රජයේ ආයතනවල ඉහළ තනතුරු පත්කිරීමේ අවුල

අජිත් පැරකුම් ජයසිංහ

රජය බලයට පත් වී මේ වන විට මාස දෙකක් ඉක්මවා තිබේ. මේ වන විට රාජ්‍ය ආයතන අතරින් 75%කට වැඩි ප්‍රමාණයකට ප්‍රධානීන් සහ අධ්‍යක්ෂ මණ්ඩල පත් කර තිබේ. තවමත් සම්පූර්ණ නොකළ පත්කිරීම් සැලකිය යුතු සංඛ්‍යාවක් තිබේ. ඒ අතර ඇතැම් ප්‍රධාන පෙළේ රාජ්‍ය ආයතන ද තිබේ. පත්වීම් සිදුකිරීමට ප්‍රමාද වීම ආණ්ඩුවේ අකාර්යක්ෂමභාවයේ ප්‍රකාශනයක් ලෙස ද සැලකිය හැකි මුත්, ඇමතිවරුන් ඇතුළු රජයේ දේශපාලන අතවැසියන් අකැමැත්තෙන් හෝ එය ආරක්ෂා කරන්නේ අලුත් ක්‍රමය ඉතා හොඳ වැඩපිළිවෙලක් බව කියමිනි. කෙසේ වෙතත්, රාජ්‍ය අංශයේ අකාර්යක්ෂමතාව දුරලීමේ නියමුවන් වන්නට නියමිත පත්වෙමින් සිටින මෙම පිරිසයි.
Translations by Creative Content Consultants
සංස්ථා, මණ්ඩල, සමාගම් වැනි රාජ්‍ය ආයතන 127ක ලැයිස්තුවක් මුදල් අමාත්‍යාංශයේ වෙබ් අඩවියේ පළ වේ. සංස්ථා. මණ්ඩල, අධිකාරි ආදී රාජ්‍ය ආයතන 238කුත් තවත් රාජ්‍ය ආයතන දෙසිය ගණනකුත් වශයෙන් පන්සිය ගණනක් තිබෙන බව ජවිපෙ නායක අනුර කුමාර දිසානායක පසුගියදා පැවැත්වුණ මාධ්‍ය සාකච්ඡාවකදී පැවසී ය. එම ආයතනවලට ප්‍රධානීන් හා අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීම සඳහා නිර්දේශ ඉදිරිපත් කිරීමට රජය කමිටුවක් පත් කළේ ය. ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකු වන සුමිත් අබේසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව සුසන්ත රත්නායක, ආචාර්ය නාලක ගොඩහේවා, ඩයන් ගෝමස්, ආචාර්ය ප‍්‍රසන්න ගුණසේන සහ මහාචාර්ය ජගත් වැල්ලවත්ත යන අයගෙන් සමන්විත විය. ජනගහනයෙන් 50%කට වැඩි පිරිසක් කාන්තාවන් වන මුත්, විශ්වවිද්‍යාලවල ඉගෙන ගන්නා පිරිස අතරින් 70%ක් කාන්තාවන් වන මුත්, මෙම කමිටුවේ එක් කාන්තාවක්වත් සිටියේ නැත. කමිටුව විසින් කරන ලද පත්වීම්වල ද මෙම තත්වය දක්නට ලැබිණි.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර විසින් භාෂා තුනෙන් ම ප්‍රධාන පුවත්පත්වල දැන්වීම් පළ කරමින් මෙම තනතුරු සඳහා අභිමතය ප්‍රකාශ කරන ලෙස මහජනතාවට පොදු නිවේදනයක් නිකුත් කළේ ය. මෙම ජනාධිපති ලේකම්වරයා අධිකරණවලින් වරදකරු කරනු ලැබ, රජයේ තනතුරු දැරිය නොහැකි බවට නියෝග පවා ලැබුණු අයෙක්. කෙසේ වෙතත්, නිවේදනය අනුව, ඕනෑම ශ්‍රී ලාංකික පුරවැසියකුට රාජ්‍ය ආයතනවල සභාපති හා අධ්‍යක්ෂ තනතුරු සඳහා කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාව ලැබිණි. අදාළ කමිටුව විසින් පත්කිරීම් සිදුකිරීමේදී විෂය දැනුම, නිපුණතා හා පළපුරුද්ද සැලකිල්ලට ගන්නා බව එම දැන්වීමේ සඳහන් විය. විදේශ රටවල සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට ද මෙම තනතුරුවලට අයදුම් කිරීමට ආරාධනා කරන ලදී. තමන් කැමති කිසියම් ක්ෂේත්‍රයක මූලෝපායික සංවර්ධනය වෙනුවෙන් නිර්දේශ සාරාංශයක් ඉදිරිපත් කරන ලෙස ද එම දැන්වීමේ සඳහන් විය.
