ඝානාව ලබාගත් ණය සහනයම ලංකාවට ලබාගත නොහැකි වූයේ ඇයි?

 

ලංකාවට ඇත්තට ආදරය කරන කෙනෙකු නම්, මේ ලිපිය කියවා අවබෝධ කරගන්න.

ලංකාවේ ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් රනිල් වික්‍රමසිංහ, ශෙහාන් සේමසිංහ, නන්දලාල් වීරසිංහ, මහින්ද සිරිවර්ධන වැනි අයගේ නායකත්වයෙන් පසුගිය ආණ්ඩුව හා රජය සිදුකළ කාර්යභාරයේත්, ඉන්පසු එය ඉදිරියට ගෙන යාමට වත්මන් ජනාධිපති අනුර කුමාර දිසානායකගේ නායකත්වයෙන් කරගෙන ගිය කාර්යභාරයේත් වැදගත්කම අවබෝධ කරගන්නට මෙම ලිපිය ඉතා වැදගත්.

ණය ප්‍රතිව්‍යූගතකරණය මීට වඩා හොඳින් කරගත හැකිව තිබුණු බවට ගොඩ සිට පීනන හැටි ඉගැන්වූ කයිවාරුකාර ජාජබ නායක අනුර කුමාර දිසානායක හා හර්ෂ ද සිල්වා වැනි මුග්ධයන්ගේ හිස්කම තේරුම් ගන්නටත් මෙම ලිපිය ප්‍රයෝජනවත්.

#ඉකොනොමැට්ටා #economatta

ඇතැම් අය ලංකාවේ ආර්ථික අර්බුදය හමුවේ ගත් ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග ඝානාවේ සිදු වූ සමාන්තරතා සමඟ සංසන්දනය කරනවා. මේ අය අතර වාමාංශික මතධාරීන් කිහිප දෙනෙක් වගේම, ප්‍රධාන විපක්ෂයට සම්බන්ධ අයත් සිටිනවා. මේ අයගේ මූලික තර්කය ලංකාව පසුගිය වසර තුනකට ආසන්න කාලය තුළ කළ දේවල් වඩා හොඳ ආකාරයකට කළ හැකිව තිබුණා කියන එකයි.

මේ විවේචන වලට යම් පදනමක් තිබෙනවා. ඊට හේතුව ඝානා ආර්ථික අර්බුදය සහ ලංකාවේ ආර්ථික අර්බුදය අතර සැලකිය යුතු සමානකම් තිබෙන නිසා සාධාරණ සංසන්දනයක් කළ හැකි වීම සහ ඝානාවේ සහ ලංකාවේ ප්‍රතිපත්ති ක්‍රියාමාර්ග තරමක් වෙනස් ආකාර වලින් ගනු ලැබීමයි.

ආර්ථිකයන්හි ප්‍රමාණ

2021 වසරේදී ඝානාවේ දළ දේශීය නිෂ්පාදිතය ඩොලර් බිලියන 79.5ක්. ලංකාවේ එය ඩොලර් බිලියන 88.6ක්. ඝානාවේ ජනගහණය මිලියන 32ක් වෙද්දී ලංකාවේ ජනගහණය මිලියන 22ක් පමණයි. ඒ නිසා, ඝානාවේ 2021 ඒක පුද්ගල ආදායම ඩොලර් 2,679ක් වෙද්දී ලංකාවේ එම අගය ඩොලර් 3,999ක්ව පැවතුණා.

අර්බුදයේ සම්භවය – අයවැය හිඟය

රටවල් දෙකේම ආර්ථික අර්බුද වලට ප්‍රධානම හේතුවක් වුනේ රජය ආදායම ඉක්මවා වියදම් කිරීම සහ අයවැය හිඟය පියවීමට සල්ලි අච්චු ගැසීමයි. 2019දී ඝානාවේ රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 58.3%ක් පමණයි. 2022 වන විට මෙම අගය 92.4% දක්වා ඉහළ ගියා. එය 2019-2022 අතර 34.1%ක වැඩි වීමක්. එම කාලය තුළ ලංකාවේ රාජ්‍ය ණය ප්‍රමාණයද දළ දේශීය නිෂ්පාදිතයෙන් 81.9% සිට 114.3% දක්වා 32.4%කින් ඉහළ ගියා.

ණය ශ්‍රේණිගත කිරීම්

රාජ්‍ය ණය වේගයෙන් ඉහළ යාම හමුවේ 2022 පෙබරවාරි මාසයේදී මූඩිස් ආයතනය ඝානාවේ ණය ශ්‍රේණිය C කාණ්ඩය දක්වා පහත දැමුවා. 2022 අගෝස්තු මාසයේදී S&P ආයතනයත් එයම කළා. මූඩිස් ආයතනය විසින් ලංකාව C කාණ්ඩයට දැමුවේ 2020 සැප්තැම්බර් මාසයේදී. 2020 දෙසැම්බර් මාසයේදී S&P ආයතනයත් එයම කළා. ඒ කියන්නේ ණය ශ්‍රේණිගත කිරීමේ ආයතන විසින් ලංකාවේ ණය පැහැර හැරීමේ අවදානම හඳුනා ගන්නේ අවුරුදු එකහමාරකට දෙකකට කලින්. ණය ශ්‍රේණිගත කිරීම් පහත වැටෙද්දී ඝානාවට වගේම ලංකාවටත් අලුතෙන් විදේශ ණය ගන්න අමාරු වෙනවා. අඩුව පිරවෙන්නේ අච්චු ගහන සල්ලි වලින්.

විදේශ සංචිත

අච්චු ගහන සල්ලි වල උදවුවෙන් අයවැය හිඟය පියවා ගත්තත්, විදේශ අංශය තුලනය කරගන්න වෙන්නේ රටේ විදේශ සංචිත විකුණලා. 2021 අගෝස්තු මාසයේදී ඩොලර් බිලියන 11.4ක්ව පැවති ඝානාවේ විදේශ සංචිත 2023 මාර්තු වෙද්දී ඩොලර් බිලියන 5.1 දක්වා පහත වැටෙනවා. මාස 19කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්. 2020 පෙබරවාරි වන විට ඩොලර් බිලියන 7.9 මට්ටමේ තිබුණු ලංකාවේ විදේශ සංචිත 2021 නොවැම්බර් වෙද්දී ඩොලර් බිලියන 1.6 දක්වා පහත වැටෙනවා. මාස 21කදී ඩොලර් බිලියන 6.3ක අඩුවීමක්.

