මේ අරාජිකත්වය අවසන් කළ යුතු ය

රට වේගයෙන් අරාජිකත්වයක් වෙත තල්ලු වෙමින් තිබේ. එය නිරූපණය වන පැති කීපයක් තිබේ.

රටේ පැහැදිලි දේශපාලන නායකත්වයක් නැත. ජනාධිපතිවරයා හා අගමැතිවරයා කටයුතු කරන්නේ ඒකීය ධාරණාවකින් නො වන බව පැහැදිලි ය. ඔවුන් අතර සාකච්ඡා, අවබෝධතා හා සම්මුති ඇති බවක් නො පෙනේ.

විශේෂයෙන් ම අගමැතිවරයාගේ ගජමිතුරු කල්ලිය කටයුතු කරන ආකාරය ගැන දැඩි විවේචනයක් තිබේ. එය වනාහි රට හෝ ආණ්ඩුව හෝ තමන්ගේ පක්ෂය හෝ ගැන සිතා කටයුතු කිරීමක් නො වේ. ඒ වෙනුවට මෙම ගජමිතුරු කල්ලිය සිටින්නේ මනෝ රාජ්‍යයක ය. බලය රැක ගැනීමේ හෝ උවමනාවක් ඔවුන්ට ඇති බවක් නො පෙනෙන අතර කටයුතු කරන්නේ සිහිනෙන් ඇවිදින්නන් සේ ය.

අගමැතිවරයාගේ මූලිකත්වයෙන් දියත් කර ඇති ආර්ථික හා සමාජ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය රජය කඩා වැටීම වළක්වා ගැනීම සඳහා මේ මොහොතේ අවශ්‍ය ඒවා ය. එහෙත්, තමන් කරන්නේ කුමක් ද යන්න පිළිබඳව මුලින් තමන්ගේ පක්ෂය සමග ද, දෙවනුව ආණ්ඩුවේ හවුල්කාර පක්ෂය සමග ද සාකච්ඡා කළ යුතු ය. ඉන් පසු ඒ පිළිබඳ ජනතාව අතර යහපත් සංවාදයක් ඇති කර ගත යුතු ය. ඒ කිසිවක් කිරීමේ උවමනාවක්වත්, හැකියාවක්වත් අගමැති වටා සිටින පිරිසට නැත.

ජනාධිපතිවරයාගේ මූලික ගැටලුව වන්නේ දෘෂ්ටියක් නැතිකමයි. තමන් කවුරුද, තමන් ජනාධිපති පදවියට පත් වුණේ කුමන සංදර්භයක් තුළ ද, රට තමන්ගෙන් අපේක්ෂා කරන නායකත්වය කුමක් ද, රට දැනට තිබෙන තැනින් කුමන තැනකට යොමු කළ යුතු ද යන කරුණු පිළිබඳව ඔහුට හෝ ඔහු වටා සිටින පිරිසට හෝ අදහසක් ඇති බවක් නො පෙනේ. ඒ වෙනුවට එතුමා ගෙදරින් ගෙනා බත් මුල කන්තෝරුවේදී කා, උත්සව තිබුණොත් එහි ගොස් ඇට්ටි හැලෙන කතාවක් පවත්වා එයි. ඔහු හිතන්නේ ජනාධිපතිකම එය ය කියා විය හැකි ය.

එහෙම අයට පාලනය කරන්නට පුළුවන් රටවලුත් තිබිය හැකි ය. එහෙත්, පල් හොරුන් හා බොරුකාරයන් රැළක් වන සකලවිධ දේශපාලකයනුත්, නියම අංකූරන්ගෙන් කුසැදි දැවැන්ත අකාර්යක්ෂම රාජ්‍ය සේවා පිල්ලුවත්, රටට ම ගැලපෙන නල්ල මලේ ජනතාවත් එක්ක ඔය වගේ නායකයන්ට වන්නේ දෙයියන් විෂ දෙන්නට පෙර කාලේ සර්පයන්ට වෙච්ච දේ ය. දරට ගිය අය දරමිටි බඳින්නට සර්පයන් ගත්තා සේ මේ නායකයන්වත් ලණුවට, දරණුවට ගන්නා තත්වයට ගොස් තිබේ.

