මගේ ලව් එක සහ තැපැල් දෙපාර්තමේන්තුව
අජිත් පැරකුම් ජයසිංහ
අන්තර්ජාල පහසුකම් වලින් සමන්විත නවීකරණය කරන ලද තැපැල් කාර්යාල රැසක් අප්‍රේල් මස දිවයින පුරා විවෘත කරන බව ද, උප තැපැල් කාර්යාල 500 කට පරිගනක පහසුකම් ලබා දෙන බව ද තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ රාජ්‍ය ඇමැති ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා අද දිනමිණ පුවත්පතට පවසා තිබේ.
ඒ සමග ම මට මතක් වූයේ මීට පෙර 2001-2004 සමයේ එක්සත් ජාතික පක්ෂ රජය යටතේ විවෘත කරන ලද සන්නිවේදන පියස ය. එම වකවානුවේ මා අගලවත්ත මිහිඳු මධ්‍ය මහා විද්‍යාලයේ සේවය කළ අතර අගලවත්ත තැපැල් කාර්යාලය තිබුණේ ඒ අසල ය. බ්‍රහස්පතින්දා දවසක විවේක කාලයේදී රාවය පුවත්පතට ලිපියක් ලියා තිඹිරියාගම බණ්ඩාරට එය ඊමේල් මගින් යැවීමට මා මෙම සන්නිවේදන පියසේ සේවය ලබාගතිමි. එහි පරිගණකයක් සහ අන්තර්ජාල පහසුකම් තිබුණු මුත්, ඒ පිළිබඳ යම් දුරකට දැන සිටියේ එක් සේවකයකු පමණි. අනෙක් සේවකයන් එම සන්නිවේදන පියස ගැන දැරුවේ නිශේධාත්මක ආකල්පයකි. “ඔය තියෙන්නෙ – අපි නං දන්නෙ නැහැ” වැනි එකකි. මහජනතාවට මෙම සන්නිවේදන පියස සේවාවන් අවශ්‍ය තත්වයක තිබුණ ද එතැනින් එකී සේවා ලබාගැනීමේ සැබෑ පහසුව නොතිබිණි. එයින් පසු මා නැවත සන්නිවේදන පියසට ගොඩවෙන විට එය අක්‍රිය වී තිබිණි.
තැපැල් දෙපාර්තමේන්තුව තාක්ෂණ විරෝධී ආයතනයකැයි මට සිතෙන්නේ 1990 දශකයේ අගහරියේ සිට ය. එම වකවානුවේදී තැපැල් දෙපාර්තමේන්තුව විසින් පෝස්ට්-ෆැක්ස් නමින් සේවාවක් හඳුන්වා දෙන ලදී. එය ටෙලිග්‍රෑම්වලට වඩා වේගවත් සේවාවක් වූ අතර ආසන්න ම තැපැල් කාර්යාලයට ෆැක්ස් කරනු ලබන අපගේ ලියුම එහි සිට ටෙලිග්‍රෑම් බෙදන ආකාරයෙන් බෙදනු ලැබේ.
අනුරාධපුරයේ සිට මම එවකට පේරාදෙනිය රෝහලේ සේවය කළ මගේ පෙම්වතියට මා කිසියම් දිනෙක එන බව කියා පෝස්ට් ෆැක්ස් එකක් යැවීමි. එය තවමත් නොලැබුණු අතර දැන් එය පවුලේ විහිළුවකි. තැපැල් දෙපාර්තමේන්තුවේ එවැනි සේවාවක් තිබුණු බව හෝ මා එවැනි පෝස්ට් ෆැක්ස් එකක් එවූ බව හෝ ඇය තවමත් විශ්වාස කරන්නේ නැත.
