ඉරාන ඇමරිකානු යුද්ධයක් ද? අලුත් වටයක සාම ප්‍රයත්නයක් ද?
අජිත් පැරකුම් ජයසිංහ- 2020 ජනවාරි 12 ලංකා පුවත්පතේ ද පළ වේ.
මෙම සටහන තබන මොහොත වන විට ඉරානය විසින් ඉරාකයේ හමුදා කඳවුරු දෙකකට බැලිස්ටික් මිසයිල් ප්‍රහාර එල්ල කර තිබේ. එම ස්ථාන දෙක නම් අල් අසාද් ගුවන් කඳවුර සහ අර්බිල් හමුදා කඳවුරයි. මෙම ස්ථාන දෙක ම ඉරාන-ඉරාක දේශ සීමාවට ඈතින් ඉරාකය තුළ පිහිටා තිබේ. ප්‍රහාරවලින් ඇමරිකානුවන්ට කිසිදු හානියක් සිදු නොවූ බව එක්සත් ජනපද ජනාධිපති ට්‍රම්ප් ටික වේලාවකට පසු නිවේදනය කළේ ය. ඉරානය පසුබසිමින් සිටින බව ධවල මන්දිරයේදී ප්‍රකාශයක් කරමින් ට්‍රම්ප් පැවසී ය.
මෙය ඇමරිකා එක්සත් ජනපදයේ ඒකාබද්ධ මෙහෙයුම් විශේෂ අණදෙන මූලස්ථානය විසින් පසුගිය ජනවාරි 3දා ඉරානයේ ඉස්ලාමීය විප්ලවීය ආරක්ෂක ‘කුඩ්ස්’ බලකායේ අණදෙන නිලධාරි මේජර් ජනරාල් කාසිම් සුලෙයිමානි ඝාතනය කිරීමට එරෙහිව එල්ල කරන ලද ප්‍රතිප්‍රහාරයක් ලෙස සැලකේ. කුඩ්ස් බලකාය යනු ඉරානයේ දේශ සීමාවෙන් බැහැර මෙහෙයුම් සඳහා වගකිව යුතු සංවිධානයයි. මේජර් ජනරාල් කාසිම් සුලෙයිමානි ඉරාකයේ විදේශ කටයුතු සම්බන්ධයෙන් වඩාත් ම බලවත් පුද්ගලයා ලෙස සැලකේ. ඉරානයේ අනාගත නායකයකු වීමේ ලක්ෂණ ද ඔහු වෙතින් පළ විය.
සිරියාවේ සිට පැමිණ, ඉරාකයේ බැග්ඩෑඩ් ගුවන් තොටුපළෙන් පිට වී යමින් සිටි සුලෙයිමානිගේ රථ පෙළ ඉලක්ක කර MQ-9 Reaper ඩ්‍රෝන් යානයක් මගින් එල්ල කරන ලද මෙම බහු මිසයිල ප්‍රහාරයෙන් සුලෙයිමාන් සමග ඉරානයේ ආධාර ලබන ඉරාක අතුරු හමුදා නිලධාරීන් පස්දෙනෙක් ද මියගිය හ. ඒ අතර ඉරාකයේ ඉරාන හිතවාදී අතුරු හමුදා සන්ධානයක නායකයා වන අබු මහ්දි අල්-මුහන්දිස් ද විය. ඔත්තුකරුවන්, ඉලෙක්ට්‍රොනික් නිරීක්ෂණ මෙන් ම රහස් නිරීක්ෂණ ගුවන් යානා ද යොදාගනිමින් මෙම ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැලකේ. ඉරාන විදේශ ඇමති ජාවඩ් සරීෆ් මෙය හැඳුන්වූයේ ජාත්‍යන්තර ත්‍රස්තවාදය ලෙස හා අතිශය අවදානම් සහගත හා මුග්ධ සටන් උත්සන්න කිරීමක් ලෙසයි.
මෙම සිද්ධියට පෙර, පසුගිය දෙසැම්බර් 27දා, ඉරාකයේ සේවයේ නියුතු එක්සත් ජනපද සිවිල් කොන්ත්‍රාත්කරුවකු ඉරාකයේ කර්කුක්හි හමුදා කඳවුරකදී රොකට් ප්‍රහාරයකින් මිය ගිය අතර තවත් එක්සත් ජනපද හා ඉරාක හමුදා භට පිරිස් තුවාල ලැබූ හ. මෙම ප්‍රහාරය ඉරාන ආධාර ලබන කටයිබ් හිස්බුල්ලා අතුරු හමුදා විසින් එල්ල කරන ලද බව එක්සත් ජනපදය පවසයි. එක්සත් ජනපද හමුදා එම සංවිධානයට අයත් බටහිර ඉරාකයේ සහ සිරියාවේ ස්ථාන තුනකට බෝම්බ ප්‍රහාර එල්ල කරන ලදී. එම සංවිධානය තමන් රොකට් ප්‍රහාරයට සම්බන්ධ නැති බව ප්‍රකාශ කරමින් බැගුඩෑඩ්හි එක්සත් ජනපද තානාපති කාර්යාලය වට කර දැවැන්ත උද්ඝා්ෂණයක් කළ හ. ඔවුන් පැය ගණනාවක් තානාපති නිලධාරීන් සිර කරගෙන සිටින ලද අතර තානාපති කාර්යාලයට හානි ද සිදු කළ හ. රොකට් ප්‍රහාරය මෙන් ම ඉන් පසු සිදු වූ මෙම උද්ඝෝෂණය ද සුලෙයිමානි විසින් අනුමත කරන ලද ඒවා යයි එක්සත් ජනපදය පවසයි.
ඉරාකයේ එක්සත් ජනපද හමුදා භටයින් 5,000ක් පමණ මෙහෙයුම්වල යෙදී සිටින අතර ඔවුන් ඉරානයේ ආධාර ලබන අතුරු හමුදාවල මෙන්ම ඉතිරි වී සිටින අයි එස් ත්‍රස්ත කණ්ඩායම්වල ද ප්‍රහාර තර්ජනවලට ලක් වී සිටිති. අයි එස් සංවිධානය සම්පූර්ණයෙන් විනාශ කර ඔවුන්ගේ භූමිය අල්ලා ගන්නා ලද බව ඇමරිකාව කීව ද, එම සංවිධානය පවසන්නේ ඔවුන් ඉරාකයේ සක්‍රිය බවයි. ඇමරිකානු සිවිල් කොන්ත්‍රාත්කරුවෝ ද විශාල පිරිසක් ඉරාකයේ සේවය කරති.
සුලෙයිමානි ඝාතනය ඉරානයට එල්ල කරන ලද දැවැන්ත දේශපාලනික මිලිටරි ප්‍රහාරයකි. සුලෙයිමානි යනු පසුගිය දශක දෙක තුළ ඉරානය විසින් මෙහෙයවන ලද බුද්ධි සහ යුද මෙහෙයුම්වල නියමුවා ය. ඉරානයට හිතවත් රාජ්‍ය නායකයකු වන සිරියාවේ ජනාධිපති ආරක්ෂා කිරීම සඳහා සුලෙයිමානිගේ හමුදා සිරියානු යුද්ධයට මැදිහත් විය. සුන්නි මුස්ලිම් අයි එස් හෙවත් ඉස්ලාමීය රාජ්‍යය සංවිධානයට එරෙහිව යුද පෙරමුණේ සටන් කිරීමත් සමග සුලෙයිමානි ඉරානයේ ෂියා මුස්ලිම් ජනතාවගේ වීරයකු බවට තහවුරු විය. ඔහු ඉරාකයේ රාජ්‍ය විරෝධී කැරැලිකරුවන්ට ආයුධ සහ වෙනත් යුද ආධාර සැපයූ බවට එක්සත් ජනපදය චෝදනා කරයි. එක්සත් ජනපදය සුලෙයිමාන් ඝාතනය සලකන්නේ ඉරාන මිලිටරි ප්‍රහාර කල්තබා ව්‍යර්ථ කිරීමට ගන්නා ලද පියවරක් ලෙසයි.
මෙම ඝාතනයෙන් පසු හදිසි ආරක්ෂක රැස්වීමක් කැඳවූ ඉරානයේ අධ්‍යාත්මික නායක අයතුල්ලා අලි කමනෙයි විසින් තුන් දිනක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කරමින් මෙම ප්‍රහාරයට පළිගන්නා බව නිවේදනය කරන ලදී. සුලෙයිමානි ඉරාන අධ්‍යාත්මික නායකයාට ඉතා සමීප අයෙකු විය. ඇමරිකානු බලපෑම් සහිත ඉලක්ක වෙත සයිබර්, ත්‍රස්ත හා මිලිටරි ප්‍රහාර එල්ල වෙනු ඇතැයි ඇමරිකාව අනුමාන කරමින් සිටියදී මෙම ප්‍රහාරය එල්ල විය.