ලංකාවේ ජනතාව වනාහි ප්‍රජාතන්ත්‍රවාදය හා නිදහස භාවිතා කළ යුතු විනයක් ඇති පිරිසක් නො වන බව නැවතත් ඔප්පු කරමින් තිබේ. දැන් අපට ප්‍රජාතන්ත්‍රවාදය එපා යයි විප්ලවවාදියෝ පවා කියති.

කෙසේ හෝ මේ වනාහි ආණ්ඩුව රට පාලනය ගැන ගැඹුරින් සිතිය යුතු මොහොතකි. ජනාධිපති හා අගමැති අතර යහපත් සංවාදයක් ඇති විය යුුතු ය. පාලක සන්ධානයේ නායකයන් අතර තමන් කරන දේ ගැන අවබෝධයක් තිබිය යුතු ය. දේශපාලන නායකත්වය හා රජයේ නිලධාරින් අතර මනා සම්බන්ධීකරණයක් තිබිය යුතු ය. දේශපාලකයන් දුර්වල වී තිබෙන මෙම මොහොතේ රජයේ නිලධාරීන් හෝ නායකත්වයට වගකිව යුතු ය.

පුරවැසි ව්‍යාපාර මෙම තත්වය ගැන ගැඹුරින් කල්පනා කළ යුතු ය. තව දුරටත් පීඩන කණ්ඩායම් දේශපාලනයෙන් ප්‍රතිඵල ලබා ගැනීමට හැකි තත්වයක් නැත. පුනරුද ව්‍යාපාරයේ අදහස වන ජනතාව දියුණු වුණොත් පාලකයන් දියුණු වේ යයි සිතා වැඩ කරන්නට තරම් අවිහිංසාවාදී දේශපාලනයක් ද ලංකාවේ නැත. මහජනතාව දේශපාලන බලය ගැන බැරෑරුම්ව සිතිය යුතු ය. 

දේශපාලකයන් දේශපාලනය කරන්නේ නැතිනම් මෙය කියවන ඔබ හෝ දේශපාලනය කළ යුතු ය. ඔබේ අදහස් පළ කරන්න.

ඔබගේ අදහස් අපි මහත් සේ අගයමු. නිර්නාමිකව හෝ අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී තිබෙන්නේ එම නිසා ය. එහෙත්, එය අපහරණය නො කිරීම ඔබ‍ගේ වගකීමකි. අසභ්‍ය යයි සාමාන්‍ය ව්‍යවහාරයේ පිළි ගැනෙන වචන සම්බන්ධයෙන් සදාචාරවාදී නො වන මුත්, අනුන්ට අපහාස කිරීම සඳහා එවැනි වදන් භාවිතා කර තිබෙන අවස්ථාවලදී ඒවා ඉවත් කිරීමට සිදු වන බව කරුණාවෙන් සලකන්න. එසේම, නීතිමය ගැටලු මතු කරන අදහස් පළ කිරීම් ද ඉවත් කරනු ලැබේ. අදහස් පළ කිරීම සම්බන්ධ කාරණාවලදී සංස්කාරක වගකීම් සමග සහයෝගයෙන් කටයුතු කිරීම බලාපොරොත්තු වෙමු.

Comments

  1. Replies
    1. අපට පෞද්ගලිකව නම් එහෙම එකක් වී නැත. මන්ද, මෙම පුද්ගලයන්ගේ සීමාකම් ගැන අපි දනිමු. අපට සිදු වී තිබෙන අලකලංචිය වන්නේ අප නායකයන් තෝරා ගත යුත්තේ අපට සිටින නායකයන් අතරින් වීමයි. ලංකාවට නායකයන් නැත.

      Delete
  2. මේ සියල්ලටම මුල ශ්‍රිලනිප ආප්පයෙක්ව රාජපක්ෂ රෙජීමය පෙරලීමට පංගරාත්තු කරගන්න සිද්ධවීම....
    2020දී රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු පිරිසිදු එජාප රජයක් පත්කරගෙන 2030 දක්වා ඒ රජය පවත්වාගෙන යා යුතුයි... මේ ප්‍රශ්න ඔක්කොටම විසදුම ඒකයි..