මා දන්නා තැපැල් දෙපාර්තමේන්තුවේ සිදු වී තිබෙන්නේ එක ම වෙනසකි. එනම්, ඒ දිනවල කාකි නිල ඇඳුමක් ඇඳ බයිසිකලයෙන් පැමිණි තැපැල් පියුන්ලා වෙනුවට දැන් හැන්සම් බෝයිස්ලා නවීන යතුරු පැදිවලින් පැමිණ ලියුම් බෙදති. තැපැල් කන්තෝරුවට යන ජනතාවට මුද්දර අලවන්නට වතුර ටිකක් හෝ නැති තැපැල් කාර්යාල තිබේ. කෙළ ගා අලවන ලද මුද්දර අතගාමින් තැපැල් මහත්තුරු ඩාං ඩෝං ගා සීල් ගසති. තැපැල් කන්තෝරුවල ගල් හා දඬු දැව මේස වෙනුවට සාමාන්‍ය මේස දුන්නොත් තැපැල් මහත්තුරු ඒවා එක දවසෙන් කඩා බිඳ දමනු ඇත.
ජවිපෙ කැරැල්ලෙන් පසු ආර්. ප්‍රේමදාස ජනාධිපතිවරයා රජයේ සේවයට හඳුන්වා දීම සඳහා තරග විභාග ක්‍රමය හඳුන්වා දෙන ලද අතර මම එයින් තරග විභාග කීපයක් සමත් වුණෙමි. ඒ අතරින් මට ලැබුණු පළමු රජයේ පත්වීම වූයේ දෙවන ශ්‍රේණියේ තැපැල් නිලධාරි තනතුරයි. එම විභාගය දිස්ත්‍රික්කයේ පළමුවැනියා ලෙස සමත් වී සිටියත්, මම එයට නොගොස්, රැකියා විරහිතව තව කෙටි කලක් සිට, ඩෙලික් ගුරු විභාගය ලියා වැඩි ලකුණු ගත් හෙයින් ඩෙලික් පාඨමාලාවෙන් නිදහස්ව පූර්ව සේවා පුහුණුවකින් පසු කෙළින් ම දුෂ්කර සේවයට ගොස් පසුව ගුරු විද්‍යාලයට ඇතුළත් වී පුහුණුව ලබාගත්තෙමි.
ඒ වන විට මෙන් ම අද ද තැපැල් නිලධාරිවරයකු ලබන වැටුප ගුරුවරයකු ලබන වැටුපට වඩා ඉහළ ය. එහෙත්, මෝඩකම්වලින් පිරී ඇති මගේ ජීවිතයේ මා ගත් බුද්ධිමත් ම තීන්දුව තැපැල් දෙපාර්තමේන්තුවට නොබැඳීමයි. එසේම, අවුරුදු 20කට වැඩි කාලයක් ගුරු වෘත්තියේ යෙදීම ගැන මම අදටත් සතුටු වෙමි.
තැපැල් දෙපාර්තමේන්තුව තවම ඉන්නේ පරිගණක ‘හඳුන්වා දෙන’ යුගයේ ය. කෙසේ වෙතත්, දුරකථන, පරිගණක නොතිබුණු අතීතයේදී ලව් ලෙටර් සිය ගණනක සිට ‘අසනීපයි, නිවාඩු දෙන්න’ විදුලි පුවත දක්වා සපයන ලද සේවය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවට අප සැවොම ණය ය. ඒ නිසා මම අද ගමේ තැපැල් කන්තෝරුවෙන් තර්ඩ් පාටි ඉන්ෂුවරන්ස් එකක් ද ගත්තෙමි. මින් පසු, මගේ විදුලි හා දුරකථන බිල් ද එතැනින් ගෙවමි. ඒ මට පුළුවන් තරම ය. රට වටා හැම තැනම තිබෙන තැපැල් කන්තෝරුවලට ඉතා පහසුවෙන් දෙපාර්තමේන්තුව ගොඩගැනීම සඳහා ප්‍රමාණවත් ආදායමක් ඉපැයිය හැකි ය. අවශ්‍ය වන්නේ සේවක ආකල්ප සහ කුසලතා ය.