සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුව

  • අජිත් පැරකුම් ජයසිංහ, Praja.lk

ඉතිහාසයේ සෙල්ලම් නිරිඳු ලෙස හැඳින්වෙන්නේ සිංහලේ අන්තිම රජු වූ ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහයි. ස්ත්‍රීලෝලීත්වය, සුරාව, කෙළිලොල්බව ආදී හේතු නිසා ඔහු රාජ්‍ය පාලනය නිසි ලෙස නොකළ බවට මතයක් ඇත.

ලංකාවේ වත්මන් රජු වන අනුර කුමාර දිසානායක ගරු ජනාධිපතිවරයා ද එක්තරා ආකාරයකට සෙල්ලම් නිරිඳු කෙනෙකි. ඒ ඉහත කී කාරණා නිසා නොව, ඔහුත්, ඔහුගේ ආණ්ඩුවත් පහළ මාලයේ නිර්ප්‍රභූ ගංකබරකමක සිට සෙල්ලම් ගෙදරක් කරන ළමයින් පිරිසක් සේ ආණ්ඩුකරණය කරන බව පෙනී යාම නිසාය.

නිලධාරීන් සහ සහල් මෝල් ව්‍යාපාරිකයන් වැනි පාර්ශ්ව හමුවේ නිරිඳු මේසයට ගසමින් රංගනයන් පාද්දී වෙළඳපොළේ සහල් අර්බුදයක් නිර්මාණය වී ඇත. එයට විසඳුම් ලෙස රජු ඉහළ පාලන මිලකට ගැසට් ගසා ඇති අතර ගැසට්ටුවේ ද හිල්ය. එහි ඇත්තේ තොග මිලක් හා සිල්ලර මිලක් පමණි. මෝල් හිමියන්ට මිලක් නැත. ඔවුන් දෙන්නේ තොග මිලට නම්, තොග වෙළෙන්දා සිල්ලර වෙළෙන්දාට දෙන්නේ කුමන මිලටද?

නූතන සෙල්ලම් නිරිඳු මේ ඉගෙන ගනිමින් ඉන්නේ ආණ්ඩුවලට මිල පාලනය ඔස්සේ කළ හැක්කේ නොතිබුණු ප්‍රශ්නයක් ඇති කිරීම බවය. ලංකාවේ හාල් ප්‍රශ්නයක් තිබුණේ නැත. ප්‍රශ්නය තිබුණේ පාලක පක්ෂයේ ඔලුගෙඩි තුළය. ඔවුන් සිතන්නේ ව්‍යාපාරිකයන් යනු සොරුන් පිරිසක් නිසා ඔවුන් දමනය කිරීම තමන්ගේ ඩියුටියය කියාය. ඔවුන් සිතන ආකාරයට ව්‍යාපාරිකයන් ලාභ ලැබීම වැරදිය.

සෙල්ලම් ආණ්ඩුවේ පුංචි ළමයින් දැනගත යුතු කාරණයක් වන්නේ ධනේශ්වර ක්‍රමය තුළ ව්‍යාපාරිකයන් නොමැතිව රාජ්‍ය පාලනය ද කළ නොහැකි බවයි. ව්‍යාපාරිකයන් යනු සොරුන්, අපරාධකරුවන් පිරිසක් නොවේ. රජය නඩත්තු වන්නේ ඔවුන් මෙහෙයවන ආර්ථික කටයුතු හරහා රජය එකතු කරගන්නා බදු මුදලිනි. ව්‍යාපාරිකයෝ රැකියා නිර්මාණය කරති. ලාභය නැවත ආයෝජනය කරති. ඒවායින් ද නැවත රැකියා නිර්මාණය කරති. ආර්ථිකය ප්‍රසාරණය කරති. පහළ මාලයේ ජනතාව රැකියා කරති. ඔවුන්ගේ ඔලු කමින් ගංකබරයෝ වෛරය පතුරුවමින් දේශපාලනය කරති. දැන් ඔවුන් පැමිණ සිටින්නේ එජ් එකට හෙවත් සීමාව අද්දරටය. මේ දේශපාලනයට තවදුරටත් පැවතිය නොහැකිය.

ආණ්ඩුවේ මාධ්‍ය ප්‍රකාශක නලින්ද ජයතිස්ස කියන දේවලින් පැහැදිලි වන්නේ ලබන කන්නයේදී ඔවුන් සැරසෙන්නේ මහජන බදු මුදල් වැය කර ඉහළ මිලකට අස්වනු මිලදීගෙන වී අලෙවි මණ්ඩලයේ ගබඩාවල ගබඩා කර තබාගෙන කුඩා මෝල්වලට දී කොටා (ගල්වැලි ඉවත් කරනු ඇතැයි බලාපොරොත්තු වෙමු) සමුපකාර හරහා අඩු මිලට අලෙවි කිරීමටයි. මෙම ව්‍යාපාරික මෙහෙයුමේ දැවැන්ත අලාභය පියවනු ඇත්තේ බදු මුදලිනි.

හර්ෂ ද සිල්වා වැනි ගංකබර ධනවාදීන් ද හිතන්නේ හාල් මාෆියාවක් ඇතැයි කියාය. එහෙම මාෆියාවක් තිබේ නම් විසඳුම මෙවැනි එකකි. අප සිතන පරිදි නම් හාල් මෝල් හිමියන් යනු ඔවුන් සිතන අන්දමේ තිරිසනුන් පිරිසක් නොවේ. ඔවුන්ට නිදහස් වෙළඳාමට ඉඩ දිය යුතුය. රජය කළ යුතුව තිබෙන්නේ වෙළඳපොළ සියුම්ව නියාමනය කිරීම, නිෂ්පාදනය සඳහා පහසුකම් සැපයීම හා ජනතාවගේ මිලදීගැනීමේ ශක්තිය වැඩිදියුණු කිරීම සඳහා කටයුතු කිරීමයි.