    ReplyDelete
    Replies
    1. ජනතාව 2020දී රනිල්ව ජනාධිපති කර 2030 දක්වා ඔහු සහ ඔහුගේ සහචර පිරිසට කැමති විදියකට කරගෙන යාමට මේ රටේ ජනතාව අවස්ථාව දිය යුතු යයි රනිල් ද සිතා සිටිනවා විය හැකි ය.

      ඒකත් අර මහින්ද හිතපු විදියම තමා ය.

      ඕවා හීන ය. ජනතාව ඔය හිතන ජාතියේ වහලුන් නො වන බව මහරජ මහින්ද ඉගෙන ගත්තේ ය. රනිල් හාමුට ගලබොඩ ඥානිස්සර පිහිටයි!

      Delete
    2. ඇයි පැරා හිතාගෙන ඉන්නෙ 2020දි අනුර කුමාර අගමැති කරන්නද?

      Delete
  3. //පුනරුදයේ අදහස වන ජනතාව දියුණු උනොත් පාලකයන් දියුණු වේය සිතා වැඩකරන්නට තරම් අවිහිංසා වාදී දේශපාලනයක් ද ලoකාවේ නැත..... මහජනතාව දේශපාලන බලය ගැන බැරෑරුම් ව සිතිය යුතුය.//
    පැරා, පුනරුදය උත්සාහ කරන්නේද ජනතාවට දේශපාලන බලය ගැන බැරෑරුම්ව සිතන්නට පුරුදු කරන්න නොවේද? මට හිතෙන්නේ ලංකාවේ දේශපාලනය මේ මොහොතේ අතිශය අහිංසකයි. රවී,අර්ජුන,ඇලෝසියස් පණපිටින් ඉන්නේ ඒ නිසා.

    ReplyDelete
    Replies
    1. දේශපාලනය යනු සිතීම සඳහා පමණක් නො වේ. ක්‍රියාකාරිත්වයකි.

      Delete
  4. මට නම් හිතෙන්නේ, මේක බේරගන්න වෙන්නේ අඩුම ගානේ ඉතා ඉක්මනින් පලාත් පාලන ඡන්දය පැවත්වීමෙන්. එතකොට ඉතිරි ටික විසඳගැනීම ජනතාව සතුයි. මාර්ගයේ හොඳ හෝ නරක ජනතාව තීරනය කරාවී.

    ReplyDelete
    Replies
    1. පළාත් පාලන, පළාත් සභා ඡන්ද තිබ්බොත් අඩු ගානේ දේශපාලනයේ තෙවන, දෙවන පෙළක් හෝ හැදෙනවා.

      මෙතනදි රනිල් වික්‍රමසිංහට වෙන කිසිම පෙළක් අවශ්‍ය නැහැ. එයාගේ ගජමිතුරු පෙළ විතරක් හිටිද්දි මුළු ලංකාවට ම සිහි නැති වෙනවා නම් එයා කැමතියි.

      Delete
  5. පැරා දැන් ඉල්ලන්නේ ඇමරිකානු ක්‍රමයේ ජනාධිපතියෙක්ව ය. ඡන්දයේ දී පැරා ඇතුළු බහුතරයක් කැමති වුනේ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කර ඉන්දියානු ක්‍රමයේ පාලනයක් සඳහා නේද?

    ReplyDelete
    Replies
    1. නැත. අප කිසිවෙක් පාලනයකින් තොර රටක් වෙනුවෙන් පාලනය වෙනස් කළේ නැත. ලංකාවට අවශ්‍ය ට්‍රම්ප් කෙනෙකු නො ව, දක්ෂ සංවිධායකවරයෙකි. රනිල්ට යම් දැක්මක් ඇත. මෛත්‍රීපාලට කථිකත්වයක් තිබේ. එහෙත්, මේ දෙන්නා ම සංවිධානයෙහි දක්ෂයන් නො වෙති. කිසිදු බලමුළුගැන්වීමක් නැත්තේ ඒ නිසා ය.

      Delete
    2. පැරා ඇමරිකාව පාලනයකින් තොර රටක් කියලද හිතාගෙන ඉන්නේ.. ට්‍රම්ප් කියන්නේ මාධ්‍ය වලින් vilify කරපු , නමුත් රටට චරිතයක් විනා එකාධිපතියෙක් නෙමේ... ඇමරිකාවෙ නීතියෙන් හා විව්‍යස්තාවෙන් එකාධිපතියෙක් බිහිවෙන්න ඉඩක් හදලා නෑ...

      Delete
    3. මා මෑත කාලයේ දුටු අති දක්ෂ සංවිධායකයා ගෝටාභයයි !

      Delete
    4. පැරා විහිළු කරන අදහසින්ද රනිල්ට දැක්මක් ඇතැයි කීවේ?

      Delete
    5. ඇැමරිකාව වැනි රටවල් හා ලංකාව අතර වෙනස දේශපාලකයන්ට වඩා ඉදිරියෙන් සිටින රාජ්‍ය සේවයක් තිබීමයි. ලංකාවේ රාජ්‍ය සේවය දේශපාලකයන්ට ඉදිරියෙන් සිටින්නේ දූෂණයේ පරිමාණයෙන් පමණි.

      රාජ්‍ය නිලධාරීන් දේශපාලකයන්ටත් වඩා පසුගාමී බව පෙන්වන්නට උදාහරණ ලෙස ගාමිනී විජේසිංහ, අශෝක පීරිස් වැනි අය දැක්විය හැකි ය. දේශපාලකයන්ට ඉදිරියෙන් සිට ගැටලු විසඳනවා වෙනුවට ඔවුන් නිදහස පාවිච්චි කරන්නේ දේශපාලකයන් කරන දේවල් ම කරන්නට ය.

      ගෝඨාභය ප්‍ර‍ජාතාන්ත්‍රික දේශපාලන සංවිධායකයකු නො වේ. මහින්ද හැර වෙනත් ජනාධිපතිවරයකු යටතේ පවා ගෝඨාභය අසාර්ථක විය හැකි ය. මහින්ද ඔහුට වඩා දහස් වාරයක් දක්ෂ දේශපාලන සංවිධායකයෙකි. ඔහුට ද තිබුණු ගැටලුව දැක්මක් නැතිකම නිසා ජනතාවට නායකත්වය දෙනවා වෙනුවට ජනප්‍රියත්වය වෙනුවෙන් ඕනෑම දෙයක් කිරීමයි.

      ගෝඨාභය කෙතරම් අසාර්ථක සංවිධායකයකු ද යන්න පෙන්වීමට හොඳම උදාහරණය 2020 ජනාධිපති අපේක්ෂකයා වීමට අවශ්‍යතාව තිබුණත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සංවිධානය කර ගන්නවා වෙනුවට එය උඩින් වැටෙනකල් බලා සිටීමයි.

      Delete
    6. //AnonymousFebruary 9, 2017 at 7:26 AM//
      ගෝට දක්ෂ සංවිධායකයෙක් ?? පුහ්.
      කරන්නෙ මොනවද, වියදම් කොච්චරද කියල කවුරුත් ප්‍රශ්න කරන්නෙ නැති, පොලිසිය සහ ත්‍රිවිද හමුදාව ඕනම දේකට තම සිතැඟි ලෙස පාවිච්චි කල හැකි පරිසරයක, මොනවද ඕයි සන්විධානය කරන්න බැරි ?

      Delete
    7. //ගෝඨාභය කෙතරම් අසාර්ථක සංවිධායකයකු ද යන්න පෙන්වීමට හොඳම උදාහරණය 2020 ජනාධිපති අපේක්ෂකයා වීමට අවශ්‍යතාව තිබුණත් ඒ වෙනුවෙන් වැඩපිළිවෙලක් සංවිධානය කර ගන්නවා වෙනුවට එය උඩින් වැටෙනකල් බලා සිටීමයි.//

      ඕව මොනවද 2015 ජනාධිපතිවරනෙට මාස තුනකට කලින් ඉදිරිපත් කරන අපේක්ෂකයා කවුද කියල විපක්ෂේ අය දැනගෙන හිටියේ නෑ. ඔය ලස්සනට දින්නේ. එකපාරටම ඉදිරිපත් උනාම ආකර්ෂණය වැඩියි. දැන්ම ඉඳන් ලැස්ති උනාම ආණ්ඩුවට ලේසියි.

      Delete
  6. Mea dinawala roopa pettiye denviemak yanawa rajayen . Aeaken kiyanne jangama durakathana sihiyen bhaavitha karanna kiyalai . Namuth aehi awasan roopa pelin kiyewenne mea rajayata viyaheki , owun nosithana awasaanayaka ingiyak noweada ?
    [ DEN KAALE SAMAHARA PAKSA SAHA DESAPALANAYATA IWA ALLANNAN SAMAHARA GHATHANA HO EVENI UTHASAAHAYAN VIMARSANAYA KARANNA YAI POLISIYATA NETHINAM PAWATHINA RAJAYATA PUNA PUNAA KIYAMIN SITINNE AIY .? ]

    ReplyDelete
  7. පුනරුදය නමැති උණ පුරුකේ ලා මෝඩකම නමැති බලු නගුටේ ඇද අරින්නට වික්ටර් අයිවන් දරනා වෙහෙස ගැන ඇත්තේ කනගාටුවකි. හැදෙනවානම් හැදෙන්නට අවස්ථා දෙකක්ම පසුගිය දශකයකට මදක් වැඩි කාලය තුල ලාංකිකයන්ට ලැබුනි. එකක් සුනාමියයි. අනෙක එල්.ටී.ටී.ඊ ය යුදමය වශයෙන් පරාජය කල අවස්ථාවයි. ඒ දෙකටම පයින් ගසා සුපුරුදු ගවර වළටම වැටුනු ජාතියකට පුනරුදයකින් පලක් නැත.

    ReplyDelete
    Replies
    1. පුනරුද ව්‍යාපාරය ගොඩනැගෙන ආකාරය ගැන තරමක් සමීපව නිරීක්ෂණය කළ අයෙකු ලෙස මම වික්ටර් අයිවන් තුළ ඇති අව්‍යාජ උනන්දුවට හා අනුරාගයට ගරු කරමි. එහෙත්, පුනරුදය සංවිධාන ක්‍රියාවලියට ද අදාළ බව පුනරුද ව්‍යාපාරය තේරුම් ගෙන ඇති බවක් නො පෙනේ. යල් පැන ගිය සංවිධාන ආකෘති කර පින්නා ගෙන පුනරුදය ඇති කළ හැකි ද යන ප්‍ර‍ශ්නය මට තිබේ.

      Delete
  8. "Imagine a multinational company with a Chief Executive Officer who does not know the job, does not have goals to deliver on, and is not accountable to anyone."

    Nishtar, S. (2015). Reflections from my tenure as minister. The Lancet, 385(9971), 910-913.

    ReplyDelete
  9. ප්‍රජාතන්ත්‍රවාදය ඕනැන්නේ නෑ කියන අයට දොස් කිව්වට. පැරා කියන්නෙත් ඒකම තමයි..

    ප්‍රජාතන්ත්‍රවාදි නිදහස උපරිමයෙන්ම තියෙනවා.. අපි කොච්චර බැන්නත්.. සිරිසේන ලොක්කට ඒ ගැන් ස්තූතී කරන්නත් ඕන..

    ReplyDelete
  10. පුනරුදය යල්පැන ගිය ආකෘතියක් නම් පැරා ට එය වික්ටර් එක්ක කෙලින්ම කතා කරගන්න පුළුවන් නේද? පරණ දේ අදට නොගලපෙන බව ඇත්ත. ඒත් චන්ද්‍රිකා අද එයි හෙට එයි කිය කියා වික්ටර් අයිවන් කී දවසක් නම් බලන් හිටියද? සිද්ධ උනේ නම් විනාශයක් තමයි. ඒත් ඒ වෙලාවේ එය කළයුතුව තිබුණා. මේකත් ඒ වගේ වේවි. සය්ටම් කිව්වම එදා කවුද දන්නේ? අද කවුද නොදන්නේ.

    ReplyDelete
  11. මේක දැන් එදාවේල ටුවර්ස් රටක් වෙලා.දවසකට මොකක් හරි අල්ලා ගන්නවා.එච්චරයි.නිශ්චිත දැක්මක්,හරි වැඩපිළිවෙලක් නැහැ.එහෙම මොනවා හරි වැඩපිළිවෙලක් තිබ්බොත් මොකෙක් හරි උද්ඝෝසන කරනවා එව්වාට විරුද්ධව.ඊට පස්සේ විධායකයේ මැදිහත්වීමෙන් හෝ රනිල්ගේ මැදිහත්වීමෙන් එක නතර වෙනවා.

    ReplyDelete
  12. එහෙම දේශපාලනයක් කල හැකි බවක් පෙන්නුම් කල පක්ෂ ගැන තැබූ බලාපොරොත්තු ඉටු නොවෙන් බවක තමයි පෙනෙන්නේ.

    ඒ අයගේ ක්ලැසික් ඡන්දදායකයෝ ටික රැකගන්න පරණ හිටපු තැනටම යනවා මිසක් නව නුතනයට ගැලපෙන නව මුහුණුවරක් එන්න ඔවුන්ට බැරි පවා පෙන්වා තිබෙනවා නැවත. නිකම් වෙලාවට ලස්සන අදහස් ප්‍රකශ කලාට, ඔබ වරක් කිව්වා වගේ තවම එයාලගේ ක්‍රියාකාරී දේශපාලනේ සීමා වෙන්නේ ධනපතියා, සූරා කෑම වගේ වචන ටිකකට.

    ReplyDelete
  13. හමුදා නායකයින් අධිකරණයට ගෙනවිත් කලින් රනිල්ගේ ආණ්ඩුව වට්ටවාගත් "මිලෙනියම් සිටි" වැනි දේශපාලන විනාශයක් කරගැනීමට මෛත්‍රීට මෙන්ම රෑ මිලෙනියම් සිටි වලේ වැටී ආණ්ඩුවද නැතිවනු රනිල්ට මහදවාලේ පෙනි පෙනී වැටීමට උවමනාවක් නැත. රට අරාජිකවෙලා කියා කෑ ගසන බ්ලොග් කාරයෝ කියන දේවල් වලින් පාඩු වෙන්නේ දුක් විඳිමින් ආණ්ඩුවක් හදාගෙන ඒක කරගෙන යන්නට වලි කන මිනිස්සුන්ට මිස පාට් ටයිම් බ්ලොග් කාරයින්ට නොවේ. ආණ්ඩුව නැතිවෙන්නේ උන්ටය. ගුටි කන්ඩ වෙන්නේ උන්ටය.

    බ්ලොග් කාරයින්ට නොතේරුනාට මේ රටේ මිනිස්සුන් යුද්ධය අවසන් කල හමුදාවට දක්වන ගෞරවය බිඳක් හෝ අඩුවී නැත. නන්දිකඩාල් පොත අරගෙන ගෙදර තියාගත්තත් සැපැයි කියමින් මිනිස්සු පොර කකා ඒ පොත ගත්තේ පිස්සුවට නොව සැබැවින්ම හමුදාවට ආදරය කරන බැවිනි. පදක්කම් පුරවාගෙන උසාවි පැමිණෙන හමුදා ලොක්කන් හා ගෝඨා පදක්කම් ගලවා, ජම්පරය අන්දවා රිමාන්ඩ් කල හොත් ආණ්ඩුවට සිදුවන දෙය මෛත්‍රීගේ දේශපාලන ඉවට හොඳින් ග්‍රහණයවේ. ඔහු එම ක්‍රියාන්විතය ලත් තැනම ලොප් කොට දැමුවේ ඒ නිසාය.

    නායකත්වය යනු වාචාලකම, මදාවිකම හා පුහු මාන්නය යයි සිතාගෙන ඉන්නා ලාංකික මෝඩයින්ට මෛත්‍රීව හා රනිල්ව තේරුම් ගත නොහැක්කේ ඒ බැවිනි. W3 අජිත් පැරකුම් එවැනි මෝඩයෙක් යයි මම නොකියන මුත්, අජිත් පැරකුම්ට පවා මෙම දෘෂ්ඨිමානයෙන් එහා නොපෙනෙන්නේ, ටීවී, පත්තර, රේඩියෝ මාද්දිය හිඟන්නන්ගේ නරි නාටක වලින් දෑස් නිලංකාරවී ඇති නිසා විය යුතුය.

    ReplyDelete

Post a Comment

මාතෘකාවට අදාළ නැති හා වෛරී අදහස් ඉවත් කිරීමට ඉඩ ඇති බව කරුණාවෙන් සලකන්න.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා