සෙල්ලං ආණ්ඩුව සල්ලං වීම ඇරඹී ඇත

 

  • අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං පක්ෂය සෙල්ලං ගෙයක් වැනි ආණ්ඩුවක් හදා ඇත. එම සෙල්ලං ගෙදර කට්ටිය සෙල්ලමට වගේ තමන් ඉන්නවාට වඩා උගත් අය බව පෙන්නන්නට සෙල්ලං උපාධි ටයිටල් නම මුලට, අගට දමාගෙන අවසානයේදී දැන් සල්ලං වෙන තත්වයට පත්ව ඇත.

කතානායක අසෝක රන්වල, නියෝජ්‍ය කතානායක රිස්වි සාලි, නාගරික සංවර්ධන ඇමති අනුර කරුණාතිලක, බලශක්ති ඇමති කුමාර ජයකොඩි වැනි අය ප්‍රකාශයට පත්කරන සුදුසුකම් මේ වන විට ද අභියෝගයට ලක්ව ඇත. ඩිජිටල් ආර්ථික නියෝජ්‍ය ඇමති එරංග උදේෂ් වීරරත්න සම්බන්ධයෙන් ද අතීත ක්‍රියාවක් සම්බන්ධයෙන් තොරතුරක් ප්‍රසිද්ධ වී ඇත. ඔවුන් කිසිවකු තමන්ගේ වරද පිළිගෙන හෝ කරුණු පැහැදිලි කර හෝ නැත.

කතානායකට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට විපක්ෂය සූදානම් වෙයි. කෘෂිකර්ම නියෝජ්‍ය ඇමති නාමල් කරුණාරත්න ඉතා උද්ධච්ඡ ලෙස පැවසුවේ තමන්ට පාර්ලිමේන්තුවේ ඡන්ද 159ක් ඇති නිසා විශ්වාසභංග යෝජනා ගෙන එන එක තේරුමක් නැති බවයි. තේරුමක් ඇත. ඒ මාලිමාවෙන් පත් වූ වෙනස් යයි කියන මන්ත්‍රීවරුන් ද නිකම්ම නිකම් සිග්නල් කණුද යන්න බලාගැනීමට හැකි වන බැවිනි.

මෙවැනි විශ්වාසභංග යෝජනාවක් ගෙනාවොත්, හැමදාම විවේචනය පමණක් කරමින් සිට, මන්ත්‍රී පදවියට පත්වීමෙන් පසු, තමන්ට කිසිවක් කළ නොහැකි බව ද, ආණ්ඩුව දැනටමත් අසමත් බව ද, වැඩි කලක් යන්නට පෙර තමන් මහජන වෛරයට ලක්වන බව ද, මන්ත්‍රී පඩිය හා දීමනා ටික ද පක්ෂයට දී දෙන දෙයක් ගැනීමෙන් සිදු වන්නේ තමන්ගේ සුපුරුදු ආදායම් අහිමි වී දුප්පත් වීම පමණක් බව ද අවබෝධ කරගන්නා යම් මන්ත්‍රීවරුන් පිරිසක් මෙම අවස්ථාව පාවිච්චි කර තමන්ගේ ඊනියා හෘදය සාක්ෂිය දොට්ට දමා ඉල්ලා අස්වීමට ඉඩ තිබේ.

මේ හොර උපාධිකාරයන් ඉල්ලා අස් වුව ද ආණ්ඩුව පමණක් නොව පක්ෂය ද අර්බුදයෙන් අර්බුදයට යනවා විනා අනාගත් අනාගැනිල්ල අවසන් වන්නේ නැත.

දේශපාලනික වශයෙන් ගත් කල ඔවුන් ද වෙනත් දේශපාලකයන් වැනිම වූ බලලෝභී වංචනිකයන් පිරිසක් බව මෙතරම් කෙටිකාලීනව හෙළිදරව් වීම හොඳ දෙයකි. මොවුන් වංචනිකයන් බව අප නම් මුල සිටම දැන සිටියෙමු. එහෙත්, මේ රටේ ජනතාව සිතාගෙන සිටියේ ඔවුන් ඉතා පිරිසිදු, අවංක නායකයන්ය කියාය. දීලා බැලුවේ ඒ නිසාය. දීලා බලපු එවුන්ට මාලිමාකාරයන් දීලා අතහැරියේ කන හරහාය.

වඩා භයානක වන්නේ ආර්ථික පෙරමුණේ කරන නාගැනිල්ලය. මේ වන විට මාලිමා ආණ්ඩුව විසින් පසුගිය ආණ්ඩුව යටතේ මුල පුරන ලද ආයෝජකයන් කැඳවාගැනීමේ වැඩසටහන්වලට කොකා පෙන්නන්නට පටන් ගෙන තිබේ. අදානි, අමුල්, යුනයිටඩ් පෙට්‍රෝලියම් වැනි ඍජු විදේශ ආයෝජකයන් සමග ඇති ගිවිසුම් ආණ්ඩුව කඩ කරමින් සිටියි. ආයෝජකයන් ආකර්ශනය කරගන්නට වෙන්නේ මුලින් එන්නට අවදානම් ගන්නා ආයෝජකයන්ට වාසිදායක තත්වයක් නිර්මාණය කරදීමෙනි. එහෙම නැතුව එකපාරට ඊලෝන් මස්ක්ගේ ස්පේස් ස්ටේෂන් ලංකාවට එන්නේ නැත.

මේ ආණ්ඩුවට මේ ආකල්පයෙන් නම්, චීනයෙන්වත්, විදේශ ආයෝජකයන් ගෙන්වාගැනීමට ලැබෙන්නේ නැත. ඉන්දියාවට කෙළවා චීනයට දෙන්නට ගියොත් හැරෙන තැපෑලෙන් රිටර්න් එක ලැබෙනු ඇත. විදේශ ආයෝජන නැතුව ලංකාවේ සිදුවන සැබෑ කර්මාන්ත සංවර්ධනයක් නැත. කර්මාන්ත සංවර්ධනයක් නැතුව ලංකාවේ ආර්ථික වර්ධනයක් සිදුවන්නේ නැත. ආර්ථික වර්ධනයක් නොමැතිව ජාතික ජන බලවේගය හා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා විසින් ජනතාව තුළ නිර්මාණය කරන ලද බලාපොරොත්තු කිසිවක් ඉටුවන්නේ නැත.

ජනතා විමුක්ති පෙරමුණේ ඊනියා ජාතික ජන බලවේග ආණ්ඩුවට එකම එක වාසියක් තිබේ. එනම්, විපක්ෂය අතිශය දුර්වල වීමයි. එහි නායකයා වන සජිත් ප්‍රේමදාසට හොර අධ්‍යාපන සුදුසුකම් ගැන කට අරින්නට හෝ පුළුවන්කමක් නැත. ඒ ඔහු ප්‍රකාශ කරන අධ්‍යාපන සුදුසුකම් ගැන ද ප්‍රශ්න තිබෙන හෙයිනි.

මාලිමාව නාන එක පටන් අරගෙන තිබේ. හිතුවාට වඩා ඉක්මනින් බරපතල දේශපාලන අර්බුදයක් නිර්මාණය වනු ඇත. ඉතාම ඉක්මනින් මාලිමාවේ රෙද්ද ඉරෙනු ඇත. එහෙත්, මොන රෙද්දක්වත් කරගන්නට නම් ලංකාව ලිහා ගත් නායකත්වයේ රෙද්ද යළි අන්දාගන්නට අවශ්‍යය.

ලංකාවට එඩිතර, කෙළින් කතා කරන, පටු ජනප්‍රියවාදයට මුහුණ දිය හැකි, බුද්ධිමත් නායකත්වයක් අවශ්‍යය. ඒ නායකත්වයට දේශපාලනය සඳහා අවශ්‍ය අරමුදල් බලමුළුගන්වා ගැනීමේ හැකියාව එකෙන්ම තිබිය යුතුය. එහෙම නැතුව කොච්චර ෂෝක් වුණත් වැඩක් නැත. (Follow our channel: https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p )

Adapted from praja.lk

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න