'පළමුව මරණය - දෙවනුව මව්බිම' හෙවත් මැයි 21දා වර්ජනය
මැයි 21දින වැඩ වර්ජනයක් කැඳවා තිබේ. කැඳවා තිබේ යයි කීවේ ඒ වර්ජනය වෙනුවෙන් තීන්දු ගැනීමට මා හෝ මගේ වෘත්තීය සමිතියේ නායකත්වය හෝ සහභාගි නොවූ නිසා ය. පෙනෙන විධියට මේ වනාහි ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වයේ කැඳවීමකි. ඔවුන්ගේ භාෂාවෙන් කියන විධියට කුරුට්ටන්ගේ කැඩී යාමෙන් පසුව ඇති වී තිබෙන තත්වය තුළ මෙහෙම ගියොත් කැඳත් නැතිව යන්නට පෙර කළ කැඳවීමකි. රැවුලත් කැඳත් දෙකම බේරා ගැනීමට කළ කැඳවීමකි. දැන් මෙතැන ඇති ප්‍රශ්නය මේ වර්ජනය ආඬි හත්දෙනාගේ කැඳහැලිය වගේ වෙයිද කියා ය. අනුර කුමාර දිසානායක හිටපු ඇමතිතුමා කියන පරිදි 21 වර්ජනයෙන් පසු 23 උද්ඝෝෂණයක් පැවැත්වේ. 'අහේතු කාලේන කජ්ජේන පුහුලං' කියා විහිළු ශ්ලෝකයක් තිබේ. ඒ කියන්නේ අහේතු කාලයට කජ්ජ ගහේ තිබියදී පුහුලම වැටෙනවාය කියා ය. අපි දන්න විධියට නම්, කම්කරුවෝ වර්ජනය තෝරා ගන්නේ අනෙකුත් ක්‍රියාමාර්ග සියල්ල අසාර්ථක වූ පසු ය. දැන් ක්‍රමය එහෙම නොවේ. මුලින් මාරාන්තික උපවාස කරනවා ය. ඊට පස්සේ මහා වැඩ වර්ජනයක් කරනවා ය. ඉන් පසු එක් දින සංකේත වර්ජනයක් කරනවා ය. ඊට පස්සේ ඒ වර්ජනය ගැන ජනතාව දැනුවත් කරන්නට පත්‍රිකා බෙදනවා ය. ඊට පස්සේ පිකටිං එකක් ක...