උද්ධමනය

ඝානාවේ උද්ධමනය 2022 දෙසැම්බර් වන විට 54.1% දක්වා ඉහළ යනවා. ලංකාවේ උද්ධමනය 2022 සැප්තැම්බර් වන විට 67.4% දක්වා ඉහළ යනවා.

ණය පැහැර හැරීම සහ මූල්‍ය අරමුදලේ පිහිට පැතීම

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 මැයි මාසයේදීත් ඝානාවේ එවකට සිටි මුදල් ඇමතිවරයා කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 ජූලි මාසයේදී මේ අදහස වෙනස් වෙනවා. 2022 දෙසැම්බර් මාසයේදී මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. එම සම්මුතියකට පැමිණ සතියකට පසුව, 2022 දෙසැම්බර් 19 දින, ඝානාව විසින් ණය පැහැර හැරීම නිවේදනය කරනවා. 2023 මාර්තු මාසයේදී ඝානාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් අනුමත වෙනවා. මෙය ඝානාව මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

අර්බුදයේ උණුසුම දැනෙද්දී, 2022 පෙබරවාරි මාසයේදීත් ලංකාවේ බලධාරීන් කියන්නේ මූල්‍ය අරමුදල වෙත නොයන බවයි. එහෙත්, 2022 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදලෙන් ණයක් ලබා ගැනීමට තීරණය කරනවා. ඉන් පසුව, 2022 අප්‍රේල් මාසයේදී ණය පැහැර හැරීම නිවේදනය කරනවා. ඝානාව මූල්‍ය අරමුදල වෙත යන්න තීරණය කරන විටත් ඩොලර් බිලියන පහක පමණ විදේශ සංචිත ඝානාව සතුව තිබෙනවා. එහෙත් ලංකාව මේ තීරණය ගන්නා විට පරක්කු වැඩි නිසා නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙන තුරු අල්ලාගෙන ඉන්න බැරි වෙනවා. 2022 සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාව මූල්‍ය අරමුදල සමඟ නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණෙනවා. 2023 මාර්තු මාසයේදී ශ්‍රී ලංකාවට මූල්‍ය අරමුදලෙන් ඩොලර් බිලියන තුනක ණයක් ලැබෙනවා. මෙය ඝානාව මෙන්ම ශ්‍රී ලංකාවද මූල්‍ය අරමුදල වෙත ගිය 17 වන වතාවයි.

පොලී අනුපාතික

උද්ධමන උණුසුම දැනෙද්දී ඝානාවේ මහ බැංකුව පොලී අනුපාතික වේගයෙන් වැඩි කළා. මෙම වසරේ සැප්තැම්බර් මාසය වන විටත් ඝානාවේ ප්‍රතිපත්ති පොලී අනුපාතික පැවතුණේ 29% මට්ටමේ. එහෙත්, ලංකාවේ මහ බැංකුව විසින් 2022 අප්‍රේල් මාසය වන තුරුම කළේ පොලී අනුපාතික හිර කරගෙන සිටීමයි.

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම

විදේශ ණය පැහැර හැරීම නිවේදනය කරන්නටත් පෙරම ඝානාව විසින් දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම නිවේදනය කළා. ඒ වන විට ඝානාව මූල්‍ය අරමුදල සමඟ එක්ක නිලධාරී මට්ටමේ සම්මුතියකට පැමිණ නැහැ. අදාළ කටයුතු පසුබිමෙහි සිදු වෙමින් පැවතුණා පමණයි. දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ පළමු වට දෙක 2023 ජනවාරි හා පෙබරවාරි මාස වල අවසන් වෙද්දී අදාළ ණයහිමියන්ගෙන් 91%ක්ම ස්වේච්ඡාවෙන් මේ සඳහා සහභාගීවී සිටියා. ඉතිරි අයට මුල් ගිවිසුම් ප්‍රකාරව ණය හා පොලිය ආපසු ලැබෙනවා.

මෙම වට දෙකේදී වෘත්තීය සංගම් වල වීරෝධතා නිසා විශ්‍රාම වැටුප් අරමුදල් සතු වූ බැඳුම්කර ප්‍රතිව්‍යුගත කළේ නැතත්, පසුව 2023 සැප්තැම්බර් මාසයේදී ඒවාද ප්‍රතිව්‍යුහගත කළා. එහිදී අදාළ ණය වලින් 95%ක් ස්වේච්ඡාවෙන් ප්‍රතිව්‍යුහගත කෙරුනා. ලංකාවේ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීම අවසන් වුනේද 2023 සැප්තැම්බර් මාසයේදීයි.

මීට අමතරව, ඝානාවේ දේශීය නීතිය යටතේ නිකුත් කර තිබුණු ඩොලර් බැඳුම්කර වලින් (ලංකාවේ සංවර්ධන බැඳුම්කර වැනි) 92%ක් සහ කොකෝවා සංස්ථාව විසින් නිකුත් කර තිබුණු කොකෝබොන්ඩ්ස් වලින් 97%ක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. ඝානාවේ මහ බැංකුවෙන් රජය වසින් ලබා ගෙන තිබුණු බැඳුම්කර නොවන ණය (ලංකාවේ මහ බැංකුවේ තාවකාලික අත්තිකාරම් වැනි) ණය වලින් 50%ක් කපා හැර ඉතිරි කොටස බැඳුම්කර බවට පරිවර්තනය කෙරුණා.

සමස්තයක් ලෙස ඩොලර් බිලියන 20.3ක වටිනාකමක් ඇති දේශීය ණය ප්‍රමාණයක් ප්‍රතිව්‍යුහගත කෙරුණා. මීට සමාන්තරව ලංකාවේ සිදු වූ දේ අප පෙර ලිපි වල විස්තරාත්මක ලෙස කතා කර තිබෙනවා. ලංකාව ප්‍රතිව්‍යුහගත කළේ දේශීය ණය වලින් සාපේක්ෂව කුඩා ප්‍රතිශතයක්.

විදේශ ණය

දෙදහස් විසි තුන වසර අවසානයේදී ඝානාවේ විදේශ ණය සංයුතිය පැවතුනේ මෙලෙසයි.

බහුපාර්ශ්වීය ණය – ඩොලර් බිලියන 9.13

ද්විපාර්ශ්වීය ණය – ඩොලර් බිලියන 5.33

ස්වෛරිත්ව බැඳුම්කර – ඩොලර් බිලියන 13.10

අනෙකුත් වාණිජ ණය – ඩොලර් බිලියන 3.86

මෙම ගණන් අපට 2023 අවසානයේදී ලංකාවේ විදේශ ණය සංයුතිය හා සැසඳිය හැකියි.