සෙල්ලම් නිරිඳු කරමින් ඉන්නේ රෝදය නැවත සොයාගැනීමයි. ඔය එක උදාහරණයක් පමණි. ඒගොල්ලන් හාල් මිල පාලනය කරමින් සිටින අතර මොන්ටිසෝරි ළමයින් දෙදෙනෙකු වන හඳුන්නෙත්තිටත්, චතුරංගටත් කර්මාන්ත පැවරී ඇත. ආයෝජන නොඑන බව ද, දේශීය ආයෝජකයන් පවා වෙන්නේ කුමක්දැයි බලා සිටින බව ද, ආර්ථිකය ප්‍රසාරණය නොවන බව ද, ඩොලරය පහළ යාම ඔය කියන තරම් හොඳ දෙයක් නොවන බව ද තබාගන්න. අසල්වැසි ඉන්දියාව සියයට දහයක ආර්ථික වර්ධන වේගයක් ලබාගන්නා ආකාරය සැලසුම් කරමින් සිටියදී අපි එකතැන පල්වෙන හා සමුපකාර යුගයකට ආපසු යන හැටි ගැන සිහින දකින සෙල්ලං ආණ්ඩුවක් සමග සෙල්ලං ගෙවල් හදමින් සිටින්නෙමු.

සෙල්ලම් නිරිඳුගේ සෙල්ලම් පක්ෂය කරමින් සිටියේ අන්දරේ මෙන් ගල උස්සා කරේ තිබ්බොත් අයින් කරන බවට පාරම් බෑමයි. අවාසනාවට මුන්ගේ මළ කන්දොස්කිරියා කයිවාරුව ඇසූ ජනයා උස්සා ගල අන්දරේගේ කර පිටින් තැබූහ. දැන් තියෙන්නේ අද එතැන් සිටය. ගල විතැන් කරන හැටි නොදැන සෙල්ලම් නිරිඳු එකතැන කැරකෙමින් ඇත.

ව්‍යාපාරිකයන් අතර හොරකම ද නැතුවා නොවේ. බදු හොරකම එවැනි එකකි. එහෙත්, බදු හොරුන් හිරේ දමා ඉස්කාගාර වැහුවා කියා ද පළක් නැත. උන්ගේ දේපළ රාජසන්තක කිරීමෙන් උන් ණය වී ඇති මුදල ආපසු ලබාගත නොහැකිය. එක අතකට එවැනි ව්‍යාපාරිකයන් විනාශ වී යාම ද විසඳුමක් විය හැකිය. පහුගිය ආණ්ඩු කළෙ ව්‍යාපාරිකයන් ඕනෑවට වඩා සුරතල් කිරීමය. වත්මන් ආණ්ඩුව සිතන්නේම ව්‍යාපාරිකයන් සොරුන් කියා නිසා දැන් ලේසි නැත. ව්‍යාපාරිකයන්ගේ සොරකම් ඔවුන් පවත්වාගෙන ගියේ නීතියේ සිදුරුවලින් රිංගමින් බව ද මතක් කළ යුතුය. සිදුරු වැසීම අනාගතයට හොඳය.

මේ අව් අස්සේ සෙල්ලම් ආණ්ඩුවේ සෙල්ලම් කතානායකගේ ආචාර්ය උපාධිය විහිළුවක් වී තිබේ. උගතුන් දේශපාලනයට ගෙන ආ ජාතික ජන බලවේගයේ නායකයන්ගේ කෙරුවාව ගැන බරපතල සැක මතු වෙමින් තිබේ. මාලිමාව කියමින් සිටියේ රටේ අනෙක් හැමෝම හොරුන් බව හා තමන් පමණක් සුපිරිසිදු නිර්හොරුන් බවය.

මේ අන්දමින් රටක් රවටන්නට බොරු කියන එවුන් හොරුන් බවට පත්වීම ලැබෙන අවස්ථාව පිළිබඳ ප්‍රශ්නයක් පමණි. පුරවැසි දේශපාලනය අතිශය වැදගත් වන්නේ මෙම සංදර්භය තුළය. ජනතාව සිදුවන දෙය ගැන අවධානයෙන් සිටිය යුතුය.

සෙල්ලං නිරිඳුගේ සෙල්ලං ආණ්ඩුවට මේක සෙල්ලමක් වුණාට, මහජනයාට දැන් නිවාඩු කාලෙ හින්ද නෑ ඉස්කෝලේ – හායි හායි ආපි ඔන්න සෙල්ලං කාලේ නොවේ. අපායේ ඉන්ටවල් එකක් ද නොවේ. ඉන්ටවල් නැත. ශ්‍රී ලංකාව ඉන් ට්‍රබල්ය.

රසවත් ලිපි ගෙදරටම. අපේ වට්ස්ඇප් චැනල් එක ෆලෝ කරන්න.

https://whatsapp.com/channel/0029Vaqi3yx77qVJdzXZ7d0p

Adapted from praja.lk

 

Comments

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

කෙනෙකුට පොන්නයා කියා කියන්නට පෙර දෙවරක් සිතන්න