එහෙත්, එහි දක්නට ලැබුණු විශේෂතා කීපයක් තිබේ. එක්සත් ජනපද කඳවුරුවලට ප්‍රහාර එල්ල කරන බව ඉරානය කල්තබා ඉරාක රජයට දැනුම් දුන්නේ ය. ඉරාකය විසින් එය එක්සත් ජනපද හමුදා වෙත දැනුම් දී තිබිණි. එසේම, ඉරානය විසින් ප්‍රතිප්‍රහාර දීම සඳහා තෝරාගෙන තිබෙන ඉලක්ක ද අඩු හානියක් සිදු විය හැකි ස්ථාන ලෙස සැලකේ. මිසයිල් 12ක් පමණ මෙම ස්ථාන දෙකට එල්ල කර තිබෙන මුත් හානි අවම බව වාර්තා වේ. වැඩි සෙබළුන් පිරිසක් ඝාතනය කිරීමට අවශ්‍ය වී නම්, ඔවුන්ට මීට වඩා පහසු ඉලක්ක තිබිණි.
කෙසේ වෙතත්, ඉරාන ආධාර ලබන ඉරාක අතුරු හමුදාවලට මුහුණ දීමට තරම් ශක්තිමත් හමුදාවක් ඉරාක රජය සතුව නැත.
මේ අතර, මැදපෙරදිග කලාපයේ එක්සත් ජනපදයට විශ්වසනීය ම රාජ්‍යය වන ඊශ්‍රායලය ද ප්‍රතිප්‍රහාර බලාපොරොත්තුවෙන් ආරක්ෂක හමුදාවලට අනතුරු ඇඟවීම් කරන ලදී. එහි ජනප්‍රිය සංචාරක ස්ථාන ද වසා දමන ලදී.
කෙසේ වෙතත්, සුලෙයිමානි ඝාතනය සඳහා අණ දීමත් සමග ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ජනප්‍රියත්වයෙහි ඉහළ යාමක් ද ඔහුගේ රට තුළ සිදු වී තිබේ. ඇතැම් ට්‍රම්ප් විරෝධී දේශපාලනඥයන් පවා සුලෙයිමාන් ඝාතනය අනුමත කරමින් ප්‍රකාශ නිකුත් කර තිබිණි. ආර්ථික සම්බාධකවලින් පමණක් ඉරානය මට්ටු කළ නොහැකි බවට මතයක් ඇමරිකානුවන් අතර පැතිරෙමින් තිබිණි.
ඉරානයත්, ඇමරිකා එක්සත් ජනපදයත් අතර දැන් වසර ගණනක සිට සෙවණැලි යුද්ධයක් පවතී. ඔවුන් යුද වදින්නේ වෙනත් පාර්ශ්ව හරහා ය. මෙම තත්වය ඉරාකයේත්, සිරියාවේත්, යේමනයේත් දකින්නට ලැබේ. ඉරාන එක්සත් ජනපද අර්බුදයට විසඳුමක් ලෙස 2015දී ඔබාමා පාලනය විසින් ඉරාන න්‍යෂ්ටික කටයුතු අත්හිටුවන ගිවිසුමක් ඇති කරගන්නා ලදී. 2018දී ට්‍රම්ප් පාලනය විසින් එම ගිවිසුම අත්හිටුවනු ලැබුවේ, ගිවිසුම නිසා ඉරානයට ආර්ථික වශයෙන් හුස්ම ගැනීමට හා කලාපයේ ප්‍රචණ්ඩ ක්‍රියා වෙනුවෙන් ධනය පොම්ප කිරීමට අවස්ථාවක් හා එඩිතරකම ලැබී ඇති බව පවසමිනි.
ඉරානය හා ඇමරිකා එක්සත් ජනපදය අතර යුද්ධයක් ඇවිළෙනු ඇතැයි ලෝකයේ ඇස් දැල්වී තිබේ. එහෙත්, ඉරාන විදේශ ඇමතිවරයා මෙම ප්‍රහාරයෙන් පසුව ද පැවසුවේ තමන්ට ගැටුම් උත්සන්න කිරීමට අවශ්‍ය නැති බවයි. ප්‍රති ප්‍රහාරය අනුපාතිකව ප්‍රමාණවත් බව ඔහු පැවසී ය. ඔහු ජාත්‍යන්තර ප්‍රජාවට එසේ කියන අතර ඉරාන නායක අලි කමනෙයි තම ජනතාවට කීවේ එක්සත් ජනපදය කුඩු පට්ටම් වෙන්නට පහරදුන් බවකි. මෙම අලුත් වටයේ යුද්ධය නව සාම ප්‍රයත්නයකට දොරටු විවර කරන්නට පවා ඉඩ තිබෙන බව සුබවාදී ඇසකින් බලන්නෙකුට කිව හැකි ය.
(මුල් ඡායාරූපයේ දැක්වෙන්නේ එක්සත් ජනපද මිසයිල් ප්‍රහාර නිසා ගිනි ගෙන දැවෙන ඉරාන මේජර් ජනරාල් සුලෙයිමාන් ගමන් කළ රථයයි)