බහුපාර්ශ්වීය ණය – ඩොලර් බිලියන 11.79

ද්විපාර්ශ්වීය ණය – ඩොලර් බිලියන 10.81

ස්වෛරිත්ව බැඳුම්කර – ඩොලර් බිලියන 12.55

අනෙකුත් වාණිජ ණය – ඩොලර් බිලියන 2.19

මේ අනුව පැහැදිලි වන පරිදි ශ්‍රී ලංකාවේ සහ ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රමාණ ආසන්නව සමානයි. බැඳුම්කර ප්‍රමාණය සැලකුවහොත් ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් හතක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඝානාව ස්වෛරිත්ව බැඳුම්කර 15ක් සඳහා මුදල් ගෙවීම පැහැර හැර තිබුණු අතර ඒවායින් තුනක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි.

ද්විපාර්ශ්වීය ණය

ආරම්භයේදී ලංකාව මෙන්ම පැරිස් සංසදය හා චීනය එකම මේසයකට රැගෙන විත් සාකච්ඡා කිරීමේ ප්‍රශ්නයට මුහුණ දී සිටියත්, මෙම වසරේ මැයි මාසයේදී ඝානාව ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ එකඟතාවයකට පැමිණුනා. සැප්තැම්බර් මාසයේදී ශ්‍රී ලංකාවද එවැනි එකඟතාවයකට පැමිණුනා.

ස්වෛරිත්ව බැඳුම්කර ණය

මෙම ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා ඝානාව ණයහිමියන් කණ්ඩායම් දෙකක් සමඟ වෙන වෙනම සකච්ඡා කළා. එක් කණ්ඩායමක් ජාත්‍යන්තර ණයහිමියන්ගෙන් සමන්විත වූ අතර අනෙක් කණ්ඩායම සමන්විත වූයේ අප්‍රිකානු කලාපයේ ණයහිමියන්ගෙන්. මේ අයුරින්ම, ශ්‍රී ලංකාවද ජාත්‍යන්තර ණයහිමියන් සහ දේශීය ණයහිමියන් සමඟ වෙන වෙනම සාකච්ඡා කළා. මෙම සාකච්ඡා වලදී ඇති කරගත් එකඟතාවයන් අනුව, ඝානාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය පසුගිය (2024) ඔක්තෝබර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කර අවසන් කෙරුණු අතර ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය දෙසැම්බර් මාසයේදී ප්‍රතිව්‍යුහතගත කෙරුණා.

ශ්‍රී ලංකාව මෙන්ම ඝානාවද ණයහිමියන්ට විකල්ප දෙකක් ලබා දුන්නා. ඝානාවේ ණයහිමියන්ගෙන් 91.0%ක් පළමු විකල්පය තෝරා ගත් අතර, තවත් 7.6%ක් දෙවන විකල්පය තෝරා ගත්තා. මුළු එකතුව 98.6%ක්. ඝානාවේ බැඳුම්කර වලින් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා අවශ්‍ය අවම අනුමැති සීමාව වූ 50% බෙහෙවින්ම ඉක්මවන 98.6%ක අනුමැතියක් ලැබුණා. සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැඳුම්කර තුනක් සඳහාද පිළිවෙලින් 92.4%, 97.4% හා 98.7%ක අනුමැතියක් ලැබුණු බැවින් ඝානාවට ඔවුන්ගේ ස්වෛරිත්ව බැඳුම්කර 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වුනා.

පළමු විකල්පය යටතේ ප්‍රතිව්‍යුහගත කළ බැඳුම්කර සඳහා ඝානාවට 37%ක මුහුණත අගය කප්පාදුවක් (හෙයාකට් එකක්) ලැබුණු අතර ණය ආපසු ගෙවීම 2026-2035 අතර කාලය තුළ සිදු වෙනවා. දෙවන විකල්පය යටතේ ණය කප්පාදුවක් සිදු වන්නේ නැහැ. එහෙත් ණය ආපසු ගෙවීම සිදු වනුයේ 2036දී සහ 2037දීයි.

මීට සාපේක්ෂව, ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය ප්‍රතිව්‍යුහගත කරද්දී 83.6%ක් පළමු විකල්පය යටතේද, 14.3%ක් දෙවන විකල්පය යටතේද ප්‍රතිව්‍යුහගත කෙරුණු අතර අවම අනුමැතිය නොමැති වීම නිසා එක් බැඳුම්කරයකින් 26.87%ක් ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ නැහැ. සමස්තයක් ලෙස ප්‍රතිව්‍යුහගත කළ හැකි වූයේ ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 97.86%ක් පමණයි. මෙම අගය ඉතා ඉහළ මට්ටමක ඇතත්, එය ඝානාවේ මෙන් 100%ක් නෙමෙයි.

ලංකාවේ පළමු විකල්පය යටතේ නිකුත් කරනු ලැබුවේ සාර්ව ආර්ථික නිර්ණායක හා බැඳී බැඳුම්කර වූ බැවින් ලැබෙන මුහුණත අගය කප්පාදුව රටේ දළ දේශීය නිෂ්පාදිතයේ ඩොලර් අගය අනුව විචලනය වන්නක්. දළ දේශීය නිෂ්පාදිතය මූල්‍ය අරමුදලේ ඇස්තමේන්තු හා සමපාත වුවහොත් ශ්‍රී ලංකාවට 27%ක මුහුණත අගය කප්පාදුවක් ලැබෙන නමුත් මෙය 14.5% දක්වා අඩු විය හැකියි. මේ අනුව, ලංකාව විසින් එළැඹ ඇත්තේ ඝානාවට සාපේක්ෂව අවාසිදායක ගනුදෙනුවකට බව යමෙකුට තර්ක කළ හැකියි. කෙසේ වුවත්, මෙම ණය ආපසු ගෙවිය යුත්තේ 2029-2038 අතර බවත්, එය ඝානාවට ලැබෙන කාලයට වඩා වසර කිහිපයකින් වැඩි කාලයක් බවද අප‍ට සැලකිල්ලට ගන්නට සිදු වෙනවා.

