දුමින්ද සිල්වාට සැකයේ වාසිය ලබාදිය යුත්තේ විධිමත් ක්‍රමවේදයකට ය
අජිත් පැරකුම් ජයසිංහ
දුමින්ද සිල්වා නම් තම සහෝදරයා නිදහස් කරගැනීම වෙනුවෙන් රෙනෝ සිල්වා කරන සහෝදරාත්මක අරගලය ගැන අපේ විරෝධයක් නැත. ඔහු ඒ වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ බලයට ගෙන ඒම සඳහා තම මාධ්‍ය ගණිකා වෘත්තියේ යෙදවූයේ ය. මාධ්‍ය වෘත්තිකභාවයේ කෙළ පැමිණි බව කියන බීබීසිය පවා එහෙම නිසා අපට ඒ ගැන ද ප්‍රශ්නයක් නැත.
කොහොමත් අප මරණීය දණ්ඩනයට විරුද්ධ ය. වරදකරුවකුට පවා නිවැරදි වීමට අවස්ථාව ලබා දිය යුතු බව අපි විශ්වාස කරන්නෙමු. දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් වරදකරු ද යන්න අපි දැන් ඉතා පැහැදිලිව සැක කරන්නෙමු. යුක්තිය පසිඳලන වෘත්තිකයන් සාන්තුවරයන් නොවන බව අපි කවදත් දැන සිටියෙමු. දැන් ඒ සත්‍යයේ සළු ගැලවී ඇත.
පද්මිණී රණවක ගුණතිලක නම් මහාධිකරණ විනිසුරුවරිය රන්ජන් රාමනායක සමග හුරතල් වෙමින් කියන්නේ තමන් දුමින්ද සිල්වාගේ පවා නඩුව අවසන් කළ බැවින් ඇය උසස්වීමක් සඳහා නිර්දේශ කරනු ලැබීමට යෝග්‍ය බවයි.
රන්ජන් රාමනායක නඩු තීන්දුවට පෙර ඇයට කතා කර රටම නඩු තීන්දුව ගැන බලා සිටින බව කී බව ද, ඇය කට්ටියක් එන බව කියා දුරකථනය තැබූ බව ද රන්ජන් රාමනායක රහස් පොලිසියේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකරට කියයි. පද්මිණී රණවක ගුණතිලකගේ විනිසුරු භූමිකාව ප්‍රශ්න සහගත බව ඉතා පැහැදිලි ය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතන නඩුවේදී ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ලේ සභාපතිවරයා වන ශිරාන් ගුණරත්න දුමින්ද සිල්වා ඇතුළු සියලු සැකකරුවන් නිදොස්කොට නිදහස් කරමින් තීන්දුව ප්‍රකාශ කළමුත් පද්මිණී රණවක ගුණතිලක විනිසුරුවරිය විත්තිකරුවන් වැරදිකරුවන් කරමින් දුන් තීන්දුව අනෙකුත් විනිසුරුවරයා වන එම්.සී.බී.එස්. මොරායස් විසින් ද අනුමත කිරීමත් සමග දුමින්ද සිල්වා ඇතුළු විත්තිකරුවන්ට මරණ දඬුවම නියම කරන ලදී.
මෙම නඩු තීන්දුව සම්බන්ධයෙන් ගැටලු රැසක් විත්තියේ නීතිඥවරුන් විසින් අභියාචනයෙහිදී මතු කරන ලදී. මේ අතර, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේ රියැදුරුගේ දිවුරුම් ප්‍රකාශයක් ද මෙම සතියේ මව්බිම පුවත්පතෙහි කියවන්නට ලැබිණි. එයින් කියැවුණේ, ඔහු කලින් කළ ප්‍රකාශ බලපෑම් හා හිතවත්කම් මත පදනම්ව කළ බවත්, දුමින්ද සිල්වා වෙඩි තැබූ බව සහ අනෙක් අයට වෙඩි තබන්නැයි තමා කීවේ බොරුවට බව සහ දුමින්ද සිල්වා වෙඩි තැබීමක් නොකළ බවයි. එසේම, භාරත ලක්ෂ්මන්ට ආරක්ෂාව සැපයූ ඇමති ආරක්ෂක නිලධාරි ගාමිනී අත තිබූ රිවෝල්වරය උදුරාගෙන භාරතගේ තවත් හිතවතකු වූ දමිත ජයතිලක වෙඩි තැබූ බව එම දිව්රුම් ප්‍රකාශයේ දැක්වේ. දමිත ජයතිලක ද එම සිද්ධියෙන් මිය ගිය අයෙකි. මෙවැනි පුද්ගලයන්ගේ සාක්ෂි පිළිගත හැකි ද යන්න තීරණය කිරීම අධිකරණයේ කාර්යයකි.
මෙම දිව්රුම් පෙත්සම කරලියට එන්නේ දුමින්ද සිල්වා නිදහස් කරගැනීමේ සහෝදර අරගලයේ අලුත් වටයේදී ය. මේ අතර, එහි ම කොටසක් ලෙස තවත් අපූරු මාධ්‍ය ප්‍රබන්ධයක් ප්‍රචාරය කරන අයුරු ද දක්නට ලැබේ.
මේ එය දිවයින පුවත්පතේ පළ වූ ආකාරයයි. ලියන්නේ මනෝජ් අබේදීරයි.
දුමින්ද සිල්වා ඇතුළු පිරිසට මරණ දඬුවම හිමිකර දුන් මහාධිකරණ තීන්දුවට එරෙහිව සිදුකරන ලද අභියාචනයේ තීන්දුව සම්බන්ධයෙන් අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ. පැවති රජයේ ඉහළ බලධාරියෙකු විසින් අමාත්‍යවරුන් තිදෙනකු වෙත මෙසේ අගවිනිසුරුවරයා හමුවී අවසන් තීන්දුව ඒකමතිකව ලබාගැනීම සඳහා බල කරන ලෙස පවසා තිබේ. ඒ සඳහා එක් අමාත්‍යවරයෙකු එකඟ නොවීම නිසා, අමාත්‍යවරු දෙදෙනකු විසින් අගවිනිසුරුවරයා වෙත මෙම බලපෑම සිදුකර ඇති බව පැවසේ. දුමින්ද සිල්වාට පනවා තිබූ මරණීය දණ්ඩනය ශ්‍රේෂ්ඨාධිකරණයේ පංච පුද්ගල විනිසුරු මඬුල්ලක් විසින් ඒකමතිකව තහවුරු කරන ලද්දේ 2018 වසරේ ඔක්තෝබර් 11 වෙනිදාය.
පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.
පසුදා (ඔක්තෝබර් 12) අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් සිය පදවියෙන් විශ‍්‍රාම ලබා ගත්තේය. කෙසේ වෙතත් සිය තීන්දුවෙන් මරණ දඬුවම නියමව සිටි එක් විත්තිකරුවෙකු වන පොලිස් නිලධාරී අනුර තුෂාර ද මෙල් නිදොස් කොට නිදහස් කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.
යහපාලන රජය බලයට පත්වී දින කිහිපයක් ඇතුළත එවකට අගවිනිසුරු මොහාන් පීරිස් මහතා වෙත සිය තනතුරෙන් ඉල්ලා අස්වෙන ලෙස එම ආණ්ඩුවේ කණ්ඩායමක් තර්ජනය කර තිබුණි.
මව්බිමපුවත්පතේ ද මෙම පුවත මේ අන්දමින් ම පළ විය. එම පුවතෙහි මූලික ගැටලුව මෙසේ යි: අගවිනිසුරු ප‍්‍රියසාද් ඩෙප් වෙත අමාත්‍යවරු දෙදෙනකු විසින් සිදු කරන ලද තර්ජනයක් සම්බන්ධයෙන් වාර්තා වී තිබේ යයි කියන මුත්, ඔය කියන වාර්තා වීම සිදු වූයේ කොහිද යන්න කිසිවෙකු කියන්නේ නැත. වාර්තා වී තිබේ යයි නිකම් කියා දමමින් ඕනෑම බොරුවක් සමාජගත කිරීම මාධ්‍ය කාර්යභාරය නොවේ. වාර්තා වුණා නම් වාර්තා වුණ තැනක් තිබිය යුතුය. අවසානයේදී බලන විට වාර්තා කිරීම කර තිබෙන්නේ වාර්තා වී තිබේ යයි කියන අය ම ය.
භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනය සම්බන්ධ නඩුවට විශාල මාධ්‍ය බලපෑමක් සිදු වී තිබෙන බව ඉතා පැහැදිලි ය. ඒබීසී මාධ්‍ය ජාලය මාධ්‍ය අවභාවිතය සම්බන්ධයෙන් කෙතරම් විශාරදභාවයක සිටියත්, පසුගිය ආණ්ඩුව පැවති සමයේ දුමින්ද සිල්වාට සැකයේ වාසිය ලබාදීම වෙනුවෙන් විනිසුරුවරුන් පොළඹවාගැනීම සඳහා අවශ්‍ය මත ගොඩනගාගැනීම හා අවශ්‍ය බලපෑම සිදු කිරීමට ඔවුන් අසමත් වූ බව පෙනේ. ඔවුන් දැන් උත්සාහ කරමින් ඉන්නේ අසමත් වූ එකී කාර්යය කිරීමටයි. ඒ වෙනුවෙන් දැවැන්ත මාධ්‍ය මෙහෙයවීමක් සිදු කරමින් තිබේ.
රන්ජන්ගේ හඬපට ඔස්සේ දුමින්ද සිල්වාට වාසිදායක තත්වයක් නිර්මාණය කරගැනීමට සමත් වී තිබෙන මුත්, ඒ ඔස්සේ අධිකරණය සම්බන්ධයෙන් මතු වී තිබෙන අලුත් ගැටලු හමුවේ සරල ලෙස දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් පිරිනැමීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට පහසු නැත.
ජනාධිපතිවරයා විසින් කළ යුතුව තිබෙන්නේ රන්ජන් රාමනායක, ඔහුගේ හඬපට ප්‍රසිද්ධ කළ සමාජ මාධ්‍ය, එම ක්‍රියාවලිය හා සම්බන්ධව පසු ක්‍රියාමාර්ග ගත් කණ්ඩායම්, භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර පවුල, දුමින්ද සිල්වාගේ පවුල, ඒබීසී මාධ්‍ය ජාලය, පද්මිණී රණවක ගුණතිලක ඇතුළු මහාධිකරණ විනිසුරුවරුන්, හිටපු අග්‍ර විනිශ්චයකාර ප්‍රියසාද් ඩෙප් ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන්, ජනමාධ්‍ය ආදී සමස්තය ම සම්බන්ධයෙන් පුළුල් අලුත් විභාගයක් සිදුකිරීමයි.
දුමින්ද සිල්වා ඇතුළු භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවන්ට සැකයේ වාසිය කුමන හෝ ආකාරයකින් හිමි විය යුතු ය. එහෙත්, එය සිදු විය යුත්තේ විධිමත් අන්දමිනි. සරල ජනාධිපති සමාවකින් අධිකරණය හා පොලිසිය සම්බන්ධයෙන් සමාජය තුළ ගොඩනැගී තිබෙන තදබල අවිශ්වාසයට විසඳුම් ලැබෙන්නේ නැත.