බුදු අම්මෝ රජයෙ ලොකු!

පිංතූරෙ ගැන විස්තර මෙතැනින්
ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ නවතම දත්ත අනුව ලංකාවේ රාජ්‍ය සේවය 2006 සිට 2016 අතර කාලය තුළ 30%කින් වැඩි වී තිබෙනවා.

එම වාර්තා අනුව හමුදා හා පොලිසිය හැර රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 11ක් වෙනවා. ඒ අතරට මධ්‍යම රජයේ, පළාත් සභාවල, රාජ්‍ය සංස්ථා, මණ්ඩල, අධිකාරි ආදියේ සිටින සේවකයන් ද අයත් වෙනවා.

මුදල් අමාත්‍යාංශයේ දත්ත අනුව, හමුදාවේ 272,000ක් සිටින අතර පොලිසියේ 84,000ක් ඉන්නවා.

මේ අනුව හා මහ බැංකුවේ දත්ත ද අනුව, රජයේ සේවකයන් සංඛ්‍යාව ලක්ෂ 15කට ආසන්නයි. රටේ සමස්ත ජනගහණය ලක්ෂ 210කට අඩුයි. ඒ අනුව රටේ ජනගහණයෙන් සෑම සියදෙනෙකුගෙන් අටදෙනෙකු විතර ම රජයේ සේවකයන් බව පැහැදිලියි.

මීට අමතරව, විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවේ දත්ත අනුව, ලක්ෂ පහමාරකට වැඩි රජයේ සේවයෙන් විශ්‍රාම ලැබූ පිරිසකුත් ඉන්නවා. (සෑම අවුරුද්දක ම රජයේ සේවකයන් 30,000ක් පමණ විශ්‍රාම යනවා. විශ්‍රාමිකයන්ගෙන් කොටසක් මිය යනවා. ඒත්, විශ්‍රාමිකයන් සංඛ්‍යාවත් වැඩි වෙමින් තමයි තිබෙන්නේ)

ඒ අනුව, රජය කියන්නේ මිනිසුන් ලක්ෂ 20ක්. රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම එක්කෙනෙකු කෙළින් ම රජයේ. ඔවුන්ගේ ප්‍ර‍ධාන ජීවනෝපාය රජය.

මේ සෑම රජයේ සේවකයෙකුගෙන් ම තවත් දෙදෙනෙකු යැපෙන බව ගණන හැදුවොත්, මේ රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම තුන්දෙනෙකු ජීවත් වන්නේ රජයෙන්.

රජය පෞද්ගලික සමාගම් ලෙස පවා ව්‍යාපාර පවත්වාගෙන යනවා. උදාහරණයක් තමයි ලංකා ට්‍රාන්ස්ෆෝමර්ස් (පෞද්) සමාගම. ඇතැම් සමාගම්වල කොපමණ ප්‍ර‍මාණයක් රජයට අයිති ද කියන එක පවා පැහැදිලි නැහැ. ඒ නිසා සැබෑ රජයේ සේවකයන් සංඛ්‍යාවත් අවිනිශ්චිතයි. ඒ කොයි හැටි වෙතත්, සමස්තයක් ලෙස මෙම දැවැන්ත රාජ්‍ය අංශය නඩත්තු කරන්නට සිදු වී තිබෙන්නේ මේ රටේ මහජනතාවටයි.

හැබැයි ඉතින් මේ රජයෙන් මහජනතාවට ලැබෙන සේවාවන් ගැන සතුටු වෙන්නට පුළුවන් ද?

ගමනක් යන්නට පාරට බැස්සාම ලංගම බස් එකක් එනකල් කොච්චර වෙලා බලා ඉන්න ඕනැ ද? ඒකත් පෞද්ගලික බස් තරම් ම ගාස්තුවක් අය කරනවා. සේවාවත් ඒ තරම් ම නරකයි. දුම්රිය කියන්නේ තනිකර පොල් කරත්ත වගේ ජාතියක්. ඒ වෙනුවෙන් ගෙවන මුදලට වටිනාකමක් ලැබෙන්නේ නැහැ.