තවත් වැදගත් කරුණක් වන්නේ ප්‍රතිව්‍යුහගත කරනු ලැබූ ඝානාවේ ඇතැම් බැඳුම්කර කල් පිරීමට නියමිතව තිබුණේ 2049, 2051 හා 2061 වැනි ඉතා දිගු කාලයකට පසුව බවයි. ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී මෙම බැඳුම්කර හිමි වූ අයට තමන්ගේ ආයෝජනය වඩා කලින් මුදල් කර ගැනීමට ඉඩ ලැබුණා. ලංකාවට සාපේක්ෂව ඝානාවේ එවකට පැවති, දැනට පවතින හා අපේක්ෂිත දිගුකාලීන පොලී අනුපාතික ඉහළ මට්ටමක පැවතීම සැලකූ විට මුදල් වසරක් හෝ කලින් ලැබීම විශාල වාසියක්. මෙම කාල වෙනසේ වාසියද සැලකූ විට ඝානාවේ ණයහිමියන්ට මුහුණත අගය කප්පාදුවක අවාසිය ඒ තරම්ම විශාල නැහැ.

එසේනම්, ලංකාව මෙවැනි “අවාසිදායක” ගනුදෙනුවකට ගියේ ඇයි?

පළමුව කිව යුත්තේ ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් අවාසිදායක ගනුදෙනුවක් සේ සැලකිය නොහැකි බවයි. මෙවැනි ගනුදෙනුවකදී අවාසිය සිදු වන්නේ ණයහිමියාටයි. ඇසිය යුතු නිවැරදි ප්‍රශ්නය වන්නේ ඝානාවට ලැබුණු මට්ටමේ ණය සහනයක් ශ්‍රී ලංකාවට ලබා ගත නොහැකි වූයේ මන්ද යන්නයි.

වැරැද්ද පසුගිය ආණ්ඩුවේද?

පසුගිය ආණ්ඩුව පැවති කාලයේදී මෙම ණය ප්‍රතිව්‍යුගහත කිරීම ඇතුළු ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම් හැකි ඉක්මණින් අවසන් ක‍ර ගැනීම සඳහා විශාල කාර්ය භාරයක් සිදු වුනා. ජනාධිපතිවරණය ආසන්නව සිදු වූයේ මෙම ක්‍රියාවලියේ සමාප්තිය සටහන් කරන ක්‍රියාවක්.

ආණ්ඩුව වෙනස් වීමට පෙර ශ්‍රී ලංකාවේ ද්විපාර්ශ්වික ණයහිමියන් සමඟ එකඟතාවයක් ඇති කරගෙන අවසන්ව පැවති අතර ස්වෛරිත්ව බැඳුම්කර ණයහිමියන් විශාල ප්‍රමාණයක් අතරින් නවදෙනෙකු සමඟද එවැනිම එකඟතාවයක් ඇති කරගෙන තිබුණා. ශ්‍රී ලංකාවේ ස්වෛරිත්ව බැඳුම්කර ණය වලින් 40%ක ප්‍රමාණයක් අයිතිව තිබුණේ ඔවුන්ටයි. එහෙත් මෙම එකඟතාවය පාර්ශ්ව දෙකක් අතර ඇති කර ගනු ලැබූ ලිහිල් එකඟතාවයක් මිස අවසන් කළ නෛතික ගනුදෙනුවක් නෙමෙයි. මෙවැනි ලිහිල් එකඟතාවයකින් ඉවත් වීම අසීරු කාර්යයක් නෙමෙයි. සැබෑ නෛතික ගිවිසුමක් ඇති වන්නේ, දැන් සිදුව ඇති පරිදි, ණය හුවමාරුව අවසන් වීමෙන් පසුවයි.

පෙර සඳහන් කර තිබුණු පරිදි, ශ්‍රී ලංකාව ස්වෛරිත්ව බැඳුම්කර 11ක් පැහැර හැර තිබුණු අතර ඒවායින් 7ක් සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් වූ ඒවායි. ඒ අනුව, සමස්තයක් ලෙස මෙම බැඳුම්කර හතේ මුහුණත අගයයන්ගෙන් 50% ඉක්මවන ණය ප්‍රමාණයක හිමිකරුවන් කිසියම් ණය හුවමාරුවකට එකඟ වුවහොත්, එක් එක් බැඳුම්කරය හා අදාළ එම කැමැත්ත කවරක් වුවද, මෙම බැඳුම්කර හතේ මුහුණත අගයෙන් 100%ක්ම ප්‍රතිව්‍යුහගත කළ හැකි වෙනවා. ඉතිරි බැඳුම්කර හතර එවැනි සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ බැවින් එසේ කිරීම සඳහා ඊට වඩා වැඩි පිරිසකගේ (උදාහරණයක් ලෙස 75%කගේ) කැමැත්ත අවශ්‍යව තිබුණා.

මෙම නෛතික තත්ත්වය හමුවේ සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් වලට යටත් නොවූ එක් බැඳුම්කරයක් සඳහා අවශ්‍ය වූ එම අවම කැමැත්ත වූ 75% නොලැබෙන පරිදි එම බැඳුම්කරයේ මුහුණත අගයෙන් 25% ඉක්මවන කොටසක අයිතිය හිමි ණයහිමියන් ඒකරාශී කර ගැනීමට එක් ණයහිමියෙකු වූ හැමිල්ටන් රිසර්ව් බැංකුව කලින්ම සමත්ව සිටියා. ඝානාවට එවැනි නෛතික අභියෝග වලට මුහුණ දෙන්නට සිදුව තිබුණේ නැහැ.

ශ්‍රී ලංකාවේ ඉලක්කය වූයේ බැඳුම්කර හුවමාරුවට යාමට පෙර සාමූහික ක්‍රියාකාරිත්ව ගිවිසුම් බලාත්මක කිරීම සඳහා පසු කළ යුතු 50% සීමාව කොහොමටත් පසු කෙරෙන බව ශ්‍රී ලංකාව සමඟ පූර්ව ගිවිසුමකට එළැඹ නොමැති ණයහිමියන්ට ප්‍රදර්ශනය කිරීමයි. එවිට, තමන්ගේ කැමැත්ත නොමැතිව වුවද බැඳුම්කර ප්‍රතිව්‍යුහගත කෙරෙන බව ඔවුන්ට පෙනී යන නිසා ඔවුන්ද ණය හුවමාරුව සඳහා අයදුම් කිරීමට පෙළඹෙනවා. ඇත්තටම සිදු වුනේද එයයි.

මෙම ඉලක්කය ඇතිව ශ්‍රී ලංකාව විසින් ජාත්‍යන්තර ණයහිමියන් නව දෙනෙකු සමඟ එකඟතාවයක් ඇති කර ගත්තා. ඔවුන් සතුව බැඳුම්කර වලින් 40%ක් පමණ තිබුණා. දේශීය ණයහිමියන් සමඟ වෙනත් එකඟතාවයක් ඇති කරගත් අතර ඔවුන් සතුව බැඳුම්කර වලින් 12%ක් පමණ තිබුණා. එහෙත්, බැඳුම්කරහිමියන් විශාල පිරිසක් සමඟ එවැනි පූර්ව එකඟතා ඇති කරගෙන තිබුණේ නැහැ. එමෙන්ම, මෙම ඉතිරි පිරිස සතුවද බැඳුම්කර ණයවලින් අඩකට වඩා අඩු, එහෙත් ඊට ආසන්න ප්‍රමාණයක් තිබුණා.

හුවමාරුවේදී සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර නිකුත් කළේ ඉහත කී පළමු කණ්ඩායමේ සිටි ණයහිමියන් නව දෙනෙකුගේ ඉල්ලීම පරිදි ඔවුන් කැමති කර ගැනීම පිණිසයි. ජනාධිපතිවරණය පැවැත්වෙන අවස්ථාව වන විට මෙම එකඟතාව ඇති කරගෙන අවසන්ව පැවති අතර ඒ සඳහා චීනය ඇතුළු සියලුම ද්විපාර්ශ්වික ණයහිමියන්ගේ එකඟතාවයද, IMF අනුමැතියද ලැබී තිබුණා. ඒ අනුව, කළ යුතුව තිබුණේ නිල වශයෙන් ණය හුවමාරුව සඳහා අයදුම්පත් කැඳවීම සහ ලැබෙන අයැදුම්පත් මත පදනම්ව ණය ප්‍රතිව්‍යුහගත කිරීම පමණයි.

යම් හෙයකින් මේ කටයුත්ත මීට පෙර අවසන් කළ හැකිව තිබුණේනම් පසුගිය ආණ්ඩුව විසින් අනිවාර්යයෙන්ම එසේ කරන බව පැහැදිලියි. මීට වඩා දේශපාලනිකව මෙන්ම මූල්‍ය ස්ථායීතාවය හා අදාළවද අවදානම් කටයුත්තක් වූ දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේදී පසුගිය ආණ්ඩුව පැකිළුනේ නැහැ. විදේශ ණය ප්‍රතිව්‍යුහගත කිරීම හා අදාළවද දෙවසරකට ආසන්න කාලයක් තිස්සේ වේගයෙන් ක්‍රියාමාර්ග ගැනෙමින්න් පැවතුනා. ජනාධිපතිවරණ දිනය එළබුනේ එම ක්‍රියාවලිය අවසන් වන්නට ආසන්නව තිබියදීයි.

තමන්ට “ගෙදර යන්නට සිදුවීම” පැහැදිලිව පෙනීම මත ආණ්ඩුව දේශපාලනිකව සිතා කටයුතු කළේනම් බොහෝ විට කළ හැකිව තිබුණේ මෙම එකඟතාවයට නොපැමිණ තවත් කෙටි කාලයක් කල් මැරීමයි. අවසාන වශයෙන් සිදු වුනේ ආණ්ඩුව ගෙදර යාම වුවත්, ජනාධිපතිවරණය ඔන්න මෙන්න කියා තිබියදී ආණ්ඩුව විසින් මෙම එකඟතාවන් පිළිබඳව නිවේදනය කළේ එහි දේශපාලන වාසියද ලබා ගැනීමේ අරමුණින් බව තේරුම් ගැනීම ඒ තරම්ම අපහසු නැහැ.

පසුගිය ආණ්ඩුව විසින් කළේ ඔවුන්ට කළ හැකි වූ උපරිමයයි. මීට වඩා වාසිදායක ගනුදෙනුවකට යා හැකි වීනම් ඔවුන්ට එය නොකර ඉන්නට හේතුවක් තිබුණේ නැහැ. එම ආණ්ඩුව දේශපාලන වාසියක් ලබා ගන්නට උත්සාහ කළේනම්, ඒ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කර එහි ගෞරවය ලබා ගැනීම මගිනුයි. ආණ්ඩුව ගෙදර ගියේ අදාළ ක්‍රියාවලිය ප්‍රායෝගිකව අවසන් කිරීමෙන් පසුවයි.

වත්මන් ආණ්ඩුවට වෙනත් විකල්පයක් තිබුණේම නැද්ද?

මේ ආණ්ඩුව බලයට පත් වන විට ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා කළ යුතුව තිබුණේ අයදුම්පත් කැඳවීම සහ ඒ මත පදනම්ව ණය හුවමාරු කිරීම පමණයි. එය පහසුවෙන්ම මාසයක් ඇතුළත කළ හැකිව තිබුණු දෙයක්. මෙවැන්නක් කළ හැකිව තිබුණේ පසුගිය ආණ්ඩුව විසින් ඇති කරගෙන තිබුණු එකඟතා මත පදනම්වයි.

එහෙත් එයින් අදහස් වන්නේ පසුගිය ආණ්ඩුව විසින් වත්මන් ආණ්ඩුව ගිවිසුමකින් හිර කර තිබුණු බව නෙමෙයි. මේ ආණ්ඩුවට අවශ්‍ය වී නම් පසුගිය ආණ්ඩුව විසින් ඇති කර ගෙන තිබුණු එකඟතාවයෙන් ඉතා පහසුවෙන් බැහැර යා හැකිව තිබුණා. එම ලිහිල් එකඟතාවයට කිසිදු නෛතික පදනමක් තිබුණේ නැහැ. මේ ආණ්ඩුව එසේ නොකළේ, ඉතා නිවැරදි ලෙස, එවැනි ක්‍රියාමාර්ගයක අවදානම අවබෝධ කරගත් නිසායි.

යම් හෙයකින් මේ ආණ්ඩුව අදාළ එකඟතාවයෙන් බැහැර වී වඩා වාසිදායක ගනුදෙනුවක් ඉල්ලා සිටියේනම් සිදු විය හැකිව තිබුණේ සමස්ත ආර්ථික ස්ථායීකරණ ක්‍රියාවලිය දිගින් දිගටම කල් යාම පමණයි. අවසාන වශයෙන් ඇති කරගත් එකඟතාවයට වඩා වාසිදායක ගනුදෙනුවකට යාම බොහෝ විට සිදු නොවිය හැකිව තිබුණු දෙයක්. කෙටියෙන් කිවුවොත්, මේ ආණ්ඩුවට පසුගිය ආණ්ඩුව ගමන් ගත් පාරෙන් බැහැරව වෙනත් පාරක යා හැකිව තිබුණත් එම විකල්ප පාර අතරමගින් අවසන් වන, ගමනාන්තයක් නොමැති පාරක් (dead end).

ඝානාව ලබා ගත් දේ ලබා ගැනීමේ හැකියාවක් ලංකාවට නොතිබුණේ ඇයි?

ඝානාවේ ආර්ථිකයේ ප්‍රමාණය හා ස්වරූපය, එහි ආර්ථික අර්බුදයේ සම්භවය සහ දිග හැරුණු ආකාරය, අර්බුදයෙන් ගොඩ යාම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ගය ඇතුළු බොහෝ දෑ ලංකාවේ අදාළ තත්ත්වයන් සමඟ පහසුවෙන් සැසඳෙන බව ඇත්තක් වුවත්, දෙරට පැවති තත්ත්වයන් අතර ඉතා වැදගත් වෙනස්කම්ද කිහිපයක්ම තිබුණා. එයින් පළමුවැන්න ඒක පුද්ගල ආදායම්හි වෙනසයි.

ආර්ථිකයන්හි ප්‍රමාණ ආසන්නව සමාන වුවද, ලංකාවේ ජනගහණය ඝානාවේ ජනගහණයට වඩා අඩු බැවින් ලංකාවේ ඒක පුද්ගල ආදායම තිබුනේ සාපේක්ෂව ඉහළ මට්ටමකයි. අඩු ආදායම්ලාභී රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරමින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් අඳින බෙදුම් ඉර වැටී තිබුණේ ඝානාවේ සහ ලංකාවේ ඒක පුද්ගල ආදායම් අතරමැදිනුයි. ඒ අනුව, ඝානාව අඩු ආදායම් රටක් සේ හඳුනා ගැනෙද්දී ලංකාව මැදි ආදායම් රටක් ලෙස හඳුනා ගැනුණා.

මේ හේතුව නිසා ලංකාවේ හා ඝානාවේ ණය ගෙවීමේ හැකියාව තීරණය වූයේ එකම පදනමකින් නෙමෙයි. ණය තිරසාරත්වය ඇති කර ගැනීම සඳහා ලංකාවට එහි රාජ්‍ය ණය ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදිතයෙන් 95% මට්ටම දක්වා අඩු කර ගන්නට සිදු වෙද්දී ඝානාව හා අදාළ එම සීමාව 55% තරම් පහත මට්ටමක පැවතුනා. ලංකාවට යා යුතු වූ 95% ඉලක්කයට යාම සඳහා විශාල ණය කප්පාදුවක් කළ යුතු වූයේ නැහැ. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගැනීම තුළින් පමණක් වුවද එම ඉලක්කය ආසන්නයට යා හැකිව තිබුණා.

එහෙත් ඝානාවට ලැබී තිබුණේ අසීරු ඉලක්කයක්. රාජ්‍යමූල්‍ය ඉලක්ක සපුරාගෙන ඉතාම ආක්‍රමණශීලී (aggressive) මට්ටමක දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමක් සිදු කිරීමෙන් පසුවද, ඝානාවට 55% ඉලක්කය කරා යාම විශාල අභියෝගයක්ව තිබුණා. ස්වෛරිත්ව බැඳුම්කර ණය සඳහා විශාල මුහුණත අගය කප්පාදුවක් නොලබා එම ඉලක්කයට යා හැකිව තිබුණේ නැහැ. ඒ අතර, ලංකාවේ 95% ඉලක්කය කරා යාම සඳහා සාපේක්ෂව සුළු ණය සහනයක් ප්‍රමාණවත්ව තිබුණා.

ලංකාවට යෝජනා කළ ආකාරයේ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු බැඳුම්කර පිළිබඳ යෝජනාවක් ඝානාව වෙතද ඉදිරිපත් වුණා. එහෙත්, එම යෝජනාව මගින් ඝානාවේ ණය තිරසාරත්ව ඉලක්කය වෙත යාමට ඉඩ නොසැලසෙන බව මූල්‍ය අරමුදලේ නිගමනය වූ බැවින් ණයහිමියන්ට එම යෝජනාව අකුලා ගන්නට සිදු වුනා. ලංකාව හා අදාළව ණයහිමියන් විසින් ඉදිරිපත් කළ යෝජනාව අරමුදල විසින් පිළිගත්තා.

රාජ්‍ය ආදායම් ප්‍රවණතා වෙනස

ඝානාවේ රාජ්‍ය ආදායම් කාලයක් තිස්සේ ඉහළ යමින් පැවතුනා. 1990දී ඝානාවේ රාජ්‍ය ආදායම එරට දදේනියෙන් 5.02%ක් පමණක් වූ අතර, ඒ වන විට ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 18.96%ක් (මූලාශ්‍රය: IMF). 2022 වසර වන විට ඝානාව රාජ්‍ය ආදායම දදේනියෙන් 15.84% මට්ටම දක්වා වර්ධනය කරගෙන තිබුණා. එහෙත් ලංකාවේ රාජ්‍ය ආදායම දදේනියෙන් 8.33% දක්වා පහත වැටී තිබුණා. මෙම පහත වැටීම කාලයක් තිස්සේ ක්‍රමික ලෙස සිදු වෙමින් පැවතියත්, එකවර විශාල කඩා වැටීමකට ලක් වූයේ 2020 බදු කප්පාදුවෙන් පසුවයි. එම බදු කප්පාදුව ලංකාවේ ආර්ථික අර්බුදයට විශාල දායකත්වයක් සැපයූවා.

ඇමරිකාව ඇතුළු බටහිර ලෝකය 2008දී මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් පසුව පොලී අනුපාතික විශාල ලෙස පහත වැටුනා. ශුන්‍ය මට්ටම ආසන්නයටම කියා කිව හැකියි. මෙම තත්ත්වය තුළ චීනයට ඔවුන්ගේ ප්‍රාග්ධනය ඇමරිකාව ඇතුළු බටහිර රටවල රඳවා තැබීම අවාසිදායක කටයුත්තක් වූ බැවින් වැඩි ප්‍රතිලාභ ලැබිය හැකි පරිදි ලංකාව හා ඝානාව වැනි රටවල මහා පරිමාණ ව්‍යාපෘති වෙනුවෙන් මුදල් යොදවන්නට එරට පෙළඹුණා. බටහිර රටවල පෞද්ගලික ආයෝජකයින්ට සහ අරමුදල් වලටද ලංකාව හා ඝානාව වැනි රටවල බැඳුම්කර වඩා ආකර්ශනීය වීම නිසා මෙවැනි රටවල රජයයන්ට විදේශ ණය ලබා ගැනීම පහසු කටයුත්තක් බවට පත් වුණා. ඒ හේතුවෙන් වියදම් ඉහළ ගොස් අයවැය හිඟය පුළුල් වී ණය බර වැඩි වුනා.

ඉහත තත්ත්වය ලංකාවට සහ ඝානාවට පොදු තත්ත්වයක් වුවද, ලංකාවේ සිදු වූ ආකාරයේ රාජ්‍ය ආදායම් අඩු වීමක් ඝානාවේ සිදු වී තිබුණේ නැහැ. මේ හේතුව නිසා, ආර්ථික අර්බුදයට පිළියම් සෙවීමේදී ලංකාවට සාපේක්ෂව ගත් කළ, ඝානා රජයට රාජ්‍ය ආදායම් විශාල ලෙස වැඩි කර ගැනීමේ අවශ්‍යතාවයක් නොතිබුණත්, ලංකාවේ රජය විසින් එය අනිවාර්යයයෙන් කළ යුතු කාර්යයක්ව පැවතුනා. ලංකාව විසින් හඹා යා යුතු වූයේ දැවැන්ත රාජ්‍ය ආදායම් ඉලක්කයක්.

රාජ්‍ය ආදායම් ප්‍රශ්නය විසඳා ගැනීමෙන් පසුව ලංකාවේ ණය තිරසාරත්වය පිළිබඳ ප්‍රශ්නයෙන් විශාල කොටසක් විසඳීමට නියමිතව තිබුණා. එබැවින්, ණය තිරසාරත්වය කරා යන ගමනේදී ස්වෛරිත්ව බැඳුම්කර ණය බර අඩු කර ගැනීමට ඝානාවට තරම් අවශ්‍යතාවයක් ලංකාවට තිබුණේ නැහැ. ඒ නිසා, ණයහිමියන්ගේ පැත්තෙන්, ඝානාවට දුන් මට්ටමේ සහනයක් ලංකාවට ලබා දීමේ අවශ්‍යතාවයක් තිබුණේ නැහැ.

ලංකාව ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීනම් කුමක් සිදු විය හැකිව තිබුණේද?

මැතිවරණ වලට පෙර දේශපාලන වේදිකා වල කියූ කතා මෙන්ම දැන් ඇහෙන එවැනිම කතා බැහැර කර ඇත්ත තත්ත්වය විමසා බැලුවහොත්, ලංකාවට ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාවයෙන් බැහැර වීම සඳහා කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් තිබුණේ නැහැ. ඊට හේතුව, පසුගිය ආණ්ඩුව ගිවිසුමක් මගින් එසේ කිරීමේ හැකියාව සීමා කර තිබීම නෙමෙයි. කිසිසේත්ම එවැනි බාධකයක් තිබුණේ නැහැ.

යම් හෙයකින් ණයහිමියන් සමඟ ඇති කරගත් එකඟතාව පසුගිය ආණ්ඩුව විසින්ම ඒකපාර්ශ්වීය ලෙස බිඳ හෙලුවද උපරිම වශයෙන් සිදු වන්නේ විශ්වාසනීයත්වය පිළිබඳ ගැටළුවක් ඇති වීම පමණයි. ණයහිමියන්ගේ පැත්තෙන් බැලුවද, ණය හුවමාරුව සඳහා නිල වශයෙන් අයැදුම්පත් කැඳවීමෙන් අනතුරුව අදාළ එකඟතාව පරිදි එම ණයහිමියන්ගෙන් අයෙකු අයදුම් නොකළේනම්, ශ්‍රී ලංකාවට ඊට එරෙහිව කිසිවක් කිරීමේ හැකියාවක් තිබුණේ නැහැ. එහිදී සිදු වන්නේ විශ්වාසය කඩවීමක් පමණයි. ආණ්ඩුව බලයෙන් පහ වී අලුත් ආණ්ඩුවක් විශාල ජනවරමකින් බලයට පත් වීමෙන් පසුව පසුගිය ආණ්ඩුව සමඟ ඇති කරගත් එකඟතාව නොසලකා හැර නැවත මුල සිට සාකච්ඡා කළේනම්, අඩු වශයෙන් එවැනි විශ්වාසය කඩවීමක් හෝ සිදු වන්නේ නැහැ.

ඇත්තටම තිබුණු ප්‍රශ්නය අදාළ එකඟතාවයෙන් බැහැර වීම සඳහා ශ්‍රී ලංකාවට කිසිදු සාධාරණ හෝ තාර්කික හේතුවක් නොතිබීමයි. කලින් පෙන්වා දුන් පරිදි, ලබාගත් ණය පොරොන්දු වූ පරිදි ආපසු නොගෙවද්දී එහි අවාසිය හිමිවන්නේ ණයහිමියන්ටයි. ඒ නිසා, ශ්‍රී ලංකා රජයට ඔවුන්ගෙන් ණය සහනයක් ලබා ගත හැකි වන්නේ ණය ගෙවීමේ කිසිදු හැකියාවක් නොමැති බව කරුණු සහගතව පෙන්වා දීමෙන් පසුව පමණයි. මේ සඳහා ශ්‍රී ලංකාවට මෙවලමක් ලෙස උපකාරී කර ගත හැකිව තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනයයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂනය අනුව, 2025-2027 කාලයේ ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතයේ සාමාන්‍ය අගය ඩොලර් බිලියන 99.0 ඉක්මවුවහොත්, ණය තිරසාරත්වය පවත්වා ගැනීම සඳහා 14.5%ක පමණ මුහුණත අගය කප්පාදුවක් ප්‍රමාණවත්. ඒ නිසා, ණයහිමියන් කණ්ඩායමක් විසින් යෝජනා කළ සාර්ව ආර්ථික ඉලක්ක හා බැඳුණු විකල්පය ප්‍රතික්ෂේප කිරීමට ශ්‍රී ලංකාවට සාධාරණ හා තර්කානුකූල හැකියාවක් තිබුණේ නැහැ.

ඝානාව හා අදාළව පැවතියේ වෙනත් තත්ත්වයක්. ඝානාව හා අදාළවද මෙවැනි විකල්පයක් ඉදිරිපත් කෙරුණත්, පළමුව ණයහිමියන්ගේම එක් කණ්ඩායමක් එම විකල්පයට එකඟ වූයේ නැහැ. දෙවනුව, එම විකල්පයෙන් ඝානාවේ ණය තිරසාරත්වය ඇති නොවන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් දැනුම් දුන්නා. ඒ නිසා ඝානාවේ ණයහිමියන්ට එම යෝජනාවෙන් බැහැර වන්නට සිදු වුනා.

වත්මන් ආණ්ඩුවට සම්බන්ධ ඇතැම් පිරිස් මැතිවරණයට පෙර පැවසුවේ ඔවුන් බලයට පත් වීමෙන් පසුව අරමුදල සමඟ සාකච්ඡා කර ණය තිරසාරත්ව විශ්ලේෂණය (DSA එක) වෙනස් කරගන්නා බවයි. මා හිතන පරිදි, ඔවුන් මේ ප්‍රකාශය කළේ බටහිර රටක එක්තරා ආර්ථික විද්‍යාඥයෙකුගේ ප්‍රකාශයක් මත පදනම්වයි. ඔහු යෝජනා කර සිටියේ අරමුදල විසින් ඝානාවේ ණය තිරසාරත්ව විශ්ලේෂණය සඳහා යොදා ගත් අඩු ආදායම් රටවල් සඳහා වූ ආකෘතියම ලංකාව සඳහාද යොදා ගත යුතුව තිබුණු බවයි.

යම් හෙයකින් ලංකාවේ ණය තිරසාරත්වය සඳහා රාජ්‍ය ණය ප්‍රමාණය දදේනියෙන් 55% මට්ටම දක්වා අඩු කර ගත යුතු බව අරමුදලේ නිගමනය වීයැයි සිතමු. එය ඝානාව සඳහා ලබා දී තිබුණු ඉලක්කයයි. එය එසේ වීනම්, ඒ මත පදනම්ව ශ්‍රී ලංකා රජයට බැඳුම්කර ණයහිමියන් ඇතුළු අනෙකුත් විදෙස් ණයහිමියන්ගෙන් වඩා විශාල ණය කප්පාදුවක් ඉල්ලා සිටිය හැකිව තිබුණා. එමෙන්ම, ණයහිමියන් විසින් එවැනි ණයකප්පාදුවක් කිරීමේ ඉඩක්ද තිබුණා. කෙසේ වුවත්, එවැන්නක් සිදු වූයේනම්, දේශීය ණයද විශාල ලෙස කපා හැරීම, බදු තවත් වැඩි කිරීම, රාජ්‍ය වියදම් තවත් අඩු කිරීම, රාජ්‍ය දේපොළ විශාල ප්‍රමාණයක් විකිණීම වැනි වෙනත් ක්‍රියාමාර්ග ගණනාවක් ගැනීමටද ශ්‍රී ලංකා රජයට සිදු වෙනවා. එසේ නොකර 55% වැනි සීමාවකට යා නොහැකියි.

මෙහිදී අවධාරණය කළ යුත්තේ ඉහත සඳහන් කළ තත්ත්වය තනිකරම මනඃකල්පිත තත්ත්වයක් පමණක් බවයි. මූල්‍ය අරමුදල විසින් අඩු ආදායම් රටවල් සහ මැදි ආදායම් රටවල් වෙන් කරන සම්මත ක්‍රමයක් තිබෙනවා. එය ලංකාව හෝ ඝානාව ඉලක්ක කර හැදූ සම්මතයක් නෙමෙයි. ඒ නිසා, මූල්‍ය අරමුදලේ නිලධාරීන් හා සාකච්ඡා කර අඩු ආදායම් රටවල් සඳහා වූ ණය තිරසාරත්ව විශේල්ෂණ ක්‍රමවේදය ලංකාව වෙනුවෙන් යොදා ගැනීමට ඔවුන්ව පොළඹවා ගැනීම කිසිසේත්ම සිදුවිය නොහැකිව තිබුණු මනෝරාජික අදහසක් පමණයි. එවැන්නක් ගැන නිකමට මෙන් විමසා බැලීමේ හැකියාවක්නම් තිබුණා. ඇතැම් විට ආණ්ඩුවේ නියෝජිතයින් විසින් එවැන්නක් කළා විය හැකියි.

අරමුදලේ ණය තිරසාරත්ව විශ්ලේෂණය එලෙසම තිබියදී, කිසිදු සාධාරණ හේතුවක් නැතිව එකඟතාවෙන් ඉවත් වීම සමාන කළ හැක්කේ අරමුදල සමඟ වූ එකඟතා වලින්ද ඉවත් වීමක් ලෙසයි. යම් හෙයකින් එවැන්නක් වීනම්, මුලින්ම විය හැකිව තිබුණු දෙයක් වූයේ වාර ගණනාවක් විභාගයට නොගෙන කල් දමමින් තිබුණු හැමිල්ටන් රිසර්ව් බැංකුවේ නඩුව විභාගයටගනු ලැබීමයි. එහිදී ලංකාවට අවාසිදායක තීන්දුවක් ලැබුනේනම් (ඉදිරියේදී සිදු වීමට ඉඩ ඇති පරිදි) තවත් බොහෝ ණයහිමියන් විසින්ද ඔවුන් ගත් මග ගනු නොඅනුමානයි.

එසේ වී නම්, ද්විපාර්ශ්වීය ණයහිමියන් සමඟ ඇති කරගෙන තිබුණු එකඟතාවද බිඳ වැටෙන අතර, අරමුදලේ ඉතිරි වාරික ලැබීම අවම වශයෙන් තාවකාලික ලෙස හෝ නවතිනවා. එවැනි තත්ත්වයක් තුළ නැවතත් 2022දී මෙන් සමපේක්ෂකයින් ක්‍රියාත්මක වී පළමුව ඩොලරයක මිල විශාල ලෙස ඉහළ යාමත්, ඒ හේතුවෙන් ආර්ථිකය නැවත කඩා වැටීමත් විශාල විභවයක් තිබුණු අවදානමක්.

මේ ආණ්ඩුව ඒ මග නොගියේ එය කිසිම තේරුමක් නැති මෝඩ අවදානමක් බව මුල සිටම දැන නොසිටියේනම් අඩු වශයෙන් පසුව හෝ තේරුම් ගත් නිසා මිස පසුගිය ආණ්ඩුව විසින් අවසාන මොහොතේ ඔවුන්ව හිරකර තිබුණු නිසා නෙමෙයි. කිසියම් හෙයකින් ප්‍රධාන විපක්ෂය බලයට පත් වීනම්, ඔවුන්ටද වෙනත් මාර්ගයක යාමේ හැකියාවක් තිබුණේ නැහැ. එවැනි කතා සියල්ලක්ම ගැලරිය පිනවන කතා පමණයි.

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා