මුස්ලිම් සමාජ ප්‍රතිසංස්කරණයක් සඳහා ආණ්ඩුවට මෙතරම් අධික උනන්දුවක් ඇයි?
මද්‍රසා පාසල් නියාමනය කිරීමට අවශ්‍ය බව බුද්ධ ශාසන සහ ආගමික කටයුතු ඇමති ද වන අගමැති මහින්ද රාජපක්ෂ පවසයි. වත්මන් ආණ්ඩුව බලයට පත් වුණේ සිංහල බහුතර ඡන්දයෙන් මුත් සිංහල ජනතාවට සුවිශේෂ සේවයක් සැලසීමට වඩා මුස්ලිම් ජනතාව කෙරෙහි අවධානය යොමු කර තිබීම කැපීපෙනෙයි. සිංහල බෞද්ධයන් වෙනුවෙන් කරන ලද කැපීපෙනෙන සේවයක් තිබේ නම්, ඒ භික්ෂූන් හට ත්‍රිපිටකය අඩංගු ටැබ් 5000ක් මහජන මුදලින් බෙදාදීම විය හැකි ය. භික්ෂූන් හරහා බුදුන්ගේ ධර්මය ප්‍රචාරය කිරීමට එය ඉවහල් වනු ඇතැයි බලාපොරොත්තු වෙමු.
මුස්ලිම් මද්‍රසා පාසල් රජයට පවරාගැනීමට මුස්ලිම් ආගමික කටයුතු අමාත්‍යාංශය සමග සාකච්ඡා කරමින් තිබෙන බව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් 2019 අගෝස්තු 20දා පාර්ලිමේන්තුවේදී අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු වශයෙන් පැවසී ය. වත්මන් ආණ්ඩුව රජයට පවරාගැනීම වෙනුවට නියාමනයට යොමු වී තිබෙන බව අගමැතිවරයාගේ ප්‍රකාශයෙන් පෙනේ.
මේ අතර, 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමි විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.
මේ අතර කාති උසාවි සම්බන්ධයෙන් ද නැවත වතාවක් සමාජය තුළ ප්‍රචාරයක් ආරම්භ කර තිබේ.
මුස්ලිම් විවාහ නීතිය හා කාති උසාවි සම්බන්ධයෙන් ද, විශේෂයෙන් කාති උසාවි මගින් ලබාදෙන දික්කසාද සම්බන්ධයෙන් ද මුස්ලිම් සමාජයෙන්, විශේෂයෙන් ම මුස්ලිම් කාන්තාවන් අතරින් විරෝධය පැනනැගී තිබේ.
ශ‍්‍රී ලංකාවේ විවාහ වීමේ අවම වයස හඳුන්වාදීම සදහා වූ පනත් කෙටුම්පතක් පාර්ලිමේන්තු මන්ත‍්‍රී තුසිතා විජේමාන්න විසින් ඉදිරිපත් කර තිබේ.
මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීමට පසුගිය රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර තිබුණු අතර, ඒ අනුව අදාළ සංශෝධන පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි. වත්මන් ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තම මන්ත්‍රීන් හරහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් ඉදිරිපත් කරමින් සිටිය යුතු නැත. රජය පියවර ගත යුතුව තිබේ.
මෙම සංශෝධනවලට දීර්ඝ ඉතිහාසයක් තිබේ. මේ සඳහා 2009 දී පත්කරන ලද කමිටුවේ සභාපතිත්වය දැරුවේ හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන සලීම් මස්රූෆ් ය.
කමිටුව අවුරුදු නවයක් පුරා විවිධ පාර්ශ්වවලින් අදහස් එක්රැස් කර 2018දී අවසාන වාර්තාව නිකුත් කළේ ය. 2019 ජුලි මාසයේදී මුස්ලිම් පාර්ලිමේන්තු නියෝජිතයෝ වාර්තාවේ නිර්දේශ 14කට එකඟ වූ හ.
කැබිනට් අනුමැතිය ප්‍රකාරව මුස්ලිම් විවාහ හා දික්කසාද පනතේ සංශෝධන 11ක් සිදුවීමට නියමිත බව වාර්තා විය. මෙම සංශෝධන මොනවා ද යන්න ඉදිරි කාලයේදී දැනගැනීමට ලැබෙනු ඇත. පහත දැක්වෙන්නේ මුස්ලිම් විවාහ හා දික්කසාද පනත සංශෝධනය කිරීම සඳහා පත්කරන ලද කමිටුවෙහි නිර්දේශ අතරින් අවධානයට ලක් වූ කරුණු කීපයක් මෙසේ ය:
- විවාහ වීම සඳහා මනාලයාත්, මනාලියත් වයස අවුරුදු 18 සම්පූර්ණ කර තිබිය යුතු ය.
