ආර්ථිකය ඍණ පැත්තට යාම තාවකාලික ද?

ස්ටෑන්ඩඩ් සහ පුවර් ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනය විසින් ද ශ්‍රී ලංකාවේ ණය ශ්‍රේණිය ස්ථාවර මට්ටමේ සිට ඍණාත්මක මට්ටම දක්වා වෙනස් කර තිබේ.
Translations by Creative Content Consultants
මෙයට ආසන්න ම හේතුව ලෙස දැකිය හැකි වන්නේ මෑතදී සිදුකරන ලද බදු කප්පාදුව සමග ඇති විය හැකි රාජ්‍ය මුල්‍ය අස්ථාවරත්වයයි.
මහේක්ෂ ආර්ථිකය අසමතුලිත කරන බාහිර පැතිකඩෙහි දුර්වලකම, රාජ්‍ය අයවැය පරතරයෙහි විශාලත්වය සහ රජයේ අධික ණයගැතිභාවය මෙයට හේතු වන බව ස්ටෑන්ඩඩ් හා පුවර් ආයතනය පවසයි.
මෙම ශ්‍රේණිගත කිරීමේ ආයතන සේවය කරන්නේ ජාත්‍යන්තර මුල්‍ය වෙළඳපොළෙහි ණය ලබාදෙන්නන් වෙනුවෙන් ය. ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කර තිබෙන අලුත් ශ්‍රේණිගත කිරීම, ණය ලබාදෙන්නන් හට ණය ආපසු අයකරගැනීමේ අවදානම වැඩි බව සන්නිවේදනය වන අතර ඒ අනුව ශ්‍රී ලංකා රජය ලබාගන්නා ණයවලට වැඩි පොළියක් ගෙවීමට සිදු වනු ඇත.
ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ රජය දැනට මූලික වශයෙන් අවධානය යොමු කර තිබෙන්නේ තව මාස කීපයකින් පැවැත්වීමට නියමිත මහ මැතිවරණය කෙරෙහි ය. ඒ වෙනුවෙන් විශාල වශයෙන් බදු අඩු කරන ලද මුත්, වෙළඳපොළෙහි අත්‍යවශ්‍ය භාණ්ඩ මිළ ඉහළ යාමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. බදු අඩු කිරීමත් සමග ආර්ථික ක්‍රියාකාරිත්වය වර්ධනය වී රාජ්‍ය ආදායම් ඉහළ යනු ඇතැයි රජය බලාපොරොත්තු වූ මුත් එය ඇත්තට ම සිදු වී ද යන්න පිළිබඳ තවම දත්ත නැත.
මේ අතර, රාජ්‍ය අංශයේ අලුතින් රැකියා 150,000ක් ලබා දීමට ද සැලසුම් කර තිබේ. ඒ අතරතුර ම, දැනට රාජ්‍ය අංශයේ සේවකයන්ට ලබාදෙන ඇතැම් දීමනා හා වරප්‍රසාද ආදිය මුල්‍ය හිඟය නිසා අත්හිටුවා තිබේ.
පසුගිය රජය විසින් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ උපදෙස් පරිදි හඳුන්වා දෙන ලද ඉන්ධන මිළ සූත්‍රය රජය විසින් තවම පවත්වාගෙන යන නමුදු, රාජ්‍ය බදු අඩු කරමින් මහ මැතිවරණය දක්වා ඉන්ධන මිළ පාලනය කරගැනීමේ උත්සාහයක් ද තිබේ. මේ අතර, ජාත්‍යන්තර තත්වය හමුවේ තෙල් මිළ ඉහළ යාමේ අවදානමකට ද රජය මුහුණ දෙමින් සිටියි.
රාජ්‍ය ආදායම් අඩු වීම හා වියදම් වැඩි වීම හේතුවෙන් ශ්‍රී ලංකා රජයට වැඩියෙන් ණය මත රඳා පැවතීමට සිදු වේ.
කෙසේ වෙතත්, මහ මැතිවරණයෙන් පසු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ දැඩි රාජ්‍ය මුල්‍ය පාලනයකට යොමු වන්නට ඇති ඉඩකඩ දැන් දැන් වැඩි වෙමින් තිබේ.

Popular posts from this blog

තේරවිලි: සුපුන් සඳක් ඇත. මැදින් හිලක් ඇත.

පාසල් අධ්‍යාපනය ගැන කතා තුනක්

හමුදා කුමන්ත්‍රණ ගැන ලෝකෙට දුරකථනයෙන් කිව්වෙ බීලා වෙන්න ඇති -ෆොන්සේකා