ආණ්ඩුව මේ කරන්නේ මොකක්ද?


 

  • අජිත් පැරකුම් ජයසිංහ

මහවිරු සමරු කියන්නේ එල්ටීටීඊ සංවිධානයේ බ්‍රෑන්ඩ් එකක්. වෙන කවුරුවත් මහවිරු සමරු පවත්වන්නෙ නැහැ. මිය ගිය එල්ටීටීඊ කාඩර්වරුන් හැර වෙන කවුරුවත් මහවිරුවන් වෙන්නෙත් නැහැ.

මිය ගිය ඥාතීන් සමරනවා නම් ඒක පෞද්ගලිකව හෝ කුඩා පරිමාණෙන් කෙරෙන දෙයක්. මේ මහ විරු සමරු පිටුපස ගොඩක් සල්ලි තිබුණ බව ඒවායේ පුළුල් පරිමාණයත්, මහේ පෙනෙනවා. බොහෝ විට ඩයස්පෝරා මුදල් වෙන්න ඇති. ඩයස්පෝරාවල කොටින්ගේ මෙහෙයවීමක් තියෙනවා.

මහවිරු හෙවත් මාවීරර් කියන්නෙම එල්ටීටීඊ සලකුණක්. කහයි රතුයි කොඩිය, නියඟලා මල ආදී තවත් දේත් ඒ වගේ. එල්ටීටීඊ වෙන්නෙ ප්‍රභාකරනුයි, කොටි සංකේතයයි, උතුර නැගෙනහිර වෙන් කරපු සිතියමයි විතරක් නෙමෙයි. එය ජවිපෙ වගේම උප සංස්කෘතියක්.

මේ සමරුව වගේම සමරු අපි සටන් විරාම කාලෙ උතුරෙ දැකල තියෙනවා. වෙනසකට තිබුණෙ ඒවා නිල ඇඳුම් ඇඳගත් කොටි සාමාජිකයන් විසින් මෙහෙයවීම හා ඍජුව කොටි සංකේත භාවිතා කිරීම විතරයි. මහවිරු සමරුව අවසානයේ කොටි නායක ප්‍රභාකරන් ඊලාම් ජාතිය ඇමතුවා.

මේ අවුරුද්දෙ පැවැත්වුණ මහ විරු සමරුවල ඒ ටික විතරයි අඩු වුණේ.

ඉල්මහ විරුවන් සමරන්නට ජවිපෙට අයිතියක් තියෙනවා වගේම, මහවිරුවන් සමරන්නට කොටින්ටත් ඒ අයිතිය ඇති බව ජවිපෙ පිළිගන්නා බව පැහැදිලිවම පෙනෙන්නට තිබෙනවා. ඒත්, පූර්ණ ලෙස එල්ටීටීඊ විදියට ඒක කරන්නට ජවිපෙට ඉඩ දෙන්නට බැරි බව තේරුම් ගත හැකියි.

එල්ටීටීඊ බ්‍රෑන්ඩ් එකක් වෙන මහවිරු සමරුව පවත්වන්නට දීලා ෆේස්බුක් පෝස්ට් දාපු අයට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කර සිරගත කිරීම පිටුපස තිබෙන දේශපාලනය පැහැදිලිව කියවා ගැනීම කාටත් වැදගත්.

ඒ පණිවුඩය මා නම් කියවන්නෙ මේ විදියට. ජවිපෙ කරන්නට යන්නෙ මෙන්න මේ දේ. දකුණ ජවිපෙට වගේ උතුර කොටින්ට. හැබැයි, කොටින් දැනගන්නට ඕනැ වෙන ඇඳුමකින් එන්න. පහුගිය ඡන්දෙදි ඒක ඔවුන්ට අමාරු වුණාට ඉදිරි පළාත් සභා මැතිවරණයකදී තත්වය වෙනස් වෙනවා. ඒක ඉදිරි පළාත් පාලන මැතිවරණයෙදි පවා දකින්නට ලැබෙයි. දකුණේ ජවිපෙ මාලිමාව විදියට මතු වුණා වගේ උතුරෙ කොටින් වෙනත් විදියකට මතු වෙලා බලය අල්ලයි.

උතුරෙ දෙමළ ජාතික සන්ධානය වගේ වෙන වෙන අවටියල් කට්ටිය අයින් වෙලා පයින් යන්න. දකුණෙන් ගතානුගතික පක්ෂ අතුගා දමන විදියටම උතුරෙන් දෙමළ ජාතික පක්ෂය වැනි මාධ්‍යමික බලවේග අතුගා දැමීම වෙන්නට පුළුවන් එතන තියෙන දේශපාලන අරමුණ. මේ වතාවෙ ආපු අර්චුනා අද පාර්ලිමේන්තුවේදී පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවා වෙලා විවෘතවම කොටි සංවිධානය අගය කරමින් කතා කළා. කිසිවෙකු විරුද්ධ වුණේ නැහැ.

මං හිතන විදියට, මේ ආණ්ඩුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරලා උතුරට 13වන සංශෝධනය හෝ ඊට වැඩි බලය බෙදීමක් කරනවා. බලය අරගන්න කොටින් හෝ කොටි උරුමය අරගෙන යන අර්චුනාලාගේ පරපුර ඉදිරියට ගන්නවා. ජාතික ප්‍රශ්නයට මේ මොහොතේ දෙන්නට පුළුවන් තාවකාලික විසඳුම තමයි ඒක. දෙඹල ජාතියට අවශ්‍ය පූර්ණ බලය ලබාදෙන්නට මේ මොහොතේ ජවිපෙට බැහැ. කොහොම වුණත්, යම් සම්මුතියකට නොඇවිත් ශ්‍රී ලංකාව රැකගන්නට බැහැ.

ජවිපෙ ජාතිවාදයට, විශේෂයෙන්ම සිංහල ජාතිවාදයට, එරෙහිව මෙවැනි මර්දනයක් දියත් කිරීම පිටුපස තිබෙන දේශපාලනය ඒක. සිංහල බෞද්ධ ගොවිගම පිරිමි අධිපතිවාදී රාජ්‍යය වෙනස් කළ යුතුයි. රාජපක්ෂවාදය අවසන් කළා වගේම ජවිපෙ එය මර්දනයෙන් කරනවා. ඔබේ පක්ෂපාතීත්වයන් අනුව ඔබ කැමති පාර්ශ්ව තෝරගන්න.

කලින් වගේ නෙමෙයි, සීමාවකින් තොර මර්දනයකට සූදානම් වෙන්න. මේ මර්දනය ලංකාවෙ අරාජිකවාදය අවසන් කිරීමට දේශපාලනිකව අත්‍යවශ්‍ය වෙනවා. ඒක ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රමිතීන්ට අනුකූල නැහැ.

ෆේස්බුක් පෝස්ට්වලට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත පාවිච්චි කරන පාලකයෙකුට කරන්නට බැරි දෙයක් නැති බව තේරුම් ගන්න. එහෙම නොකර මේ රට පාලනය කරන්නට බැරි බව ද, ජාතිවාදයෙන් නිරතුරුව තෙම්පරාදු කරන ලද අරාජිකවාදයට තවදුරටත් ඉදිරියට යා නොහැකි බව ද තේරුම් ගැනීම ඔබේ ශරීර සෞඛ්‍යයට හිතකරය.

සීමාව දැනගෙන විරුද්ධ වන්න. සුසමාදර්ශීය වෙනසට සිදුවෙන්නට ඉඩදෙන්න.

ලංකාවෙ සිදුවන දේ ගැන රාමුවෙන් පිට හිතන්න අපේ වට්ස්ඇප් චැනල් එක ෆලෝ කරන්න https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p

Adapted from praja.lk


Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න