පාසල් ගැන කතා කරමු ද? නො කර ඉඳිමු ද? ළමයින්ට නිල ඇඳුම්, පෙළ පොත් ආදිය නොමිළේ ලැබෙන බව ඇත්ත. ඒත්, පාසලෙන් හොඳ අධ්‍යාපනයක් ලැබෙනවා ද?

රෝහලකට ගියාම මේ රටේ රජය නඩත්තු කරන පුරවැසියාට සලකන විදිය කොහොමද?

රජයේ කාර්යාලයකට කිසියම් කටයුත්තක් කර ගන්නට ගිහින් සතුටින් ආපසු එන්නට ලැබෙනවා ද?

දේශපාලනය ගැන නම් කතා කළ යුතු ම නැහැ නේ.

රජයෙන් මහජනතාවට කෙරෙන වැඩ ගැන සතුටු වෙන්නට බැහැ.

රජයෙන් කෙරෙන ලොකුම සේවය තමයි රජයේ සේවකයන්ට වැටුප් හා විශ්‍රාම වැටුප් ගෙවීම. එමගින් රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු හෝ ජීවත් කරවීම. ඒක තමයි මූලික වැඩේ. ඔය සුබසාධනය, නිදහස් අධ්‍යාපනය, නිදහස් සෞඛ්‍යය අරවා මේවා තියෙන්නේ ඔය රජය කියන එක සාධාරණීකරණය කර ගන්නට විතරයි. ඔය රජය නඩත්තු කරන්නට අප ගෙවන මුදල් අපේ අතේ තියෙනවා නම් ඔය නොමිළේ කියන ඒවා නැති වුණත් අපට එච්චර අමාරුවක් නැහැ.
ඒක තමයි තිත්ත ම තිත්ත ඇත්ත.

ඒත්, ප්‍ර‍ශ්නය මේකයි. සෑම මිනිසුන් දහදෙනෙකුගෙන් ම රජයේ සේවකයන් නො වන ඉතිරි හත්දෙනාට සිදු වෙනවා මේ රජයෙන් යැපෙන තුන් දෙනාව නඩත්තු කිරීම සඳහා වැඩ කරන්නට. ඒක සාධාරණ ද?

රයෙන් සැපයෙන අත්‍යවශ්‍ය සේවාවන් තිබෙනවා. ඒ වෙනුවෙන් අත්‍යවශ්‍ය රජයේ නිලධාරීන් සිටිනවා.

සාමාන්‍යයෙන් ගුරුවරුන් ලක්ෂ දෙකක් විතර, වෛද්‍යවරුන් 11,000ක්, හෙදියන් 33,000ක්, පවුල් සෞඛ්‍ය සේවිකාවන් 3,500ක් විතර එහෙම සිටින බව වාර්තා වෙනවා.

හැබැයි ඉතින් ඇතැම් රාජ්‍ය නිලධාරින් කරන දේවල් දන්නේ ඔවුන් සහ දෙවියන් පමණයි. උදාහරණයක් ලෙස, මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ කාලය තුළ උපාධිධාරීන්ට සංවර්ධන නිලධාරි පත්වීම් 88,000ක් දී තිබෙනවා. ඔවුන්ට පසුව යතුරුපැදි එහෙමත් දුන්නා. ඇත්තෙන් ම ඔවුන් මොනවා ද කරන්නේ?

රජයේ සේවකයන්ගෙන් 17.8%ක් ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්. රජයේ සේවයේ උපාධිධාරීන් ලක්ෂ දෙකකට වඩා (210,000ක් පමණ)ඉන්නවා. ආචාර්ය උපාධි තිබෙන 3,296ක් ඉන්නා බවත්, ඔවුන්ගෙන් 2,657ක් ඉන්නේ අර්ධ රාජ්‍ය අංශයේ බවත් වාර්තා වෙනවා.

ඉතින් ඔන්න ඕකයි තත්වය. අපි සෑම පස්දෙනෙකුගෙන් ම එක් අයෙකු රජයත් එක්ක කෙළින් ම සම්බන්ධයි. රජයේ පාර්ශ්වකරුවන් ලෙස ඔවුන් හඳුනා ගන්නට පුළුවන්. එතකොට මේ රජය කාගෙද?

ඒ වුණාට මේ රටේ මිනිසුන් හැසිරෙන්නේ රජය වෙන කාගෙ ද වගේ. නැතිනම් ගණනින් 1,000කටත් අඩු දේශපාලකයන්ගෙ වගේ.

ඔන්න ඔය නිසායි අපි කියන්නෙ ඔය රජය කියන බඩකඩුත්තුව කඩා වැටෙන්න නො දී රැක ගනිල්ලා ය කියලා. රජයට කරන්නට බැරි මගුල් ඉල්ලමින් පිස්සු නටලා ඕක කඩා බිඳ දැම්මොත් ලංකාවට වැටෙන්නට තිබෙන්නේ පතුලක් නැති අගාධෙකට.

ඒ එක්කම මේකත් කියන්නට ඕනැ. දැන්වත්, ආණ්ඩුවෙන් කන්න බලා නො ඉඳ වැඩ කරන්න හිතා ගත්තෙ නැතිනම් මේ රටට අනාගතයක් නැත.



ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. ''මේ සෑම රජයේ සේවකයෙකුගෙන් ම තවත් දෙදෙනෙකු යැපෙන බව ගණන හැදුවොත්, මේ රටේ ජනගහණයෙන් සෑම පස්දෙනෙකුගෙන් ම එක්කෙනෙකු ජීවත් වන්නේ රජයෙන්.''
    ගානෙ පොඩි වැරැද්දක් තියෙනව. 10 දෙනෙක්ගෙන් 1ක් රජයෙ සේවකයො වෙලා තව දෙන්නෙක් එයාලගෙන් යැපෙනව කිව්වොත් හැම 10 දෙනෙක්ගෙන්ම 3ක් යැපෙන්නෙ රජයෙන්

    ReplyDelete
    Replies
    1. පෙන්වා දීම ගැන ස්තුතියි. නිවැරදි කරන්නම්.

      Delete
  2. යූඑන්පියේ කටු සූප්පු කරන පැරා ඔය කියන්නේ රාජ්‍ය සම්පත් පෞද්ගලීකරනය කරන්න කියලනෙ... ධනපතියන්ට ණයට කහිනව නම් කෙලින් කැහැපන්... අපිව තම්බන්න උබට බෑ...

    ReplyDelete
    Replies
    1. මිස්ටර් ඇනෝනිමස් //AnonymousFebruary 23, 2017 at 12:19 PM //
      ඔය "රාජ්‍ය සම්පත්" කියන එව්වගෙන් වැඩක් තියෙන්නෙ දේශපාලකයින්ටයි උන්ගේ හෙන්චයියන්ට විතරයි බං.
      උං හැමදාම ලොකූ රාජ්‍ය සම්පත් කන්දක්ම ඔහෙලට පෙන්නවා මේ ඔක්කොම අපේ කියල චන්ද ටික ඩැහැ ගන්නව. හැබැයි ඒ "අපේ" කියන වචනෙට ඇතුලත් වෙන්නෙ උනුයි උන්ගේ බැලයනුයි විතරයි කියල ඔහෙලට තේරෙන්න නැති එකයි කරුමෙ.
      අබ සරණයි

      Delete
    2. ණයට කහින්නටවත් මේ රටේ ශක්තිමත් ධනපති පංතියක් නැහැ. ඒ නිසා ඉන්න එවුන්ට මං ණයට නෙමෙයි නොමිළේ ම කහිනවා. හේතුව, මේ රටේ තියෙන ධනපති ක්‍ර‍මය පවතින්නෙ ඔය කියන රජයයි, ඒකෙන් කන මධ්‍යම පංතියයි නිසා නෙමෙයි, ව්‍යවසායකයන් හා කම්කරුවන් නිසායි.

      මධ්‍යම පංතික ආත්මාර්ථකාමිත්වය වෙනුවෙන් මේ රජය කඩා වැටෙන්නට සැලැස්වුවොත් වෙන්නෙ වෙන මොකවත් නෙමෙයි, රට අරාජිකත්වයට යන එක විතරයි. ඒ අරාජිකත්වය ඇතුළෙ ශක්තිමත් වෙන්නෙ අන්ත ප්‍ර‍තිගාමිත්වය හා අන්තවාදය.

      නො කෙරෙන සමාජවාදයක් වෙනුවෙන් හීන දකිනවට වඩා ධනවාදයට කඩේ යන එක මේ වෙලාවෙ ප්‍රායෝගිකයි.

      Delete
    3. උබ ඔය රාජ්‍ය සම්පත් කියන්නේ මොනවටද? පැහැදිලි කලොත් පැහැදිලි පිළිතුරක් දෙන්න පුළුවන්? උබ රාජ්‍ය සම්පත් කියන්නේ එයාර් ලංකා ,ලංගම ,දුම්රිය , ලංවිම වගේ ඒවා නම් උබට උත්තර දීල වැඩක් නෑ

      Delete
  3. රජය කියන සමාගම නඩත්තු කරන්නේ මේ රටේ පුද්ගලික සේවකයින්.හැබැයි රජය ඒ සේවකයින්ට සලකන්නේ දෙකේ කොලේට දාලා.රාජ්‍ය සේවකයෝ ගණනින් වැඩි වුනාට රජයේ කිසිම ගුණාත්මකබාවයක් නැහැ.තව දුරටත් රාජ්‍ය සේවය පුළුල් කිරීම නෙමේ කරන්න ඕන.ජන්ද ගන්න රටේ හැමෝටම ආණ්ඩුවේ රස්සා දුන්නා කියලා රටේ ප්‍රශ්න විසදන්න බැහැ.දේශපලකයෝ තමන්ගේ න්‍යය පත්‍ර වලට රජයට සේවකයෝ බඳවා ගැනීම නතර කරන්න ඕන.

    ReplyDelete
  4. //රජයේ සේවකයන්ගෙන් 17.8%ක් ම අ.පො.ස. සාමාන්‍ය පෙළ අසමත්//
    හමුදාව, පොලිසිය එක්කද, නැතුවද? ඒ දෙක නැතුව නම් තත්වය ඉතාමත් කණගාටුදායකයි

    ReplyDelete
    Replies
    1. මම හිතන්නේ ඒ දෙක නැතිවයි.

      Delete
  5. ප්‍රෙස් කොන්ෆරන්ස් එකක් තියලා ඔය ලියල තියෙන ටික කිව්වොත් නරකද?

    ReplyDelete
    Replies
    1. ඔය ඇත්ත කතා කරන්නට ප්‍රෙස් කන්ෆරන්ස් තියන්න කොන්ද පණ තියෙන එවුන් ලංකාවෙ ඇත්තෙ නැහැ. අපි තිබ්බත් ලංකාවෙ එක මීඩියා එකක්වත් ඕව කවර් කරන්නෙත් නැහැ.

      අනෙක, මේ සංගණනය ගැන නිව්ස් එක ඉංග්‍රීසි ආර්ථික පුවත්වල පළ වුණා. සිංහල මීඩියා මේක ලිව්වෙ නැහැ.

      Delete
  6. රජයේ රෝහලකට ගියාම සළකන්නේ උන්ගේ අම්මා අප්පගෙ බූදලෙන් අපිට ප්‍රතිකාර කරණවා වගේ.. දොස්තරලාගෙ ඉඳන් සාත්තු සේවකයා ඉඳන් ඔක්කොම හැසිරෙන්නේ බල්ලෝ වගේ....( කලාතුරකින් අතරින් පතර හොඳ එකෙක් වැරදිලා වගේ ඉන්නවා.. )..

    ආත්ම ගරුත්වය කියන එක බල්ලට දාලා කබර හමක් හයි කරන් තමා රජයේ රෝහලකට යන්න ඕනා ප්‍රතිකාර ගන්න...

    ReplyDelete
  7. හාමුදුරුවෝ නොමිළේ දානෙ කකා තව නොමිළේ පඩි ගන්න පිං රස්සාත් ඉල්ලන එකනෙ වැඩේ.

    ReplyDelete
  8. Over the past 15 years it is estimated Mr Mason's care bill has cost taxpayers around £1million.

    මහත මිනිහගෙ ආටිකල් එකනම් ගැලපෙන එකක්.

    ReplyDelete
  9. //මේ රටේ ජනගහණයෙන් සෑම දහදෙනෙකුගෙන් ම තුන්දෙනෙකු ජීවත් වන්නේ රජයෙන්//
    ඉතුරු හත් දෙනාත් රජයටම ගත්ත නම් ගොඩ.

    ReplyDelete
    Replies
    1. එහෙම කරන්න බැහැ බ්‍රෝ. එතකොට කවුරුද වැඩ කරන්නෙ?

      Delete
  10. http://www.ted.com/talks/charity_wayua_a_few_ways_to_fix_an_ailing_government

    ReplyDelete
  11. රජයේ සේවය අපට ලැබුනේ සුද්දගෙන් පොලිසිය උසාවිය හමුදාව වගේ දෙවල් ලැබුනෙත ඔවුන්ගෙන් වරක් පැමිනියොත් නැවත් පැමිනිම දෙවරක් සිතා බැලිය යුතු ලෙස එම අයාතන, සුද්දා විසින් පවත්වාගෙන යනු ලැබිය. එයට හෙතුවවුයේ සිංහලයා පොඩි දෙයකටත් මෙම අයාතන හමුවේ පෙනිසිටිම එකල සිදුවිය.මෙම ආයත නිර්මාණය කලේ සුද්දගේ වැඩකටයුතු කරගෙනයාම සදහාය.සිංහල ජනයා නිතර නිතර මෙම ආයතන වලට පැමිනිම සුද්දාගේ කටයුතුවලට බාධාවක් විය එම නිසා නොයකුත් චක්‍රලේකන අනපනත් විශාල ප්‍රමානයක් ඔවුන් විසින් ඇති කලේය.අද දිනයේත් එම ආයාතන වියුහය එලසම පවති. සුළු සුළු වෙනස්කම් ඇතිවුවද මුලික පදනම වෙනස් නොවුනි.නව ක්‍රමයක් නිර්මාණය කලයුතුව ඇත. නමුත් එසදහා නිර්මාශිලි බුද්ධිමතුන් අද අපට නැත.

    ReplyDelete
    Replies
    1. ඔව්. ඔබගේ අදහස සම්පූර්ණ ඇත්ත. ඊනියා යුදෙව් ග්‍රීක ක්‍රිස්තියානි ව්‍යාප්තවාදෙය් මුහුණුවරක් වූ යටත් විජිතවාදය ඊටත් වඩා දරණු ක්‍රියාමාර්ග ගත්ත අවස්ථා තියනවා.

      /සුළු සුළු වෙනස්කම් ඇතිවුවද මුලික පදනම වෙනස් නොවුනි.නව ක්‍රමයක් නිර්මාණය කලයුතුව ඇත. නමුත් එසදහා නිර්මාශිලි බුද්ධිමතුන් අද අපට නැත.//

      ඔබට ෙමතන නම් වැරදීමක් ෙවලා. ෙම් සඳහා සිටින එකම බුද්ධිමතා ජාතික චින්තනෙය් නිර්මාතෘ මහාචාර්ය නලින් ද සිල්වා මහතා. එතුමා ෙයා්ජනා කරන විධියට අපි ෙම් ප්‍රශ්න වලට විසඳුම් ෙසවීෙම්දී සම්‍යයක් දෟෂ්ඪික ෙදවි වරුන්ෙගන් අදාල කාරණා විමසා සිටිය යුතුයි.

      Delete
  12. ඇත්තටම ලංකාවෙ රාජ්‍ය සම්පත් කියන්නෙ මැති ඇමතිලගෙ පුද්ගලික බූදලය වගේ, උන් ඒවට පත් කරන්නෙ නෑදෑයො, නැත්නම් හෙංචයියො. උන්ට කිසිම සුදුසුකමක්වත්, හැකියාවක්වත් නෑ. අන්තිමට සේරම බංකොලොත්, ඒවයෙ බර අදින්න ඕනෙත් මහජනතාව. හොඳම උදාහරණය ශ්‍රී ලන්කන්, ඒකෙ ඉන්න සමහර එයාහොස්ටස්ලා හම්බන්තොට, හරියට ඉංග්‍රීසිවත් කථා කරගන්න බැරි කළු, හැමතැනින්ම මස් එල්ලෙන කැත ගෑණු ටිකක්. ඉතින් කළ යුත්තෙ, සියලුම දේවල් පුද්ගලිකකරණය. එකපාරට බෑ, හිමින් හිමින් . රජයට තියා ගන්න ඕනෙ ආරක්ෂක අංශයි, රාජ්‍ය පරිපාලනයට අවශ්‍ය අඩුම පිරිසකුයි. අනික නොමිලෙ බේත් දෙන නිසා, ආණ්ඩුවෙ ඉස්පිරිතාලෙට ගියත් ඇටෙන්ඩන්ලගෙ ඉඳලා රැස්පොට් බලන්න එපැයු. හැබැයි පුද්ගලික ඒවයෙ අපිට වඳින සයිස්. ඒ අතින් රනිල් හරි.

    ReplyDelete
    Replies
    1. //ශ්‍රී ලන්කන්, ඒකෙ ඉන්න සමහර එයාහොස්ටස්ලා හම්බන්තොට, හරියට ඉංග්‍රීසිවත් කථා කරගන්න බැරි කළු, හැමතැනින්ම මස් එල්ලෙන කැත ගෑණු ටිකක්.//

      ඔබ මෙවැනි ප්‍රකාශ කරන්නේ අනුභූතික සාක්ෂි මත පදනම් ව ද?

      මීට, අක්ෂය පාඨකයෙක්.

      Delete
  13. obese (grossly fat or overweight.) government service.............පුලුවන් තරම් බර අඩුකරගත්තොත් ඇවිදින්න ලේසියි. හුස්ම ගන්නත් ලේසියි. අකැමති නම් ඔහොම යං. උස්සගෙන යන්න වෙන්නේ පාරේ ඉන්න අයටම තමයි.

    ReplyDelete
  14. //ආචාර්ය උපාධි තිබෙන 3,296ක් ඉන්නා බවත්, ඔවුන්ගෙන් 2,657ක් ඉන්නේ අර්ධ රාජ්‍ය අංශයේ බවත් වාර්තා වෙනවා.

    වෛද්‍ය විශේෂඥයන් 1800ක් පමණ සිටිනවා. MDඋපාධිධාරීන් විදියට ගත්තොත් 2500ක් විතර සිටින නිසා ආචාර්ය උපාධිධාරීන්ගේ ගණන මීට වඩා වැඩි විය යුතුයි.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා