටහන් 02ක් පවතී. එකක් රුසියාවේ නීෂ්නි-නොව්ගොරොඩ් ඇකඩමියේ (NNSMA) MD උපාධියයි. අනෙක දේශීය MBBS උපාධියයි. NNSMA මගින් ප්‍රදානය කරන MD උපාධියට, ලංකාවේ උසස් පෙළ ප්‍රතිඵල අදාළ නැත. එහෙත් MBBS උපාධියට නම් ලංකාවේ උසස් පෙළ 2C +1S හෝ ඊට සමානයයි UGC / උසස් අධ්‍යාපන අමාත්‍යංශය (MoHE) විසින් සලකන ප්‍රතිඵල අවශ්‍ය වෙයි. MBBS උපාධියට, උසස් පෙළ අසමත් කිසිදු ශිෂ්‍යයකු ඉගෙනුම නොලබයි. MD උපාධිය හදාරන්නවුන් අතර උසස් පෙළ හෝ ඊට සමාන ප්‍රතිඵල නැත්තවුන් වේ නම්, ඔවුන්ට කොහොමත් ලංකාවේ සේවය කිරීමට ඉඩ ලැබෙන්නේ නැත.
    ---
    පචය: සයිටම් ආයතනය NNSMA සමග කිසිදු සම්බන්ධයක් නැත.
    ඇත්ත: සයිටම් ආයතනය NNSMA හි ශාඛාවක්‌දැයි (branch) විමසමින් ගොමා (GMOA) විසින් රුසියානු තත්ත්ව පරීක්ෂණ ආයතනයෙන් විමසා ඇති අතර, එම ආයතනය පවසා ඇත්තේ NNSMA "ශාඛාවල්" ලොව කොහෙවත් නැති බවකි. ප්‍රශ්නය ඇසූ එකා "ශාඛාව" (branch) සහ "අනුබද්ධ ආයතනය" (affiliated body) අතර වෙනස දන්නේ නැත. සයිටම් ආයතනයට 2009 සිට මේ දක්වා අඛණ්ඩව NNSMA සමග අනුබද්ධතාවක් (affiliation) පවතී.
    ---
    පචය: සයිටම් ආයතනය නීති විරෝධීව සිය 'M' අකුර Management සිට Medicine දක්වා වෙනස් කර ඇත.
    ඇත්ත: ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකට, සමාගම් පනතේ විධිවිධාන පිළිපදිමින් සිය නම වෙනස් කිරීමට පූර්ණ බලතල තිබේ.

    ReplyDelete
    Replies
    1. තැන්කිව් ඕයි! දුමින්ද සිල්වයි මර්වින් ගේ පුතයි එක්ක උසාවි ගියහම හේමන්ත වර්නකුලසූරියත් ඔන්න ඔහොම ලෝ පොයින්ට් වලින් උත්තර දුන්න. සයිටම් එක එන්නේ මොකාටද කියල පෙන්නලා දුන්නට තැන්කිව්!

      NNSMA එකට අෆිලියේටඩ් කියල රඹ ටෝක් දුන්නට එතනින් දෙන ඩිග්රියට A /L ෆේල් උනුත් ගන්නවා කියල පිලිගත්තටත් තැන්කිව්!!!

      Delete
    2. //////
      පචය: සයිටම් ආයතනය නීති විරෝධීව සිය 'M' අකුර Management සිට Medicine දක්වා වෙනස් කර ඇත.
      ඇත්ත: ලියාපදිංචි අධ්‍යාපන ආයතනයකට, සමාගම් පනතේ විධිවිධාන පිළිපදිමින් සිය නම වෙනස් කිරීමට පූර්ණ බලතල තිබේ.
      /////

      ගමරාලගේ ඇඳ යට ඉඳල අහු උනු ආරච්චිත් කිව්වලු මගේ වැයික්කියේ ඕනේ තැනක ඉන්න මට බලතල තියෙනවා කියල .... හුකෑස් !!!!

      Delete
  5. සයිටම් කියන්නෙ ජවිපෙට උමාඔයට වඩා හොඳ ගොදුරු බිමක්. ඒ ගොල්ල ඒක අතාරින්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Mr you are telling beautiful story. Change of meaning of M is so simple

      Delete
  6. ලෝකේ බොහෝ රටවල් වල රෝගී ප්‍රතිකාර කිරීමේ බලපත්‍රය අලුත් කලයුතු වගේම යම් වැරදි සිදුකර ඇත්නම් එම බලපත්‍රය අවලංගු කරනවා.

    සයිටම් උපාධිදාරීන් හෝ රජයේ උපාධිදාරීන් හෝ විදේශීය උපාධිදාරීන් කිසිවෙකු රෝගී ප්‍රතිකාර සඳහා නිපුණත්වය නොපෙන්වා නැවත නැවත වැරදි/අතපසුකිරීම් සිදුකරන්නේ නම් ඔවුන්ගේ බලපත්‍රය අහෝසි කිරීමේ ක්‍රමවේදයක් ලංකාවෙත් සැදීමයි අවශ්‍ය.

    එවිට රෝගී ප්‍රතිකාර කරන්නට දැනුම නැති වෛද්‍යවරුන්ගේ බලපත්‍රය අහෝසි වෙන නිසා රෝගීනට ගැටළුවක් වෙන්නේ නෑ. SLMC එක එහෙම කරන්නේ නැත්තේ එතකොට තමුන්ගේ රාජ්‍ය විශ්විද්‍යාලවල උපාධිදාරී අය කරන අප්‍රමාණ වැරදි වලටත් දඩුවම් ලැබෙන ක්‍රමයක් ඇවිත් දැන් කරන වගකීම් රහිත දේවල් කරන්න බැරි වෙන නිසා.

    මේ නියමිත ක්‍රමය හදන්නේ නැතුව SLMC & GMOA වටේ යන්නේ තමුන්ගේ දුර්වලතාවයන් වහන්න තිබෙන ආවරණය රැකගන්න ඕනේ නිසා කියලයි මට නම් තේරෙන්නේ.

    ReplyDelete
  7. Mr writer do you think that srilankan society and its politician are aware and honest enough to apply mythical change

    ReplyDelete
  8. SAITM නඩුවෙ සංක්ෂිප්ත සිංහල පරිවර්තනය - කුසල් කාවින්ද අමරසිංහ
    *****************************************************************************
    (2017 ජනවාරි 31 දින අභියාචනාධිකරණය විසින් CA/WRIT/187/2016 යන අංකය යටතේ නිකුත් කරන ලද පිටු 42 න් යුතු නඩු වාර්තාවේ සරල සිංහල පරිවර්තනයකි.)
    ----------------
    ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 140 ව්‍යවස්ථාව අනුව සර්ෂියෝරාරි(Certiorari), මැන්ඩාමුස්(Mandamus ) හා ප්‍රොහිබිෂන් (Prohibition)ආකාරයේ රිට් ආඥා නිකුත් කරන ලෙස ඉල්ලුම් කරන ලද පෙත්සමකි.
    පෙත්සම්කාර පාර්ශවය -
    දිල්මි කසුන්දා මල්ෂිනි සූරියාරච්චි
    වගඋත්තරකරුවන් -
    01 - ශ්‍රී ලංකා වෛද්‍ය සභාව
    02 - SAITM ආයතනය
    03 - ලක්ෂ්මන් කිරිඇල්ල(උසස් අධ්‍යාපන අමාත්‍ය)
    04 - උසස් අධ්‍යාපන අමාත්‍යංශ ලේකම්
    05 - විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව
    06 - රාජිත සේනාරත්න(සෞඛ්‍ය අමාත්‍ය)
    පෙත්සම්කාර පාර්ශවය විසින් ඉහත කී දෙවන වගඋත්තරකාර ආයතනයෙන් වෛද්‍ය උපාධිය (MBBS) ලැබූ ශිෂ්‍යාවක් වූ අතර ඇය විසින් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීම සඳහා ඉදිරිපත් කරන ලද අයදුම් පත්‍රය ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධව,
    අ) වෛද්‍ය සභාව ගනු ලැබූ අදාල තීරණයට එරෙහිව සර්ෂියෝරාරි රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,
    ආ) වෛද්‍ය සභාව වෙත අදාල නෛතික ප්‍රතිපාදන මත පදනම්ව පෙත්සම්කාරිය ලියාපදිංචි කරගන්නා ලෙසට කරනු ලබන මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,
    ඇ) පෙත්සම්කාරිය ලියාපදිංචි කිරීම ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව වෛද්‍ය සභාව වෙත ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,
    ඈ) පෙත්සම්කාර පාර්ශවය විසින් සාක්ෂි වශයෙන් ඉදිරිපත් කළ ලිපිය ඉවත් කරමින් ඇයගේ ලියාපදිංචිය ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත සර්ෂියෝරාරි රිට් අඥාවක් නිකුත් කරන ලෙසත්,
    ඉ) වෛද්‍ය ආඥා පනත(සංශෝධිත) ( Medical Ordinance) 29(2) වගන්තිය යටතේ පෙත්සම්කාරිය වෛද්‍යවරියක්(medical practitioner) ලෙස ලියාපදිංචි කරන ලෙස වෛද්‍ය සභාව වෙත මැන්ඩාමුස් රීට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,
    ඊ) වෛද්‍ය ආඥා පනත(සංශෝධිත) ( Medical Ordinance) 29(2) වගන්තිය යටතේ පෙත්සම්කාරිය වෛද්‍යවරියක්(medical practitioner) ලෙස ලියාපදිංචි නොකිරීමේ තීරණයට එරෙහිව වෛද්‍ය සභාව වෙත ප්‍රොහිබිෂන් රිට් ආඥාවක් නිකුත් කරන ලෙසත්,
    අභියාචනාධිකරණය ඉදිරියේ පෙත්සමක් ගොනු කරමින් ඉල්ලා සිටී.
    Continued

    ReplyDelete
    Replies
    1. සිද්ධිමය සාධක -
      පෙත්සම්කාරිය ඉහත කී දෙවන වගඋත්තරකාර SAITM ආයතනයට 2009 වසරේ දී ඇතුලත් වී 2016 මැයි මස 30 දා වෛද්‍ය උපාධිය ලබාගනී. අනතුරුව ඇය SAITM ආයතනයෙ ජේෂ්ඨ කථිකාචාර්ය කීර්ති අත්තනායක නැමැත්තා හරහා පෙත්සමේ පළමු වගඋත්තරකරු වන ශ්‍රී ලංකා වෛද්‍ය සභාව වෙත වෛද්‍ය ආඥා පනතේ( Medical Ordinance) 29(2) වගන්තිය ප්‍රකාරව තමා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කරගන්නා ලෙස ඉල්ලීමක් සිදු කරනු ලබයි. එහිදී ඇයගේ ඉල්ලීමට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරීවරයා විසින් ලබාදුන් පිළිතුර වන්නේ,
      “ අමාත්‍යවරයාගේ දැනුමදීම පරිදි SAITM ආයතනයේ කිසිඳු සිසුවකු වෛද්‍ය සභාවේ ලියාපදිංචි කළ නොහැකි බවත්, ඒ පිළිබඳ පුවත්පත් මාධ්‍ය තුළින් මහජනතාව දැනුවත් කර ඇති බවත්, එබැවින් අදාල ඉල්ලීම ප්‍රතික්ෂේප කරනු ලබන බවත් ය.“ ඉහත ප්‍රකාශය පිළිබඳ කීර්ති අත්තනායක යන අය අධිකරණය ඉදිරියේ 2016/06/08 දින දිව්රුම් ප්‍රකාශයක් ලබා දි ඇත.
      මේ අනුව පෙත්සම්කාරිය වෛද්‍ය වෘත්තිකයකු ලෙස ලියාපදිංචි කර නොගැනීමට වෛද්‍ය සභාව ගනු ලැබූ තීරණයට එරෙහිව ඇය අභියාචනාධිකරණයට පෙත්සමක් ගොනු කරයි.
      Continued

      Delete
    2. අධිකරණය විමර්ශනය කළ නීතිමය සාධක -
      මෙහිදී අධිකරණය විසින් පළමුව නෛතික විශ්ලේෂණයට ලක් කරනු ලැබුවේ SAITM ආයතනය විශ්වවිද්‍යාල පනත යටතේ උපාධි ප්‍රදානය කළ හැකි ආයතනයක්ද? යන්නයි.
      මෙහිදී අනාවරණය වූයේ 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල පනතේ 25(අ) වගන්තිය අනුව 3 වන වගඋත්තරකරු වන උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් මෙම ආයතනය උපාධි ප්‍රදානය කළ හැකි ආයතනයක් ලෙස නිවේදනය කර ඇති බවයි. (එහිදී පනතේ 25(අ),26, 27(1) (b), 70C (1) හා 70B (1) වගන්ති පිලිබඳව ද අධිකරණය සිය අවධානය යොමු කරයි)
      අමාත්‍යවරයා විසින් අදාල තීරණය ගැනීමට පෙර SAITM ආයතනය රුසියාවේ Niznhy Novgorod State Medical Academy ආයතනය සමඟ වෛද්‍ය උපාධිය Medical Degree (MD) ප්‍රදානය කිරීමට ගිවිසුමකට ඇතුළත්ව තිබුණි. මෙහිදී ශ්‍රී ලංකා වෛද්‍ය සභාව විසින් එම ආයතනයට උපදෙස් දෙනු ලැබුවේ විශ්වවිද්‍යාල පනත හා වෛද්‍ය පනත අනුව විදේශීය වෛද්‍ය උපාධියක් මෙරට තුළදී ප්‍රදානය කිරීමට අවසර ලබා දිය නොහැකි බවයි.
      කෙසේ වෙතත් SAITM ආයතනය විසින් තම ආයතනයට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොම්ෂන් සභාවේ අනුමැතිය ඉල්ලා සිටිමින් 2011 ජනවාරි 25 දින ලිපියක් යොමුු කරයි.
      මෙහිදී SAITM ආයතනයේ තත්ත්වය පරික්ෂා කිරීමට වෛද්‍ය සභාවේ මහාචාර්යවරුන්ගෙන් සමන්විත කමිටුවක් 2011 පෙබරවාරි 22-23 පත් කරන ලද අතර එහි වාර්තාව 2011 අප්‍රේල් 24 ලබාදෙනු ලැබීය.
      අදාල වාර්තාව අමාත්‍යංශයට යොමු කිරීමෙන් අනතුරුව උසස් අධ්‍යාපන අමාත්‍යවරයා විසින් පනතේ ප්‍රතිපාදන අනුව SAITM ආයතනය උපාධි ප්‍රදානය කළ හැකි ආයතනයක් ලෙස ගැසට් නිවේදනයකින් නිවේදනය කරන ලදී.
      ඒ අනුව 2009 සැප්. 15 සිට 2011 අගෝ.29 දක්වා කාලය තුළ SAITM ආයතනයට ඇතුලත්ව රුසියාවේ Novgorod State Medical Academy ආයතනයෙන් ප්‍රදානය කළ Medical Degree (MD) උපාධිය ලබාගත් ශිෂ්‍යයන් SAITM ආයතනය මඟින් පිරිනමන ලද වෛද්‍ය (MBBS) උපාධිය හැදෑරුවන් වන බවට නිවේදනය කරන ලදී. මේ අනුව පෙත්සම්කාරිය වෙත SAITM ආයතනය මඟින් වෛද්‍ය උපාධිය පිරිනමන ලදී.
      මෙහිදී පළමු වගඋත්ත්රකරු(SLMC) වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා තර්ක කරනු ලැබුවේ SLMC යනු ශ්‍රී ලංකාවේ වෛද්‍ය අධ්‍යාපනය නියාමනය සඳහා ඇති වෘත්තිමය ආයතනික ව්‍යුහය වන බවත්, එම SLMC ය විසින් සකස් කළ වාර්තාව අනුව දෙවන වගඋත්තරකරු විසින් වෛද්‍ය උපාධිය පිරිනැමීම සඳහා අවශ්‍ය වන සුදුසුකම් සපුරා නැති බවත්ය. (පනත අනුව වෛද්‍යවරයකු ලියාපදිංචිකිරීමේදී සලකාබලනු ලබන අනෙකුත් නිර්ණායක් පිළිබඳ අධිකරණය මෙහිදී සාකච්ඡා කරනු ලබයි)
      වෛද්‍ය L.B.L.දි අල්විස්, මහාචාර්ය K. සිවපාලන් සහ වෛද්‍ය. H.M.S.S.D. හේරත් යන කමිටු සමාජිකයන්ගෙන් සමන්විත කමිටු වාර්තාව මඟින් පහත සඳහන් මූලික අඩුපාඩු SAITM ආයතනය සතු බව දක්වයි. එනම්,
      1.මහජන සෞඛ්‍ය (Community Medicine) අධ්‍යයනය ප්‍රමාණවත් නොවීම.
      2. අධිකරණ වෛද්‍ය විද්‍යාව (Forensic Medicine) පිළිබඳ අධ්‍යයනය කළ නොහැකි වීම.
      3. ශික්ෂණ රෝහලක් තුළ නිසි සායනික පුහුනුව නොමැති වීම.
      (මීට අමතරව අදාල කමිටු වාර්තාව තුළ සඳහන් තවත් නුසුදුසුතාවයන් අධිකරණ වාර්තාවේ දැක්වේ)
      Continued

      Delete
    3. මෙමඟින් පළමු වගඋත්තරකරු අධිකරණය ඉදිරියේ තර්ක කරනු ලැබුවේ SLMC මඟින් සැකසූ වාර්තාවේ සඳහන් කරුණු මත SAITM ආයතනයට වෛද්‍ය උපාධිය පිරිනැමීමට සුදුසකම් නොමැති බවයි.
      කෙසේ වෙතත් මෙහිදී පෙත්සම්කාර පාර්ශවය විසින් තර්ක කරනු ලැබුවේ මෙම වාර්තාව සකස් කිරීම තුළින් පළමු වගඋත්තරකරු විසින් ස්වකීය නෛතික බලසීමාව ඉක්මවා යමින් බලාතික්‍රමණයක්(ultra vires) සිදුකර ඇති බවයි. එමෙන්ම එවැනිම තවත් වෛද්‍ය උපාධිය ලබා දෙනු ලබන කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්වවිද්‍යාලය වැනි ආයතන පිළිබඳව මෙවැනි දීර්ඝ වාර්තාවක් සකස් නොකිරීම සම්බන්ධව පළමු වගඋත්තරකරු සතුව පෙත්සම්කරු වෙත පැවති අසද්බාවී භාවය(mala-fide) තහවුරු වන බවට තර්ක කරනු ලැබීය.
      අධිකරණය විසින් මෙහිදී ප්‍රකාශ කරනු ලැබුවේ වෛද්‍ය ආඥා පනතේ(සංශෝධිත) 19C(1) වගන්තිය තුළ දක්වා ඇති ප්‍රතිපාදනයටන්ට අනුකූලව අදාල ආයතනයේ උපාධි ප්‍රදානය කිරීමේ හැකියාව තීරණය කිරීම සඳහා බලය පවතින්නේ අමාත්‍යවරයාට වන බැවින් තමන්ට නීත්‍යානුකූලව පැවරී නොමැති බලයක් අනුව ක්‍රියාත්මක වීම තුළ පළමු වගඋත්තරකරු (SLMC) විසින් බලාතික්‍රමණයක් (ultra vires) සිදුකර ඇති බවයි.
      මෙහිදී පළමු වගඋත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා විසින් මූලික විරෝධතා 5ක් අධිකරණය ඉදිරියේ ගොනු කරයි. එනම්,
      අ) මැන්ඩාමුස් රිට් ආඥාවක් නෛතික පුද්ගලයකුට එරෙහිව ඉදිරිපත් කළ නොහැක.
      ආ)පෙත්සම්කරුවන් විසින් ස්වකිය අභියාචනය අමාත්‍යවරයාට යොමුකිරීම අපොහොසක් වීම.
      ඇ)පෙත්සම අභියාචනාධිකරණ කාර්යපටිපාටියට අනුගත නොවීම.
      ඈ)පෙත්සම්කරු විසින් නිශ්චිත ඉල්ලීමක් සිදු කිරීමට අහොහොසත් වීම.
      ඉ)අදාල පාර්ශවයන් අධිකරණය ඉදිරියේ නොමැති වීම.
      පූර්ව විනිශ්චිත නඩු තීන්දු හා ව්‍යවස්ථාපිත නෛතික ප්‍රතිපාදන රැසක් ගෙනහැර දක්වමින් අධිකරණය විසින් මෙම මූලික විරෝධතාවයන් සියල්ල ප්‍රතික්ෂේප කරනු ලැබුණි.
      මේ අනුව අභියාචනාධිකරණය විසින් අදාල පෙත්සම්කාර පාර්ශවය විසින් ඉදිරිපත් කළ රිට් අයැදුම්පතට ඉඩදෙනු ලැබීය.
      (මෙම පෙත්සම විජිත් මලල්ගොඩ හා එස්.තුරෙයිරාජා යන අභියාචනාධිකරණ විනිසුරුවරු දෙදෙනා ඉදිරියේ විභාග කරන ලදී.)
      --------------------------------------------------
      පසු සටහන -
      ඉහත දක්වා ඇත්තේ සමස්ථ නඩුතීරණයේ වඩා වැදගත් සාරාංශගත සංක්ෂිප්තයකි. ඒ අනුව සාකච්ඡාවට බඳුන් වූ ඇතැම් නෛතික ප්‍රතිපාදන පිළිබඳ සඳහන් කර නොමැත. එහෙත් එය නඩු තීරණය පිළිබඳ අදහස් ගොඩනඟා ගැනීමට ගැටලුවක් නොවන වග සඳහන් කරමි.ඇතැම් තාක්ෂණික භාවිතයන් සිංහල භාෂාවට පරිවර්තනය කිරීමේදී ඇතිවන ගැටළු මඟහරවාගැනීමට එහි ඉංග්‍රිසි යෙදුම ඒ සමඟම සඳහන් කර ඇත.
      (පරිවර්තනය - කුසල් කාවින්ද අමරසිංහ)

      Delete
  9. Kusal Perera

    https://www.youtube.com/watch?v=gML1lxbp4Zk

    ReplyDelete
  10. Very informative post and discussion. This shows all medical graduates, local or foreign have to pass a MCQ conducted by UGC to register as a doctor. Minister is the authority to decide whether an institution is suitable to offer a medical degree. It appears the role of SLMC is limited to register those who pass the UGC MCQ? Very limited role. Of course they have to ensure the quality of doctors after registration which they appear not doing! GMOA has no role at all. However SLMC has announced that they will appeal, but it is doubtful that they get a different ruling according to summary of the case kindly provided above by Kusal. Then they just have to register! Can they postpone registration expecting the decision of the appeal? I don't think so.

    ReplyDelete
  11. SAITM සටන පැරදුනේ ඇයි..? - Fight For Education කණ්ඩායමේ විග්‍රහය
    "SAITM ආයතනය විසින් "තම සිසුන් Act16 හෝ වෙනත් ඕනෑම පොදු විභාගයකට පෙනී සිටීමට සූදානම්" යයි ප්‍රසිද්ධියේ පවසා තිබියදීත් එය පිලි නොගැනීමට වෛද්‍ය සභාව කටයුතු කිරීම සහ "Act 16" විභාගය සඳහා විදෙස් වල වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක්ට අවස්තාව ලබා දීමත්, SAITM සඳහා පමණක් ප්‍රතික්ෂේප කිරීමත් නිසා, වෛද්‍ය සභාව තුල ද සාධාරණත්වයක් නැති, ඒකපාර්ශ්වික වැඩපිළිවෙලක් යන බව ජනතාවට සහ බලධාරීන්ට පෙනී යාම" LankaENews today

    ReplyDelete
  12. SAITM සටන පැරදුනේ ඇයි..? - Fight For Education කණ්ඩායමේ විග්‍රහය
    "...4) SAITM ආයතනය විසින් "තම සිසුන් Act16 හෝ වෙනත් ඕනෑම පොදු විභාගයකට පෙනී සිටීමට සූදානම්" යයි ප්‍රසිද්ධියේ පවසා තිබියදීත් එය පිලි නොගැනීමට වෛද්‍ය සභාව කටයුතු කිරීම සහ "Act 16" විභාගය සඳහා විදෙස් වල වෛද්‍ය අධ්‍යාපනය ලැබූ ඕනෑම වෛද්‍ය ශිෂ්‍යයෙක්ට අවස්තාව ලබා දීමත්, SAITM සඳහා පමණක් ප්‍රතික්ෂේප කිරීමත් නිසා, වෛද්‍ය සභාව තුල ද සාධාරණත්වයක් නැති, ඒකපාර්ශ්වික වැඩපිළිවෙලක් යන බව ජනතාවට සහ බලධාරීන්ට පෙනී යාම..." Source : Lankaenews

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා