2012-08-21

බාබේරියාවෙන් ලියුමක් - A Letter from the Land of Barbarians

මේ ලිපිය ලියන මම බාබේරියාවේ පුරවැසියෙක්මි. මේ බ්ලොගය ලියූ පැරාට හා පැරාට උපදෙස් දෙන මෙම බ්ලොගයේ කමෙන්ටුකරුවන්ට තමන් ජීවත් වන රට කොයි තරම් හොඳ එක්දැයි තේරුම් ගනු පිණිස මා ජීවත් වන බාබේරියාව ගැන විස්තර දිගටම මෙම බ්ලොගයට ලියන්නට අදහස් කරමි.

බාබේරියාව බටහිර අධිරාජ්‍යවාදී, දුප්පත්, ඒකාධිපති, ෆෙඩරල් රටකි. එහි අගනුවර කෝලම්පූර් නම් වේ. බහුතර ජනයා පේට්‍රියට්වරු වන අතර සුළුතරය ට්‍රේටර්වරු වෙති.  රට පාලනය කරන්නේ සුළුතරය විසිනි. ඔවුන්ගේ භාෂාව බාබේරියන් භාෂාව ය. ප්‍රධාන ආගම මුදල් ය. විනිමය ඒකකය ලේ ය.

රටේ පාලකයා මහජන ඡන්දයෙන් පත් වන රජෙකි. රට පාලනය කරන්නේ රජුගේ පවුල විසිනි. මහජන නියෝජිතයන්ට කතා පවත්වන්නට කතා සාප්පුවක් තිබේ. මේවා ගැන විස්තර පසුව ලියමි.

ඔය රටේ මෙන් මෙහි මාධ්‍ය නිදහසක් නැත. මේ රටේ බ්ලොග්කරුවන් ජීවත් වන්නේ අතිශය අනතුරුදායක තත්වයක නිසා මෙසේ මේ බ්ලොගයට ලියන්නට ‍තීරණය කළෙමි.

බාබේරියාවේ අපට මෙහෙම අන්තර්ජාලයෙන් එක එක ඒවා ප්‍රසිද්ධ කරන්නට බැරිය. ඔහේ මෙන් නොව, මෙහේ ආණ්ඩුව වෙබ් සයිට්වලින් පවා මුදල් අය කරයි.

බාබේරියාවේ මිනිස්සු ඔහේ 'ජනතාව' මෙන් බුද්ධිමත් නැත. ඔවුහු දූෂිතයෝ ය. පාලකයන් හොරුන් ය කියා බැන බැන මේ රටේ මිනිස්සු තමන්ට ද හොරකම් කරන්නට මාර්ග සොයති. බ්ලොග්කාරයන් මොන හත්වලාම කිව්වත් එහේ ජනතාව කරන්නේ රජ්ජුරුවන්ට ඕනෑ දේ ය.

ඔය රටේ වැනි වෙඬරු වැනි උණුවෙන හදවත් ඇති, සල්ලිවලින් ගිනිකණ නොවැටුණ ඇස් ඇති, මනුස්සකමින් පිරිපුන් උතුම් මිනිසුන්ගෙන් සැදුම් ලත්, අවංක, පිරිසිදු, සක්‍රිය වාමාංශික ව්‍යාපාරයක් බාබේරියාවේ නැත. එහි සිටින්නේ අර පෙරේරා මහත්තයා සිය කමෙන්ටුවේ කියන අන්දමේ මිනිස්සු පමණි.


(අජිත් - ඔබේ අලුත් කටයුත්ත කවරක් වුවත් ඊට සුබ පතමු.එහෙත් ඔබේ මෙබදු පෝස්ට් වලින් ධ්වනිත වන්නේ සමාජ ව්‍යාපාරයන්ගෙන් හා සාමූහික ක්‍රියාකාරීත්වයෙන් වියෝ වී කුටුම්භගත වූ අවංක හුදෙකලා මිනිසෙක්ගේ ආත්මගත වේදනාව බව අපගේ හැගීමයි.කෙතරම් අවංක වුවත් යමෙක් කුටුම්බගතව හුදෙකලා වූ කල්හි ඔහුගෙන් පැන නැගෙන්නේ සර්ව අශුභවාදය සහ දුක් අදෝනාවන් පමණි.ධනාත්මකභාවය හටගැන්මට නම් සාමූහික මිනිස් ක්‍රියාකාරීත්වයක් ඇවැසිය.එය එසේ සිදු නොවන තුරාවට ඔබට තවත් වසර ගණනාවක් තිස්සේ මෙබදු අරාජකවාදී එලොවටත් මෙලොවටත් නැති දුක් අදෝනා හා විලාප ලියමින් සිටිය හැකි වනු ඇත. - පෙරේරා)

බාබේරියාවේ ලංකාවේ මෙන් සමාජ ව්‍යාපාරයන් හෝ සාමූහික ක්‍රියාකාරීත්වයන් නැත. මෙහි ඇත්තේ කුටුම්බගතව හුදෙකලා වූ ජීවිතවලින් පැන නඟින සර්ව අශුභවාදය සහ දුක් අදෝනාවන් පමණි. එහි බ්ලොග්කරුවෝ ලංකාවේ බ්ලොග්කරුවන් මෙන් හොඳම වැඩ කරන්නේ නැත. No publicity is bad publicity කියමින් ඔවුහු බලු අන්දමින් ප්‍රචාරක කටයුතුවල යෙදෙති. ලංකාවේ මෙන් සමාජ ක්‍රියාකාරිකයන්ට බොක්කෙන්ම අත හිත දෙන තත්වයක් බාබේරියාවේ නැත. 

ඒ අතින් ලංකාවේ පැරාලා වැනි අය මාර වාසනාවන්තයෝ ය. කිසිදු සමාජ ඇසුරක් නැතිව, කුටුම්බගතව, කොළඹ උතුම් මානුෂික සාමූහික මිනිස් ක්‍රියාකාරකම් හා සමාජ ව්‍යාපාර සමග සම්බන්ධයක් නැතිව, කොළඹින් පිට ගමක සමාන්‍ය මිනිසුන් සමග ජීවත් වෙමින්, ළමයින්ට අකුරු උගන්වමින් සිටි ඌ වැනි මොට්ටයෝ පවා ලංකාවේ බ්ලොග් ලිවූහ. එවැනි පුද්ගල ක්‍රියාකාරිත්වයන් පොදු සමාජ ව්‍යාපා තුළට උණුසුම් සහෝදරත්වයෙන් පිළි ගනිමින් ටොප් ක්ලාස් පංති අරගලයක නියැලී සිටින මාර ආතල් වාමාංශික ව්‍යාපාරයක් තිබියදී පවා ඌට එහි අගයක් තිබු‍ණේ නැත. 

මින් ඉදිරියට ලංකාවේ වීරෝදාර ජනතාවගේත්, සුපිරි වීර වාමාංශිකයන්ගේත් උතුම් මනුස්සකම හා ජාත්‍යන්තරවාදය තව තවත් වර්ධනය කර ගනු පිණිසත්, හුදී ජනයාට ලංකාව සැබැවින්ම ආසියාවේ ආශ්චර්යය බව ඔප්පු කර පෙන්වීම සඳහාත් අපි වරින් වර බාබේරියාවේ අලුත් තොරතුරු ගෙන එන්නෙමු. 

බාබේරියාවේ ජාතියේ බාල පුතා අජඨාකාශගත වූ හැටිත් රැගෙන අපි ළඟදීම ඔබ හමු වන්නට එමු.

මේ ලිපියට ඔබ කැමති වුණත්, අකැමැති වුණත් වෙන අයත් එක්කත් බෙදා ගන්න. උපුටා ගන්නවා නම් ‍මෙතැනින් ගත් බව කියන්න