- විවාහය සිදුකරද්දී පාර්ශ්වයන් විසින් එළඹෙනු ලබන විවාහ ගිවිසුමෙහි වගන්ති විවාහ ලේකම් පොතෙහි සටහන් කළ යුතු ය.
- මනාලිය සිය කැමැත්ත පළ කරන බව සංකේතවත් කරමින් විවාහ ලේකම් පොතෙහි අත්සන් කළ යුතු ය.
- දෙවන විවාහයකට එළඹීමට අපේක්ෂා කරනු ලබන පුද්ගලයා කාතිවරයකුගේ අනුමැතිය ලබාගත යුතු ය.
- කාතිවරයකු වීම සඳහා සුදුසුකම් ලැබීම පිණිස නීතිඥයකු විය යුතු ය.
- මුස්ලිම් ජනයාගේ පවුල් නීති විනිශ්චයන් සඳහා කාන්තා කාතිවරුන් පත්කරනු ලැබේ.
- කාතිවරුන් පත්කරනු ලබන්නේ පූර්ණකාලීන අධිකරණ නිලධාරීන් ලෙස ය.
- කාති අධිකරණවල අධිකරණ බලය නැවත අර්ථ නිරූපණය කරනු ලබන අතර ඒවායේ තත්වය උසස් කරනු ලැබේ. ඒ අනුව නඩත්තු අයකරගැනීම සඳහා තම නියෝග ක්‍රියාත්මක කරවීම සඳහා බලතල කාතිවරුන්ට හිමි වේ. දැනට තිබෙන පනත අනුව, ඒ සඳහා වෙනත් අධිකරණයක පිහිට පැතිය යුතු ය.
- මුස්ලිම් විවාහ හා දික්කසාද උපදේශන මණ්ඩලය ප්‍රතිව්‍යූහගත කිරීම. එම කමිටුවෙහි කාන්තා නියෝජනය තහවුරු කිරීම.
- මුස්ලිම් කාන්තාවන් විවාහ ලේකම්වරුන් ලෙස පත්කිරීම
- මුස්ලිම් දික්කසාදවලදී සිදුවන අසාධාරණකම් වැළැක්වීම සඳහා නීති සම්පාදනය
ආණ්ඩුව මෙම යෝජනා ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය නීති සම්පාදනයට කටයුතු කළ යුතු ය. මුස්ලිම් සමාජ ප්‍රතිසංස්කරණයක් කෙරෙහි ආණ්ඩුව දක්වන අධික උනන්දුව ජනවර්ගයකින් පළිගැනීමේ චේතනාවෙන් නොකරන්නක් බව ඔප්පු කිරීමට නම්, ආමන්ත්‍රණය කරන ප්‍රශ්න ඒවා සම්බන්ධ සමාජ සංවාදය මත පදනම්ව ග්‍රහණය කරගන්නට ආණ්ඩුව සමත් විය යුතුය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂට බලයට පත්වීම සඳහා පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරවලින් පසු සමාජයේ ඇති වූ තත්වයන් විශාල උත්තේජනයක් වූ බව රහසක් නොවේ. තමන්ගේ සියලු සතුරන් ද, විශේෂයෙන් මුස්ලිම් දේශපාලකයන් ද මෙම බෝම්බ ප්‍රහාර සමග සම්බන්ධ කර ඔවුන් නීතිය ඉදිරියට ගෙනැවිත් දඬුවම් පමුණුවන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නායකත්වය දුන් දේශපාලනය දිගුකලක සිට කියමින් සිටිති. එහෙත්, ආණ්ඩුව බලයට පත් වී මාස දෙකකට ආසන්න කාලයක් ගත වී ඇතත්, එහි කිසිදු ප්‍රගතියක් දක්නට නොලැබේ.
දොස්තර ශාෆි සිංහල කාන්තාවන් වන්ධ්‍යාකරණයට ලක් කළ බව කියමින් උපවාස කළ රතන භික්ෂුව දැන් ඒ ගැන විමර්ශන විධිමත් කිරීම පවා අතහැර අලුත් මුස්ලිම් විරෝධී කාරණාවලට අතගසා තිබේ. මේ සියල්ලෙන් ම කියැවෙන්නේ අන් කිසිවක් නොව මහ මැතිවරණය ළඟ ළඟ එන බව පමණි.