රන්ජන් රාමනායක හඬ ගොනු හා අධිකරණය
අජිත් පැරකුම් ජයසිංහ
මේ වන විට මහත් ආන්දෝලනයකට තුඩු දී තිබෙන රන්ජන් රාමනායකගේ දුරකථන ඇමතුම් හඬ ගොනු එකතුව අතරින් එක් දුරකථන ඇමතුම් හඬ ගොනුවක රන්ජන් රාමනායක කතා කරන්නේ පද්මිනී රණවක මහාධිකරණ විනිසුරුවරිය සමග බව 2020 ජනවාරි 7දා උදෑසන 6ට විකාශය වූ රජයේ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ ප්‍රවෘත්ති ප්‍රකාශයේ පැවසූ හෙයින් එම හඬගොනු අව්‍යාජ බවට මතයක රජය සිටින්නේ යයි සිතන බැවින් අපගේ අදහස් ප්‍රකාශ කිරීම අධිකරණයට අපහාසයක් වන්නේ යයි නොසිතමු.
මෙම හඬ ගොනු අතරින් හෙළිදරව් වන කරුණු ලංකාවේ අධිකරණය පිළිබඳ විශ්වසනීයත්වයට දැඩි බලපෑමක් එල්ල කරන බව පැහැදිලි ය. අධිකරණයේදී සාමාන්‍ය පුරවැසියකුට ඈනුමක් ගියත් අනුකම්පා විරහිතව දඬුවම් කරන තත්වයක් තිබේ. බලවත් පුද්ගලයන්ට නඩුකාරයන්ට බැනවැදී හිරේ ගිය විට පවා ජනාධිපති සමා ලැබේ.
මෙම විනිසුරුවරිය හෝ රන්ජන් රාමනායක හෝ කිසිදු නීතියක් උල්ලංඝනය කරන බවක් නොපෙනේ. ඇය සංවාදයක යෙදෙන්නේ මහජන නියෝජිතයකු සමග ය. ඇය අපේක්ෂා කරන්නේ උසස්වීමකට ඇගේ නම යෝජනා කිරීමයි.
රන්ජන් රාමනායක ශානි අබේසේකර සමග පවත්වන තවත් දුරකථන සංවාදයකදී පවා ඔහු ඇයට කී බව කියන්නේ භාරත ලක්ෂ්මන් ඝාතන නඩු තීන්දුව දෙස රටම බලාගෙන සිටින බව පමණි. දුමින්ද සිල්වා හිරේ යැවීමේ ඔහුගේ පෞද්ගලික අභිලාෂය මත පදනම්ව ඔහු කතා කරන දේ ඔහුගේ පෞද්ගලික අදහස්, මතවාද පමණි. එයින් කිසිවකුට ඍජු බලපෑමක් කළ බව නොපෙනේ.
භාරත ලක්ෂ්මන් ඝාතන නඩු විභාගයේදී ත්‍රිපුද්ගල මහාධිකරණයේ විනිසුරුවරුන් දෙදෙනෙකු දුමින්ද සිල්වා ඇතුළු අපරාධකරුවන්ට මරණීය දණ්ඩනය නියම කරන අතර සභාපති විනිසුරුවරයා ඔවුන් නිදොස් කොට නිදහස් කරයි. වැදගත් කාරණය වන්නේ මෙම නඩු තීන්දුව අභියාචනාධිකරණයේදී හා ශ්‍රේෂ්ඨාධිකරණයේදී ද අනුමත වීමයි. එයින් පෙනෙන්නේ නඩු තීන්දුව විධිමත් අන්දමට දී ඇති බව නොවේ නම්, අධිකරණයේ හැම තලයක් ම අවිධිමත් විය යුතු බවයි. එහෙත්, දෙවෙනියට දැක්වූ කරුණ එසේ යයි නොසිතිය යුතු යයි අපි සිතන්නෙමු.
විනිසුරුවරියගේ ගැටලුව මතුවන්නේ ඇය නඩු අවසන් කළ බව කියා එම නඩුවල පාර්ශ්වයන්ගෙන් පවා වරප්‍රසාද අයැදීමයි. චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපතිවරියට ඇසක් අහිමි වූ බෝම්බ සිද්ධිය, එහිදී පුද්ගලයන් 26ක් ඝාතනය කිරීම හා 100කට වැඩි පිරිසකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් වැරදිකරුවන් වූ අයට වසර 250කට වැඩි සිර දඬුවම් නියම කළා ය.
මේ නඩු තීන්දු ලබා දීමේදී විනිසුරුවරුන් පූර්ව විනිශ්චයන් මත කටයුතු කරන බවට ඇගේ ප්‍රකාශවලින් අනුමාන කළ හැකි ය. විශේෂයෙන් ම වින්දිතයන් සතුටු කිරීමේ අරමුණින් නඩු තීන්දු දුන්නා ද යන සැකය මතු වේ.
රන්ජන් රාමනායක අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි ශානි අබේසේකර සමග පවත්වන දුරකථන සංවාදයෙන් එම නිලධාරීන්ගේ දීනකම සහ ඔවුන් කටයුතු කරන වංචනික ආකාරය මැනැවින් හෙළිදරව් වේ. රහස් පොලිසිය විසින් රන්ජන්ගේ නිවසින් අත්අඩංගුවට ගන්නා ලද බව කියන මෙම හඬ ගොනු පැය කීපයක් ඇතුළත සමාජ මාධ්‍යවලට හා තවත් පුද්ගලයන් අතට ලැබී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නම් මෙම ආයතනය කොයි තරම් දූෂිත ද යන්න ගැන තවත් සාක්ෂි අවශ්‍ය ද?
මෙම හඬ ගොනුවල තවත් බොහෝ වැදගත් හෙළිදරව් කිරීම් රාශියක් ඇති බවට කිසිදු සැකයක් නැත.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමග සම්බන්ධව දේශපාලනයේ යෙදෙන කරුණා අම්මාන්ගේ නායකත්වයෙන් දෙමළ ඊලාම් විමුක්ති කොටි සංවිධානය සමග සම්බන්ධව කරන ලද ත්‍රස්ත ක්‍රියා සම්බන්ධයෙන් වයස අවුරුදු 18දී අත්අඩංගුවට ගෙන, වසර 27ක් සිරබත් කා, ශාරීරිකව හා මානසිකව රෝගී පුද්ගලයකු ලෙස වයස අවුරුදු 45දී මිය ගිය සෙල්ලපුල්ලෙයි මහේන්ද්‍රන් නම් දෙමළ දේශපාලන සිරකරුවා පිළිබඳ කතාකිරීමට ද මෙය අවස්ථාවක් කරගත යුතු ය. මෙවැනි අධිකරණයකින් අසාධාරණයට ලක් විය හැක්කේ දුමින්ද සිල්වා පමණක් නොවේ. දුමින්ද සිල්වලා ගැන කතාකරන්නට පුද්ගලයෝ සිටිති. මහේන්ද්‍රන්ලා ගැන කවුරු කතා කරන්න ද?
අවසාන වශයෙන් කිව යුත්තේ මෙම හඬ ගොනු විසින් හෙළිදරව් කර තිබෙන්නේ අලුත් ම තත්වයක් නොවන බවයි. අධිකරණයේ සිටින්නේ ද මිනිසුන් ය. සියලු මිනිසුන් තුළ තිබෙන වැරදි, අඩුපාඩු ඔවුන් තුළ ද අඩු වැඩි වශයෙන් තිබිය හැකි ය. සමස්ත රාජ්‍ය යාන්ත්‍රණය ම දූෂිත වී තිබෙන සංදර්භයක් තුළ අධිකරණය එයින් බේරී තිබේ යයි සිතිය නොහැකි ය. එහෙත්, නිරුවත මේ තරම් විවෘත ලෙස හෙළිදරව් වීම අතිශය භයානක ය.
පවත්නා ක්‍රමය රැකගැනීමට ඇපකැප වූවන් නොවන අපට මෙම හෙළිදරව් වීම සමග පවත්නා ක්‍රමය අර්බුදයට යාම ගැන සතුටු විය හැකි ය. එහෙත් පුදුමයට කාරණය එය නොවේ. වත්මන් රජය පවා ඒ අන්දමින් කටයුතු කිරීමයි. වත්මන් පාලනය ඉදිරි පස් වසරකටවත් රට පාලනය කළ යුතු බව තහවුරු වෙමින් තිබේ. වගකිවයුතු පාලනයක් නම් මේ අන්දමින් තමන් පාලනය කරන්නට යන සමාජ ක්‍රමය අර්බුදයට යවාවි ද? මට තිබෙන ප්‍රශ්නය එයයි.