කමිටුවේ සාමාජිකයන්ගේ නිර්දේශ මත එම කමිටුවේ ම බොහෝ සාමාජිකයන් පවා මේ වන විටත් තනතුරුවලට පත් කර තිබේ. ඒ අය තවදුරටත් මේ කමිටුවේ නිර්දේශ කිරීම්වලට සහභාගි වෙනවා ද යන්න පැහැදිලි නැත.
කෙසේ වෙතත්, මෙම පත්වීම් කමිටුවක් හරහා සිදුකිරීම අගය කළ යුතු ක්‍රියාවකි. මෙම පත්වීම් සියල්ල දේශපාලනික බව ද, එම පත්වීම් සිදුකිරීමේදී ජනාධිපතිවරයාගේ ඒකාධිපති බලතල හා ජනාධිපතිවරයාට බලපෑම් කිරීමේ ලා ඇමතිවරුන්ට තිබෙන හැකියාව අදාළ වන බව රහසක් නොවේ. එහෙත්, මේ ඔස්සේ අඩු තරමේ ආණ්ඩුව බලයට ගෙන ඒම සඳහා වෙහෙස මහන්සි වී කලින් රජයට විරුද්ධව වැඩ කළ පිරිස්වලට අඩු තරමේ අයදුම්පත් ඉදිරිපත් කිරීමේ අවස්ථාවක් හෝ ලැබිණි. එය කලින් තිබුණ තත්වයක් නොවේ.
මීට පෙර තිබුණු ක්‍රමය අනුව ජනාධිපතිවරයා හා ඇමතිවරු තමන්ට කැමති අන්දමින් පුද්ගලයන් සභාපතිකම්, අධ්‍යක්ෂ තනතුරු ආදියට පත් කළ හ. එහි කිසිදු පාරදෘෂ්‍යභාවයක් තිබුණේ නැත. ඇමතිවරු තම පවුලේ අය, ඥාතීන්, මිතුරන්, උදව් කළ අය, හෙංචයියන් ආදීන්ගෙන් මෙම තනතුරු පිරවූ අතර කවුරු, කුමන තනතුරට පත් වී ද යන්න රටට හෙළිදරව් වූයේ ද නැත. එසේ පත් කරන ලද පුද්ගලයන්ගෙන් අදාළ ආයතනවලට සිදු වූ සේවයක් ද නැත. ඇතැමෙක් අධ්‍යක්ෂවරුන් වුණේ අදාළ දීමනාව හා වෙනත් නීත්‍යානුකූල හා අයථා වරප්‍රසාද ලබාගැනීමට ය. තමන් අධ්‍යක්ෂ තනතුරු දැරූ ආයතන ගැන කිසිවක් නොදන්නා අධ්‍යක්ෂවරු ද සිටිය හ.
පසුගිය ඊනියා යහපාලන රජය ද මෙම පත්කිරීම් සිදුකළේ උපරිම දූෂිත අන්දමිනි. රජය පත් වූ වහාම සෝමරත්න දිසානායක රූපවාහිනී සංස්ථාවේ සභාපති තනතුරට පත්කිරීම පිළිබඳ මහත් ආන්දෝලනයක් ඇති විය. එයට යහපාලන රජය බලයට ගෙන ඒමට වැඩ කළ පිරිස් වෙතින් දැවැන්ත විරෝධයක් එල්ල වූ මුත්, මහජන විරෝධතා වැඩි කල් පැවතුණේ නැත. ඇමතිවරු සුපුරුදු පරිදි පත්වීම් කරගෙන ගිය අතර සමාජය සුපුරුදු ලෙස එය ඉවසා දරාගත්තේ ය. දේශපාලන පත්වීම් නිසා එම පත්කිරීම් දූෂිත වූවාට කමක් නැතැයි මතයක් සමාජයේ තිබේ. මෙම පත්කිරීම් විසින් ඇති කරනු ලබන මූලික ප්‍රශ්නයක් වන්නේ ළබැඳියාවන් පිළිබඳ ගැටුමයි. එහෙත්, ශ්‍රී ලංකාවේ දේශපාලන පත්වීම් තුළ ඒ කෙරෙහි අවධානයක් කිසිදු කලෙක තිබුණේ නැත.
දැන් වුව ද අධ්‍යක්ෂ තනතුරුවලට කවුරු පත් වී ද යන්න සොයාගැනීම ලෙහෙසි නැත. කෙසේ වෙතත්, මෙම කමිටු ක්‍රියාවලිය ඔස්සේ මෙම පත්කිරීම් සම්බන්ධ යම් පාරදෘෂ්‍යභාවයක් නිර්මාණය වී තිබීම යහපත් තත්වයකි. නාමල් රාජපක්ෂගේ හා යෝෂිත රාජපක්ෂගේ බිරියන්ගේ මව්පියන් වන තිලක් වීරසිංහ සහ ඩියඩ්‍රි ලිවේරා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරුවලට පත්කිරීම, ඉරාජ් වීරරත්න සංචාරක ප්‍රවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ තනතුරකට පත්කිරීම, පත්කරන කමිටුවේ සාමාජිකයන් මුලින්ම තනතුරුවලට පත්වීම වැනි කරුණු සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාවක් හෝ ලැබුණේ මෙම නව පත්කිරීමේ ක්‍රමවේදය නිසා ය.
ඒ පිළිබඳ යම් සංවාදයක් ද ඇති විය. උදාහරණයක් ලෙස, නාමල් රාජපක්ෂගේ මාමණ්ඩිය වන තිලක් වීරසිංහ ලංකාවේ සුප්‍රසිද්ධ සංචාරක සමාගමක් වන Lanka Sportreizen හි හිමිකරුවා වන අතර ඔහු ක්ෂේත්‍රයේ පිළිගත් ප්‍රවීණයකු මෙන් ම, අධ්‍යක්ෂ රැස්වීමකට සහභාගි වීම නිසා ලැබෙන රු. 20,000 දීමනාවෙහි වටිනාකමක් නැති ධනවතෙකු ද බව සඳහන් විය.
මේ අතර, රටේ ප්‍රධානතම රාජ්‍ය ව්‍යවසායක් වන ශ්‍රී ලංකා ටෙලිකොම් ආයතනයට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරාගෙන් පසුව පත් කරනු ලැබුවේ තේ කර්මාන්තයේ ප්‍රවීණයෙකි. කලින් හිටපු සභාපතිවරයාට ගෙවන ලද රු. ලක්ෂ 20 ඉක්මවූ වැටුප නම් රු. 250,000 දක්වා අඩු කරන ලදී. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ සොහොයුරා වන කුමාරසිංහ ටෙලිකොම් සභාපති ධුරය වෙනුවෙන් රු. මිලියන නවයකට වැඩි වැටුප්, දීමනා හා වරප්‍රසාද ලබාගත් බව කියැවේ. දේශපාලකයන් රාජ්‍ය ආයතන පවුලේ අයට ආදායම් ඉල්ලමක් කරගත් ආකාරය ගැන හොඳම ඓතිහාසික නිදසුන එයයි.
‘රජයේ ආයතන සහ ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා සුදුස්සන් තෝරාගැනීම සඳහා පලකළ පුවත්පත් දැන්වීම සම්බන්ධ තොරතුරු දැනගැනීම’ යන මැයෙන් සමාජ මාධ්‍ය බලපෑම්කාරිනියක වන ආචාර්ය නදීෂා චන්ද්‍රසේන විසින් තොරතුරු දැනගැනීමේ අයදුම්පතක් ජනාධිපති ලේකම්වරයා වෙත යවා ඒ බව සමාජ මාධ්‍ය මගින් නොබෝදා ප්‍රසිද්ධ ද කළේ ය. ඇය එමගින් පහත දැක්වෙන ප්‍රශ්න මතු කළා ය.
අ) එම දැන්වීම් ප්‍රකාරව, ව්‍යවස්ථාපිත මණ්ඩල වල සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා ඉල්ලුම්පත් කීයක් ලැබී තිබේද?
ආ) එම දැන්වීම් ප්‍රකාරව අදාළ තනතුරු වලට තෝරාගැනීම සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා තිබේද?
ඇ) එසේ පවත්වා ඇති සම්මුඛ පරීක්ෂණ ගණන, තෝරාගත් වෘත්තිකයන් ප්‍රමාණය (ඔවුන්ගේ නම් සහ තනතුරු ඇතුළත්ව)
ඈ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභික තනතුරු සඳහා ඉල්ලුම්කළ ඉල්ලුම්කරුවන් ගණන, ඔවුන්ගේ නම් සහ සුදුසුකම් පිලිබඳ විස්තරයක් ලබා දෙන්න.
ඉ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියට 2020 ජනවාරි 01 දායින් පසුව පත් කරන ලද සභාපති සහ අධ්‍යක්ෂ මණ්ඩල සභිකයින් පිලිබඳ විස්තරයක් ලබා දෙන්න. (නම, තනතුර, සුදුසුකම්, සම්මුඛ සාකච්චා පැවැත්වූ දිනය, සහ පත්වීම සිදුකළ දිනය ඇතුළත්ව)
ඊ) ගුවන් තොටුපොල සහ ගුවන්සේවා (ශ්‍රී ලංකා) සමාගම, සහ ගුවන් සේවා අධිකාරියට ඉහත පත්කිරීම් සිදුකිරීමේදී ඔබ විසින් ප්‍රසිද්ධ පුවත්පත්වල පල කරන ලද දැන්වීමට අනුව එම තනතුරු සඳහා සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසුසන් තොරාගැනුනේද යන්න දක්වන්න.
ජවිපෙ නායකවරයා විසින් මෙම පත්කිරීම් ක්‍රමවේදය පිළිබඳ ගැටලු පහක් ඉදිරිපත් කරන ලදී. “පළමුවැන්න ආණ්ඩුව පත්වී මාස 02ක් ගතවී තිබියෙදීත් පත්වීම් සිදුකිරීමට ආණ්ඩුව අසමත් වීමයි. දෙවැන්න දේශපාලන හිතවතුන් පත්කිරීමේ ක්‍රියාවලියයි. තෙවැන්න ආණ්ඩුවේ ප්‍රධානීන්ගේ ඥාතීන් පත් කිරීමක් සිදුව තිබීමයි. සිව්වැන්න දූෂණ චෝදනා ලැබූ පුද්ගලයින්, ඒ නිසා අධිකරණයෙන් ඇපපිට සිටින පුද්ගලයින් රජයේ ඉහළම තනතුරුවල සිට පත්වීම් ලැබීමයි. කිසිදු සුදුසුකමක් පලපුරුද්දක් නොමැති පුද්ගලයින් එම තනතුරුවලට පත් කිරීම පස්වැනි කරුණයි.”
මෙම පත්කිරීම් සියල්ල යෝග්‍ය ම පුද්ගලයන්ගෙන් සිදු කරනු ඇති බවට කිසිවෙකු අනවශ්‍ය බලාපොරොත්තුවක් ඇති කර ගත යුතු නැත. ශ්‍රී ලංකාවේ දේශපාලනය හා රාජ්‍ය අංශය යනු එසේ සිදුවීමට හැකියාව ඇති අවකාශයක් නොවේ. එහෙත්, මෙමගින් අලුත් මුලපිරුමක් සිදු වී තිබෙන බව අප අමතක නොකළ යුතු ය. එය ඉදිරියට ගෙනයාම මිස එය අහෝසි කරදැමීමට හේතු වන පරිදි කටයුතු නොකළ යුතු ය. ඉදිරියට එන ආණ්ඩුවක් මෙම ක්‍රමය මීට වඩා විධිමත් අන්දමින් ක්‍රියාත්මක කළ යුතු ය. ක්‍රමවේදය නීතිගත වන්නේ නම් එය පහසු වනු ඇත.

Popular posts from this blog

බාලචන්ද්‍රන් මරා දමන්නට සිදු වුණේ ඇයි?

විස්කෝතු කන ළමයා

ඔහු මරා දැමූ මිනිසා (The Man He Killed)